ජනතා පැතුම් පල ගන්වමින් මම පොහොට්ටුවට නායකත්වය දෙනවා
Posted on October 5th, 2018

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

මේ රටේ පොදු මහජනතාවගෙන් අති බහුතරයකගේ ඉල්ලීම මත තමා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගන්නවාද කියා අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙසට තමාට ආරාධනා දිගින් දිගටම ලැබෙමින් පවතින බවත් විශේෂයෙන් ජනතාවගෙන් අතිබහුතරයක් මේ ඉල්ලීම කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමා බෙහෙවින් ආදරය කළද එය එක්සත් ජාතික පක්ෂයට පාවා දුන් දිනයේ සිට රට විනාශය කරා ගෙන යන ගමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේ වනවිට හවුල් වී තිබෙන බවද තමා ඇතුළු විශාල පිරිසක් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ක්‍රමයෙන් අෑත් වෙමින් සිටින බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටී.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කළ සියලුම දෙනාට විකල්ප බලවේගයක අවශ්‍යතාව තදින්ම දැනුණු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රට වෙනුවෙන් හා රටේ පොදු මහජනතාව වෙනුවෙන් එම විකල්ප බලවේගය බවට සාර්ථකව පත් වී තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ විනාශකාරී ප්‍රතිපත්තිවලින් රට බේරාගෙන රට ඉදිරියට ගෙනයෑමට දායක වන ඕනෑම බලවේගයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීමට අවස්ථාව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress