සිංහරාජයේ වනාන්තර ඉඩම් පවරාගැනීම් අවුරුදු 21ක් ප්‍රමාදයි. අක්කර 1000 ක් දැනටමත් විනාශවෙලා !
Posted on January 1st, 2026

ජයන්ත විජේසිංහ සංවිධායක / ආරම්භක සහ විධායක සාමාජික වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය

වසර 21ක් ප්‍රමාද සිංහරාජයේ ඉඩම් කඩිනමින් පවරාගන්නැයි  වැසි වනාන්තර සුරකින්නෝ ඉල්ලයි. දැනටමත් අක්කර 1000ක් පමණ තේ වගාවට කියා කපලා.

2004 වසරේ ආරම්භ කර ඇති සිංහරාජ වනාන්තරය ආශ්‍රිත LRC ඉඩම් හෙක්ටයාර 2500ක් අත්පත්කරගැනීම් සහ අනෙකුත් හඳුනාගත් ඉඩම් අත්පත්කරගැනීම් 2026 වසර තුළ සම්පූර්ණ කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කරන ඉල්ලීමයි!

සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ජෛව විවිධත්ව උරුමයක් වන අතර, එය යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් හා ජාතික උරුමයක් ලෙස නීතිමය වශයෙන් හඳුනාගෙන ඇති වනාන්තර පද්ධතියකි. එවන් පසුබිමක, සිංහරාජ වනාන්තරය හා එය ආශ්‍රිත සංවේදී භූමි ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා 2004 වසරේදී ආරම්භ කරන ලද Land Reform Commission (LRC) ඉඩම් අත්පත්කරගැනීම් සහ අනෙකුත් හඳුනාගත් ඉඩම් අත්පත්කරගැනීම් ක්‍රියාවලිය, 2026 වසර දක්වාද සම්පූර්ණ නොවී පැවතීම දැඩි අවධානයට ලක්විය යුතු ජාතික වැදගත්කමකින් යුතු කරුණකි.

මෙම ප්‍රමාදය හේතුවෙන්, සිංහරාජ වනාන්තරයට සම්බන්ධ කිරීම සඳහා හඳුනාගෙන තිබූ හෙක්ටයාර 2,500කට අධික LRC ඉඩම් ප්‍රදේශ තුළින් මේ වන විට අක්කර 1,000කට ආසන්න වනාන්තර භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව අපගේ නිරීක්ෂණය වේ. විශේෂයෙන් Boyne Estate, Rosemary Estate, Alington Estate, Aberfoil Estate, Everton Estate, Trinco Estate, Lordadale Estate, Hayes Estate සහ කුඩුමීරිය යෝජිත රක්ෂිත වනාන්තරය වැනි ප්‍රදේශවල වනාන්තර භූමි කප්පාදු කරමින් අක්‍රමික භූමි භාවිතය සිදු වෙමින් පවතින බව පැහැදිලිව දැකගත හැක. මෙම තත්ත්වය සිංහරාජ වනාන්තර පද්ධතියේ අඛණ්ඩතාවයට, ජල මූලාශ්‍ර ආරක්ෂාවට සහ ජෛව විවිධත්වයට අඛණ්ඩ හා නැවත සකස් කළ නොහැකි හානියක් සිදු කරමින් පවතින බව ගෞරවයෙන් අවධාරණය කරමු.

අප දන්නා පරිදි, අදාළ ඉඩම් අත්පත්කරගැනීම් සම්බන්ධයෙන් නැවත වරක් සිතියම් (Sketch maps) සකස් කර ලබාදෙන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, ඉඩම් අත්පත්කරගැනීම් පනත අනුව 2 වන වගන්තිය යටතේ නිවේදනය (Section 2 Notice) නිකුත් වූ පසු, 4 වන වගන්තිය යටතේ සිතියම් හා මිනුම් කටයුතු සිදු කිරීම නීතිමය වශයෙන් අනිවාර්ය ක්‍රියාවලියක් වන බැවින්, නැවත සිතියම් සකස් කිරීම සඳහා ඉල්ලීම් කිරීම යනු අත්පත්කරගැනීම් ක්‍රියාවලිය අනිසි ලෙස ප්‍රමාද කිරීමට පමණක් හේතු වන බව ගෞරවයෙන් පෙන්වා දීමට කැමැත්තෙමු.

තවද, පෙර රජයන් යටතේ මෙම ක්‍රියාවලිය අතිශය මන්දගාමී ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන්, ව්‍යාජ හිමිකම් (fake ownerships/titles/claims) මත ඉඩම් භාවිතය, වනාන්තර සම්පත් අත්පත් කරගැනීම සහ පාරිසරික සූරාකෑම දැඩි ලෙස වර්ධනය වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගත් විට, සිංහරාජ වනාන්තරයේ පාරිසරික වැදගත්කම, ජාතික හා ජාත්‍යන්තර බැඳීම්, සහ අඛණ්ඩ හා නැවත සකස් කළ නොහැකි පාරිසරික හානියක් සිදුවීමේ අවදානම හේතුවෙන්, මෙම ඉඩම් අත්පත්කරගැනීම් භූමි අත්පත්කරගැනීම් පනතේ 38 (අ) වගන්තිය යටතේ අත්‍යවශ්‍ය හා හදිසි” (urgent) අත්පත්කරගැනීම් ලෙස සිදු කළ යුතු බව අපගේ ස්ථාවර මතය වේ.

එබැවින්, 2004 වසරේදී ආරම්භ කර ඇති මෙම LRC සහ අනෙකුත් හඳුනාගත් ඉඩම් අත්පත්කරගැනීම් ක්‍රියාවලිය 2026 වසර තුළම සම්පූර්ණ කිරීම සඳහා, අනවශ්‍ය හා නීතිමය වශයෙන් අත්‍යවශ්‍ය නොවන ප්‍රමාදවීම් වලින් තොරව, පැහැදිලි කාලසටහනක් සහිතව, පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සහාව, ඉඩම් අමාත්‍යංශය ඇතුළු අනෙකුත් අදාළ ආයතන අතර ශක්තිමත් හා සෘජු සම්බන්ධීකරණයක් ඇති කරමින් කඩිනම් හා තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට ඔබතුමාණන්ලාගේ කාරුණික මැදිහත් වීම ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිත භූමි අත්පත්කරගැනීම් සම්පූර්ණ කිරීම, ජාතික පරිසර ප්‍රතිපත්ති, දේශගුණික අනුවර්තන උපායමාර්ග, පසුගිය නොවැම්බරයේ ජීවිත 1000කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ දේශගුණික කාලගුණික සහ ස්වභාවික ආපදා වලවක්වාගැනීමටත්,  ජල සම්පත් ආරක්ෂාවටත් සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් සපුරාලීමටත් සඳහා අත්‍යවශ්‍ය පියවරක් බවද මෙහිදී අවධාරණය කරමු. ඒ අනුව, මෙම වසර (2026) තුළම අදාළ ක්‍රියාවලිය අවසන් කරනු ඇතැයි අප විශ්වාස කරමින්, ඔබතුමන්ගේ සහ ඔබතුමන්ගේ අමාත්‍යාංශයේ කාරුණික සහ සෘජු මැදිහත් වීම අපේක්ෂා කරමු.

________________________________________________________________________

ජයන්ත විජේසිංහ
සංවිධායක / ආරම්භක සහ විධායක සාමාජික

වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය

(Rainforest Protectors of Sri Lanka)

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු  0777771348 (ජයන්ත විජේසිංහ, කැඳවුම්කරු, වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය) ඇමතීමෙන් ලබාගත හැක.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress