ඉන්දියාව මෛත්‍රිපාලට ගරු කරන්නේ ඇයි?
Posted on February 21st, 2015

නලින් ද සිල්වා

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට ඉන්දියාව ගෞරව කළ බව අපි දනිමු. එහෙත් ඉන් පසු රාජ්‍ය නායකයන් වූ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග ආදීන්ට ඉන්දියාවෙන් ඒ ගෞරවය නො ලැබිණි. විජේතුංග ජනාධිපති සිටියේ ද කියාවත් ඉන්දියාවට දැන ගැනීමට අවස්ථාවක් නො වී ය. මහින්ද රාජපක්‍ෂ ද ඉන්දියාවේ ගෞරවය දිනාගත් නායකයකු යැයි කිව නො හැකි ය. එහෙත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ඉන්දියාවේ ගෞරවයට පාත්‍ර වූයේ මෛත්‍රිපාල සිරිසේන ය. 
බණ්ඩාරනායක මහත්මිය ලංකාව හා ඉන්දියාව අතර තිබූ ප්‍රශ්න රාශියක් සාකච්ඡා මගින් විසඳා ගත්තා පමණක් නොව ඉන්දියාව හා පකිස්ථානය අතර වූ වැදගත් ප්‍රශ්නයක් විසඳීමට ද මැදිහත් වූවා ය. ඇය නොබැඳි ජාතීන්ගේ සම්මේලනයේ සභාපතිනිය ලෙස මහඟූ කාර්යභාරයක් ඉටු කළා ය. ඇයට සත්තකින් ම ඉන්දියාවේ ගෞරවය හිමි විය යුතුව තිබිණි. 
ජේ ආර් බටහිර ගැත්තකු වූ අතර අවසානයේ දී එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ අණ සක පිළිගන්නා තත්ත්වයකට පත් විය. එකල ඉන්දියාව ඩික්සිත් මගින් අප පාලනය කළේ යැයි කීම වරදක් නො වේ. ප්‍රේමදාස ඉන්දියාවට ගරු නොකරන ලද අතර කල්පනාවෙන් ඉන්දු ලංකා සම්බන්ධකම් ඇති කර නො ගත්තේ ය. ඔහු ඉන්දීය ඊනියා සාම සාධක හමුදා යැවීමටට යැයි කියමින් කොටින්ට ආයුධ සැපයී ය. චන්ද්‍රිකා බටහිරට මෙන් ම ඉන්දියාවට ද බය පක්‍ෂපාතීව කටයුතු කළා ය. එහෙත් දුර්වල නායිකාවක් වූ බැවින් ඇයට අඩුම තරමෙන් පැකේජයවත් ක්‍රියාත්මක කිරීමට නො හැකි විය. 
බණ්ඩාරනායක මහත්මියගේ කාලයට වඩා පසුව ලෝක දේශපාලනය වෙනස් විය. බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ ඉන්දියාව ද නොබැඳි රටක් විය. එකල ලෝකයේ කඳවුරු දෙකක් විය. එහෙත් බර්ලින් තාප්පය කඩා වැටීමෙන් පසු බටහිරයෝ එකම බලවත්තු වූහ. ඉන්දියාව ඇමරිකාවට ක්‍රමයෙන් ළඟා විය. 
එහෙත් මහින්ද රාජපක්‍ෂ යුගයේ තත්ත්වය වෙනස් විය. සෝවියට් දේශය වෙනුවට රුසියාවක් බිහි වී තිබුණා පමණක නොව එය ශක්තිමත් රටක් ද විය. අද ඇමරිකාවට යුක්රේනයේ මැදිහත් වීමට අවශ්‍ය නමුත් රුසියාවට විරුද්ධව ක්‍රියා කිරීමට මගක් පෑදී නැත. ඒ සියල්ලට වඩා ආසියාවේ ම ශක්තිමත් චීනයක් බිහි වී ඇත. අද ලෝකයේ නොබැඳි ජාතින්ගේ එකතුවක් නැත. දළ වශයෙන් ගතහොත් ලෝකයේ බල කඳවුරු දෙකක් ඇත. බටහිර රටවල් එක් කඳවුරක ය. චීනය හා රුසියාව තවත් කඳවුරක ය. එහෙත් ඒ රටවල් දෙක අතර පොදු එකඟතාවක් ද නැත.
මේ පසුබිමෙහි   ඉන්දියාව ඇත්තේ බටහිර කඳවුරෙහි ය. එය පෙර මෙන් නොබැඳි රටක් නො වේ. විශේෂයෙන් ම චීනයෙන් එල්ලවන අභියෝගය හමුවේ ඉන්දියාව බටහිරට වඩ වඩාත් සමීප වෙයි. බටහිර රටවල් ලංකාවට විරුද්ධව දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය හා දෙමළ ත්‍රස්තවාදය පෝෂණය කළේ ය. බටහිර රටවල් කොටින්ට මූල්‍ය ආධාර ද කළේ ය. කේ පී මේ සියල්ල දනියි. කේ පී වැදගත් වන්නේ ඒ හේතුවෙනි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කවදා නමුත් මේ තොරතුරු කේ පී ලවා ප්‍රකාශ කරවීමට බලා සිටින්නට ඇත. අද රනිල් සිරිසේන ආණ්ඩුවට අවශ්‍ය කේ පී ඒ තොරතුරු ප්‍රකාශ කිරීම වැළැක්වීම ය. ඔහු සිරකර හෝ බලපෑම් ඇතිකර හෝ කේ පී නිහඬ කිරීමට විශේෂයෙන් ම රනිල් ට අවශ්‍ය වෙයි. 
බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට විරුද්ධ වූයේ එම ආණ්ඩුව දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් බටහිරයන් කී දේට අවනත නොවූ නිසාත් චීනය සමග ආර්ථික සම්බන්ධකම් ගොඩනගා ගැනීමත් නිසා ය. ඉන්දියාවට බටහිර හැරෙන්නට අද වෙනත් පිහිටක් නැත. ගාන්ධිලාගේ ජාතිකත්වයක් නොතිබූ අතර මෝදිගේ ජාතිකත්වය එතරම් දුර දිග යන්නක් නො වේ. එය ඇඳුමෙන් එහාට නොයයි. 
ඉන්දියාව  මෛත්‍රිපාල සිරිසේනට රාජ්‍ය තාන්ත්‍රික ගෞරවයක් පිරිනැමුවේ මේ ආණ්ඩුව බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දීමට සූදානම් නිසාත් චීනය සමග එතරම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට අකමැති නිසාත් ය. චීනය නැවතත් සේද මාර්ගයක් (මුහුදු) ඇතිකර ගැනීමට වෙහෙසෙයි. එහි දී කොළඹ වරාය නගරය මෙන් ම හම්බන්තොට වරාය ද වැදගත් වෙයි. ඉන්දියාව මෙන් ම බටහිර රටවල් ද වරාය නගරයටත් හම්බන්තොට වරායටත් විරුද්ධ ය. බටහිරයන්ගේ ඒජන්තයා වූ රනිල් ද විරුද්ධ ය. එහෙත් රනිල් ඒ කිසිවක් ජනතාවට නො කියයි. ජනතාවට ඔහු කියන්නේ දූ’ෂ’ණය හා ඊනියා යහපාලනය ය. රනිල් චන්ද්‍රිකාට වඩා දැඩි නායකයකු බව බටහිර රටවල් දනියි.
ඉන්දියාව මෛත්‍රිපාලට ගරු කරන්නේ ඔහු ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කරන බැවින් ය. ඔහුට අවසානයේ දී වරාය නගරයට අනුමැතිය දීමට සිදුවුවත් එයත් හම්බන්තොට වරායත් නොවැදගත් වන අයුරෙන් යොදා  ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. ඒ අතර දෙමළ ජාතිවාදයට කප්පන් දෙනු ඇත. ඉන්දියාව පමණක් නොව ඇමරිකාව ද මෛත්‍රිපාලට ගරු කරනු ඇත. ඒ රනිල්ට කරන ගෞරවයක් ලෙස ය. ඇමරිකාව දැනටමත් මෛත්‍රිපාලට ඇමරිකාවේ සංචාරයකට ආරාධනා කර ඇති අතර අපට ඔබාමා මෛත්‍රිපාල හමුවක් ද දැක ගැනීමට හැකි වනු ඇත.
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 21

2 Responses to “ඉන්දියාව මෛත්‍රිපාලට ගරු කරන්නේ ඇයි?”

  1. Indrajith Says:

    IRIDHA DIVAINA EDITORIAL!
    ————————————-

    නුගේගොඩ කැරැල්ල

    මහින්ද රාජපක්‍ෂ යළි බලයට පත් කිරීම සඳහා නුගේගොඩ දී පසුගියදා පැවැති අති සාර්ථක ජන රැලිය රැස්‌වීමකට වඩා කැරැල්ලකි. එම කැරැල්ලේ නියම නායකයා මහින්ද රාජපක්‍ෂ වුව ද එළියට පෙනෙන්නට සිටියේ උදය, විමල්, දිනේෂ්, වාසුදේව වැනි දේශපාලනඥයෝ ය. මෙබඳු කැරලි මෙහෙයවීමට නායකයා සජීවී ව පෙනී සිටීම අත්‍යවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඔහුගේ නාම මාත්‍රික පැවැත්ම පමණි. මහින්ද යළි රටේ නායකයා කරවනු පිණිස පැවැති නුගේගොඩ රැලියට පන්ලක්‍ෂයක්‌ හෝ ඊට ආසන්න පිරිසක්‌ යන අතර තංගල්ලේ කාල්ටන් නිවසේ දී ඔහු හමුවීම පිණිස තවත් දහස්‌ ගණනක්‌ පෝලිම් ගැසුනහ. මෙයින් පැහැදිලි වූයේ මහින්ද රාජපක්‍ෂ යනු ශ්‍රීලනිපය සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යන දේශපාලන සංවිධාන දෙකෙන් පරිබාහිර ජනප්‍රිය ඒකකයක්‌ බව ය. මහින්ද ජනාධිපතිවරණයෙන් පරදින්නේ එම ජනප්‍රියත්වය ඔහුගේම අය විසින් අනුභව කිරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. ඒ අතර ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයන්ගේ වුවමනාවට හෝ ස්‌වකීය ඥති වර්ගයාගේ වුවමනාවට හෝ විදේශික කුමන්ත්‍රණකරුවන්ගේ වුවමනාවට හෝ ඉක්‌මන් මැතිවරණයක්‌ කැඳවා ඔහු විශාල අනුවණකමක්‌ කළේ ය. එහෙත් නුගේගොඩ කැරැල්ල දෙස බලන විට පෙනී යන්නේ මහින්ද රාජපක්‍ෂ තීරණාත්මක සංකල්පයක්‌ ලෙස තවදුරටත් මේ රටේ ජනතාවගේ හදවත් තුළ ජීවත් වන බව ය. මීළඟ ඡන්දයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක කරන ලෙස ජනාධිපති මෛත්‍රීට බල කිරීම නුගේගොඩ රැලියේදී සිදු විය. මෛත්‍රී ජනාධිපතිතුමා ඒ ඉල්ලීමට කන් දුන්නොත් ඇතැම් විට ඊළඟ මහ මැතිවරණයෙන් පසු ශ්‍රීලනිප ජනපති සහ ශ්‍රීලනිප අගමැති එක්‌ව රට පාලනය කරනු නැවත වරක්‌ දැක ගැනීමට ද අපට ඉඩ ලැබෙනු ඇත.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට බලපෑ සමහර ඡන්ද මීළඟ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට හෝ එජාපයට නො ලැබෙන බව ස්‌ථිරය. එයට හේතුව එම ඡන්ද දෙමළ ජාතික සන්ධානයට අයත් ඡන්ද වීම ය. ඒ අනුව එළඹෙන මහ මැතිවරණයෙන් ජය ගැනීමට නම් ශ්‍රීලනිපය මෛත්‍රී සහ මහින්ද දෙදෙනා අතර නොබෙදී ඒකීය දේහයක්‌ ලෙස තිබිය යුතුම ය. නුගේගොඩ කැරැල්ල මගින් ඉතා පැහැදිලි ලෙස පෙන්නුම් කරන ලද්දේ නුදුරු අනාගතයේදී ශ්‍රීලනිපය දෙකඩ වන බව ය. එබන්දක්‌ සිදු වුවහොත් එය මේ නායකයන් දෙදෙනාටම සුවිශාල අපවාදයක්‌ වන්නේ ය.

    මහින්ද රාජපක්‍ෂ මහතා සිය අවසාන ජනාධිපතිවරණයේදී ලැබූ දේශපාලන පාඩම් විශ්වවිද්‍යාල දහයකින්වත් ලබා ගැනීමට නො හැකි, ඉතා වටිනා ප්‍රායෝගික පාඩම් ය. මේ පාඩම්වලට අදාළ න්‍යායය ඉතා පැරැණි න්‍යායයකි. කුමක්‌ද ඒ න්‍යාය ය? රාජ්‍ය නායකයා පරිහානිගත දේශපාලනඥයන් සහ සාස්‌තරකාරයන් ළංකර ගත යුතු නැති බව ය. කොන්ත්‍රාත්කාරයන්ගෙන් ඈත්ව විසිය යුතු බව ය. ඥාතීන්ට උදව් කිරීමේ දී ඔවුන් සතුටු කරනු පිණිස ආණ්‌ඩුවේ තනතුරු නො දිය යුතු බව ය. ආසියාතික දේශපාලනය යනු ඉතා සංකීර්ණ විෂයයකි. ආසියානුවකු ඡන්දයක්‌ ජය ගත් වහාම ඔහුගේ පමණක්‌ නොව ඔහුගේ බිරින්දැගෙත් හතර වරිගයම ඔහු වටකර ගනී. තම මල්ලිලාට පමණක්‌ නොව බිරිඳගේ මල්ලිලාටත් ඔහු සැලකිය යුතු ය. ඊළඟට ඒ මල්ලිලා සහ අයියලා තවත් අයට සලකන්නට පටන් ගනිති. සියලු කරදර එතැනින් පටන් ගනියි.

    නුගේගොඩ කැරැල්ල වූ කලී පරාජිත දේශපාලන නායකයකු උදෙසා මේ ලංකා ඉතිහාසයේදී එකතු වූ විශාලතම ජන ගඟ විය යුතුය. එය හොඳ පැත්තට ගලා ගොස්‌ කාටවත් කරදරයක්‌ නොවී මහ මුහුදට වැටේවා!

  2. Christie Says:

    Namaste: Respecting or treating you as a low caste are two different things. Have you seen videos and photos of Modi and Sirisena? Emperors of India never treated our leaders with respect and non of our leaders stood up to the Emperors of India. There are some exceptions like Shastri of India and Kotalawala of the island. Indians are shrewd and cunning; while India and Ceylon were heading the Non Aligned, India was training its terrorists against the island in Palestinian Refugee Camps. Dixit was a part of the Third Eye; all Indian diplomats get training in intelligence and espionage. From Banda to Chandrika all heads of the island were governors of the Indian Empire with few exceptions for short periods like Kotalawala and Dudley. Sirima was also a part except governor due the head of the Empire at that time like Shastri. Mahinda was the mistake of the Empire and this time Empire got Coolie Sirisena and the Governor Chandrika. Non Indians in the island are low caste for the Indian imperialists. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress