19 හා රනිල්
Posted on April 26th, 2015

නලින් ද සිල්වා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඊනියා සාධාරණ සමාජයවත් අතුරලියේ රතන හිමියන්ගේ ඊනියා පිවිතුරු හෙටක්වත්් ඇතිකිරීමට නොවන බව අපි දිගිට ම කීවෙමු. සංශෝධනයේ අරමුණ දෙමළ ජාතිවාදීන්ට කප්පන් දීමත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිතැන තවදුටත් අඩු කිරීමටත් රනිල් වික්‍රමසිංහට විධායක බලතල හැකිතාක් හිමිකර දීමටත් ය. රනිල්ට ජනාධිපතිවරණයකින් ජයගෙන සම්මම ජාතියේ ජනාධිපති විය නො හැකි ය. ඔහුට අද පවත්නා තත්ත්වය යටතේ මැතිවරණයකින් ජයගෙන අගමැති වීමටවත් නො හැකි ය. ඔහු අගමැති වී ඇත්තේ පික්පොකට් ගැසීමෙනි. 

යම් අයුරකින් රනිල්ට ජනාධිපතිවරණයකින් ජයෆෙන ජනාධිපති වීමේ හැකියාව තිබිණි නම් කිසි දිනෙක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවනු ඇත. මෙය ඉදිරිපත් කෙරෙන්නේ සොභිත හිමියන් පවසන පරිදි මෛත්‍රිපාල ස්වකැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට සූදානම් නිසා නො වේ. ඔහුට එය නොකර බැරි ය. ඔහුට ඊනියා පොදු අපේක්‍ෂකත්වය ලැබුණේ යම් ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ය. ඒ ගනුදෙනුවට අනුව විධායක බලතල අගමැතිට හිමිකර දිය යුතු ය. අද සිදුවන්නේ ඒ ගනුදෙනුව ය. මෛත්‍රිපාල බලලෝභී නොවන දේශපාලනඥයෙක් නො වේ. ඔහු බලලෝභී නොවන්නකු නොවන බව පෙන්නුම් කෙරෙන්නේ ඔහු අගමැති වීමට ඇල්ලූ පොරයෙනි. ඒ පොරය නිමල් සිරිපාල ද සිල්වා සමග විය. 

මෛත්‍රිපාල සියල්ල අත්හැරීමට සූදානම් බෝසතකු නම් කළ යුතුව තිබුණේ ශ්‍රී ල නි පක්‍ෂයේ වර්ධනය සඳහා අගමැති පොරයෙන් ඉවත්වීම ය. එහෙත් ඔහු එසේ නො කෙළේ ය. තමාට අගමැතිකම නොලැබීමේ පළිය ගැනීමට ඔහු විවිධ ඔත්තු සේවාවල අනුග්‍රහයෙන් රනිල් සමග එකතු විය. රනිල් අගමැතිකම පික්පොකට් ගැසීම සඳහා මෛත්‍රිපාල යොදා ගත්තේ ය.  රනිල්ට අවශ්‍ය වූයේ අගමැතිකම පික්පොකට් ගසා විධායක බලතල තම අතට ගැනීම ය. 19 ඇතැම් වගන්තිවලට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීරණය නොවන්නට අගමැතිට තව තවත් විධායක බලතල අයිති වීමට ඉඩ තිබිණි. රනිල් ඒ බලතල ද කෙසේ නමුත් ලබාගැනීමට උත්සාහ දරනු ඇත.

ඕනෑම පනතක සංක්‍රමණීය විධිව්ිධාන වැදගත් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 54 වැනි වගන්තිය අනුව එය සම්මත වුහොත් එසේ සම්මත වීමෙන් පසු දිනයේ සිට ද  සිටින ජනාධිපති හා අගමැති ඒ තනතුරුවල රැඳී සිටිති. එහෙත් ඇමතිවරුන් සම්බන්ධයෙන් එවැන්නක් නො කියැවෙයි. ජනාධිපති රැඳී සිටීම තේරුම් ගත හැකි ය. නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීම ඉන්නා අයට අසුබ බවත් එයට විශාල වියදමක් යන බවත් පැහැදිලි ය. එහෙත් අගමැති දිගින් දිගට ම රැඳී සිටිය යුත්තේ ඇයි? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තමන්ගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා අගමැති ලෙස පත්කළ හැකි ය. 

රනිල්ට පැහැදිලිව ම මෛත්‍රිපාල ගැන විශ්වාසයක් නැත. මෛත්‍රිපාල ජනවාරි 9 වැනි දා තමන් අගමැති ලෙස පත්කළ ආකාරයට ම සංශෝධනයෙන් පසු වෙනත් අයකු අගමැති ලෙස පත්කිරීමට ඉඩ ඇති බව රනිල් දනියි. එබැවින් එවැන්නකට ඉඩ නොතබා  සංක්‍රමණීය විධිවිධාන මගින් තමන් මෛත්‍රිපාලගේ ආධාරයෙන් පික්පොකට් ගැසූ අගමැති ධුරය තවදුරටත් තබා ගැනීමට රනිල් කටයුතු කර ඇත. 

ශ්‍රී ල නි පක්‍ෂය කළ යුතුව ඇත්තේ ඉතා පෞද්ගලික හා ජනවාර්ගික හේතු මත ඉදිරිපත් කරන 19 වැනි සංශෝධනයට පක්‍ෂ නො වීම ය. අඩුම වශයෙන් ඔවුන්ට සංශෝධන දෙකක් ඉදිරිපත් කළ හැකි ය. එකක් 54 වැනි වගන්තියේ අගමැති ධුරය යන්න ඉවත්කිරීම ය. දෙවැන්න පාරිලිමේන්තුවට අගමැති තේරීමේ බලය පැවරෙන  ලෙස 42 (4) වගන්තිය සංශෝධනය කිරීම ය. එවිට ජනාධිපතිට නොව පාර්ලිමේන්තුවට අඩුම තරමෙන් අගමැති තේරීමේ බලයවත් හිමිවනු ඇත. 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 26

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress