පළාත් පාලන ආයතන අක්‍රිය වීම නිසා ජනතාව අසීරුවේ “දැවී ගිය විදුලි බුබුළක් වත් මාරු කළ නොහැකි තත්වයට පත්වෙලා“ – කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්
Posted on January 5th, 2016

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

නුවරඑළියේ  කානේෂන් මඩකලපුවේ  සිටුවන පරිපාලන ක්‍රමයක් මේ වන විට මෙරට පළාත් පාලන ආයතන රැසක ස්ථාපිත වී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. අද (5) වන දින පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ  බව පැවසීය. මහජනතාවගේ දෛනික ක්‍රියාවලියට  අත්‍යවශ්‍ය වන පළාත් පාලන ආයතන රැසක කටයුතු  මේ වනවිට අක්‍රිය වීම නිසා රටතුළ බරපතල තත්වයක් උද්ගත වෙමින් පවතින බව ඒ මහතා පැවසීය. දිවයිනේ පළාත් පාලන ආයතන රැසක් මේ තත්වය යටතේ නීති විරෝධී අන්දමින් කොමසාරිස්වරුන් යටතට පත්කර ඇති බව ද ඒ මහතා අවධාරනය කළේය.

කසල එකතු කිරීම, මාතෘ සායන, ළමා සායන, ආදී සියලු මහජන කාර්යයන්  සඳහා  අත්‍යවශ්‍ය වන පළාත් පාලන ආයතන අක්‍රිය වීම නිසා මේ වන විට දැවී ගිය විදුලි බුබුළක් මාරු කිරීමට වත්  නොහැකි  වාතාවරණයක් උද්ගත වී ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කලේය.

පළාත් පාලන ආයතන  කොමසාරිස් වරුන් හා පරිපාලන නිලධාරීන්  අතට පත්කිරීම  තුළ  ජනවරම ට පිටුපෑමක් සිදුව ඇති බව ද ඒ මහතා කීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිර්ති තෙන්නකෝන් මහතා

මේ වනවිට පළාත් පාලන ආයතන බහුතරයක් නීති විරෝධි ලෙස පවත්වාගෙන යන්නේ.පොදු මහජනතාවගේ සියලු කාර්යයන් වලට මැදිහත් වන ඒ කාර්යයන් පවත්වාගෙන යාමට උපකාරී වන  මේ පළාත් පාලන ආයතන  ප්‍රජාතන්ත්‍ර විරෝධි විදිහට තමයි පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ මහජන නියෝජිතයින්ගේ මැදිහත්වීමකින් තොරව පරිපාලන නිලධාරීන් තමයි මේ ආයතන වල තීරණ ගන්නේ.මේ තත්වය වහා වෙනස් විය යුතුයි. වහාම පළාත් පාලන මැතිවරණය පවත්වලා ජනතාගේ නියෝජනය ස්ථාපිත කළ යුතුයි  

මෙහිදී අදහස් දැක්වු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති කේසර ලාල් ගුණසේකර මහතා පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතන සක්‍රීයව ක්‍රියාත්මක නොවීම නිසා මහජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.පාර්ලිමේන්තුව සහ පළාත් සභාවට මාසයක් වුව ක්‍රියාත්මක නොවී සිටිය හැකි නමුත් පළාත් පාලන ආයතනයකට එලෙස ක්‍රියාත්මක නොවී සිටිය නොහැකි බව ඒ මහතා පැවසීය.මහජන නියෝජිතයින් රහිතව ගන්නා තීන්දු තීරණ මහජනතාවගේ අවශ්‍යතාවන් වලට අනුකූලව ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටළුවක් පවතින බව ද  කේසරලාල් ගුණසේකර මහතා පෙන්වා දුන්නේය.

මහරගම මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නීතිඥ තුෂාර දිසානායක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ මන්ත්‍රීවරු නොමැතිව ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන  මනාලිය නොමැති මඟුල් ගෙදරකට සමාන කළ හැකි බවයි.

මහජනතාවට සේවය කිරීම සඳහා පිහිටුවා ඇති ආයතන මහජන නියොජනයකින් තොරව පවත්වාගෙන යාම නීති විරෝධී බව පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ පළාත් පාලන මැතිවරණයට බාලගිරි දෝෂය වැළඳී ඇති බවයි. වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමය එකඟතාවක් නොමැති වුවද පළාත් පාලන  ආයතන නිසි පරිදි ස්ථාපිත කිරීමේ සටනට තමන් අන් පක්ෂ හා එක්ව සහයෝගය ලබා දෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට මාතර මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක උපුල් නිශාන්ත,බොරලැස්ගමුව නගර සභාවේ හිටපු  නාගරික මන්ත්‍රී අරුණ ප්‍රියශාන්ත,  වලිකාමම් ප්‍රාදේශිය සභාවේ  හිටපු මන්ත්‍රී එස් සුගීධරන් සහ මහරගම හිටපු නාගරික මන්ත්‍රීනි චන්ද්‍රිකා දහනායක ඇතුළු පළාත් පාලන නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2016 ජනවාරි 05 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress