ත්‍රී’මලේ බුදු පිළිම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය නෑ. නීතීඥවරයෙකු ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත්තුමා වෙත 2026.01.28 දින පෙන්වා දෙයි..
Posted on February 3rd, 2026

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ BR/1784/25 අංක දරන බුදු පිළිමය සම්බන්ධ නඩුවට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පෞද්ගලිකව මැදිහත් වී මෝසමක් ඉදිරිපත් කරමින් 2026.01.21 දින එම නඩුව විවෘත අධිකරණයේ කැදවා එම නඩුවේදී 2026.01.19 දින පොලීසිය අධිකරණයට කරුණු දැක්වීමේදී කර ඇති  අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ කාරණාවලට නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට කරුණු දක්වා ඇත.

මෙම නඩුව 2026.01.19 දින කැදවූ අවස්ථාවේ නීතිපතිතුමා විසින් අභියාචනාධිකරණයේ ඇතිකර ගත් එකඟතාවයක් අනුව මෙම නඩුවේ චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමට ක්‍රියාකරන බව ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන්  නීතිපතිතුමාගේ ස්ථාවරයට පටහැනිව එදින පෙනී සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුලු පොලිස් කණ්ඩායම විසින් ගරු අධිකරණයට කරුණු දක්වා ඇති බව 2026.01.20 දින පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති අනුව දැක්වෙන බව එම මෝසම මගින් එම නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කර එය 2024 අංක 8 දරන අධිකරණයකටවිනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කීරීම පනතආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 105.3 ව්‍යවස්ථා සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තියදණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්ති යටතේ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක් පැන නැගී ඇති බැවින් තමන්ට මෙම නඩුවේ සහතික පිටපත් ලබා ගැනීමට අයිතිය ඇති බව ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත්තුමා වෙත 2026.01.21 විවෘත අධිකරණයේ දී පෙන්වා දීමෙන් පසු එකී පිටපත් ලබා ගැනීමට මහේස්ත්‍රාත්තුමා අවසර ලබා දී ඇත.

මෙම නඩුව 2026 ජනවාරි මස 28 දින නැවත කැදවූ අවස්ථාවේ සැකකාර ස්වාමීන් වහන්සේලා ඇතුලු අනෙක් අයට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට පොලීසිය විසින් නීතිපතිවරයා සමග කරුණු දැක්වූ අවස්ථාවේ මෙම නඩු වාර්තාවේ දෝෂ පවතින බවත්, එය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්  චෝදනා ඉදිරිපත් කිරීමට බාධාවක් බවත්, එම දෝෂ හ‍ඬ පට ඇසුරෙන් නිවැරදි විය යුතු බවත් ඒ සඳහා 2026.01.19, 2026.01.21 සහ 2026.01.28 දිනවල නඩුවට අදාල හඬපටවල පිටපත් නියමිත ගාස්තුවට යටත්ව තමන් වෙත නිකුත් කරන ලෙසත්, අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තිය යටතේ මෙම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය නොමැති බවත් නඩුව විභාග කරන අවස්ථාවේ හෝ ඒ සම්බන්ධයෙන් තීරණය කරන ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදීන් මැතිතුමාගෙන් ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවෙ සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව මහතාද එකී හඬපටවල පිටපත් සැකකරුවන් වෙනුවෙන් ලබ දෙන ලෙසද ඉල්ලා සිටියේය.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මෙම නඩුවට කරුණු දැක්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ කළණ කොතලාවල මහතා සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතා විරුද්ධ වූ අතර
2024 අංක 8 දරන අධිකරණයකටවිනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කීරීම පනතේ 15වැනි වගන්තිය මගින් අධිකරණයට අපහාස කිරීමේ කාරණා සියලු නීති අභිබවා යන බවත්, තමන්ට මේ සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දැක්වීමට අයිතිය ඇති බවත් පෙන්වා දුන්නේය.

නඩුව නැවත 2026.02.02 දින කැදවූ අවස්ථාවේ ත්‍රීකුණාමලය වරය පොලීසිය වෙනුවෙන්ද, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ කළණ කොතලාවල මහතාද, සැකකරුවන් වෙනුවෙන්  නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතාද, පොලීසිය විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ කාරණාවට පෞද්ගලිකව මැදිහත් වී සිටින නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාද අධිකරණයේ පෙනී සිටි අතර මෙම නඩු වාර්තාවේ දෝෂ සම්බන්ධයෙන් තමන් 2026.01.30 දින අධිකරණ සේවා කොමිසම වෙත ඉල්ලීමක් කර ඇති බවත් එහි පිටපතක් අද දින ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් වෙත බාර දී ඇති බවත් සටහන් වල දෝෂ නිවැරදි කිරීමට අදාලව අධිකරණ සේවා කොමිසම විසින් පියවර ගැනීමෙන් පසු අධිකරණයට අපහාස කිරීමේ කාරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මහේස්ත්‍රාත්තුමාගේ අවධානයට යොමු කරන ලදී.

ඒ අවස්ථාවේ එක් එක් සැකකරුවන්ගෙන් විමසමින් ඔවුන් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාට අධිකරණයේ පෙනීසිටීමට උපදෙස් ලබා දී තිබේද යන්න විමසූ අතර තමන් උපදෙස් ලබා දී නැති බව සැකකරුවන් මහේස්ත්‍රාත්තුමා වෙත ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේ මහේස්ත්‍රාත්තුමා නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා අමතමින් මෙම නඩුවේ වාර්තා ලබා ගෙන තමන් කැමති අධිකරණයක අධිකරණයට අපහාස කිරීමේ නඩු පවරා ගැනීමට හැකි බව මහේස්ත්‍රාත්තුමා දැනුම් දුන් අතර නඩුව 2026.02.09 දින කැදවීමට නියෝග කරන ලදී.
 
http://neethiyalk.blogspot.com/2026/02/20260128.html?m=1
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
(2026.02.02)

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress