Gammanpila on real reason behind no-confidence against Wijeyadasa-විජේදාස රාජපක්‍ෂ පන්නන්න හදන හේතු මෙන්න…
Posted on August 15th, 2017

විජේදාසට විශ්වාසභංගයක් ගේන ඇත්ත හේතු ගම්මන්පිල කියයි

Gammanpila on real reason behind no-confidence against Wijeyadasa

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

නීතිපති අකාර්යක්ෂම වුණත් ඊට විජේදාස ඇමතිතුමා වගකිවයුතු නැති නම් එතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගේන්නේ ඇයි?  එතුමා රටට ජාතියට ආගමට ඇත්තටම ආදරය කරන නිසා.  විජේදාස රාජපක්ෂ මහතාට ගෙන එන විශ්වාස භංගයේ අඩංගු නැති එහෙත් සැබැවින්ම එතුමාට විශ්වාස භංගයක් ගේන්න තුඩු දුන්න හේතු 4ක් තිබෙනවා.

  1. එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධය සහ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් පවසන තොරතුරු වැරදි බවට ඔහුගේ මුහුණටම පැවසීම.
  2. ආණ්ඩුව ආරක්ෂක අංශ ලවා ලංකාවේ අයිසිස් ත්‍රස්තවාදින් නැති බව පවසන විට පාර්ලිමේන්තුව අමතමින් ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක බවත් අයිසිස් ත්‍රස්තවාදින් 11ක් දැනට සටන් වදින බවට තොරතුරු තිබෙන බවටත් පාර්ලිමේන්තුවේ දී පැවසීම
  3. මුස්ලිම් අන්තවාදින් සහ දෙමළ බෙදුම්වාදින් උතුරු නැගෙනහිර සිදු කරන පුරා වස්තු විනාශය පිළිබඳ සාකච්ඡා කිරීමට බෞද්ධ සංවිධාන සමග ගොස් ජනාධිපති හමුවීම
  4. ශ්‍රී ලංකාව සතු වටිනාම සම්පත වන හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම වත්මන් ආණ්ඩුව කල බලවත් වරදක් බවත් ඉන් රටට සිදු වුයේ දැවැන්ත හානියක් බවටත් හඬක් නැගීම

 

මෙන්න මේ කාරණා හරහා එතුමන් රට ජාතිය වෙනුවෙන් දැක්වු හැගීම නිසයි එවැනි හැගීම් නැති මන්ත්‍රීවරුන් පිරිසක් කුලප්පු වෙලා සිටින්නේ. විශ්වාෂභංගයක් ගෙනවිත් තිබෙන්නේ. අපි සිටින තුරු රටට ජාතියට ආගමට හානියක් වෙන්න දෙන්නේ නෑ කියලා ජනාධිපතිවරණය සමයේ දී පිටු පිරෙන්න ප්‍රචාරක දැන්වීම් පළ කළ හෙළ උරුමයේ ඇමතිවරු නිහඬව මස් කටු සූප්පු කරද්දී විජේදාස ඇමතිතුමා සිය ඇමතිකම පරදුවට තබා රට වෙනුවෙන් නගන හඬ අගය කරනවා.  මට ඇමිතිකමකට වඩා මට මගේ රටත් ජාතියත් වටිනවා කියා ප්‍රකාශ කිරීම ඒ වෙනුවෙන් කටයුතු කිරීම පක්ෂ භේදයෙන් තොරව අගය කළ යුතු කාරණයක්.

සුනිල් ආරියරත්නයන් රචනා කල නන්දා මාලනිය ගයපු ගීතයක් අදට ගලපා ගන්න.  මස්කටු ලොවමින් සිටිද්දි හෙළ උරුමයේ ඇමතියන්, රට ගිණි ගෙන ඇති බව දුටු විජේදාස මැතිතුමන් එගිණි නිවන මං සෙවීම වරදක් දැයි මට කියන්න කියලා. එය තමයි මට එක්සත් ජාතික පක්ෂයේ විශ්වාෂභංගය ගෙනෙන මන්ත්‍රීවරුන්ගෙන් අසන්නට වෙන්නේ.

ඇත්තෙන්ම විජේදාස ඇමතිතුමා නගන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හඬ නොවේ.  ගමේ ගොඩේ එජාපයේ ක්‍රියාකාරින්ගේ හඬයි.  වසර 21ක් විපක්ෂයේ සිටි එජාප පාක්ෂිකයාට තේරිලා තිබෙනවා මේ යන්තමින් එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක් හදා ගත්තත් ආණ්ඩුවේ දේශද්‍රෝහි වැඩපිලිවෙල නිසා එජාපය යළිත් වරක් විසි වසරකට විපක්ෂයට විසි වෙනවා කියලා.  ඒ නිසා රටට ආදරේ එජාප පාක්ෂිකයා විජේදාස ඇමතිතුමා රැක ගන්න පෙරට ආ යුතුයි. අද එජාපයට ආදරය කරන එජාප පාක්ෂිකයා කළ යුත්තේ විජේදාස රාජපක්ෂ ඇමිතිතුමන්ට පහර දීම නෙමෙයි. ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන ඒමට උත්සහා කරන විජේදාස රාජපක්ෂ මැතිතුමන්ට සහය පළ කරීමයි.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress