ඉන්දියාවට හා එංගලන්තයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය
Posted on January 4th, 2016

නලින් ද සිල්වා

 ආණ්ඩුව කලින කියා සිටියේ නව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම සඳහා සමස්ත පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරන බව ය. ඒ ව්‍යවස්ථා විරෝධී බව අපි පසුගිය 30 වැනි දා රිවිර පත්‍රයෙන් පෙන්වා දුන්නෙමු. ඒ අතර ආණ්ඩුවේ පිරිසක් තම මතය වෙනස්කරගෙන ඇති බව පෙනෙයි. ජනවාරි 9 වැනි දා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට බලාපොරොත්තු වන බව කියන යෝජනාවෙන් කියැවෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විසිඑක්නෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන බව ය. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයකු බව කියන රාජ්‍ය ඇමතිවරයකු ද නොවූ මන්ත්‍රිවරයකු කියන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කරනු විනා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකරන බව ය. ඒ අතර ඔහු මුළු පාර්ලිමේන්තුව ම කාරක සභාවක් කිරීමක් ගැන ද කතාකරයි. එයට අමතරව ආණ්ඩුව මහජන මතය විමසීම සඳහා යැයි කියමින් තවත් කමිටුවක් ද පත්කර ඇත. මේ දෙක ම ඇස්බැන්දුන් ය. එය කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නො වේ. 75 වැනි වගන්තියේ එලෙස කමිටු පිහිටුවීමක් ගැන සඳහන් නො වේ. ආණ්ඩුව ඊනියා ජනමතය විමසීමට තම හෙංචයියලාගෙන් සමන්විත කමිටුවක් පත්කරන්නේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තියක් යටතේ ද?
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්ති විශ්ලේෂණය කිරීමට පෙර මේ ආණ්ඩුව පත්කළේ කුමකට ද යන්න ගැන සුළුවෙන් නමුත් නැවතත් කිව යුතු ය. අප මේ බව කිහිප වරක් ම සඳහන් කර ඇති නමුත් ජාතික ව්‍යාපාරයේ නව පඬිවරුන් ඒ පිළිගන්නා බවක් නො පෙනෙයි. මේ නුතන පඬිවරු කලක් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියෝ ය. ඔවුහු බලය බෙදීම සඳහා සම්මන්්‍රණ පැවැත්්වූහ. රූපවාහිනී විවාද සංවිධානය කළහ. අද ඒකාබද්ධ විපක්‍ෂයට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් නම් එහි නායකයන් බොහෝ දෙනකු කලක් බෙදුම්වාදීන් වීම ය. ඔවුන් තම බෙදුම්වාදී මතය අත්හළේ ඇයි දැයි අපි තවමත් නො දන්නෙමු. එහෙත් ධර්මපාලතුමාට නිකම් ම නිකම් ධර්මපාල යැයි කියන ජාතික ව්‍යාපාරයේ නූතන පඬියන්ට අවශ්‍ය ඔවුන්ගේ බසින් කියන්නේ නම් ජාතික ව්‍යාපාරය මොඩ්” කිරීම ය.
 
මේ අවුල් ආණ්ඩුව පිහිටුවනු ලැබුයේ එංගලන්තයේ හා විශේෂයෙන් ම ඉන්දියාවේ අවශ්‍යතාව පරිද ය. ඉන්දියාවට අවශ්‍ය වෙළෙඳ හා වෙනත් ගිවිසුම් (සීපා නමින් නොවූවත්) ඇතිකිරීම, මුහුදු (හනුමා) පාලම ඉදිකිරීම හා අවසාන වශයෙන් ලංකාව ඉන්දියාවේ ආර්ථ්ික හා දේශපාලන ග්‍රහණයට ගැනීම ය. එහි දී වැදගත් ම කරුණ වනුයේ ඉන්දියාවට අවශ්‍ය තරමට දෙමළ ජාතිවාදයට දොළපිදේනි දීම ය. දෙමළ ජාතිවාදය පාලනය කර තබාගැනීමට ද ඉන්දියාවට අවශ්‍ය වෙයි. නැතහොත් තමිල්නාඩුවට එය බලපා ඉන්දියාවට ප්‍රශ්න ඇතිකරන බව ඉන්දියානු නායකයෝ දනිති. අද ලංකාවේ ඉන්දියාවේ අවශ්‍යතා දෙමළ දේශපාලනයෙහි නියෝජනය කරන්නේ සම්බන්ධන්, සුමන්තිරන්, තොණ්ඩමන් ආදීන් විසිනි. ඔවුන් විවිධ පක්‍ෂවල සාමාජිකයන් වීම ඉන්දියාවට ප්‍රශ්නයක් නො වේ. ඉන්දියාව විග්නේෂ්වරන්ගේ දේශපාලනයට විරුද්ධ ය. විග්නේෂ්වරන් ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල, විශේෂයෙන් ම එංගලන්තයේ සිටින විසිරුණු දෙමළ ජනතාවට අවශ්‍ය අන්දමට ය. ඒ දේශපාලනයේ අරමුණ ඊළමක් පිහිටුවීම ය. එය තමිල්නාඩුවට ද ප්‍රශ්නයක් වනු ඇත. ඉන්දියාවේ අවශ්‍යතා සිංහල දේශපාලනයෙහි නියෝජනය කරන්නෝ ද වෙති. ඔවුහු මැති ඇමතිවරුන් අතර මෙන් ම ඊනියා සිවිල් සමාජයේ ද වෙති.
 
ඒ කෙසේ වෙතත් එ ජා ප හා ශී ල නි ප එකතුකිරීමේ අවශ්‍යතාව ඉන්දියාවට කලක සිට ම පැවතිණි. එයට හේතුව වශයෙන් ඔවුන් දුටුවේ ඉන් එක් පක්‍ෂයක් බලයට පත්වී දෙමළ ජාතිවාදයට දොළපිදේනි දීමට යෑමේ දී අනෙක් පක්‍ෂය විරුද්ධ වීම ය.  එබැවින් පක්‍ෂ දෙක එකතුකර ආණ්ඩුවක් පිහිටුවා දෙමළ ජාතිවාදයට දොළපිදේනි දීම කලක සිට ම ඉන්දියාවේ අවශ්‍යතාව විය. (එහෙත් විසඳීමට යන්නේ යැයි කියන ප්‍රශ්නය මේ යැයි කිසිවකුවත් මෙතෙක් කියා නැත.) අපවත් වී වදාළ සෝභිත හිමියන් සමස්ත ලංකා කාන්තා බෞද්ධ සමිති සම්මේලන ගොඩනැගිල්ලේ 2005 පමණ ඈත කාලයක පැවති රැස්වීමක දී පක්‍ෂ දෙක එකතු කර ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳිය යුතු යැයි දේශනා කර ඇත. උන්වහන්සේ ඊනියා සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටිම පුදුමයක් නො වේ. බෙහෝ දෙනාට අමතක කරුණක් නම් සෝභිත හිමියන් සමග සාධාරණ සමාජයක් ගැන කතාකළ පළමු තැනැත්තකු වූයේ ඌව පළාත්සභාවේ බදුල්ල දිස්ත්‍රික්කයට සංධානයෙන් වෙන් වී තරග කළ පක්‍ෂයක නායකයකු බව ය. සිංහල බෞද්ධයෝ වර්තමානයෙහි පමණක් ජීවත්වෙති. ඔවුන්ට අතීතය අමතක ය. ඔවුන්ට අනුව අනාගතය තවමත් පැමිණ නැත.
 
අගමැති වීමේ සිහිනය බොඳ වී තිබුණු මෛත්‍රිපාල සිරිසේන සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිවිප්ලවයෙන් (ඊනියා ජනවාරි 8 විප්ලවය යනුවෙන් හැඳින්වෙන්නේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිවිප්ලවයකි. එය පනස්හයට විරුද්ධ ව ක්‍රියාත්මක වෙයි. අද අපේකම ගැන කතාකරමින් සිංහල බෞද්ධ සංස්කෘතිය තනපට විප්ලවයෙන් බේරාගැනීමට තැත්කිරීම තම සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිවිප්ලවය අමතක කිරීමට කරන වෑයමක් පමණකි) පසු එ ජා පක්‍ෂයට එකතුවූයේ ශ්‍රී ල නි ප යැයි කියන කොටසකුත් සමග ය. එමගින් ශ්‍රී ල නි පක්‍ෂය මරාදැමුණු බැවින් ඉනදියාව අපේක්‍ෂා කළ පරිදි පක්‍ෂ දෙකේ එකතුවක් ද සිදු නොවිණි. අද ශ්‍රී ල නි පක්‍ෂයේ සිටි පනස්හයේ දරුවෝ ඉන්දියාවේ අවශ්‍යතා පරාජය කිරීමට කටයුතු කරති. ඒකාබද්ධ විපක්‍ෂය වෙන ම දේශපාලන පක්‍ෂයක් පිහිටුවන තුරු ඔවුන් පනස්හයේ දරුවන් ලෙස හැඳින්වීම උචිත යැයි සිතමි. ආණ්ඩුවේ ඇත්තේ ජේ ආර්ගේ දරුවන් ය.
 
අප කතාකළ යුත්තේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ විශේෂඥයා කියන සංශෝධන ගැන ද? පාර්ලිමේන්තුවට නවවැනිදා විවාදයට ඉදිරිපත් කරන යෝජනාව ගැන ද? කිනම් ව්‍යවස්ථාදායක සභාව ගැන ද? මේ ආණ්ඩුවට පැහැදිලි ප්‍රතිපත්තියක් නැත. අයවැය කී වතාවක් සංශෝධනය විණි ද? නවවැනිදා පාර්ලිමේන්තුවේ දී කිනම් යෝජනාවක් විවාදයට ගනිවි ද? අද තකතීරු පුවත්පත් සාකච්ඡා මගින් ක්‍රියාත්මක වන දේශපාලනය ආණ්ඩුවත් (ජේ ආර්ගේ දරුවන්) විපක්‍ෂයත් (පනස්හයේ දරුවන්) වහාම නැවැත්විය යුතු ය. ඒ ඒ සාකච්ඡාවේ දී එක් එක් දේශපාලනඥයා තම මතය ප්‍රකාශ කරයි. ඒ වෙනුවට නිලබලයෙන් ලිඛිත ප්‍රකාශ ජනතාවට ඉදිරිපත් විය යුතු ය. පවත්නා ක්‍රමයෙන් ඊනියා ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ හිතෛෂී දේශපාලනඥයන්ට ප්‍රසිද්ධිය ලබාදීමටත් අකමැති දේශපාලනඥයන්ගේ ප්‍රතිරූප විනාශ කිරීමටත් අවස්ථාව ලැබෙයි.
 
ඒ කෙසේ වෙතත් අපි කතාබහට ලක් වී ඇති ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය සලකා බලමු. ඒ වගන්තියෙන් කියැවෙන්නේ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කිරීමේ බලය ඇති බව ය.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් අහෝසි කිරීමටත් නීති සම්පානය කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇති බව ද ඉන් කියැවෙයි. එහෙත් ව්‍යවස්ථාවෙන් කොටසක් ක්‍රියාත්මක වීම අත්හිටුවීම හෝ අහෝසි කිරීම හෝ කළ හැක්කේ නව ව්‍යවස්ථාවකින් ඒ ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසුව ය. පාර්ලිමේන්තුවේ සියළු පණත් කෙටුම්පත් ගෙන එන්නේ 75 වැනි වගන්තියෙන් පවරා ඇති බලය අනුව ය. කිසියම් පණත් කෙටුම්පතක් ඉදිරිපත් කරන විට ඒ කෙරෙන්නේ 75 වැනි වගන්තිය යටතේ යැයි අමුතුවෙන් කිවයුතු නො වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම හෝ සඳහා කිසියම් ආකාරයක කමිටු පිහිටුවීමට 75 වැනි වගන්තියෙන් බලයක් පැවරී නැත. අනෙක් අතට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ අහොසි කිරීමට හෝ පණත් කෙටුම්පතක් ඉදිරිපත් කරන විට ඒ කරන්නේ 75 වැනි වගන්තිය යටතේ යැයි කිවයුතු නැත. එසේ කිවයුතු නම් ඕනෑම පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී ද ඒ කරන්නේ 75 වැනි වගන්තිය යටතේ යැයි කිව යුතු ය.
 
ආණ්ඩුව මේ අවස්ථාවේ දී පමණක් 75 වැනි වගන්තිය මතක් කරන්නේ ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමට ය. 75 වැනි වගන්තිය පාර්ලිමේන්තුවට බලය පවරන වගන්තියක් පමණ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම කළ හැක්කේ 75 වැනි වගන්තියකට අනුව නොව ව්‍යවස්ථාවේ ඒ සඳහා ම වූ 12 වැනි පරිච්ඡෙදය යටතේ ය. එ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා අනුගමනය කළ යුතු පිළිවෙත් ගැන එකී පරිච්ඡෙදයෙහි සඳහන් වෙයි. ආණ්ඩුව 75 වැනි වගන්තියට මුවා වී 12 වැනි පරිච්ඡෙදයට පිටින් කටයුතු කිරීමේ සැලැස්මක් පවතියි. ඒ පරාජය කිරීම පනස්හයේ දරුවන්ගේ කාර්යභාරය හා වගකීම වෙයි. එහෙත් ඒ ඊනියා පුවත්පත් සාකචඡාවලින් කළ හැකි කාර්යයක් නො වේ.
 
12 වැනි පරිච්ඡෙදයෙහි තුනෙන් දෙකක ඡන්දය ලබාගැනීම පමණක් නොව ව්‍යවස්ථාවෙහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීම හෝ ඉවත්කිරීම හෝ  සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ද එහි 83 වැනි වගන්තියෙහි සඳහන් වෙයි. ඒ වගන්ති අතර  රටේ ඒකීයභාවය, ස්වෛරිභාවය, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය, බුදුදහමට දී ඇති ප්‍රමුඛස්ථානය, සිතිමේ නිදහස, වදහිංසාවලින් නිදහස පිලිබඳ වගන්ති වෙයි. මේ වගන්ති බොහෝමයක් ඉන්දියාවේ ද, දෙමළ ජාතිවාදීන්ගේ ද, සිංහල බෞද්ධ විරෝධීන්ගේ ද, ඊනියා සිවිල් සමාජයේ ද ඇස්වලට කටු අනින වගන්ති වෙයි. ඉතා පැහැදිලිව ම තමන් සිංහල බෞද්ධයකු බව මහ හඬින් කියන පොළොන්නරුවෙන් පැමිණි මෛත්‍රිපාල සිරිසේන පුලස්ති සෘෂිවරයාට මෙන් ම විජයබාහූ හා පරාක්‍රමබාහු රජුන්ට ද ආප්ප කැවීමට සැරසෙයි. ඒ ඉන්දියාවත් ඔහුගේ නව මිතුරනුත් සතුටු කර තවදුරටත් බලයේ රැඳී සිට මීළඟ අගමැති වීමට ය. ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමූ ඔහු මේ සැරසෙන්නේ තනපට විප්ලවය ගැන කියමින් පනස්හයේ පෙරළිය ආපසු හැරවීමට ය. වෛරය විසින් මිනිසකු ගෙන යනු ලබන දුර කෙතෙක් ද?
 
එහෙත් ජනමත විචාරණය තම තමන්ට අවශ්‍ය ආකාරයට සිදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ඉඩක් නැත. ඒ සඳහා වෙනම ම 13 වැනි පරිච්ඡෙදයක් ව්‍යවස්ථාවෙහි වෙයි. ඉහත කී වගන්ති සඳහා ජනමත විචාරණයක් පවත්වන්නේ නම් ඒ එකින් එක ගෙන වෙන වෙන ම ජනමත විචාරණ පැවැත්විය යුතු ය. ආණ්ඩුව සූදානම් වන්නේ එකී වගන්ති හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එක පොදියට ගෙන එක් ජනමත විචාරණයක් පවත්වා ජනතාව මුළා කිරීමට ය.  එයට කිසිසේත් ම ඉඩ නොදිය යුතු ය.
 
නලින් ද සිල්වා
 
2015 දෙසැම්බර් 31

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress