සඵල ස්කන්ධ ආතානකය 
Posted on April 30th, 2015

නලින් ද සිල්වා 

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා හා ඔහුට සහායට පැමිණ ඇති කැනඩාවේ පාසල් ගුරුවරයකු වූ බෝධී ධනපාල මහතාට අවශ්‍ය බටහිර විද්‍යාව ආරක්‍ෂා කිරීමට ය. ඔවුන් කිසිවකුවත් මා බටහිර විද්‍යාව ගැන කරන හැඳින්වීම අභියෝගයට ලක්කර නැත.

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර මගින් තේරුම් කර දීම ය. බොහෝ විට යම් සංසිද්ධියක් තේරුම් කර දීමට බටහිර විද්‍යාඥයෝ කතන්දර රාශියක් ගොතති. ඔවුන් ඒ කතන්දරවලින් වඩාත් ම සාර්ථක කතන්දරය තෝරාගන්නේ විසංවාදී ක්‍රමයකට ය.  
ඔවුන්ගේ කතන්දර වියුක්ත (abstract) ය. එබැවින් ඉන් ලබාගන්නා නිගමන ද වියුක්ත ය. ඔවුන් ඒ වියුක්ත නිගමන සංසන්දනය කරන්නේ සංයුක්ත (concrete) පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග ය. මෙහි ඇති සංගතභාවය කුමක් ද? වියුක්ත නිගමනයක් සංයුක්ත සංසිද්ධියක් සමග සංසන්දනය කරන්නේ කෙසේ ද? එහෙත් වියුක්තය යනු කුමක් දැයි නොදන්නා අයකු මා කියන දේ තේරුම් ගන්නේ කෙසේ ද? උදාහරණයක් වශයෙන් ගතහොත් බෝධි ධනපාල මහතාට සරල රේඛාව යනු කුමක් දැයි නො තේරෙයි.
වියුක්තය ගැන කතාකිරීමට පළමු අමරතුංග මහතාගේ අප්‍රේල් 15 ලිපියෙන් ඡෙදයක් උපුටා දැක්විය යුතු ය. ඒ මහතා මෙසේ කියයි. ආචාර්ය නලින් ද සිල්වා මහතා මට අපහාස කිරිම පිණිස විදුසර සඟරාවේ එක්‌ කොටසක්‌ වෙන් කොටගෙන ඇත. මා ලියන දේ ඔහුට අවශ්යා පරිදි වෙනස්‌ කොටගෙන එය වැරැදි බව පවසා මා කිසිවක්‌ නො දන්නකු බව ඔප්පු කිරීමට තම කාලය ශක්‌තිය සහ අවකාශය වැය කරමින්, පරිභව කිරීමට ඔහු තුළ ඇති සහජ හැකියාව විදහාපායි. ඔහු මෙසේ කරන බව මා පමණක්‌ නො ව ඒ ගැන විදුසර සඟරාවේ පළ වූ ලිපි මගින් බෝධි ධනපාල මහතා ද පෙන්වා දී ඇත.”
අමරතුංග මහතාට හො ධනපාල මහතාට හෝ කිසිම නිර්මාණාත්මක හැකියාවක් නැත. මා ඔවුන් මගේ ලිපි විකෘති කර ඒවාට තම අර්ථකථන දී ඉන්පසු ඒ වැරදි බව කියන්නේ යැයි මා කිහිප වතාවක් ම කිය ඇත. අමරතුංග මහතා එය ම මා සම්බන්ධයෙන් කියයි. එහෙත් පාඨකයන් දන්නා කරුණ නම් මා සෑමවිට ම ඔහුගේ ලිපිවලින් උපුටා දැක්වීමක් මිස විකෘත කිරීමක් නොකරන බව ය. අමරතුංග මහතා නම් මගේ ලිපිවලින් උපුටා නො දක්වයි. එපමණක් නො වේ. ඔහු තම ලිපිවලින් උපුටා දැක්වීම ගැන මට චෝදනා කරයි. 
උදාහරණයක් වශයෙන් අමරතුංග මහතා අප්‍රේල් 15 ලිපියෙහි ම මෙසේ කියයි. ඔහුට අලුතින් කියන්නට දෙයක්‌ නැති නිසා අප කියූ දේ නැවත නැවත කියමින් විදුසර පිටු පුරවයි.” මේ ඔහු මා ගැන කියන දෙයකි. මා අමරතුංග මහතා කී දේ නැවත නැවතත් කියනවා නොවේ. මා කරන්නේ පාඨකයනට ම දැනගැනීම සඳහා ඔහුගේ ලිපිවලින් උපුටා දැක්වීම ය. අලුතින් යමක් කියන්නේ මා ද නැත්නම් අමරතුංග ගණයේ පඬිවරුන් ද යන්න මෙරට පුවත්පත් කියවන ජනතාව දනිති.  
අපි දැන් වියුක්තය ගැන කතා කරමු. ඉංගිරිසි ශබ්දකෝෂවල වියුක්ත යන්න සාමාන්‍යයෙන් අර්ථදැක්වෙන්නේ සංයුක්ත යන්නෙහි විරුද්ධ ය ලෙස ය. අදහස් සංකල්ප ආදිය වියුක්ත ලෙස අර්ථ දැක්වෙයි. සංයුක්තය ද්‍රව්‍යමය වෙයි. ඒ පංචෙන්ද්‍රිය ගෝචර වෙයි. ඒ අතින් අල්ලා දැනගත හැකි ය. එහෙත් අදහස් අතින් ඇල්ලිය නො හැකි ය. එබැවින් බටහිරයෝ බොහෝ විට අදහස් වියුක්ත ලෙස ගනිති. එය බටහිර ක්‍රමය ය. එහෙත් සියළු අදහස් වියුක්ත ද යන ප්‍රශ්නය පැන නගී. සියළු අදහස් වියුක්ත නම් වියුක්ත අදහස් යන ව්‍යවහාරය අවශ්‍ය ඇයි? තමන්ට බටහිරයන් (අනුකාරක මෙරට හා පිටරට ගුරුවරුන්) උගන්වන දේ ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා පඬියන්ට නම් ප්‍රශ්න පැන නො නඟියි.  
බටහිරයන් හා සිංහල බෞද්ධයන් අතර ඇති මූලික වෙනසක් අනුකාරක උගත්තු තේරුම් නො ගනිති. ඒ අන්කිසිවක් නොව සිංහල බෞද්ධයන්ට අනුව මනස ප්‍රධාන වීමත් මනස නොමැතිව කිසිම සංජානනයක් ඇති නොවන බවත් එහෙත් පංචෙන්ද්‍රිය නොමැතිව මනසට පමණක් සීමාවන අදහස් ඇති බවත් ය. මේ කරුණු මා පසුගිය ලිපි කිහිපයක ම විස්තර කර ඇත. විදුසර පැරණි කලාපවලින් ඒ ලිපි ලබාගත හැකි ය. උදාහරණ වශයෙන් 2014 සැප්තැම්බර් 17, 24, ඔක්තෝම්බර් 01, 22 කලාප කියවන්න. බටහිර දාර්ශනිකයන්ට සංකල්පවලින් තොර සංජානන ඇත. අප බොහෝ අවස්ථාවල සඳහන් කර ඇති පරිදි බර්ට්‍රන්ඩ් රසල් වැන්නෝ ඊනියා නිල්බවක් (blueness) ගැන සංකල්පයකින් තොර සංජානනයක් ලෙස කතා කළහ. 
එහෙත් සිංහල බෞද්ධයනට සංකල්පයකින් තොර ඊනියා නිල්බවක් නැත. සංකල්ප නිර්මාණය මනසෙහි කාර්යභාරයකි. සංකල්ප නොමැතිව සංජානනයක් ගැන කිව හැකි ද? ඒ සඳහා කිිසිවකුට උදාහරණයක් සැපයිය හැකි ද? සත්ත්වයා හා කැමරාව අතර ඇති වෙනස කුමක් ද? කැමරාවට ද ඇසට මෙන් ම කාචයක් ඇත. එහෙත් කැමරාවට කිසිවක් දැකිය හැකි ද? බටහිරයන්ට හා භෞතිකවාදීන්ට (ද්‍රව්‍යවාදීන්ට – materialists) මනසෙන් තොර ලෝකයක් ඇත. මෙරට ඇතැම් අනුකාරක පඬියෝ ද එක් අතකින් තමන් බෞද්ධයන් යැයි කියන අතර මනසෙන් තොර භෞතික වූ ලෝකයක් (විශ්වයක්) ඇතැයි විශ්වාස කරති. 
මට මනසින් තොර ලෝකයක් නැත්තේ මගේ ලෝකය මගේ මනසෙහි නිර්මාණයක් වන බැවිනි. මා අත්දකින මගේ ඉන්ද්‍රිය පහට හා මනසට ගෝචර වූ ලෝකය මගේ සංකල්පීය ලෝකයයි. කිසිවකුට තමාගේ සංකල්පීය ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක් වේ ද? මගේ සංකල්පීය ලෝකය මගේ නිර්මාණයක් යැයි කී වහාම අනුකාරක පඬියෝ පරළ වෙති. එය විඥානවාදී අදහසක් යැයි කියති. විඥානවාදීන්ට මනස යනුවෙන් යමක් ඇත. එහෙත් මට මනස ද නිර්මාණයකි. නැති දෙයක් ඇතැයි ගැනීමකි.  මනස ද නිර්මාණයක් ලෙස ගැනීම විඥානවාදී වන්නේ කෙසේ දැයි අමරතුංග මහතා පැහැදිලි කරන්නේ ද?
අනෙක් අතට බුදුන් වහන්සේ භෞතික ලෝකයක් පවතින බව ඒකාන්ත වශයෙන් ම දේශනා කර ඇති සූත්‍රයක් උපුටා දැක්වීමට අමරතුංග මහතාට හැකි ද? අහවල් සූත්‍රයෙහි ඇත කියන්නේ නැතිව සූත්‍රය හා නිකාය සඳහන් කර සූත්‍රයෙන් අදාළ කොටස උපුටා දක්වන ලෙස අමරතුංග මහතාට ආරධනා කරමි. ඊනියා වාස්තවික ලෝකයක් ඇතැයි පැවසීම ද මනසෙහි කාර්යයකි. එය ද මනසෙහි නිර්මාණයකි. අමරතුංග මහතා ඇතුලු උගතුන් තේරුම් නොගත්තාට එය ද, එනම් භෞතික වූ ලෝකයක් මනසින් තොරව පවතින්නේ යැයි කීම ද , ඔවුන්ට ම අනුව විඥානවාදී අදහසකි. 
බටහිරයන්ගේ අදහස් අපි පසෙකට දමා වියුක්තය යන්න සිංහල බෞද්ධ චින්තනයෙහි තේරුම් ගැනීමට උත්සාහ කරමු. මා විදුසරෙහි පළ වූ ලිපිවලින් පැහැදිලි කර දී ඇත්තේ සිතෙන් මවාගත නොහැකි අදහස්, සංකල්ප, ප්‍රවාද ආදිය වියුක්ත බව ය. පංචෙන්ද්‍රිය නැතිව වුවත් සිතෙන් මවාගත හැකි නම් එය මම සංයුක්ත සළායතන දැනුමක් ලෙස ගනිමි. සළායතන දැනුමක් ලෙස මා සලකන්නේ පෘථග්ජනයන් මනසෙන් පමණක් හෝ මනස හා පංචෙන්ද්‍රිය ආධාර කර ගනිමින් හෝ නිර්මාණය කරන දැනුමක් ය. එය මූලික වශයෙන් ගතහොත් අවිජ්ජාව (අවිද්‍යාව) නිසා හටගන්නකි. අප සංසාරයේ සැරිසරන්නේ මේ අවිජ්ජාව නිසා ය. පටිච්චසමුප්පාද චක්‍රය එහි ඕනෑම තැනක දී බිඳිය හැකි ය. එසේ හැකි වන්නේ පටිච්චසමුප්පාදය චක්‍රීය දැනුමක් වන බැවිනි. 
වියුක්ත සළායතන දැනුම් සිතෙන් මවාගත නො හැකි ය. මනසට යම් අදහසක් ඇතැයි කීමෙන් එය සිතෙන් මවාගත හැකි ය යන්න ගම්‍ය නො වේ. සිතෙන් මවාගත නොහැකි අදහස් වියුක්ත සළායතන දැනුම් වෙයි. බොහෝ විට අපි ඒ දැනුම් වියුක්ත දැනුම් ලෙස හඳුන්වමු. ධනපාල මහතාටවත් අමරතුංග මහතාටවත් වියුක්ත දැනුම පිළිබඳ කිසිම දැනුමක් නැත. යුදෙවූ ක්‍රිස්තියානි සම්ප්‍රදායෙහි ද ඉස්ලාමික සම්ප්‍රදායෙහි ද ඉගැන්වෙන දෙවියන් වහන්සේ වියුක්ත සංකල්පයකි. දෙවියන් වහන්සේ ලෝකය මැවී යැයි කීම වියුක්ත ප්‍රවාදයක කොටසකි.       
බෝධි ධනපාල මහතා වෙනත් තැනක සඳහන් කර තිබුණේ සරල රේඛා ඇඳිය හැකි බව ය. එහෙත් ඔහු තේරුම් නොගන්නා කරුණ නම් දිගක් මිස පළලක් හෝ ඝනකමක් හෝ නොමැති සරල රේඛාවක් අඳිනු තබා සිතෙන් මවාගැනීමටවත් නොහැකි බව ය. ඔහු කියා තිබුණේ සරල රේඛා සන්නිකර්ෂණ ව ඇඳිය  හැකි බව ය. එහෙත් පළලක් හෝ ඝනකමක් හෝ නොමැති ගණිතමය සංකල්පයක් සන්නිකර්ෂණය කරන්නේ කුමක ට ද? ධනපාල මහතා තමන්ට නොතේරෙන දේ කියන්නේ පාඨකයන්ගේ බුද්ධියට අවමන් කරමිනි. 
අපි පසුගිය සතියේ ලිපියෙන් වස්තුවක ස්කන්ධය යන්න තරමක් සාකච්ඡා කෙළෙමු. බටහිර භෞතික විද්‍යාඥයන්ට ස්කන්ධය යන්න තේරුම් ගත නො හැකි ය. මගේ සාමාන්‍ය පෙළ ගුරුවරුන්ට ස්කන්ධය යන්න වස්තුවක ද්‍රව්‍ය ප්‍රමාණය වී යැයි ද ආචාර්ය වැලන්ටයින් ජෝසෆ් මහතාට අනුව එය පරාමිතියක් යැයි ද මම සඳහන් කළෙමි. ධනපාල මහතා වෙනත් තැන්වල එයට සිනහසෙන්නේ තමා ද උසස් පෙළ ගුරුවරයකු බව අමතක කරමින් ද?  බෝධි ධනපාල මහතාට අනුව ස්කන්ධය යන්න සංරචක දහයක් සහිත රාශියකි. එය ආතානකයක් (tensor) යැයි ඒ මහතා සිතා සිටින  බවක් පෙනී යයි. එය ස්කන්ධ ආතානකය ද? එය ධනපාල මහතාග් නිර්මාණයක් විය යුතු ය. 
කිසිවක් නිරවුල් ව අවබෝධ කරගත් නොහැකි ධනපාල මහතා තම අවුල් අදහස් පාඨකයනට ඉදිරිපත් කරයි. ශක්ති ගම්‍යතා ආතානකයක් (energy momentum tensor) ගැන නම් සාපේක්‍ෂතාවාදයෙහි කියැවෙයි. එහෙත් ස්කන්ධ ආතානකයක් ගැන නො කියැවෙයි. ධනපාල මහතා මෙවැනි කතා කීම පුදුමයට කරුණක් නො වේ. ඔහු අමරතුංග මහතා මෙන් ම අවුල් මනසක් ඇත්තෙකි. මා සිතූ පරිදි ම ධනපාල මහතාට සරල රේඛාවක් සිතෙන් මවාගත හැකි ය. එපමණක් නො වේ. ඔහුට සරල රේඛාවක් සන්නිකර්ෂණ ව ඇඳිය හැකි ය. බොහෝ දෙනා සිතනු ඇත්තේ ධනපාල මහතා නිවැරදි ය කියා ය. ඒ ඔවුන් පාසලේ දී සරල රේඛා ඇඳ ඇතැයි සිතන බැවිනි. එහෙත් කිසිවකු කිසිදා සරල රේඛාවක් ඇඳ නැත. පළලක් හෝ ඝනකමක් හෝ නැති සරල රේඛාවක් ඇඳීමටවත් සිතෙන් මවාගැනීමටවත් හැකි පුද්ගලයකු ලෝකයේ ඇත්නම් ඒ ධනපාල මහතා විය යුතු ය.
ධනපාල මහතා තම ආතානක අදහස ඉදිරිපත් කිරීමට විකිපීඩියාවෙහි දැක්වෙන ලිපියක් ඉදිරිපත් කරයි. එහෙත් ඒ මහතා ඒ ලිපිය ප්‍රවේසමෙන් කියවා නැති බව පැහැදිලි ය. එහි කියැවෙන්නේ ස්කන්ධය ආතානකයක් බව නොව සඵල ආතානකයක් (effective tensor) බව ය. ධනපාල මහතා ප්‍රවේසමෙන් ලිපි කියවීමට තම ජීවිතයේ සංධ්‍යා  භාගයේදීවත් පුරුදු විය යුතු ය.
නලින් ද සිල්වා 
2015 අප්‍රේල් 29

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress