ජවිපෙ ‘බොක්සින් න්‍යායෙන්’ ජනතා සංගමයේ 19ක් මරුට
Posted on February 20th, 2016

ධර්මන් වික්‍රමරත්න

හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලෙන් පසු දේශපාලන සිරකරුවන් 1977 නොවැම්බර් 22 සහ ඒ ආසන්නව නිදහස් කිරීමෙන් පසු ජවිපෙට බාහිරව ක්‍රියාත්මකවූ විවිධ විප්ලවවාදී කණ්ඩායම් සමූහයක් රටතුළ ප්‍රබලව ක්‍රියාත්මක විය. ගාමිණී යාපා ප්‍රමුඛ පෙරදිග සුළඟ ව්‍යාපාරයද, කල්යානන්ද තිරානගමගේ ගිණි පුපුර කණ්ඩායමද, ශන්මුගදාසන්ලාගේ මාවෝවාදී ව්‍යාපාරයද, ටී.බී සුබසිංහගේ බෑනාවූ නිහාල් පෙරේරාගේ දේශ විමුක්ති ව්‍යාපාරයද, 71 කැරළිකරුවන්ගෙන් පිරිසක් එක්වී සිටි ජනතා සංගමයද, මහින්ද වි‍ජේසේකර 1976දී නායකත්වය දෙන ලද මහජන විමුක්ති පක්ෂයද, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ බවට 1976දී පත්වූ ධර්මසේකරගේ මෘතෘභූමි ආරක්ෂක සංගමය ඇතුළු කිහිපයක් ඒ අතර විය.

Dharman Wickremaratneධර්මන් වික්‍රමරත්න විසිනි.

මින් මුල්තැන ගත්තේ 1971 කැරළිකරුවන් 67ක් එක්වී 1977 දෙසැම්බර් 12 වැල්ලවත්තේදී ආරම්භ කල ජනතා සංගමය වේ. ඔවුහු කැරැල්ල තුළ ලැබූ අත්දැකීම්ද, සිරගෙදර තුළ ඇතිවූ විවාදයෙන් ලැබූ ආලෝකයෙන්ද පන්නරයක් ලබා තිබිණි. ජනතා සංගමය ප්‍රථමවරට 1978 මැයි දිනයක්ද සැමරූ අතර ජනතා අරගලය නමින් ප්‍රකාශයක්ද එළි දැක්වීය. මින් කලින් සඳහන් කල විප්ලවීය කණ්ඩායම් සහ කල්ලි බොහෝමයක් කැඩී විසිරී ගිය අතර සමහරක් දියවී ‍ගියහ. ජනතා සංගමය මගින් ජවිපෙ බොහෝ වැරදි පෙන්වා දෙමින් ජවිපෙට වෙනස්ව දෘෂ්ටිමය, දේශපාලනමය, සංවිධානමය අතින් කටයුතු කරමින් ඉදිරියට ගියේය.

dharman2002160271 අප්‍රේල් කැරළිකරුවන්ගේ සංසදය ඇරඹූවේද ජනතා සංගමයේ මැදිහත්වීමෙනි.

ජනතා සංගමයේ සාමාජිකයන් සහ හිතවතුන් අතර 300කට ආසන්න පිරිසක් 1986 වන විට සිටි අතර ඉන් ජනතා සංගමයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයින් වශයෙන් කටයුතු කල 1971 අප්‍රේල් කැරළිකරුවන් අතර පහත සදහන් අය සම්බන්ධ වී සිටියහ. සුනන්ද දේශප්‍රිය(මහ නඩුවේ 5 විත්තිකරු), නිහාල් ආනන්ද පෙරේරා(මහ නඩුවේ 19 විත්තිකරුය. සන්නද්ධ අංශයේ ප්‍රමුඛයින් 5 දෙනාගෙන් එක් අයෙකි. අප්‍රිකානු රටක් වන ලෙසෝතෝහි 1983 සිට ජීවත් වේ. කලක් වන තුරුම ජනතා සංගමයට එතෙර සිට අනුග්‍රහය දැක්වීය), ප්‍රේමපාල හේවාබටගේ(මහ නඩුවේ 38 විත්තිකරු), වසන්ත දිසානායක(පොඩි දිසා 71 කෑගල්ල දිස්ත්‍රික් උප ලේකම්වරයෙකි), පැට්‍රික් ප්‍රනාන්දු(පින්දෙණිය පොලිසියට ප්‍රහාර එල්ල කිරීමේ මූලිකයාය), කුරුණෑගල වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග, තඹුත්තේගම කරුණාරත්න(නොච්චියාගම පොලිසියට පහර දුන් අයෙකි), වාරියපොල ජේමිස් ඇතුගල, ජේ සමරතුංග නොහොත් බෝල සමරේ(විල්පත්තුවට පලාගිය කණ්ඩායමේ නායක), වඩුතන්ත්‍රි‍ගේ සිසිල් චන්ද්‍ර(මහ නඩුවේ 14 විත්තිකරු), තුල්හිරියේ එච්.පී ආරියදාස (වරකාපොල පොලිසිය සහ තුල්හිරිය යුධ හමුදා අනු ඛණ්ඩය යටත් කරගත් නායකයාය), හිරියාල ටී.බී. විජේසූරිය, හලාවත නීතිඥ මහින්ද ජයවර්ධන හෙවත් බුලට් මහින්ද(කුලියා‍පිටිය පොලිසියට පහරදුන් කණ්ඩායමේ නායකයෙකි), අකරගම ෂෙල්ටන් වීරසිංහ, බර්ටි රංජිත්(යාපනයේ සිරගෙදර ප්‍රහාරයේ මූලිකයෙකි. 1980 සිට ජර්මනියේ ජීවත්‍ වේ), අනුරාධපුර විජේරත්න රත්නායක හෙවත් කළු විජේ(රාජාංගනය පොලිසියට පහරදීමේ නායකයාය) වේ.

dharman20021603ජනතා සංගමයේ නිල නොවන ඉහළ නායකයින්වූ වමේ සිට, නායක ප්‍රේමපාල හේවාබටගේ(71 මහනඩුවේ 38 විත්තිකරු), න්‍යයාචාර්ය වසන්ත දිසානායක නොහොත් පොඩි දිසා(71 කැරැල්ලේ කෑගලු දිස්ත්‍රික් උප ලේකම්) සහ බහුජන සංවිධාන සම්බන්ධීකාරක පැට්‍රික් ප්‍රනාන්දු(71 පින්දෙණිය පොලිසියට ප්‍රහාර එල්ල කිරීමේ මූලිකයා).

එමෙන්ම ජනතා සංගමයේ සාමාජිකයන් අතර ගොනුවී සිටි 1971 අප්‍රේල් කැරැළිකරුවන් අතරින් තවත් පිරිසක් මෙසේය. තලාතුඔය සෙනෙවිරත්න, විල්බට් පෙරේරා, කෑගල්ලේ ඥානතිලක විජේසිංහ, උතුවන්කන්දේ ටී.කේ. සේනාරත්න නොහොත් ඉලුක්, කොට්ටේපොල විමලසිරි නවරත්න, නන්දසේන සිල්වා, කෑගල්ලේ උදේනි බන්දුල, කැගල්ලේ විපුලසේන, පාලිත චාම්දාස්, මහරගම කීර්ති විජේසිංහ, මොණරාගල ප්‍රේමසිරි ගමගේ, කෑගල්ලේ සරත් ප්‍රනාන්දු, කුරුණෑගල වදුරැස්සගම ගුණපාල පතිරාජ, අටාල සෝමතිලක, හලාවත ටෙනිසන් ලියනාරච්චි, මිල්ටන් ලියනාරච්චි, වරකාපොල නියදුරුපොල ගුණතිලක, හිගුරක්ගොඩ එම්.කේ. ජයතිස්ස නොහොත් කවුඩුල්ලේ ජයතිස්ස, කෑගල්ලේ හේමමාලී විජේසිංහ, කෑගල්ලේ දයාරත්න රණතුංග, රුවන්වැල්ලේ පොඩි දයාරත්න, දැදිගම ජී. කුලරත්න, නෙළුම්දෙණියේ ධර්මදාස, කුලියාපිටියේ මතව ජයතිලක, වාරියපොල පොල්පිතිගම නීල් ‍මුහන්දිරම්, වාරියපොල රත්නායක, කුරුණෑගල කහගල්ල පවුලේ සුනිල්, නිමල්, දයා, ලේලන්ඩ් පියදාස ඇතුළු පවුලේ සැවොම, රඹුක්කන ස්වර්ණා ප්‍රනාන්දු, රිදීගම ප්‍රේමචන්ද්‍ර, බඩල්ගම දෙල්වතුරේ කරූ සහ බර්ටි ඇතුළු පවුලේ අය, පොළොන්නරුවේ සරත් විජේසිංහ, ගාමිණී රණසිංහ, කොස්ගම ප්‍රේමරත්න, පොල්ගස්ඕවිට ප්‍රේමසිරි, මහරගම රංජිත් ජයසූරිය, දිවුලපිටියේ ජගත් සිරිවර්ධන, ගලේවල සිරා, මොණරාගල රංජිත් කොණ්ඩදෙණිය, හලාවත පී.එච් කමලරත්න නොහොත් ටොපි කමල්, පොතුහැර සෝමසිරි‍ දේශප්‍රිය, වේයන්ගොඩ ගාමිණී රණසිංහ, කෑගල්ලේ කාන්ති ඇතුළු කිහිප දෙනෙක්ම වේ.

dharman20021604.ජනතා සංගමයේ නියමුවන් අතර සිටි 71 අප්‍රේල් කැරළිකරුවන්වූ සුනන්ද දේශප්‍රිය, වඩුතන්ත්‍රිගේ සිසිල්චන්ද්‍ර, සරත් ජස්ටින් ප්‍රනාන්දුද, ජනතා සංගමයේ හිතවතුන් අතර සිටි 71 කැරළිකරුවන්වූ කෙලී සේනානයක, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ලයනල් බෝපගේද(ජවිපෙ 1983 ජුලි තහනමින් පසු), 71 කැරැල්ලට සහභාගි නොවූවද ජනතා සංගමයේ දිරිමත් කිරීමට උරදුන් මහාචාර්ය කුමාරි ජයවර්ධන සහ එන්.ජී.ඕ නායිකා සුනිලා අබේසේකරද, ජවිපෙන් බිලිගත් නන්දසේන සිල්වාගේ තිරස්චින ඝාතනය නිරතුරුව හෙළිදරව් කරන ඔහුගේ දියණිය වන ජර්මනියේ පදිංචි රුවන්දි සිල්වා.(ඉහළ වමේ සිට).

ජනතා සංගමයේ සාමාජිකයන් නොවූවද හිතවතුන් වශයෙන් එයට 1978 සිට 1990 දක්වා කාල වකවානුව තුළ වරින්වර සහාය දැක්වූ 1971 අප්‍රේල් කැරළිකරුවන්වූ  ලයනල් බෝපගේ(මහ නඩුවේ 2 විත්තිකරු), කෙලී සේනානායක(මහ නඩුවේ 26 විත්තිකරු), නයනානන්ද විජේකුලතිලක(මහ නඩුවේ 39 විත්තිකරු), මහාචාර්ය ජයදේව උයන්ගොඩ, පියදාස මදරසිංහ, නාවික හමුදාවේ සේවය කල සුළු නිලධාරි උපාලි කුරේ, පියසිරි කුලරත්න බණ්ඩා, ලක්ෂ්මන් මහදූවගේ, මහින්ද විජේසේකර, බටපොල අතුල, ඇලඩින් සුබසිංහ, ලක්ෂ්මන් ජයපති මුණසිංහ නොහොත් පොඩි ලකී, චුකී ප්‍රේමරත්න, මෙරිල් ජයසිරි, විමලගුණේ, ජේ ජයකොඩි, පිලිමතලාවේ ජයතිස්ස කුමාර, මරදානේ ජයතිලක,  මෝදර විල්ෆඩ් ඇන්තනි සහ මත්තේගොඩ විජය උදුපිටිය ඇතුළු කිහිප දෙනෙක්ද විය.

dharman20021605ජනතා සංගමයේ මතවාදය පෝෂණය කිරීමට සහාය, යටිතල පහසුකම් සහ අනුග්‍රහය ලබාදුන් බවට ජවිපෙ චෝදනාකල කතෝලික පූජකවරුන්වූ(වමේ සිට) කුරුණෑගල දේවසරණ කේන්ද්‍රයේ යොහාන් දේවානන්ද පියතුමා, මරදාන සමාජීය සහ සාමාජික කේන්ද්‍රයේ තිස්ස බාලසූරිය පියතුමා, මහනුවර සත්‍යතෝදය ආයතනයේ පෝල් කැස්පස් පියතුමා සහ බුත්තල ‘සුබසෙත් ගෙදර’ මයිකල් පෝල් රුද්‍රිගූ පියතුමා(ජවිපෙ මගින් 1987 නොවැම්බර් 10දා මයිකල් පියතුමා ඝාතනය කරන ලදී).

ජනතා සංගමයට 80 දශකයේදී හිතවතුන් වශයෙන් සුවිශේෂි දායකත්වයක් ලබාදුන් පිරිස අතර අතිපූජ්‍ය බටපොල අනෝමදස්සි හිමි, චාල්ස් අබේසේකර, කුමාර් රූපසිංහ, නීතිඥ එස්.ජී. පුංචිහේවා, සුනිලා අබේසේකර, මහාචාර්ය කුමාරි ජයවර්ධන, ජෝ සෙනෙවිරත්න, නිතිඥ ඒන්ස්ලි සමරජීව, කුමුදුනී සැමුවෙල්, රාධිකා කුමාරස්වාමි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, එස්. බාලක්‍රිෂ්නන්, රෙජී සිරිවර්ධන, සේපාලි මායාදුන්නේ, ගොවියා කර්තෘ චන්ද්‍රසේකර දොඩාවත්ත, පද්මිණී පල්ලියගුරු ඇතුළු පිරිසක් විය. ජනතා සංගමයට සහාය දැක්වීමට 71 කැරැල්ලට සහභාගි නොවූ පිරිසක්ද  80 දශකයේ මුල් භාගයේදී එහි සාමාජිකයන්වූ අතර අකුරැස්සේ සුනිල් ගරුසිංහ, මොරටු සරසවියේ ජයවර්ධන දිසානායක, මොණරාගල පැලෑලේ උදේනි විජිත නන්දසිරි නොහොත් කළු පුංචි ඇතුළු කිහිප දෙනෙක්ම ඒ අතර විය.

ජනතා සංගමයේ නිල ‍නොවන ඉහළ නායකයින් වූයේ ප්‍රේමපාල හේවාබට‍ගේ (නායක), වසන්ත දිසානායක(න්‍යායචාර්ය) සහ පැට්‍රික් ප්‍රනාන්දු (බහුජන සංවිධාන සම්බන්ධීකාරක)ය. අප්‍රේල් කැරැල්ල මහ නඩුවේ 38වැනි විත්තිකරු වූ ප්‍රේමපාල හේවාබටගේට 1964දී සරසවි ප්‍රවේශයට ඉගෙන ගනිමින් සිටියදී විජේවීර හමුවිය. කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව සිටි ප්‍රේමපාලට වඩා මාස 11කින් විජේවීර වැඩිමහල් විය. හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවල ජවිපෙ අධ්‍යාපන පන්ති පැවැත්වීමේ ප්‍රධානියෙකුවූ ප්‍රේමපාල වැලිසර නාවික සහ හෝමාගම හමුදා කඳවුරුවල සාමාජිකයින්ටද පන්ති පැවැත්වූවෙකි. කැරැල්ලේ පරාජයෙන් පසු 1971 අප්‍රේල් 8වැනිදා මාතලේ ලෙනදොර කඳවුරට එක්වූ ඔහු විල්පත්තුව ඇතුළු රටපුරා සැඟවී සිටි ජවිපෙ සාමාජිකයින් සම්බන්ධීකරණය කරමින් සිටියදී 1972 නොවැම්බර් මස 3වැනිදා ගාමිණී බාස්ගේ ඔත්තුවක් අනුව ගෙලිඔයේදී අත්අඩංගුවට පත්විය. මහ නඩුවේදී වසර 5ක සිර දඬුවමක් ලැබූ අතර පසුව 1977දී සියළු සිරකරුවන් සමඟ නිදහස් විය. ප්‍රේමපාල අවාහවී සිටියේ ජවිපෙට සම්බන්ධවී සිටි විජිතා සමඟය.

dharman20021606ජවිපෙ මගින් 1988 ජනවාරි 11වැනිදා හිසට වෙඩිතබා ඝාතනය කල ජනතා සංගමයේ නියමුවෙකුවූ කුරුණෑගල ජේමිස් ඇතුගලගේ දේහය සහ ඔහු.

පේරාදෙණිය සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී සරත් විජේසිංහ මගින් 1968දී ජවිපෙට එක්වූ වසන්ත දිසානායක 1971 කෑගල්ල දිස්ත්‍රික් උප ලේකම්වරයාය. කෑගල්ල පොලිසියට 71 අප්‍රේල් 5වැනිදා පහරදීමට එක්වූ වසන්ත කෑගල්ල බලපත්තාව මූලස්ථානය කරගත් කැරළිකරුවන්ගේ ස්ථාවර හමුදාවක් ගොඩනැගීමට දායක විය. පසුව විල්පත්තුවට පසුබැස ගිය ඔවුහු 1971 ජුනි මස ඉගිනිමිටියේදී හමුදා අත්අඩංගුවට පත්විය. ඔහුගේ සරසවි පෙම්වතිය සහ කැරළිකාරිනියකවූ සුජාතා හඳගම නාරම්මල මැදගොඩදී හමුදා වෙඩි පහරකින් මියගියේ 1971 මැයි 13වැනිදාය. වසර දෙකක සිර දඬුවමක් ලැබීමෙන් පසු 1977 දෙසැම්බර් මස නිදහස්වූ වසන්ත පසුව අවාහ වූයේ පාසැල් ශිෂ්‍යාවක වශයෙන් 1969දී ජවිපෙට එක්වී විල්පත්තු කැලයට පසුබැස ගිය කණ්ඩායමේ හේමමාලි විජේසිංහ නොහොත් ජුලියට් සමඟය. ජුලියට් හේමමාලිගේ වැඩිමහල් සොහොයුරා කැරැල්ලේදී මියගිය කෑගල්ල දිස්ත්‍රික් නායක සරත් විජේසිංහවූ අතර පොඩි අයියා වූයේ නාරම්මලදී හමුදා වෙඩි ප්‍රහාරයකින් මියගිය බුලත්කොහුපිටිය භාරව සිටි ජස්ටින්ය.

dharman20021607ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරළිකරුවන් පිරිසක් ග්‍රාමීය ප්‍රදේශයකදී.

වාමාංශික පවුලකට උරුමකම් කියන පැට්‍රික් ප්‍රනාන්දුගේ පියා දේශීය වෛද්‍යවරයෙකි. ඔහුගේ පුතුන්වු විමල්, සරත් සහ පැට්‍රික් යන තිදෙනාම 71 කැරැල්ලට සම්බන්ධ විය. කැගලු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු ගම්පහ ආයුර්වේද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී 1968දී ජවිපෙට බැදී 1969දී පූර්ණකාලීනයෙක්වූ පැට්‍රික් ප්‍රනාන්දු 71 කැරැල්ලේදී පින්දෙණිය පොලිසියේ ප්‍රහාරයක් එල්ල කිරීමේ මූලිකත්වය දැරීය. බෝල සමරේගේ නායකත්වයෙන් 1971 අප්‍රේල් 8 විල්පත්තුවට පසුබැස ගිය කණ්ඩායමට අයත්වූ පැට්‍රික් 1971 අප්‍රේල් 21වැනිදා වෙඩි වැදීමෙන් පසු බඹරගලදී හමුදා අත්අඩංගුවට පත්විය. නඩුවේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ පැට්‍රික් සෙසු දේශපාලන සිරකරුවන් සමඟ 1977 දෙසැම්බර් නිදහස ලැබීය. ඔහුගේ බිරිඳ වූයේ 71 කැරැල්ලට එක්ව සිටි ස්වර්ණාය.

ජනතා සංගමය විසින් රාජ්‍ය නොවන සංවිධාන සාමූහිකයන් රැසක් සමඟ සහෝදරත්වයෙන් වෙලී තම ගමනයෑමට අත්වැල් බැඳ ගත්තේය. ඒ අතර ජාතින් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහු වූ ව්‍යාපාරය(මර්ජ්), රාජගිරිය ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැක ගැනීමේ ව්‍යාපාරය, බොරැල්ල යුක්තිය සහ සාමය පිළිබද කොමිසම, කොල්ලුපිටියේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය, බොරැල්ලේ සෙඩෙක්, රාජගිරියේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, මාවත ප්‍රකාශකයෝ, ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වය, මීගමුව ජනාබෝධ කේන්ද්‍රය, මාලඹේ ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය, නාරහේන්පිට සමාජ විද්‍යාඥයින්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් ඒ අතර වේ. ජනතා සංගමයේ සාමාජිකයින් දේශපාලනය යම් ගැඹුරකින් වටහාගත් කණ්ඩායමක් බැවින් එම රාජ්‍ය නොවන සංවිධාන වලටද ඔවුන් ශක්තියක් විය. එමෙන්ම පෙරළා සිය කෙටි කාලීන ව්‍යාපෘති වලට ඔවුන්ට සම්බන්ධවීමටද අවස්ථාව ලැබිණි.

dharman20021608ඝාතනයට ලක්වු ජනතා සංගමයේ නියමුවෙකුවූ ටී.බිගේ දේහය සහිත අවමඟුල් පෙරහැරේ ප්‍රදේශවාසීන් අවසන් ගෞරව දක්වමින් ගමන් ගත් අයුරු

පාර්ලිමේන්තුවාදය, ප්‍රතිසංස්කරණවාදය සහ ආර්ථිකවාදය පරාජය කිරීම සදහා විප්ලවවාදීන් නිවැරදි ප්‍රතිපත්තියක සිට මැතිවරණවලට සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයට පමණක් නොව අධිරාජ්‍යවාදයට සහ ධනවාදයට හිතැතිව ඒ වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට සම්බන්ධ වන්නේ යම්සේද අධිරාජ්‍යවාදීන් සහ ධනපතීන් ක්‍රියාත්මක කරන එන්.ජී.ඕ. ජාලය තුළ සුබසාධනවාදයට පමණක් කොටු නොවී එම මඩ ගොහොරුවෙහි මුළුමනින්ම නොවැටී ඒවායේ සම්පත් සහ සේවා ජනතාවගේ හෝ ජනතා ව්‍යාපාරයේ ඵල ප්‍රයෝජනය සඳහා  සීමාසහිත දුරකට යොදවා ගැනීම සඳහා ක්‍රියාකිරීම වැරදි නොවන බව ජනතා සංගමයේ මතය විය.

dharman20021609රෝහණ විජේවීර ප්‍රකාශිත 1986 අප්‍රේල් එළිදැක්වූ දෙමළ ඊලම් අරගලයට විසඳුම කුමක්ද? ග්‍රන්ථයේ ජවිපෙ විරෝධී මූලස්ථානයක් ලෙසට නම්කල ජනතා සංගමයට තෝතැන්නක්වූ අක්කර 14කින් යුත් ඉබ්බාගමු‍වේ දේවසරණ කේන්ද්‍රය මෙහි වේ. පසුව 1988/89දී ජවිපෙ තර්ජන වලට ලක්වූ ජනතා සංගමයේ සාමාජිකයින් සහ හිතවතුන්ගේ පවුල් 25ක සහ පුද්ගලයින් 250කට ආසන්න පිරිසකගේ සරණාගත රැකවරණ මධ්‍යස්ථානයක් බවට දේවසරණ පත්විය.

ජනතා සංගමයේ අසූව දශකයේ නිල ‍නොවන මූලස්ථානය වූයේ කුරුණෑගල දේවසරණ සංවර්ධන කේන්ද්‍රයයි. එහි ප්‍රධානීයා වූයේ යොහාන් දේවානන්ද පියතුමාය. කුරුණෑගලින් කිලෝමීටර් 8ක් පමණ ඔබ්බෙන් පිහිටි ඉබ්බාගමුවේ 1960 දශකයේ අවසාන භාගයේදී දේශීය ඌරුව අනුව සැකසුණු ක්‍රිස්ත්‍රියානි ආරාමයක් වන දේවසරණාරාමය බිහිවී එහි ආරාමයක පැවැත්ම සහ සේවාව ඉටුවිය. ඉඩම් ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලයත් සමඟ එය 1970දී විවෘත ජනතා කමිටුවක් මගින් බාහිර ලෝකයත් සමඟ පෝෂණය වෙමින් දේවසරණ සමූහ ගොවිපොල වූ අතර 1971 කැරැල්ලෙන් පසු නව සමාජයක් සහ නව මනුෂ්‍යත්වයක් බිහිකිරීමේ අරගලයක් සඳහා  සංවර්ධනය, සාධාරණත්වය, විමුක්තිය යන පොදු තේමාව ඔස්සේ ජාත්‍යන්තර කතෝලික සංවිධානවල අනුග්‍රහයෙන් සිය නිම් වළලු පුළුල් කළේය. ක්‍රිස්ත්‍රියානු කම්කරු සහෝදරත්වය, අවුට්ලුක් වැනි සංවිධාන මෙන් දේවසරණද සමාජ කණ්ඩායම් අතර නව ආකල්පයක් ගොඩනැගීමට උත්සුක විය. දේවසරණාරාමය පසුව දේවසරණ සංවර්ධන කේන්ද්‍රය බවට පත්විය. රාජගිරියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ(එම්.ඩී.ඩී.ආර්) කාර්යාලය ජනතා සංගමයේ කොළඹ සම්බන්ධීකරණ කාර්යාලය බවට  අසූව දශකයේ මුල් භාගයේ සිට පත්විය. නුවර සත්‍යතෝදය, මරදාන සමාජීය සහ සාමයික කේන්ද්‍රය ඇතුළු ස්ථාන කිහිපයක් ඔවුන්ගේ සහෝදරාත්මක මිතුරු සංවිධාන විය.

dharman20021610මෙටා ඉන්ටර්නැෂනල් බහුජාතික සමාගමේ ‍ඉඩම් කොල්ලයට එරෙහිව ජනතා සංගමයේ අදිසි නායකත්වයෙන්, සමස්ථ ලංකා ගොවි සම්මේලනයේ මැදිහත්වීමෙන් සහ ඝාතනයට ලක්වූ මොණරාගල ගොවි නායක ආනන්ද වීරකෝන්ගේ මෙහෙයවීමෙන් 1986දී පැවති විශාල ගොවි උද්ඝෝෂණ පෙලපාලියක්.

දේවසරණය කේන්ද්‍රකරගෙන ආරම්භවූ ප්‍රගතිශීලි කාන්තා පෙරමුණ ජනතා සංගමයේ සෙවන සහ මඟපෙන්වීම යටතේ ආරම්භවූ ව්‍යාපාරයකි. දොරවේරුවේ තිලකා හේරත්, වාරියපොල මැණික් දේශප්‍රිය, සුමිකා සහ වයලා පෙරේරා, පොල්පිතිගම දයා කහගල්ල, රිදීගම භද්‍රා වික්‍රමසිංහ, කෑගල්ලේ කාන්ති එහි නියමුවන් අතර විය. පසුව එය කාන්තා සංවර්ධන පදනම නමින් ස්ත්‍රී ව්‍යාපාරය තුළ එන්.ජී.ඕ සංවිධානයක් ලෙස ආයතන ගත විය. එඩ්වඩ් කාලිංගගේ ජනතා වේදිකාව වීදි නාට්‍ය කණ්ඩායමට සහ ගෝර්කි පුස්තකාලයද ඔවුන්ගේ මෙවලම් විය. යාපහුව දොරවේරුවේ සිට කුඹුක්ගැටය හරහා පොල්පිතිගම දක්වා 50ක පමණ කණ්ඩායමක් ටී.බී. විජේසූරියගේ නායකත්වයෙන් ජනතා සංගමය වෙනුවෙන් ක්ෂේත්‍රයේ කටයුතු කළේය. මෙම දේව සරණයේ පුරවැසි වැඩසටහන් වලට ක්‍රිස්තියන් ඒඩ්, බ්‍රෙඩ් ‍ෆොද වර්ල්ඩ්(ලෝකයටම ආහාර), නොවීබ්, ඇක්‍ෆොඩ්, හිවෝස් වැනි ආධාරක ආයතන වල අනුග්‍රහය ලැබිණි. ජර්මනියේ බ්‍රෙඩ් ‍ෆොද වර්ල්ඩ් ආයතනයේ වමට බර නිලධාරියෙකුවූ එන්ග්‍රිච් ඔස්මාන්ඩ් දේශපාලන මුහුණුවරකින් යුත් මෙම වැඩවලට නොමසුරුව සහාය දුන්නේය. රෝහණ විජේවීර 1986 අප්‍රේල් ප්‍රකාශිත දෙමළ ඊලම් අරගලයට විසදුම කුමක්ද? යන ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ ජවිපෙට එරෙහිව පක්ෂය පාවාදී සතුරන් අතරට පැනගිය පුද්ගලයින් ‍සෙඩෙක් වැනි ජාත්‍යන්තර සංවිධානවල මුදල් විශාල වශයෙන් යොදා ගනිමින් කටයුතු කරන ව්‍යාපාරයේ මූලස්ථානය කුරුණෑගල ඉබ්බාගමුවේ දේවසරණ නම් කතෝලික ආශ්‍රමයක රහසිගතව පිහිටා තිබූ බවය.

සමස්ථ ලංකා ගොවි සම්මේලනය 1942 ආරම්භවූ බහුජන සංවිධානයක්වූ අතර එහි ආරම්භක සභාපතිවරයා වූයේ වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහයන්ය. පසුව එහි නායකත්වයට මාඕ චින්තනය පිළිගත් ආරියවංශ ගුණසේකර නායකත්වයට පත්විය. ආරියවංශ 1981දී මියයෑමෙන් පසු සභාපතිවරයා වූයේ කුලරත්න වික්‍රමසිංහය. ගොවි සංවිධානය තුළ බලගතුම කණ්ඩායම වූයේ ජනතා සංගමයයි. සම්මේලනයේ සංවිධායක ලේකම්වරයාද ‍පැට්‍රික් ප්‍රනාන්දු විය. ගාමිණී යාපාගේ කණ්ඩායම මධ්‍යම පළාතේද, නිහාල් පෙරේරාගේ දේශවිමුක්ති කණ්ඩායම උතුරු මැදද, ආරියවංශ ගුණසේකර කණ්ඩායම අනුරාධපුරයේද, කල්යානන්ද තිරාණගම කණ්ඩායම දකුණු පළාතේද, ජනතා සංගමය වයඹ ප්‍රධාන‍ කොටගෙන දිවයින පුරාද කටයුතු කළේය. ලෝක බැංකුවේ සහ ඇමරිකාවේ උපදෙස් මත 1984දී සියළුම වාරිමාර්ග යටතේ ගොවිතැන් කටයුතු සඳහා අක්කරයකට රුපියල් 200ක් වූ නඩත්තු මෙහෙයුම් ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කල අතර එය පරාජය කිරීමට හැකිවූයේ ගොවි සම්මේලනය ගෙන ගිය දැවැත්තම සහ සුවිශේෂි උද්ඝෝෂණය හේතුවෙනි.

dharman20021611භීෂණ සමයේදී කැරළිකරුවන් අතින් ඝාතනයට පත්වූ අයෙකු දුෂ්කර මාර්ගයක් ‍ඔස්සේ ඔසවා ගෙන යන අයුරු.

මෙටා ඉන්ටර්නැෂනල් බහුජාතික සමාගමට උක් වගාව සඳහා මොණරාගලින් ඉඩම් අක්කර 84,000ක් දීමට එජාප රජය තීරණය කල අතර ඒ සඳහා ගොවි ජනයාට අයිති ඔප්පු සහිත ඉඩම් පවරා ගත්තේය. මෙයට එරෙහිව  වෙල්ලස්සේ ගොවි අරගලය ක්‍රියාත්මක කල ප්‍රධාන බලවේගය වූයේ ජනතා සංගමයයි. ජන අරගලය තුළ ජන අරගලයේ අවශ්‍යතාවන් සඳහා මොණරාගල බහුජාතික සමාගමට එරෙහිව ගොවි අරගලයේදි සැලසුම් සහගතව ප්‍රචණ්ඩ අයුරින් ආණ්ඩුවේ සහ බහුජාතික සමාගමේ ප්‍රචණ්ඩත්වයට මුහුණදීමේ අවශ්‍යතාවය ජනතා සංගමය පිළිගෙන තිබිණි. ජනතා සංගමය එයට හේතුවක් සේ දැක්වූයේ විප්ලවවාදී ව්‍යාපාරයක සාපේක්ෂ අවශ්‍යතාවයක් ලෙස සන්නද්ධවීම සහ අවි පුහුණුව පිලිගන්නා බවය. චීන විප්ලවයේ ගොවිජන අරගලයේ මුල්ම ගොවි අරගලයවූ හූනාන් සහ ඉන්දියාවේ නැක්සලයිට් ගොවි අරගලයන්හි අත්දැකීමේ දේශීය තත්ත්වයට ගලපා ක්‍රියාවේ යෙදවීමට ජනතා සංගමයේ දැක්ම විය.

බහුජන අරගල සඳහා පුළුල් පෙරමුණක් ගොඩනැගීම සඳහා ජනතා සංගමය සෙසු සංවිධාන සමඟ එක්වී ගුරු විදුහල් ශිෂ්‍ය අරගලය, ගොවි පෙත්සම් ව්‍යාපාරය, ගල්නෑව ගොවි අරගලය, ජලබදු විරෝධි සටන, සිලිකෝ බයිසිකල් කම්හල් වර්ජනය, මොරටුව සරසවියේ 1979 අරගලය, මිනිපේ කටුපොල් වගාවට එරෙහි අරගලය, කන්තලේ වැව් බැම්ම කැඩී යාමේදී සහන සැලසීමේ වැඩසටහන ඇතුළු බහුජන ව්‍යාපාරයේ වැඩකලද දේශපාලන ගොඩනැගීමක් බිහි ‍නොවීය. ඒවා දක්නට ලැබුණේ කෙටි කාලීන ව්‍යාපෘති ලෙසිනි. ඔවුන් වැපුරූ හේන්වල අස්වැන්න නෙලාගැනීමට හැකිවූයේ වෙනත් පක්ෂ සහ කණ්ඩායම්වලටය.

ජනතා සංගමයේ  14දෙනෙක් 1986 සිට 1988 දක්වා ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය යටතේ නැගෙනහිරදී අවි පුහුණුවද ලබාගත් අතර එයට කැප්ටන් විජේ, ටී.බී, සිරිමෙවන්, නන්දසේන, ෂෙල්ටන්, නවරත්න, විපුලේ ඇතුළු තවත් 7ක් අයත් විය. පළාත් සභාවට තරඟ කල අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සඳහා රජය මගින් ලබාදුන් ගිනි අවි වලින් ආත්මආරක්ෂාව සඳහා පමණක් ප්‍රහාරකයින්ට ප්‍රතිප්‍රහාර එල්ලකල යුතු බව අදහසේ ජනතා සංගමය සිටියහ. ආණ්ඩුවේ ආරක්ෂක හමුදා සහ ප්‍රා වැනි අර්ධ මිල්ටරි කණ්ඩායම් සමඟ ජවිපෙ වනසා දැමීමේ මෙහෙයුමක ජනතා සංගමය සෘජුව යෙදී සිටි බවට පිළිගත හැකි සාධක නොමැති වුවද  ඇතැම් ආරක්ෂකයින් ප්‍රහාරය ආරක්ෂාවට හොඳම මග යැයි සිතා ඇතැමුන්ගේ අනුදැනුම ඇතිව සතුරන් හඹා ගිය අවස්ථාවන්ද නැත්තේ නොවේ.

dharman20021612සමස්ථ ලංකා ගොවි සම්මේලනයේ මෙහෙයවීමෙන් ‘ජල බදු නොගෙවමු- සිරගෙවල් පුරවමු’ මැයින් පවත්වන උද්ඝෝෂණයක් පිළිබඳව කැකිරාවේ ගොවි සංවිධාන ක්‍රියාකාරිකයින් 1987 ජනවාරි දැනුවත් කරන දේශවිමුක්ති කණ්ඩායමේ නායක නිහාල් පෙරේරා සහ හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙහි වේ.

වසර 1986 සිට 90 දක්වා ජවිපෙ 2වැනි කැරැල්ලේදී  දෙමළ බෙදුම්වාදයට, ඉන්දීය ආක්‍රමණයට සහ ඉන්දු ලංකා ගිවිසුමට සහාය දක්වන වාමාංශිකයින් ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 18වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. මේ අනුව ජනතා සංගමය ඇතුළු ජවිපෙන් කැඩී ගිය  කල්ලි සහ කණ්ඩායම්ද, ශ්‍රී ලංකා මහජන, කොමියුනිස්ට්, ලංකා සමසමාජ සහ නව සමසමාජ පක්ෂ වහාම ක්‍රියාත්මකවන පරිදි ජවිපෙ විසින් තහනම් කල අතර ඒවායේ නායකයින්ට සහ ක්‍රියාකාරිකයින්ට ඉල්ලා අස්වන ලෙසද නොඑසේනම් දැඩි දඬුවම් විදීමට සූදානම් විය යුතු බවද 1988 ජනවාරි 25වැනිදා නියෝගයක් පැනවීය. ඔවුන් අතුගා දමන ලෙස ජනතාව ගෙන් ඉල්ලමින් 1988 පෙබරවාරි 10වැනිදා නිවේදනයක්ද ප්‍රකාශයට පත් කළේය.

කැරැල්ල නිමාවන විට ජවිපෙ මගින් ඝාතනය කරන ලද 6,577ක් අතුරින් 250කට ආසන්න වාමාංශික දේශපාලන පක්ෂවල නායකයින්, ක්‍රියාකාරිකයින් සහ සාමාජිකයින් අතරින් ජනතා සංගමයේ ක්‍රියාකාරිකයින් ගණන 19කි. එමෙන්ම ජනතා සංගමයේ සාමාජිකයින් නොවන එහි ක්‍රියාකාරින්ගේ හිතවතුන් 5ක්ද මරුමුවට පත්විය. ජවිපෙ මගින් ඝාතනයට ලක්වූ සෙසු වාමාංශිකයින් 250ක පිරිස අතර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 117, ‍කොමියුනිස්ට් පක්ෂයේ 41, නව සමසමාජ පක්ෂයේ 22,  ලංකා සමසමාජ පක්ෂයේ 19, සමාජවාදී සමානතා පක්ෂයේ(පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ) 3ක් සහ සෙසු වාමාංශික කණ්ඩායම්වලට අයත් කිහිප දෙනෙක්ද වේ. ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) 1977න් පසු පිළිවෙත වූයේ ශ්‍රී ලංකාවේ දෙවන බලවේගයට පත්වීම සඳහා ශ්‍රිලනිප සහ සෙසු වාමාංශික පක්ෂ ‘කටුගෙට’ යැවීම ඉලක්ක කරගත් උපාය මාර්ගයකි. එම ‘බොක්සිං න්‍යාය’ යටතේ ‘ශ්‍රිලනිප ගමනක අවසානය’ මැයින් රෝහණ විජේවීර විසින් රටවටා රැස්වීම් මාලාවක්ද පවත්වනු ලැබීය. ඒ අනුව එජාපය සමඟ සටන් වැදීම සඳහා ප්‍රථම වටයේදී ජවිපෙන් ඉවත්වූවනටද, දෙවන වටයේදී වාමාංශික පක්ෂ සහ කණ්ඩායම්වලටද, තෙවන වටයේදී ප්‍රධාන විපක්ෂයවූ ශ්‍රිලනිපයටද ජවිපෙ ප්‍රහාර එල්ල කළේය. එය යම්යම් විරාමයන්ට යටත්ව එජාපයට ආධාරවන දේශපාලන උපාය මාර්ගයක් බවට වර්තමානය දක්වා දිගින් දිගටම පත්ව ඇත්තේය.

ජවිපෙ 2වැනි කැරැල්ලේදී ජනතා සංගමයේ සාමාජිකයින් සහ හිතවතුන්ගේ ප්‍රධාන සරණාගත රැකවරණ මධ්‍යස්ථානයක් වූයේ දේවසරණ සංවර්ධන කේන්ද්‍රය වේ. සරත් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් පවුල් 25ක පුද්ගලයින් 250ක පිරිසක් 1988/89 කාලයේ එහි රැකවරණය ලබා ගත්හ. දේවසරණ මුලපිරුම ලෙසින් හැදින්වූ එම සැකිල්ල අනුව පසුව ජවිපෙ අවදානමට ලක්වු පිරිස් සහ වාමාංශික පක්ෂ එක්වී  එවැනි කඳවුරු රටපුරා ගණනාවක්ම පිහිටුවනු ලැබීය. පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද එහි සිටියහ. එම සෑම මන්ත්‍රීවරයෙකුටම රිවෝල්වරය සහ රිපීටර් තුවක්කු ගත් ආරක්ෂකයින් තිදෙනෙකු සිටි බැවින් නිල ආරක්ෂාවක්ද හිමිවිය. දේවසරණට පහරදීමට ජවිප කැරළිකරුවන් දෙවරක් උත්සාහ කලද එය සාර්ථක නොවීය. වෛද්‍ය රාජා විජේතුංග සභාපතිවු බො‍රැල්ලේ එලියට් පෙදෙසේ අංක 16 පිහිටි ජීවිත සහ පරිසරය සුරකීමේ සංගමයේ(ඔස්ලෝන්) කාර්යාලයද ජනතා සංගමයේ සාමාජිකයින් සහ හිතවතුන්ගේ කොළඹ ආරක්ෂිත තිප්පොලක් විය. එකල එහිදී ජගත් සිරිවර්ධන, උදේනි බන්දුල, ඇන්ටන් මාකස්, සුනන්ද දේශප්‍රිය, ලීනස් ජයතිලක, සමන් වගආරච්චි, මාලනී කුලතුංග, ප්‍රේමා ඇඹුල්දෙණිය ඇතුළු පිරිසක් දැකගන්නට හැකිවිය. රටම අරාජික තත්ත්වයක තිබූ බැවින් ජවිපෙ ප්‍රහාරයක් එල්ලවීමට තිබූ අවදානම හමුවේ සරණාගත කඳවුරුවල ආරක්ෂාව සලසා ගැනීමට ජනතා සංගමයේ ක්‍රියාකාරිකයින්ට එසේ සිදුවිය.

ඝාතනයට ලක්වූ ජනතා සංගමයේ සාමාජිකයින් සහ හිතවතුන් 24 දෙනා අතර ප්‍රථමයෙන් ඝාතනයට ලක්වු වාරියපොල බණ්ඩාර කොස්වත්තේ ජේමිස් ඇතුගල 1969දී ජවිපෙට එක්වූ අතර 1971 අප්‍රේල් කැරළිකරුවෙකි. පුතුන් සිව් දෙනෙකුගේ පියෙකුවූ ඔහු උපන්නේ 1946 පෙබරවාරි 16වැනිදාය. පසුව ජවිපෙන් ඉවත්ව ජනතා සංගමයේ පූර්ණකාලීනයෙකු වෙමින් ශ්‍රී ලංකා මහජන පක්ෂය සමඟද එක්ව වැඩකළේය. ගොවි, කම්කරු, කාන්තා සහ මානව හිමිකම් අයිතීන් පිළිබඳව නොපැකිලිව පෙනී සිටි ජේමිස්ගේ බිරිඳ වූ‍යේ ලීලාවතීය. සමස්ත ලංකා ගොවි සම්මේලනයේ කුරුණෑගල දිස්ත්‍රික් කමිටුවේ නියෝජ්‍ය ලේකම්වරයාවූ ජේමිස් මහජන පක්ෂයේ පඩුවස්නුවර ආසනයේ උපලේකම්ද විය. නිවසට පැමිණි කැරළිකරුවන් ඔහු ඝාතනය කළේ 1988 ජනවාරි 11වැනිදා රාත්‍රී ඔහුගේ නිවසේදීය. ඇතුගලගේ භූමදානය ඉන් තෙදිනකට පසු බණ්ඩාර කොස්වත්තේ ගල්රූන සුසාන භූමියේ ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී. ජේමිස් මියයන විට ඔහුගේ වැඩිමහල් දරුවාට වයස අවුරුදු 11කි. ජනතා සංගමය ආරම්භ කල 1971 අප්‍රේල් කැරළිකරුවන්ගේ සංසදය ඉදිරියට ගෙන යෑම සඳහා  නව පරපුර වශයෙන් ජේමිස්ගේ පුතු දිවාකරද එක්ව ඇත.

හිරියාල තම්බුව දොරවේරුවේ පදිංචි වයඹ පළාත් සභා මන්ත්‍රී ටී.බී. විජේසූරිය ඝාතනය වන විට වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකි. තිදරු පියෙකුවූ ඔහු ජනතා සංගමයේ මුල් පෙලේ නායකයෙකු වශයෙන් පළාත් සභාවට එක්සත් සමාජවාදී පෙරමුණ යටතේ තරඟ කළේ ශ්‍රී ලංකා මහජන පක්ෂය හරහාය. පාසැල් වියේදී ජවිපෙට සම්බන්ධවී 71 කැරැල්ලටද සහභාගිවූ ඔහු වීර පුරං අප්පු ගොවිපොල සහ තඹුව ග්‍රාමයේ ගෝර්කි පුස්තකාලය කරගෙන ගිය අතර ක්‍රියාකාරින් විශාල පිරිසක් ඔහු වටා එක්ව සිටියේය. නැගෙනහිර පළාතට ආ සුළු සුළගින් විපතට පත්වූවන්ට සහ අසූව වර්ජනයෙන් පාරට වැටුනු වර්ජකයන්ට සහන බෙදා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කල අයෙකි.

ඉඩම් නොමැති පවුල් 150කට පළාත් සභාවේන් ඉඩම් ලබාදීමේ ඉඩම් කච්චේරියකට යතුරු පැදි දෙකකින් ක්‍රියාකාරිකයින් තිදෙනෙකු සමඟ යෑමේදී පොල්පිතිගම මාහෝ මැදගල්ලේදී 1988 ඔක්තෝබර් 3වැනිදා ස්වයංක්‍රීය ගිනි අවිවලින් සැඟවී සිට වෙඩි ප්‍රහාරයක් ඔහු සමඟ යතුරු පැදි දෙකෙන් ගමන්කල සිව් දෙනාම කැරළිකරුවන් විසින් ඝාතනයකර තිබිණි.  මෙහිදී ටී.බී. විජේසූරිය සමඟ ජනතා සංගමයේ සාමාජිකයින්වූ ඩී.  විජේසූරිය බණ්ඩා(පොඩි විජේ), ටී. සිරිමෙවන් සහ එම්. සුමතිරත්න ඝාතනයට ලක්විය. මොවුන් සියළු දෙනාම බහුජන සංවිධාන හරහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක දේශපාලන ක්‍රියාකාරකම්වල නියැලී සිටි අය වේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය පාරේ පදිංචි දෙදරු පියෙකුවූ ඩී.එම්. නන්දසේන සිල්වා 1971 අප්‍රේල් කැරැල්ලේ හිටපු ක්‍රියාධරයෙකි. අසූවේ ජුලි වැඩවර්ජකයෙකුවු නන්දසේන ජනතා සංගමයේ ක්‍රියාකාරිකයෙකු ‍වන අතර නිදහස් ගෘහ නිර්මාණ සැලසුම්කරුවෙකි. ජනතා සංගමයේ හිතවතුන් පවත්වාගෙන ගිය සමූහ ගොවිපොලක භාරකරුවෙකුද විය. හමුදා ඇඳුමින් සැරසුණු කැරළිකරුවන් කණ්ඩායමක් 1988 නොවැම්බර් 08 වැනිදා ඔහුගේ නිවසට පැමිණ නිවසේ සියළු දෙනාම යටත් කරගෙන ඝාතනය කරන ලදී. ඔහුගේ ආරක්ෂාව සඳහා නිවසේ ගිණිඅවි සඟවා තිබුණද රජයේ හමුදා කණ්ඩායමක්යැයි සිතා ඔහු ගිනිඅවි භාවිතා නොකළේය. ඔහුගේ නිවසට යාබදව පිහිටි සමූහ ගොවිපොලවල්හි සේවය කල ජනතා සංගමයේ සාමාජිකයන්වූ හොරණ වඩු කාර්මිකයෙකුවූ රෝහණ ජයරත්න සහ මොරටු සරසවියේ ඉංජිනේරු පීඨ ශිෂ්‍යයෙකුවූ එම්. ජයවර්ධන දිසානායක එම ගොවිපොලවල්හි සේවය කල ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකුවූ ජයලත් සන්දමන් සහ ඩී.එල් ජෝෂප්ද ජවිපෙ මගින් මෙහිදී ඝාතනයකර නන්දසේන සිල්වා‍ගේ සිරුර නිවස තුලට දමා නිවස පිටින්ම ගිනිතබා විනාශ කරන ලදී.

ජනතා සංගමයේ නායකයෙකුවු වසන්ත දිසානායකගේ කණිටු සොහොයුරෙකුද වන සරසවි සිසු ජයවර්ධන දිසානායකගේ දකුණු අත කපා වෙන්කර එය සහ නන්දසේන සිල්වාගේ කදින් වෙන්කල හිස නිවසට එන ප්‍රධාන පාරේ ගසක එල්ලා තිබිණි. ජයවර්ධන දිසානායක මොරටු සරසවිය වසා තිබූ හෙයින් මෙම ගොවිපොලේ කටයුතු වලට සහභාගි විය. අවමඟුල් චාරිත්‍ර තහනම්කල හෙයින් පාසැල් නේවාසිකාගාරයේ සිට අධ්‍යාපනය හැදෑරූ දියණියන් දෙදෙනාට එම අවසාන කටයුතු වලට සහභාගිවීමට නොහැකි විය. කණිටු දියණිය වන රුවන්දි සිල්වා වර්තමානයේ ජර්මනියේ වාසය කරන අතර දියණිය රුවන්දි ජර්මනියට ගෙන යෑම සඳහා මුල්වූයේ 71 අප්‍රේල් කැරැල්ලේදී විජේවීර නිදහස් කරගැනීමට යාපනයට ගිය කණ්ඩායමේ සාමාජිකයෙකුවූ බඩල්ගම දෙල්මැල්වතුරේ පදිංචි බර්ටි රංජිත්ය. බර්ටි රංජිත්ගේ පවු‍ලේ සියළු දෙනාම වාගේ ජනතා සංගමයේ හිතවතුන්වූ අතර බර්ටි රංජිත් 1980 ජර්මනියට යෑමේදී  නන්දසේනගේ සහායද හිමිවිය. හෙදියක් වශයෙන් සේවය කරන නන්දසේනගේ වැන්දඹු බිරිඳ පුෂ්පා යළි විවාහ වී සිටී.

දිවුලපිටියේ මඩම්පැල්ලේ සිරිපාල වීරසිංහ(ෂෙල්ටන්) ගොවි සහ කම්කරු අරගල, කාන්තා අයිතීන් හා මානව හිමිකම් ගැන පෙනී සිටි 36 හැවිරිදි දෙදරු පියෙකි. ජනතා සංගමයේ නියමුවෙකි. ජවිපෙ 71 අප්‍රේල් කැරැල්ලට කටාන කෙහෙල්ඇල්ල ප්‍රදේශයෙන් සම්බන්ධවූ ඔහු සිරගෙයින් නිදහස්ව පැමිණ කෝට්ටේ නගර සභාවේ ලිපිකරුවෙකු ලෙස සේවය කරමින් සිටියේය. පසුව 1980 ජුලි වැඩ වර්ජනයට එක්වීම නිසා රැකියාව අහිමිවීමෙන් පසු ජනතා සංගමයේ පූර්ණකාලීනයෙකු විය. කැරළිකරුවන් ඔහුගේ නිවසට 1989 අගෝස්තු 5වැනිදා පැමිණ වෙඩිතබා ඝාතනයකර තිබිණි. නුවර තලාතුඔය සෙනෙවිරත්න(කැප්ටන් විජේ) ජනතා සංගමයේ මුල් පෙළේ ක්‍රියාකරුවෙකි. දෙදරු පියෙකුවූ ඔහු ත්‍රිකුණාමලයේ ඊ.පී.ආර්.එල්.එෆ් කාර්යාලයක සිට කුරුණෑගලට පැමිණීමේදී ස්වයංක්‍රීය ගිනි අවි කිහිපයක් සමඟ රජයේ ආරක්ෂක හමුදාවට කොටුවිය. පසුව වැහැර හමුදා කඳවුරට ගෙන ගිය අතර එහිදී වධ වේදනාවන්ට ලක්වෙමින් අවසානයේදී ඝාතනයට ලක්විය.

ඌව වෙල්ලස්ස ගොවි අරගලයේදී නියමුවෙකු වශයෙන් කටයුතු කල මොණරාගල සියඹලාණ්ඩුවේ ආනන්ද වීරකෝන් දෙදරු පියෙකි. සමූපකාරයේද සභාපතිවූ ඔහු ජනප්‍රිය සමාජ සේවකයෙකි. සමස්ථ ලංකා ‍ගොවි සම්මේලනයේ නායකයෙකු වශයෙන් ගොවින්ගේ ඉඩම් බහුජාතික සමාගම්වලට ගත් අවස්ථාවේදී එය බලහත්කාරයෙන් නතර කරලීමට නායකත්වය දුන්නේය. රජයේ ආරක්ෂක හමුදාවන් මගින් මොහු ඝාතනය කල බවට පුවතක්ද පැතිර ගියේය. පසුව එය ජවිපෙ කැරළිකරුවන් විසින් කරන ලද්දක් බවට පසුව වාර්තා විය. ඉන්දිය ආක්‍රමණයට එරෙහිව ශ්‍රී ලංකාවේ සිටින සියළුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට රටින් පිටවන ලෙස ජවිපෙ නියෝගයක් නිකුත්කල අතර එසේ නොගිය ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ව්‍යාපාරිකයින් 11 දෙනෙක් ඝාතනය කල අතර එයට පැලවත්ත සීනි කම්‍හලේ සේවය කල ඉන්දීය ජාතික නිලධාරින්වූ බන්ෂෝල් අඹුසැමි යුවලද ජවිපෙ මගින් 1988 නොවැම්බර් 23වැනිදා මොණරාගලදී ඝාතනය කරන ලදී. ඒ හා සමාන්තරව ආනන්ද වීරකෝන්ගේ ඝාතනය 1988 දෙසැම්බර් 12වැනිදා සිදුවූයේ දේවසරණ සහ ජනතා සංගමයේ ක්‍රියාකාරකම්වලට ඔහුගේ සෘජුවම මැදිහත්වීම් තිබුණු බවට චෝදනා කරමිනි. දෙදරු පියෙකු වූ ඔහුගේ පුතුන්  පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළේය.

කුරුණෑගල මදුරාගොඩ ආර්.ඩී. ජයසේන දොඩන්ගස්ලන්ද පතල් සේවකයින් සමඟ එක්වී කටයුතු කල උපාධිධාරි ගුරුවරයෙකි. එක්සත් පතල් සේවකයින්ගේ සහයෝගිතා කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් පතල් සේවකයින්ගේ අයිතීන් වෙනුවෙන් නායකත්වය ලබා දුන්නෙකි. ජනතා සංගමය හරහා ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වූ අතර මහජන පක්ෂයේ දොඩන්ගස්ලන්ද ආසනයේ උප සභාපතිවරයෙකි. ජවිපෙ කැරළිකරුවන් විසින් 1988 දෙසැම්බර් 27වැනිදා නිවසට පැමිණ ඔහු රැගෙන ගොස් ලයිට් කනුවක බැඳ වෙඩිතබා ඝාතනය කර තිබිණි. යාපහුව වීර පුරන් අප්පු වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන්වූ ජේ. ඒ මෛත්‍රීපාල ජයවීර, බී සරත් සහ එන්.පී උපාලි ප්‍රේමරත්න කැරළිකරුවන් විසින් ඝාතනය කරන ලද්දේ 1989 පෙබරවාරි 11වැනිදා යාපහුව ආසනයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  කටුගම්පොලපුර ඔවුන්ගේ නිවෙස්වල සිටියදී එම නිවෙස්වලින් එළියට කැඳවාගෙන විත් මහමඟදීය. පසු දිනෙක එම නාට්‍ය කණ්ඩායම සම්බන්ධීකරණ කටයුතු වල නිරත වූ ජනතා සංගමයේ වදුරැස්ස ජී.පී.ඩී. ආනන්දද ඝාතනයට ලක්විය. මින් උපාලි, සරත් සහ ආනන්ද ජනතා සංගමයේ සාමාජිකයන් වූ අතර මෛත්‍රීපාල ජයවීර එහි හිතවතෙකු පමණක් විය. ආචාර්ය ගාමිණී හත්තෙට්ටුව ගමගේ මඟ උපදේශකත්වයෙන් 1975දී ආරම්භවූ මෙම විදි නාට්‍ය කණ්ඩායම ජනතා සංගමය මගින් අසූව දශකය මුල්භා‍ගයේ සිට උද්දීපනය කරන ලද කණ්ඩායමක් වූ අතර මොණරාගල ගොවි අරගලයේදී පමණක් නොව 1982 සිට රටේ විවිධ පළාත් වල ප්‍රගතිශීලි රැස්වීම් සහ පෙළපාලි වලදී වීදි නාට්‍ය ඉදිරිපත් කරන ලද කණ්ඩායමකි. මෙම නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරිකයින් වශයෙන් එඩ්වඩ් කාලිංග, ප්‍රේමසිරි ගමගේ සහ රන්ජන් අබේපාල ඇතුළු කිහිප දෙනෙක්ම කටයුතු කළේය.

මොණරාගල පැලෑලේ උදේනි විජිත නන්දසිරි නොහොත් කළු පුංචි 1978 ජවිපෙට එක්වූ අතර තෙවසරක් පූර්ණකාලීනයෙකු ලෙස සේවය කළේය. ඉන් 1981දී ජවිපෙන් ඉවත්ව ජනතා සංගමය සමඟ එක්වි සමස්ථ ලංකා ගොවි සම්මේලනයේ මහා මණ්ඩලයට පත්වී ප්‍රබල ක්‍රියාකාරිකයෙකු විය. ජවිපෙ තර්ජන හේතුවෙන් ජවිපෙ ඉල්ලීම මස සිය මව සහ සොහොයුරියන්ගේ ආරක්ෂාව පතා ජනතා සංගමයේ සියළු කටයුතු වලින් ඉවත්වූ බව නිවස ඉදිරිපිට බැනරයක් දමා ඉල්ලා අස්විය. එහෙත් කැරළිකරුවන් විසින් නිවසට පැමිණ ඔහු රැගෙන ගොස් වෙඩිතබා ඝාතනය කරන ලදී. උදේනි විජිත සංගමයේ හිතවතුන් වූ එම ගමේම පදිංචි ගොවි ක්‍රියාකාරිකයෙකුවූ ආර්.එම්. විජේසෝම, පාසැල් උසස් පෙළ ශිෂ්‍යයෙකුවූ ඩී.එම්. පුංචිබණ්ඩාර, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙකුවූ එම්.බී. හේරත් යන තිදෙනාම එදිනම කැරළිකරුවන් විසින් ඝාතනය කර තිබිණි.

ෂන්මුගදාසන්ගේ පක්ෂයේ සිටි සාමාජිකයෙකුවූ කෑගල්ල කොට්ටේපොල නවරත්න  පසුව ජනතා සංගමය වෙනුවෙන් වතු කම්කරු ජනයා සංවිධානය කිරීමේ වැඩකටයුතු වලට මැදිහත් විය. ජවිපෙන් ඔහු ඝාතනය කිරීමෙන් පසු කැරළිකරුවන්ගේ නියෝග වලට අවනතව අවමඟුල් කටයුතු සිදුකිරීමට පවුලේ අයට සිදුවිය. මෙයට අමතරව ජනතා සංගමයේ සාමාජිකයන්වූ කැගල්ලේ විපුලසේන ඇතුළු කිහිපදෙනෙක්ද ඝාතනයට ලක්වූවන් අතර විය.

ජනතා සංගමය 90 දශකයේ මුල් භාගයෙන් පසුව බිඳ වැටී අනතුරුව වාෂ්පවී ගොස් එහි ක්‍රියාකාරිත්වය වෙන් වෙන් තැන්වලට අවශෝෂණය විය. එහි සිටි විවිධ අය එන්.ජී.ඕ ක්ෂේත්‍රයේ වඩ වඩා අත්දැකීම් සහ සම්බන්ධතා ගොඩනඟාගැනීමෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන රැසක් බිහි කිරීමට හෝ ඒවාට ක්‍රියාකාරීව දායකවීමට මැදිහත් විය. ඇතමෙකු  සිවිල් සමාජ දේශපාලනයට අවතීර්ණ විය. තවත් පිරිසක් විදේශ රටවල දේශපාලන රැකවරණය ලබා ගත්හ. ජනතා සංගමය පසුව වසන්ත දිසානායක සහ පැට්‍රික් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් දියැස අධ්‍යයන කවය බවට පත්වූ අතර එහි මූල්‍යමය හස්තය‍ වූයේ ජනතා ක්‍රියාකාරිත්වය සඳහා අධ්‍යයන සහ පර්යේෂණ ආයතනයයි. දියැස අධ්‍යයන කවය පසුව ආචාර්ය බාහුගේ නව සමසමාජ පක්ෂය, සිරිතුංග ජයසූරියගේ එක්සත් සමාජවාදී පක්ෂය සහ තම්බයියාගේ නව ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂය සමඟ එක්වී නව වාමාංශික එක්සත් පෙරමුණ බිහිකිරීමට උරදුන්  අතර ඒ යටතේ 1999 දෙසැම්බර් 21 පැවති සිව්වන ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂක නන්දන ගුණතිලකට සහාය පලකළේය. නව වාමාංශික පෙරමු‍ණේ ලේකම් ලීනස් ජයතිලකගේ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් එම සන්ධානයද බිඳ වැටුනේය. දියැස අධ්‍යයන කවයද පසුව ක්ෂයවී ගොස් ජන බලය උදෙසා සාමූහිකය සංවිධානය නමින් 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට සහාය පලකර තිබුණි.

රාජ්‍ය නොවන සංවිධාන සමඟ කටයුතු  විප්ලවවාදී අරමුණුවලට වාසිදායක වෙනවාද, අවාසිදායක ‍වනවාද යන්න තීන්දු වන්නේ එම කාර්යයට මූලික වන පිරිසේ දැක්ම සහ වැඩපිළිවෙල සමස්ථ විප්ලවීය වැඩසටහනක නිශ්චිත කොටසක් ලෙස එම කාර්යය ස්ථානගත කිරීමටත් ඒ සඳහා විනයානුකූලව හැඩගැස්මක් ඇතිකර ගැනීමටත් ජනකොටස්වල පරික්ෂාවට සහ විවේචනයට භාජනය වෙමින් විනිවිදභාවයෙන් කටයුතු කිරීමට ඇති සූදානමත් මතය. එමගින් ඉතිහාසයේ ඔවුනට හිමි තැන ස්ථානගත වනු ඇත.

ජවිපෙ ‍දෙවැනි කැරැල්ලේදී වාමාංශික අදහස් දැරූ 250කට ආසන්න පිරිසක් ඝාතනය කිරීම මතුකර දක්වන්නේ ලොකු කථාවකි. ඒ මතවාදිමය විවිධත්වයන් ඉවසා දරා ගනිමින් පොදු අරමුණ වෙනුවෙන් පොදු සතුරාට එරෙහිව කටයුතු කිරීමේ වැදගත්කමය. ක්‍රමය වෙනස්කල හැක්කේ වඩාත් පුළුල් ජන සහ ඥාණ පදනමකින් යුත් වමේ කඳවුරේ සහ සිවිල් දේශපාලන සංවිධානවල එකතුවෙන් විකල්ප දේශපාලන බලවේගයක් ඇතිවීමෙන් පමණක් බව පසක් කර තිබේ. වසර 1971 අප්‍රේල් 5 ඇරඹුණු ජවිපෙ ප්‍රථම කැරැල්ලට වඩා 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ල වඩා පුළුල්ය. ප්‍රචණ්ඩත්වයද ඉහළය. මර්ධනයද වඩා කෲරය. ජනයා වෙනුවෙන් සටන් කිරීම වෙනුවට ජනයා, සටන් සමඟ එක්කර ගත යුතුය. බලාපොරොත්තු බිඳවැටීම් බොහෝමයක් ඇතුළත නව බලාපොරොත්තු ඉටුවනු ඇත්තේ එවිටය.(1986/90 සමයේ ඝාතනයට ලක්වූ ජනතා සංගමයේ සාමාජිකයින් සහ හිතවතුන් පිළිබදව ඔබ දන්නා ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර.දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])

 

One Response to “ජවිපෙ ‘බොක්සින් න්‍යායෙන්’ ජනතා සංගමයේ 19ක් මරුට”

  1. Christie Says:

    JVP I am sure started with some money from North Korea. Later it received money from India and Indian colonial parasites like any other political movement in the colony of the Indian Empire. When it started in the late fifties and early sixties it was hijacked by the Indian influenced Marxists who went to Russia on scholarships. There were Tamils from Ceylon among those and they had friends and relatives who were studying in the UK.

    UK is a major centre of the Indian Empire.

    Today the Indian Empire is using USA as much as UK. US has the highest number of Hindu extremists outside India followed by UK.

    Thanks Dharman you are doing a great job in writing down these.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress