Unicode Sinhala
Posted on February 3rd, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

රුවන් වීරසිංහ මහතා
පරිගණක දෙපාර්තමේන්තුව
කොළඹ විශ්ව විද්‍යාලය

ප්‍රිය මහත්මයාණනි,

මෙම පිළිතුර ඔබතුමාගේ පෙබරවාරි 2 දිනැති ඊමේල් ලිපිය සම්බන්‌ධයෙනි.

ප්‍රමාදවී හෝ ඔබ මට, ඔබ විසින් දූෂණ විරෝධී පෙරමුණට යැවූ ඊමේල් ලිපිය හා පී ඩී එෆ් ඇමුණුම නොෙවීමට ගත් අයහපත් තීරණය වෙනස් කිරීම ගැන සතුටු වෙමි.

අවංකවම කියනවා නම් මේ ඔබේ ක්‍රියා තුන (මට එවූ පේලි දෙකේ ඊමේල් එක හා දූවිපෙ ට යැවූ ලිපි දෙක), මට සිහිපත් කරන්නේ ආචාර්ය උපාධියක් ලැබී තිබෙනවා යයි කියන මර්වින් සිල්වා නම්වූ අශීලාචාර හිටපු ඇමතිවරයාගේ හැසිරීමය.

ඔබ විසින් ජයන්ත අහංගමට කර ඇති චෝදනා ගැන ඔහු විසින් යථා කාලයේදී දූවිපෙ ට කරුණු පැහැදිලි කරණු නිසැකය. මා දන්නා අන්‌දමට ඔහු කර ඇති “අපරාධය” නම් 2006 දී ඔහු, ඔහුගේ ක්‍රමය ඔබගේ පරිගණක පන්තියක ශිෂ්‍යයින්ට අත්‌හදාබලන්නට දෙන්නට හැකිදැයි අසමින් ඔබට කල ඉල්ලීමය.

මා ගැන ඔබ කර ඇති පේලි දෙකේ තක්සේරුව ගැන මට කියන්නට ඇත්තේ මා ලංකාවේ , කැනඩාවේ හා ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන 13 කට ගුරුවරයෙකු, පර්යේෂණ නිලධාරීයෙකු හා අධ්‍යක්‍ෂක කෙනෙකු වශයෙන් සම්බන්‌ධව සිටි බවත්, පසුගිය අවුරුදු 15 ක් පමණම මගේ දෛනික රාජකාරිය වූයේ විශ්ව විද්‍යාලත්, ඒවායේ ගුරුවරුත් තමන්ගේ රක්‍ෂාව නිසිලෙස කරනවාද යන්න විග්‍රහ කර බලා, එය වර්‌ධනය කරගැනීමට ඔවුන්ට උපකාරවීමය.

ඔබ විසින් කර ඇති ඉංග්‍රීසි භාෂාවේ තිබෙන වචන හසුරුවා ඇති ආකාරයෙන් පෙනීයන්නේ මා විසින් සද්භාවයෙන්, සිංහල භාෂාව හා ජාතිය වෙනුවෙන් ඉදිරිපත් කළ සංදේශයේ හරය ඔබට වැටහී නැති බවය. ජයන්ත අහංගම විසින් නිර්‍මාණය කළ පරිගණකයේ සිංහලෙන් ලියන ක්‍රමය 2007 සිට භාවිතා කළ මට, එය යුනිකෝඩ් සිංහල ක්‍රමයට වඩා හොඳබවත්, ඊට අමතරව, යුනිකෝඩ් සිංහල, අප සිංහලයින්ව, ලෝකයේ පරිගණක ක්‍ෂෙත්‍රයේ පහලට දමා ඇති බවත් පෙනීගියේය. ඒ මගින් කකුල් දෙකම වෙනුවට එක කකුලක් බැඳ සිංහලයාව ඩිජිටල් හයිවේ එකට දමා ඇත. මේ කාරණා මගේ සංදේශයේ සංක්‍ෂිප්තව පෙන්නා දී ඇත.

මේ නිසා ඔබ විසින් කළ යුතුව ඇත්තේ මගේ සංදේශයට හා ජයන්ත අහංගමට දේශපාලන අවස්ථාවාදී ලෙස මඩ ප්‍රහාර එල්ල කිරීම නොව, මා විසින් පෙන්වා ඇති අහංගම ක්‍රමයේ වාසි, ඇත්තවශයෙන්ම වාසි නොවන බව පෙන්වා දීමය. යුනිකෝඩ් සිංහල කොට උඩ යැවීමට ඔබ සිතන පරිදි මා යෝජනා කර නැති බවත්, මා ඉල්ලා සිටියේ ඉක්ටානියෝජ්‍යාතනය මගින් අහංගම ක්‍රමයත් අත්‌හදාබලන ලෙසත් බව, නැවත වරක්, කලබලනොවී, ඉවසිල්ලෙන් හා සාවධානව, එම සංදේශය කියවුවහොත් ඔබට ප්‍රත්‍යක්‍ෂවනු නිසැකය.

අඩුතරමින්, තායිලන්තයේ කළ දෙය ඔබලා වැනි අය ලංකාවේ නොකලේ කුමණ හේතු නිසාදැයි දැනගැනීමේ අයිතියක් ලංකාවේ බදු ගෙවන ජනතාවට නැද්ද? ඔබ කියන අයුරු යුනිකෝඩ් “ජනප්‍රිය” එය ඉස්තරම් නිසාද, රාජ්‍ය චක්‍ර ලේඛන නිසාද, නැත්නම් ඒකාධිපති රටවල චන්ද මෙන් වෙන අපේක්‍ෂකයෙක් ඉදිරිපත්‌වී නැති නිසාද? මා අත්දැකීමෙන් දැනගත් අන්දමට, සිංහලයාට යුනිකෝඩ් සිංහල වෙනුවට තව වෙනත් වරණයක් ලැබුනොත් ඒ අළුත් ක්‍රමය වඩා ජනප්‍රිය විය නොහැකිද? නියම ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය එය නොවේද? ඉක්ටා පරමාර්‍ථයක් ලෙස මේ බව සඳහන් කර නැද්ද?

මුලදී මගේ සංදේශය යැවූ කිහිපදෙනාට අමතරව, ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුරුවරුන් රැසකටම බ්ලයින්ඩ් කොපි වශයෙන් මෙම ඊමේල් එක යැව්වේ, මේ පිලිඹදව යහපත් සංවාදයක් ඇතිවේය යන බලාපොරොත්තු වෙනි. මේ නිසා ඔබ මට එවන පිලිතුරු ඒ අයටද නැවත යවන බවට මම සහතික වෙමි.

ස්තුතියි.

චන්ද්‍රසිරි විජයවික්‍රම

CWIJ01

CWIJ02

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress