ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රිය කිරීමට සුදුසුම අවස්ථාව මෙය වන්නේ ඇයි?හදිසි නීතියටත් වඩා ත්‍රස්වාදය වැළැක්වීමේ පනත භයානකයි
Posted on September 2nd, 2015

රජිත් කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ – කැෆේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනතුරු ශ්‍රී ලංකාව පුද්ගල නිදහසට ගරු කරන ශිෂ්ඨ රාජ්‍යයක් බවට පත් නොවන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය මගින් තහවුරු කොට ඇති මූලික අයිතිවාසිකම් පිළිබද ප්‍ර‍තිපාදනයන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මඟින් බලවත් ආකාරයෙන් උල්ලංඝණය වෙයි.  තාවකාලික පනතක් ලෙස මුලින්ම ක්‍රියාත්මක වූ ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත මේ වන විට මෙරට නීති පද්ධතියේම කොටසක් බවට පත්වී තිබේ.  හදිසි නීතිය වරින් වර දීර්ඝ කරමින් කාලයක් තිස්සේ පවත්වාගෙන විත් මේ වනවිට අහෝසිකර දමා තිබේ. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ  හදිසි නීති ප්‍රතිපාදන එලෙසම හෝ එයටත් වඩා බලවත් ලෙස ක්‍රියාත්මක  කිරීමේ හැකියාව පවතියි. උදාහරණ ලෙස ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ මෙරට සිවිල් පුරවැසි සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමේ හැකියාව පවතියි.

විවිධ චෝදනා මත පදනම්ව දින 180 ක් හෝ එයටත් වැඩි කාලයක් පුද්ගලයින් රඳවා ගැනීමට එමගින් හැකියාව ලැබේ.  ලංකාවෙන් කෘර වද හිංසා අහෝසි කර දැමීමට නම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, හොර රහසේ රදවා ගැනීම් හා අතුරුදන් කිරීම් මුළුමනින්ම වැලැක්වීමට නම්  ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත මුලුමනින්ම අහෝසි කළ යුතුය.

ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් 2014 වසරේ දී ප්‍ර‍කට මානව හිමිකම් ක්‍රියාකාරී රැකී ප්‍රනාන්දු සහ ජෙයකුමාරි බාලේන්ද්‍රන් රදවා ප්‍ර‍ශ්න කරනු ලැබීය. 2008 දී ජනමාධ්‍යවේදී  ජේ.එස්.තිස්සනායගම් පමණක් නොව දේශපාලනඥයෙකු වන අසාත් සාලි  2013 දී අත්අඩංගුවට ගෙන රදවා තබා ගනු ලැබූවේ ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ය.

2015 ජනවාරි 8 දිනෙන් පවා පුද්ගලයින් 18 ක් පමණ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ඇති බව කැෆේ සංවිධානයේ සහ මානව හිමිකම් කේන්ද්‍රයේ නිරීක්ෂණය යි.

පුද්ගල නිදහස යටපත් කිරීම සහ මර්ධනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නැවත වරක් යොදා ගැනීම වැලැක්වීමට කටයුතු කළ යුතු කළ යුතුව තිබේ.  ඒ සදහා පනත අහෝසි කිරීම, බල රහිත කිරීම හෝ අකර්මන්‍ය කිරීම යන තෝරා ගැනීම් සදහා අපට අවස්ථාව පවතී.  එසේ නොමැති නම් පනතේ වඩාත් බලපෑම්කාරී කොටස් වන 2, 3 සහ 4 සම්බන්ධයෙන් එකගත්වයක් ඇති කර ගැනීම පාර්ලිමේන්තුවේ වගකීමකි.

පසුගිය ජනවාරි 8 වනදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව උතුරේ අතුරුදන්වුවන් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින සිවිල් සංවිධාන දැඩිව ඉල්ලා සිටියේ පනත අහෝසි කරන ලෙසයි. කෙසේ වෙතත් මෙම පනත මහ මැතිවරණයට පෙර අවලංගු කිරීම අන්තවාදී දේශපාලන කණ්ඩායම් විසින් තම මැතිවරණ වාසිය සදහා යොදා ගත හැකි බව දකුණේ දේශපාලනඥයින්ගේ සහ  යම්  සිවිල් සංවිධාන වලද අදහස විය.

මේ වනවිට නව රජයක් බලයට පත් වී තිබේ.  ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනතේ ගොදුරු බවට පත් වූ සහ පීඩනයට පත් වූ පිරිස් පාර්ලිමේන්තුවේ බහුතර බලය පමණක් නොව තුනෙන් දෙකකකට ආසන්න බලයක් ද ලබා තිබේ.

හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් වන අසාත් සාලි මහතා  2013 මැයි මස 2 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැණින.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි  2 (I) වගන්තියට අනුව ඔහුව රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.  එදා විපක්ෂ නායකවරයා වු රනිල් වික්‍රමසිංහ මහතා  මේ සම්බන්ධයෙන්  පැවති රජයට චෝදනා කරමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මුවාවී ආණ්ඩුව සිය විරුද්ධවාදීන් මර්ධනය කරමින් සිටින බවයි.

අසාද් සාලි මහතා ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධව සිටියේ නම් එම සංවිධානය කුමක්දැයි නම් කරන ලෙසත්, එසේ කළ නොහැකි නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත් අඩංගුවට ගත්තේ මන්දැයි වික්‍රමසිංහ ප්‍ර‍ශ්න කළේය.

ත්‍රස්තවාදය අහෝසි වූ රටක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය.  මන්ද, ත්‍ර‍ස්තවාදය ඇතිවීම වැලැක්වීමට හැකියාවක් ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත‘ ට නොමැති බැවිනි.  මේ පනත ක්‍රියාත්මක වන අතර එල්ටීටීඊ සහ ජවිපෙ කැරළි දෙකක් ලංකාව තුල ඇතිවූ බව අප අමතක නොකළ යුතුය.

එදා වික්‍ර‍මසිංහ මහතාට පිළිතුරු දුන් හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එල්ටීටීඊය පරාජය කිරීමට අත්‍යවශ්‍ය වූ නමුත් එම පනත දේශපාලන උවමනාවන් සඳහා රජය විසින්  යොදා නොගන්නා බව යි.

පසුගිය සතියේ කැෆේ සංවිධානය විසින් මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රිය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විට ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබුනේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම රජයේ ප්‍රමුඛ කාර්යය නොවන බවයි.  එය අධිකරණ අමාත්‍යවරයාගේ මිස යහපාලන රජයේ අදහස විය නොහැකිය.  ජනාධිපතිතුමන් ප්‍ර‍මුඛ කැබිනට් මණ්ඩලයේ අදහස ද විය නොහැකිය.

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත 1979 දී තාවකාලික විධිවිධානයක් ලෙස පැනවු අතර,පසුව 1982 අංක 10 යටතේ සහ 1988 අංක 22 යටතේ ස්ථිර පනතක්  බවට පත් විය. මෙම පනත 1983 කළු ජූලි ය මර්ධනය සදහා යොදා ගනු නොලැබීය.  නමුත් එල්ටීටීඊ සහ ජවිපෙ කැරැල්ල මර්ධනය සදහා යොදා ගැණුනි.

සැප්තැම්බර්  1 (ඊයේ) අටවන පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්විය.  මේ වනවිට ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවයෙන් සිටින  එජාප හා ශ්‍රිලංනිප, දෙමළ හා මුස්ලිම් පක්ෂ වල සහයෝගය අපේක්ෂා කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම   දමිළ සහ මුස්ලිම් පක්ෂවල ප්‍රධානතම ඉල්ලීමකි. මෙම පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා ත්‍රස්තවාදය වැළැක්වීමේ  පනත හේතුවෙන් පීඩාවට පත්වුවෝ වෙති. පනත අහෝසි කරන්නට රජය ඉදිරිපත් වන්නේ නම් එයට පැහැදිලි ලෙසම ජවිපෙ හා උතුරේ ද්‍ර‍විඩ පක්ෂ සහාය ලබා දෙනු ඇත.  රජයට සැබෑ දේශපාලනික අවශ්‍යතාවක් ඇති නම් ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට ඔවුන්ට කටයුතු කළ හැකිය.

මෙරට මර්ධන නීති ඉවත් කිරීම පමණක් නොව මානව හිමිකම් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ජීනීවා සමුළුවේ දී ලබා දිය හැකි වඩා ධනාත්මක පිළිතුරක් වන්නේ ද මෙවැනි මර්ධනකාරී පනත් ඉවත් කිරීමයි.

අනෙක් අතට කෘර වද හිංසා පැමිණවීම, නීති විරෝධී රඳවා තබා ගැනීම්, අතුරුදන් කිරීම් නැව ඇති නොවීම සදහා ලබා දිය හැකි විශ්වසනීය සහතිකයක් ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම තුලින් මතු කර ගත හැකිය.

වගවීම පිළිබද  දේශීය යාන්ත්‍රණයක් පිළිබඳ  සාකච්ඡා වෙමින් පවතින අවස්ථාවක හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සිදු කළ නොහැකි නම් එය රජයේ අවංක භාවය නිර්ධය ලෙස ප්‍ර‍ශ්ණ කිරීමක් වනු ඇත්තේය.  ඇතැම්, මානව හිමිකම් විශාරදයින් තම න්‍යාය පත්‍ර වලින් මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රිය කිරීම අමතක කොට දැමීමට උත්සහ දැරීම අවසනාවන්ත තත්වයකි.

මෙරට මානව හිමිකම් ක්‍රියාකාරිකයින් ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත‘ ට එරෙහිව දිගු කළක් සිය ශක්තිය, සම්පත්, බුද්ධිය මෙහෙයවා ඇත.  විවිධ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කොට ඇත.  සියලු දෙනා එක්ව ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම ජයග්‍ර‍ණය දක්වා රැගෙන යාම අද දවසේ අපගේ කාර්ය භාරය වී ඇත්තේය.

රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ – කැෆේ

One Response to “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රිය කිරීමට සුදුසුම අවස්ථාව මෙය වන්නේ ඇයි?හදිසි නීතියටත් වඩා ත්‍රස්වාදය වැළැක්වීමේ පනත භයානකයි”

  1. Senevirath Says:

    මේ මානව හිමිකම් කාරයෝ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනතට එරෙහි වුනා මිස ත්රස්තවාදීන්ට එරෙහිවී කටයුතුකලේද

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress