නිලන්ති කොට්ටහච්චිට අත්පොඩියක් ගහමු!
Posted on January 1st, 2025

කතුවැකිය උපුටා ගැන්ම  අරුණ පුවත්

ගල් පැළෙන බොරුවලින් පිරුණ ඇඩ්වෙන්චර් ඔෆ් බාරොන් මැංචෝසන් නම් පොතේ පරිවර්තනයක් මැංචෝසන් චාරිකා නමින් සිංහලයෙන් තිබේ. ආදි කාලයේ සිට ගජබින්න අසා ඉන්නට මිනිසා තුළ තිබෙන ආසාවට ගැළපෙන අයුරින් ලියා ඇති මැංචෝසන් චාරිකා පොතේ එන්නේ හරි හතරැස් ගජබින්නය.

මැංචෝසන් සාමිවරයා තම දිව දෙකේ අශ්වයා සමග හිම වැටෙන කාලයක ගමනක් යයි. රෑ බෝවෙද්දී නිදා ගන්නට තැනක් සොයන මැංචෝසන් හිමෙන් ඉහළට මතුව තිබෙන කුරුසයක අශ්වයා ගැට ගසා ඈතට ගොස් නිදාගෙන රැය පහන් කරයි. පසුදා උදේ නැගිට බලන මැංචෝසන්ට අශ්වයා පල්ලියක වහලේ මුදුනේ තිබෙන කුරුසයේ එල්ලී ඉන්නා අයුරු පෙනෙයි. මැංචෝසන් පෙරදා රැයේ සුසාන භූමියක තිබෙන කුරුසයක කණුවකැයි සිතා අශ්වයා බැඳ තිබෙන්නේ පල්ලියක වහල මුදුනේම තිබෙන කුරුසයේය. පල්ලිය වැසෙන්නට තරම් උසට ද හිම වැටී තිබෙන නිසා මැංචෝසන් සාමිට පල්ලිය හඳුනා ගන්නට බැරිය.

දුරාතීතයේ සිටි මිනිස්සු මෙබඳු ගජබින්න සහිත කතා ප්‍රශ්න නොනගාම අසා උන්නෝය. සතයක් හෝ කෝපි උගුරක් දුන්නොත් ගල් පැළෙන බොරු කතා කියන මිනිස්සු ගම්වල සිටි බවට සාක්කි මාර්ටින් වික්‍රමසිංහගේ ‘‘අපේ ගම’’ කතා පොතේ එන අන්දෝ අයියා හෙවත් බේගල්ය. ආචාර්ය උපාධි තබා මළ පොතේ අකුරක්වත් නොදත් ගැමියන් නම් මේ බේගල් හෙවත් ගල් පැළෙන බොරු විශ්වාස කළේ නැත. ඔවුන් ඒවා ප්‍රශ්න කළේ ද නැත. අමු බොරු කියා සිනාසී හිත හදා ගත්තේය. ඒවා ප්‍රශ්න නොකළේ ප්‍රශ්න කළොත් කතාවල රහ අඩුවෙන නිසාය.

රටතොට දියුණුවෙත්ම බේගල්ලා මැංචෝසන්ලා බඳු මිනිස්සු වඳව ගියෝය. බේගල්ලා මැංචෝසන්ලා වඳවී ගියත් ගල් පැළෙන බොරු කීමට පිරිසක් භාර ගත්හ. දැන් ගම්මුන්ට, රට්ටුන්ට මතු නොව උගතුන්ට, වියතුන්ට ආචාර්ය, මහාචාර්යවරුන්ට බේගල් කියන්නේ දේශපාලනඥයෝය.

රටට නිදහස ලැබෙන්නත් පෙරාතුව කාලයේ ධනේෂ්වර කඳවුරේ දේශපාලනඥයෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද, සමාජවාදී පක්ෂවල දේශපාලනඥයෝ නිර්ධන පන්තිය වෙනුවෙන්ද බේගල් කියන්නට පටන් ගත්හ. සමසමාජ පක්ෂ ආණ්ඩුවක් පිහිටවූවොත් රුවන්වැලි සෑය ඇතුළු දාගැබ් බිමට සමතලාකොට ආගම දහම වනසන බව යූ.එන්.පී. නායකයෝ එදා කීහ. ඒ බොරුව ඔවුන් කීවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. ඩී.එස්. සේනානායක ප්‍රමුඛ යූ.එන්.පී. ආණ්ඩුව ඉඟිනියාගල, ගල්ඔය බඳු වාරි ජලාශ හදා ගොවි ජනපද පිහිටුවා ඒවායේ ජනතාව පදිංචි කරන විට ‘‘කාක්කෝ තරම් ලොකු මදුරුවෝ ඉඟිනියාගල ඉන්නේ. ඕවායේ ජනතාව පදිංචි කරවන්නේ මැලේරියාව හැදිලා මැරෙන්න.’’ යැයි සම සමාජ, කොමියුනිස්ට් පක්ෂ මහා බේගලයක් ඇද බෑහ. එය නිර්ධන පන්තියේ විමුක්තිය උදා කිරීම සඳහා වාමාංශික පක්ෂවල උගතුන් කියා පෑ බොරුවකි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද නිර්ධන පන්තියේ විමුක්තිය වෙනුවෙන්ද බොරු කියමින් ආ දේශපාලනයට 1965 සිට ජනතා විමුක්ති පෙරමුණ ද දායක වූයේය.

‘‘උං අම්මා තාත්තාටත් සහෝදරයා කියලා කියන්නේ. මේ චේ ගුවේරා ආණ්ඩුවක් ආවොත් වයස හැටට වැඩි සියලු දෙනා මරනවා.’’

හැත්තෑ එකේ කැරැල්ල කාලේ ආණ්ඩුව පැතිරූ මේ බේගලය හොඳට වැඩ කළේ ය. ගම්මු චේ ගුවේරාකාරයන් කියා අඳුනාගත් තරුණයන් ඉන්නා තැන් ගැන හමුදාවට ඔත්තු දුන්නේ පෝලිමේ ගොසිනි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රජය රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩුව එදා කියූ බේගලයකි.

ඇල්ල – වැල්ලවාය පාර පුළුල් කර තාර දමන විට රෝහණ විජේවීර කීවේ ‘‘මේ පාර හදන්නේ ඇමෙරිකන් යුද ප්ලේන් බාන්න. ජනතා විමුක්ති පෙරමුණ විප්ලවය කරනකොට ඇමරිකන් ප්ලේන් මෙහෙ බාලා ඇවිත් අපට පහර දෙන්නයි යන්නේ’’ කියාය.

එය නිර්ධන පන්තියේ ආයුධ සන්නද්ධ ව්‍යාපාරය වෙනුවෙන් කියැවුණ මළ මිනී හිනස්සන බේගලයකි. මැංචෝසන් පන්නයේ අන්දො අයියා කියන ජාතියේ බේගල් කාලානුරූපව පරිණාමය විය. ඇල්ල – වැල්ලවාය පාර මහා පරිමාණයෙන් හදන්නේ ඇමරිකන් යුද ගුවන් යානා බාන්නට යැයි විජේවීර එදා කියූ ආකාරයටම දක්ෂිණ අධිවේගී මාර්ගය හැදීමෙන් තලගොයි, මොනරු වාහනවල හැපී විනාශ වෙතැයි ඔවුනගේ මෑත කාලීන නායකයෝ කීහ.

මේ බේගල් ජාතික නායකයන් විනාශ කළේ ය. හැත්තෑව හැත්තෑ හත ආණ්ඩුවේ වෙළෙඳ ඇමැති වූ ටී. බී. ඉලංගරත්න සීනි, පිටි, පරිප්පු, උම්බලකඩ, කරවල ඇතුළු භාණ්ඩ ආනයනයන් රජයෙන් කරන්නට පටන් ගත්තේ මිල පාලනය කිරීමටය. එයින් කුපිත වූ ආනයනකරුවෝ ටී. බී. ඉලංගරත්න කොමිස් ගහන බවත්, ස්විට්සර්ලන්තයේ හෝටල්ද, ගෙවල්ද තිබෙන බවත් ප්‍රචාරය කළෝය. ආනයනකරුවකු ස්විට්සර්ලන්තයෝ හෝටලයකට ගිය ගමනකදී පිළිගන්නා කවුන්ටරය උඩ ටී. බී. ඉලංගරත්නගේ ඡායාරූපය එල්ලා තිබෙනු දැක මේ කවුදැයි ඇසූ විට ‘මේ අපේ බොසා’ යැයි පිළිගැනීමේ නිලධාරියා උත්තර දුන් බව යූ.එන්.පී. මැතිවරණ වේදිකාවල කියැවිණ. එහෙත් ස්විට්සර්ලන්ත හෝටලයේ එබන්දක් දුටු එකෙක් නොවීය. සතියට දින තුනක් හෝටල්වල බත් විකිණීම තහනම් කළ මැතිනිය හෝටලයක පැවැති මංගල්‍යයකට සහභාගි වී දිවා භෝජනය ගන්නා ඡායාරූපයක් පළ කළ ආණ්ඩු විරෝධී පත්තරයක්, ‘‘බත් තහනම් දාටත් මැතිනිය හෝටලයේ බත් කෑ හැටි’’ කියා ප්‍රවෘත්තියක් පළ කළේ මැතිනිය බත්කෑවේ මඟුල් ගෙදරක බව සඟවාලමිනි. මේ ප්‍රවාද නිසා සිරිමාවෝ මැතිනිය දේශීය ආර්ථිකයක් නිර්මාණය කරන්නට දරන උත්සාහය අමතක කළ ජනතාව තමන්ට පෝලිම් යුගයක් ඇති කර සිරිමාවෝද, පවුලේ අයද සැප විඳින බව විශ්වාස කළහ. ජාතික නායකයන් විනාශ කළ බොරුව දැන් ඉතාම සංකීර්ණ භයානක එකක් බවට පරිණාමය වී තිබේ. දැන් මේ රටේ ඕනෑම පාලකයෙක් පාලනය අවසන් කරන්නේ මිනීමරුවෙක්, සමූල ඝාතකයකු වශයෙනි. රටේ තීරණාත්මක මෙහෙවරකට යොමු වන ඕනෑම නායකයෙක්. මාකෝස්ලා, ඉඩිඅමීන්ලා ගණයට වට්ටවනු ලැබෙයි.

සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම හොරාකෑමකැයි සිතන තත්ත්වයට ජනතාව පවත්ව හිඳිති.

අතීත ගැමියෝ බේගල් කතා ප්‍රශ්න නොකළේ ඒවා ප්‍රශ්න කළොත් තමන් විඳින කවට රසයට බාධා වෙන නිසාය. දැන් ජනතාව මේවා ප්‍රශ්න නොකරන්නේ ප්‍රශ්න කළොත් තමන් සිත් ගත් දේශපාලන පක්ෂයට කෙළවෙන බැවිනි. ඉඳින් එබඳු ජනතාවක් ඉන්නා රටක ඇත්ත ඇති හැටියෙන් කීවේ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රිවරිය පමණකි.

‘‘ප්ලේන් එකකින් රාජපක්ෂලා ඩොලර් උගන්ඩාවට ගෙන ගියා කියලා මම කීවේ ඒක බොරුවක් බව දැනගෙන.’’ ඒ ඇයගේ කුලුඳුල් බවය. ඕනෑම ඇත්තකට බොරුවක් කියන්නත්, ඕනෑම බොරුවක් ඇත්තකැයි කියන්නත් ජනතාවට නිදහස තිබෙනවා යැයි යළිත් ඇය කීවේ කුලුඳුල් නොව තුන් කුලුඳුල් දැරියක් ලෙසය.

තමන්ගේ අසහාය නායකයා සතුව හොරකම් කළ වුන්ගේ ෆයිල් කැබ් රථයක් පිරෙන්න තිබෙන බවත්, ඇස්පියාගෙන ඇද්දත් ඒ ඕනෑම ෆයිල් එකක දැවැන්ත හොරකමක ලියවිලි තිබෙන බවත් නායකයා ඉන්ද්‍රජාලිකයකු සේ ප්‍රකාශ කර තිබියදී මන්ත්‍රිවරිය මෙසේ කීම ගැන කවුරුත් දොස් නගති.

ආණ්ඩුවකට, සංවිධානයකට, පුද්ගලයකුට ආදී වශයෙන් පනත්වල වචන යොදන හැටියට විධිමත්ව වචන යොදමින් ඇය කළේ මෙතෙක් තමන් බලය ගන්නට ආ මාවත සූත්‍ර ගතකර පෙන්වීමය. අපි බොරුවට මොනතරම් වහල් වී තිබෙනවාදැයි පෙනෙන්නේ එම පක්ෂයේ ඇත්ත කියූ එකම තුන් කුලුඳුල් දැරියට පක්ෂ භේදයකින් තොරව ගල් ගහන නිසාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress