අධිකරණ ඇමතිත් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙක්..
Posted on February 18th, 2026
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ඝාතනයට ලක් වූ නීතිඥවරයා අපරාධකරුවන්ට පෙනී සිටි අයෙකු ලෙස හංවඩු ගසමින් එම ඝාතනය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන අධිකරණ අමාත්‍යවරයා ද මීට පෙර නීතිඥයෙකු ලෙස අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෑතකදී සිදු වූ නීතිඥ ඝාතනය සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය විවේචනය කළ මන්ත්‍රීවරයා, විෂය භාර අමාත්‍යවරයා සහ රජයේ වගකිවයුත්තන් එම ඝාතනයට ලක්වූ පුද්ගලයා “අපරාධකරුවන්ගේ නීතිඥයෙකු” ලෙස හැඳින්වීම නීති වෘත්තියට කරන නිග්‍රහයක් බව පෙන්වා දුන්නේය.
“අධිකරණ ඇමතිවරයාත් වෘත්තියෙන් නීතිඥයෙක්. එතුමාත් අතීතයේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. එහෙනම් එතුමාත් අපරාධකරුවන්ගේ නීතිඥයෙක්ද?” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා සභාවේදී ප්‍රශ්න කළේය.
ඕනෑම පුද්ගලයෙකුට නීති සහාය ලබා ගැනීමට අයිතියක් ඇති බවත්, නීතිඥවරයෙකු තම වෘත්තීය කටයුතු කිරීම මත ඉලක්ක කිරීම හෝ ඝාතන සාධාරණීකරණය කිරීම පිළිගත නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
රටේ සිදුවන ඇතැම් සංවිධානාත්මක අපරාධ පිටුපස වර්තමාන රජයේ දේශපාලන හස්තයක් පවතින්නේ දැයි සැකයක් පවතින බව පැවසූ මන්ත්‍රීවරයා, මෙම අපරාධකරුවන් පාලනය වන්නේ ජනාධිපති කාර්යාලයෙන්, අගමැති කාර්යාලයෙන් හෝ පැලවත්තෙන්ද යන්න ජනතාවට ප්‍රහේලිකාවක් වී ඇතැයි සඳහන් කළේය.
වරායෙන් මත්ද්‍රව්‍ය සහිත කන්ටේනර් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, ලිඛිත අවසරයකින් තොරව මෙවැනි දෑ වරායෙන් පිටතට යා නොහැකි බවත්, ඒ සඳහා අවසර දුන් බලධාරියා කවුද යන්න හෙළි කළ යුතු බවත් පැවසීය. මත්ද්‍රව්‍ය මර්දනය කරනවා වෙනුවට රජය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වක්‍රව උදව් කරන්නේද යන්න ඔහු ප්‍රශ්න කළේය.
වගා හානි සඳහා ගොවීන්ට ලබා දුන් වන්දි චෙක්පත් අගරු වීම සහ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම හරහා රජය ගොවි ජනතාව අසරණ කර ඇති බවත්, වෘත්තීය සමිති මර්දනය සඳහා රණවිරුවන් යොදා ගැනීම රණවිරු ගෞරවයට හානියක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රජය වෛරී දේශපාලනය පසෙකලා, නීතියේ ආධිපත්‍යය සුරකිමින් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට වහාම පියවර ගත යුතු බව නාමල් රාජපක්ෂ මහතා සිය කතාව අවසන් කරමින් කියා සිටියේය.