කෘෂිකර්ම සර්ගේ විත්ති
Posted on December 16th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

කෘෂිකර්ම සර් අවුස්සා සංක්‍ෂෝභයක් ලබා ගැනීමට 8 – ඩී පන්තියේ ළමුන් පුරුදුව සිටියහ​. මමද 8 – ඩී පන්තියේ සාමාජිකයෙකු වූ නිසා මේ ක්‍රියාවට සතුටින් සම්මාදම් වූයෙමි.  කෘෂිකර්ම සර් කුකුල් කේන්ති කාරයෙකි. එම නිසා පන්තියේදී උගුර පෑදීම​, අමුතු හඞකින් එකවර ශබ්ද නැගීම ප්‍රමාණවත් වේ. එවිට සර් ළඟම සිටින කොල්ලෙකු අල්ලාගෙන ඌට තඩිබායි. අවශේෂ ළමෝ ස්පාඤ්ඤ  ජාතිකයන් ගොනෙකු කුලප්පු කොට ලබනා තුෂ්ටිය මෙන් සතුට , බිය හා සන්ත්‍රාසය පිරි තුෂ්ටියක් ලබති.

කෘෂිකර්ම ගුරුතුමාට උපන් ගෙයි උච්චාරණ දෝෂයක් තිබුනේය​. එම නිසා සමහර වචන උච්චාරණ කලේ අමුතු විදියකටය​. ඒවාට සිනාසීමෙන් ද කොළුවන් සර්ව ප්‍රකෝප කලේය​. වරක් කෘෂිකර්ම ගුරුතුමා සෝගම් වගාවෙන් වැඩි එලදාවක් ලබා ගැනීමට නිකව් සහ සුපෆ් ෆොෆ්ෆේෆ් ගස් වලට දැමිය යුතු බව කීවේය​. නිකව් සහ සුපෆ් ෆොෆ්ෆේෆ් කුමන අන්දමේ රසායනිකයන් දැයි තේරුම් ගැනීමට අපහසු වූ අප ඒ පිළිබඳව දැනමුත්තන් ගෙන් විචාලෙමු. පසුව හෙලි වූයේ නිකව් යනු නිකල් සහ සුපෆ් ෆොෆ්ෆේෆ් යනු සුපර් ෆොස්ෆේට් බවයි.

krushikarma

මේ නිසා කොල්ලන් පස් වන මහලේ තිබූ අට -ඩී පන්තියට එ්මට පඩි නගින  කෘෂිකර්ම සර්ට උඩ තට්ටුවේ සිට බොහොඞා හෝ නිකව් කියා හෝ සුපෆ් ෆොෆ්ෆේෆ් කියා කෑගසා සැඟවුනහ​. නමුත් ඊතලයක් සේ පන්තියට එන කෘෂිකර්ම සර් ඉගැන්වීම පටන් ගන්නේ සැකකරුවෙකුට නෙලීමෙනි.

සමහර දින වලට අපට කෘෂිකර්ම පාඩමට ප්‍රායෝගික වැඩ තිබුනේය​. එවිට අප උදලු කරට ගෙන කොරටුවට ගියෙමු. මේ කොරටුව තිබුනේ නාලන්දාරාමයත්  ප්‍රභාත් කඩයත් අතරය​. අක්කර කාලක් පමණ වූ එම භූමිය ශුද්ධ කොට අප ලවා බටු, තක්කාලි වැනි භෝග වැවූ කෘෂිකර්ම ගුරුතුමා අස්වැන්න අපටම වික්කේය​.

මෙය ශ්‍රමය සූරාකෑමක් බව කියූ සීවලී පෙරේරා වරක් බ්ලේඩ් තලයක් සඟවාගෙන විත් කෘෂිකර්ම ගුරුතුමාට  නොපෙනෙන සේ පීදුණු වම්බොටු වල සිරස් ඉරි කැපුවේය​. තම එලදාව විනාශ කල කොළුවා අල්ලා ගැනීමට කෘෂිකර්ම ගුරුතුමාට නොහැකි විය​. කෘෂිකර්ම ගුරුතුමාගේ පෝරියල් එකෙන් බේරුනු  සීවලී   ඉන් මාස අටකට පමණ පසු පවුලේ උදවිය සමග එංගලන්තයට සංක්‍රමණය කලේය​

වම්බොටු කේස් එක නිසා උරණව සිටි කෘෂිකර්ම ගුරුතුමා තවත් ඇවිස්සීම සඳහා   හසිත කරුණාරත්න  ටිකි ටිකිස් ගාන කුඩා යකඩ සෙල්ලම්  භාන්ඩයක්   තම පාවහන් යට තබා සර් පන්තියේදී නිදි කිරන විට තම පාදය වරින් වර තද කොට ටිකි ටිකිස් හඞ නැංවූයේය​. නිදි කිරන ගුරුතුමා වරින් වර ටිකි ටිකිස් හඞට ගැස්සී ඇහැරෙයි මෙයින් කොල්ලන් අමුතුම වින්දනයක් ලබති.

මෙවර ගුරුතුමා නිදන බවක් පෙන්වා එක ඇසක් ඇර සෝදිසිව සිට ටිකි ටිකිස් හඞ නංවන හසිත කරුණාරත්නව බෙල්ල මුලින් අල්ලා ගත්තේය​. හසිත කරුණාරත්නට එදා ගුටි මල් හතක් ලැබුණු අතර භයානක ක්‍රීඩාවක් නරඹන්නාක් මෙන් සෙසු ළමෝ මේ උද්වේගජනක ක්‍රියාදාමය වින්දනය කලෝය​.  (හසිත කරුණාරත්න දැන් එංගලන්තයේ ජීවත් වේ)

වරක් කෘෂිකර්ම ගුරුතුමා පන්තියට ඒමට ප්‍රමාද විය​. මමත් ක්‍රිකට් ක්‍රීඩක කපිල විදාණරාළත් ඩෙස්ක් එකට ගසමින් සිංදු කීවෙමු. ඒ අතර දීපාල් ඔන්න බොහොඞා එනවෝ කියා කලබලයෙන් දිව විත් තම පුටුවේ වාඩිවී කෘෂිකර්ම පොත පෙරලාගෙන එදෙස නෙත් යොමාගෙන සිටියේය​. මෙවැනි බොරු බියවැද්දීම් දීපාල් නිතර කල හෙයින් එය ගනනකට නොගෙන අප දෙදෙනා තවත් හයියෙන් ගීතය කීවෙමු. ඒ අතරදී  කෘෂිකර්ම සර් පන්තියට පැමිණ මමත් කපිල විදාණරාළත් කළු ලෑල්ල ඉදිරියට ගෙන්වාගෙන පන්ති නායකයාට තිලකරත්න සර්ගේ වේවැල ගෙන එන ලෙස නියම කලේය​.

තිලකරත්න සර්ගේ වේවැල දිගු මහත වේවැලකි. එය ඇසීමෙන් අප දෙදෙනාට හීන් දාඩිය දැමීය​. එදින අප තිලකරත්න සර්ගේ වේවැලේ රස එපා වන තුරු වින්දෙමු. මේ ගුටිකෑමෙන් වසර 26 කට පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන්ට යුද ආතතිය ගැන දේශනයක් කිරීම සඳහා 2006 වසරේදී මම පනාගොඩ කඳවුරට ගියෙමි. දේශනය අවසානයේදී මේජර්වරයෙකු වූ කපිල විදාණරාළ මට හමු විය​. අප දෙදෙනාම එක වරම එකිනෙකාගෙන් ඇසුවේ මතකද එදා බොහොඞා ගෙන් අපි දෙන්නා කාපු කෑම කියාය​. වසර 26 පසු එය රසවත් කෑමක්  බවට පරිවර්තනයව තිබුනේය​.

කෘෂිකර්ම ගුරුතුමා සබැඳිව තවත් යමක් මට මතක් වේ. වරක් කොල්ලන් වාර විභාගයට කෘෂිකර්ම විෂයට දුන් ලකුණු මදි බව කියා කෘෂිකර්ම සර් වෙත මැසිවිලි ඉදිරිපත් කළහ​. කොල්ලන් ගේ මැසිවිලි වලට සාවධානව සවන් දුන් කෘෂිකර්ම ගුරුතුමා කෘෂිකර්ම විශයට  ලකුණු අඩු ළමුන්ට කෘෂිකර්ම කාමරයට එන ලෙස කීවේය​. සතුටින් පිරී ගිය සිසුන් කෘෂිකර්ම උත්තර පත්තරද ගෙන තවත් වැඩිපුර ලකුණු ලබා ගැනීමට කෘෂිකර්ම කාමරයට රොක් වූහ​. කොල්ලන් ගෙන් කෘෂිකර්ම කාමරය පිරුණු විට කෘෂිකර්ම ගුරුතුමා කෙටි කොසු මිටකින් කොල්ලන්ට නොමසුරුව බෙදුවේය​. කොසු මිට පාරවල් කෑ කොල්ලලෝ හිස් ලුලූ අත දිව ගියහ.

පාසල් ළමුන්ට පහර දීම හොඳ නැත​. නමුත් මේ පහරදීම් අපගේ ගතට විනා මනසට හාණියක් නොකරේ අප තුල තිබූ  ස්පාඤ්ඤ  ගොන් පොර මානසිකත්වය නිසා බව සිතමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress