පෙරදිගට ගමනක් – 25 – නාගාර්ජුන නොතැකූ චිරස්ථිතිය
Posted on August 2nd, 2016

වරුණ චන්ද්‍රකීර්ති

ථෙරවාදී කලාපයේ අපි එකිනෙකා අතර බෙදා හදාගත්ත ප්‍රධාන ම – ඒ වගේ ම වැදගත් ම; දේ තමයි අපේ ආගම. ඒ කියන්නේ ථෙරවාදය. මේ කලාපයේ බෞද්ධ අපි හැමෝ ම මූලික වශයෙන් ථෙරවාදය පිළිගන්නවා. ඒ අනුව කටයුතුකරනවා. දැන් දැන් ඇතැම් අය ඒ සම්බන්ධයෙන් – එහෙම නැතිනම් ථෙරවාදයේ තියෙනවා කියලා ඒ අය හිතන අඩුපාඩු සම්බන්ධයෙන්; විවිධ අදහස් කියන බව ඇත්ත. ඒ කොහොම වුනත්, ඒ අය පවා අඩු වැඩි වශයෙන් ථෙරවාදය පිළිගන්නවා. එහෙම පිළිගන්න ගමන් තමන් දකින දේ, හිතන දේ ගැන කියනවා. මේ විදිහට විවිධ අදහස් තියෙන පරිසරයක අපේ ථෙරවාදය සම්බන්ධයෙනුත් එක එක අර්ථදැක්වීම් ඇතිවෙන එක පුදුමයක් නෙවෙයි. මේ ලිපි පෙළේ කලින් කියපු විදිහට අපි කොහොමත් දැන් බෙදිලා කා කොටාගන්න ජාතියක් බවටත් පත්වෙලානේ. ඒත් වාද විවාදවලට පැටලෙන්නේ නැතිව, පුළුවන් තරම් ගැටුම්වලින් ඈත්වෙලා ඉන්න තමයි මේ ලේඛකයා උත්සාහකරන්නේ. මේ ලිපි පෙළ ලියද්දි අනුගමනය කළ පිළිවෙත තමයි අගය කළ යුතු යමක් කී අය පසසමින් ඒ අය කී දේ ඇගැයීම. ඒ වගේ ම, දොස් සහිතයි කියලා හිතෙන අදහස් ගැන කියද්දී ඒවා කී පුද්ගලයන් ගැන සඳහන් නොකර ඒවායේ අඩුපාඩු ගැන පමණක් කීම. අපි අතර තියෙන මේ බෙදීම් පුළුවන් තරමින් සමහන් කරගන්න ඕන. එහෙම නැතිනම් ජාතියක් විදිහට ඔළුව උස්සන්න අපිට පුළුවන් වෙන එකක් නෑ.

මේ ස්ථාවරය උඩ පදනම් වෙලා, අපේ ථෙරවාදයේ තියෙනවා කියලා කියන අඩුපාඩු ගැන කතාවට අදාළ ව මේ ලේඛකයා යමක් කියන්නේ බොහොම ප්‍රවේශමෙන්. ඒ වගේ ම, මේ දේවල් කියන්නේ කාටවත් රිදවන්නවත්, අගතියක් කරන්නවත් හිතාගෙන නෙවෙයි. අපි අපේ ථෙරවාදී කලාපය ඇතුළේ බෙදා හදාගත්ත පොදු අරමුණක් තියෙනවා. ඒ තමයි අපේ ශාසනයේ චිරස්ථිතිය. ථෙරවාදයත් එක්ක ම මේ කලාපය ඇතුළේ අපි අපේ ශාසනික සම්ප්‍රදායයන් බෙදාගෙන තියෙනවා. බුරුම, කාම්බෝජ, තායි ජනයා මේ සම්ප්‍රදායයන් ලබාගත්තේ අපෙන්. ඒ හින්දා, කලින් ලිපියකින් දෙකකින් කියපු විදිහට ඒ සම්ප්‍රදායයන් ලංකා ශාසනය, සිංහල ශාසනය වගේ නම්වලින් හඳුන්වන්නත් ඒ අය කටයුතු කළා. ඇත්තෙන් ම ඒ අයට සිංහල ශාසනය ඇතිකරන්න සිද්දවුනේ කලින් ඒ අයට ලැබුණු ලංකා ශාසනය දුර්වල වෙලා, පිරිහිලා තිබුණු හින්දා. ඉතින් ඒ අය ආයෙත් අපේ රටට ඇවිල්ලා අපි මේ රටේ රැකගෙන තිබුණු ශාසනික සම්ප්‍රදායයන් ඉගෙනගෙන, ඒ පිළිවත් තම තමන් ගේ රටවල්වලට ඇරන්ගියා. පස්සේ කාලෙක පෘතුගීසි බලපෑම හින්දා අපේ රාජ්‍යය දුර්වලවෙලා, ශාසනයත් පිරිහුනා ම අපිට සිද්දවුනා සියමට, රාමඤ්ඤයට, අමරපුරට ගිහිල්ලා අපේ උරුමය ආයෙත් ඇරන් එන්න.

අපේ වංශකතාවලින් පැහැදිළි වෙන විදිහට, බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන අරමුණ අරිට්ඨ කුමාරයා පැවිදි කරවීමේ අවස්ථාවේ දී ම පනවාගත්ත එකක්. මේ අරමුණ හොඳින් ම ප්‍රකාශයට පත්කළේ ගැමුණු කුමාරයා විසින්. තමන් එළාර සමඟ යුද්ධයට යන්නේ රජ සැප පිණිස නොවන බවත්, බුද්ධ ශාසනයා ගේ චිරස්ථිතිය පිණිස බවත් එතුමා කිව්වා. අටුවාචාරීන්වහන්සේලාට පවා තිබුණේ මේ අරමුණ. ඒ බව උන්වහන්සේලා මෙහෙම කිව්වා. ථෙරීය වංශයට පහන් බඳු වූ විනිශ්චයෙහි මැනැවින් නිපුණ වූ මහා විහාරවාසී තෙරවරුන්ගේ දහම නො ඉක්මවමින්, සුදනන් ගේ සතුට පිණිස ද ධර්මයේ චිරස්ථිතිය පිණිස ද යළි යළිත් පැමිණි අරුත් හැර අර්ථ ප්‍රකාශ කරන්නෙමි. ගත වූ අවුරුදු දෙදහස් තුන්සියයක් විතර කාලය ඇතුළේ මේ අරමුණ වෙනුවෙන් අපේ මුතුන් මිත්තන් කළ කී දේවල් අපි හැමෝ ම දන්නවා. අන්තිමේ දී රටේ පාලනය ගිවිසුමකින් ඉංග්‍රීසි ජාතිකයන්ට පවරාදෙන අවස්ථාවේ පවා මේ අවශ්‍යතාව ඒ ගිවිසුමට ඇතුළත්කරන්න අපි කටයුතු කළා. අද පවා වරින් වර ඉස්මතුවෙන ව්‍යවස්ථා සංශෝධන, එහෙම නැතිනම් අලුත් ව්‍යවස්ථා හදන වැඩවල දී මේ කාරණය ඉස්සරහට එනවා. ආණ්ඩුව ශාසනය රකිනවා නම්, ඒ වෙනුවෙන් කරන්න ඕන දේවල් කරනවා නම් ඒ ආණ්ඩුව කරවන අයත් එක්ක අපිට ආරවුලක් නෑ.

ඉතින් අපේ ථෙරවාදය ඇතුළේ බොහෝ දේවල් අපි පනවාගෙන තියෙන්නේ මේ අවශ්‍යතාවට ගැලපෙන විදිහට. අටුවා පාලියට පෙරලීම පවා කරලා තියෙන්නේ මේ වෙනුවෙන්. දැන් දැන් අපේ සමහර අය හිතනවා සිංහල භාෂාවෙන් තිබුණු අටුවා පාලියට පෙරලපු එක බුද්ධඝෝෂ හාමුදුරුවෝ මුල්වෙලා කරපු සහගහන අපරාධයක් කියලා. මූලික ම කාරණය තමයි අටුවා පාලියට පෙරලලා තියෙන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ මුල්වෙලා නෙවෙයි කියන එක. ඒ වැඩේ කෙරෙව්වේ අපේ මහා විහාරීය තෙරුන්වහන්සේලා විසින්. ඒ බව හැම අටුවාවක ම මුලින් ම ඉතා ම පැහැදිළි ව කියලා තියෙනවා. ඒ වැඩේ වෙනුවෙන් වෙනත් අය ව යොදවාගෙන තියෙනවා. අටුවාචාරී බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියන්නේ ඒ විදිහට යොදාගත්ත එක් භික්‍ෂූන්වහන්සේ නමක් විතරයි. ඇතැම් අය මේ කාරණය නො සළකා නොයෙක් ආඩපාලී කීවට, මේක හංගපු දෙයක් නෙවෙයි. එළිපිට පැහැදිළිව ම කියපු දෙයක්. ඒ හින්දා ඒ ගැන වැඩි යමක් කියන්න මේ ලේඛකයා උත්සාහකරන්නේ නෑ.

එහෙම නම්, සිංහලෙන් තිබුණු අටුවා පාලියට පෙරලන්න මහා විහාරවාසී තෙරවරුන් කටයුතු කළේ ඇයි? ඒ වැඩෙන් කොහොම ද බුද්ධ ධර්මයේ හරි ශාසනයේ හරි චිරස්ථිතියට උදව්වක් වෙන්නේ? සිංහල කියන්නේ එදිනෙදා භාවිතා වෙන, භාවිතාව තුළින් යළි යළිත් අර්ථගැන්වෙන, සජීවි භාෂාවක්. උදාහරණයක් විදිහට, මම දැන් කන්නේ පරිප්පුමයි කියලා කවුරුහරි කීවොත් ඒක තේරුම් කරගන්නේ කොහොම ද? මේක තමයි ඕනෑ ම සජීවි භාෂාවක එදිනෙදා යොදාගන්න වචනවලට සිද්දවෙන දේ. භාවිතයත් එක්ක ඒ වචනවල අර්ථ වෙනස්වෙනවා. ඒ වචනවලට අලුත් අර්ථ කැවෙනවා. ඉතින් සිංහලෙන් අටුවා පවත්වාගෙන ගියා නම් සිද්දවෙන්න ඉඩ තිබුණු දේ ගැනත් හිතාගන්න පුළුවන්. අද ඇතැම් අය ධර්මය අර්ථදක්වන විදිහ දැක්කා ම මේ ගැන හිතාගන්න එක සුළු දෙයක්. මේ ලේඛකයා රාජකාරි කරන කාර්යාලයට පොසොන් පෝය වෙනුවෙන් වැඩම කරවපු, තමා විසින් ම පැවිද්ද ලබාගත්ත කියලා කියන එක්තරා භික්‍ෂූන්වහන්සේ නමක් හාමුදුරුවෝ කියන වචනයේ අර්ථය අපේ අයට කියලා දීලා. උන්වහන්සේ වදාරලා තියෙනවා හාමු කියලා කියන්නේ රැස්කරනවා කියන එක කියලා. මොකද හාමුලා කරන්නේ නා නා ප්‍රකාර දේවල් රැස්කරන එකනේ. ඒ හින්දලු ඒ අයට මිනිස්සු හාමු, හාමු කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට රැස් නොකර, හාමු චේතනාව දුරුකරන්නේ කවුද? හාමුදුරුවෝ!

පාලි කියන්නේ දිනපතා අර්ථදැක්වෙන සජීවි භාෂාවක් නෙවෙයිනේ. ඒ භාෂාව රැකිලා තියෙන්නේ ධර්ම පුස්තකවල. ඉතින් අපේ මහා විහාරීය තෙරුන්වහන්සේලා කරලා තියෙන්නේ සජීවී බසකින් – ඒ කියන්නේ සිංහලෙන්; තිබුණු අටුවාව ඒ විදිහට වෙනස්වෙන්නේ නැති භාෂාවකට – ඒ කියන්නේ පාලියට; පෙරලන එක. ඒ කියන්නේ උන්වහන්සේලා ක්‍රියාකරලා තියෙන්නේ ධර්මයේ චිරස්ථිතිය වෙනුවෙන්. අද අපේ අයට හිතෙන හිතෙන විදිහට අර්ථදක්වන්න හරි ධර්මයක් ඉතිරිවෙලා තියෙන්නේ උන්වහන්සේලා කරපු ඒ කටයුත්ත හින්දා.

ඊට අමතර ව කියන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ථෙරවාදී සම්ප්‍රදාය ඇතුළේ සමහර ධර්ම කරුණු අර්ථදක්වලා තියෙන විදිහ ගැන. දැන් දැන් මේ ගැන ආඩපාලි කියන අයත් ඉන්නවා. ඒ අය කියන විදිහට ථෙරවාදයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ එක්තරා ආකාරයක ධර්මවාදයක්. පුද්ගල නෛරාත්මතාව පිළිගත්ත ථෙරවාදී මහ තෙරවරුන් ධර්ම නෛරාත්මතාව නොතකා හැරියාලු. මේ වැඩේ වුනේ ක්‍ෂණය ගැන, එහෙම නැතිනම් උත්පාද – තිථි – භංග ගැන කියන්න යාමේදීලු. ධර්මයක් ක්‍ෂණයක් තුළ පවතිනවා කියලා ගන්න ථෙරවාදීන් මේ හින්දා පෙළඹිලාලු. ඉතින් දැන් දැන් මේ නිරීක්‍ෂණය මත පදනම් වෙලා ථෙරවාදයට අශෝක බුද්ධාගම කියලා නමකුත් පටබැඳලා. මේ කියන කතාව ඇත්ත ද? සුදනන් ගේ සතුට පිණිස එහෙමත් නැතිනම් හුදිජනයා ගේ පහන් සංවේගය පිණිස ලියැවෙන මේ ලිපි පෙළේ දී මේ ධර්ම කාරණා ගැන ගැඹුරින් සාකච්ඡාකරන්න අදහසක් මේ ලේඛකයා තුළ නෑ. ඒත් කියන්න ඕන මූලික කාරණයක් දෙකක් තියෙනවා.

මූලික ම දේ තමයි අනත්ත – ඒ කියන්නේ අනාත්ම ලක්‍ෂණය; ගැන අපි කියන දේ. ආර්ය පර්යේෂකයා මේ ගැන හිතන්නේ ඒ කාරණය විතරක් තනිවම සළකලා නෙවෙයි. ආර්ය පර්යේෂකයා හොඳින් ම දන්නවා ලෝක ස්වභාවය අනිත්‍යයයි කියලා. ඉතින් ක්‍ෂණය කියන්නේත්, තිථිය කියන්නේත් නිත්‍ය, දෘඪ දෙයක් කියලා ථෙරවාදී අපිට හිතෙන්නේ නෑ. අනිත්‍ය ලක්‍ෂණය අමතක කරලා අනත්ත ගැන විතරක් හිතන අයකුට ක්‍ෂණය කියලා කියන්නේ බොහොම දෘඪ, ආත්මවාදී අදහසක් කියලා හිතෙන්න පුළුවන්. ඊ ළඟ කාරණය තමයි අපි මේ හැම දෙයක් දිහා ම බලන්නේ පටිච්චසමුප්පවාදය මුල් කරගෙන. පටිච්චසමුප්පවාදයට අනුව අපි දන්නවා ක්‍ෂණය, තිථිය විතරක් නෙවෙයි හැම දෙයක් ම අවිද්‍යාව හින්දා අපි හදාගන්න සංස්කාර බව. කාලය කියලා කියන්නේත් පනවාගත්ත දෙයක් කියලා පිළිගන්න අපිට කාල මාත්‍රයක් විදිහට සළකන්න පුළුවන් ක්‍ෂණය ගැන වෙනත් අදහසක් ඇතිකරගන්න හේතුවක් නෑ. ඉතින් මේ හැම කාරණයක් ම කිසි අඩුවක් නැතිව ථෙරවාදයේ සංග්‍රහවෙලා තියෙනවා. අපි බුද්ධ ධර්මය කියන්නේ මේ හැම දේ ම එකතුකරලා ගත්ත ඉගැන්වීමකට. එහෙම නැතිව, ඒ ඒ ඉගැන්වීම් එකිනෙකින් වෙන්කරලා ඇරගෙන නෙවෙයි.

නිවන වෙනුවෙන් වෙහෙසෙන්නේ කවුද? පෘථග්ජනයා. ඔහු මුලින් ම දකින්නේ මොකක්ද? සම්මුති සත්‍යය. ඒ ඔස්සේ තමයි ඔහු ලෝකෝත්තර සත්‍යය සොයාගෙන යන්නේ. ඉතින් මොන බුද්ධාගමෙන් හරි සේවයක් වෙන්න ඕන – ඒ කියන්නේ මාර්ගය පෙන්නන්න ඕන; මේ පෘථග්ජනයාට. තම තම නැණ පමණින් සම්මුතියේ වැරැද්ද දැකලා, පියවරෙන් පියවර ඔහු නිවන කරා ගමන්කරාවි. ඒ වෙනුවෙන් කරන ආර්ය පර්යේෂණයේ දී ඔහු ලෝකෝත්තර සත්‍යය අවබෝධ කරගනීවි. ඒ හැම දෙයක් ම පොත්වල ලියලා තියන්න ඕන නෑ. ඉතින් මේ ලේඛකයා විශ්වාසකරන විදිහට මහා විහාරීය තෙරුන්වහන්සේලා විසින් කරලා තියෙන්නේ ඒ මගපෙන්වීම වෙනුවෙන් යොදාගන්න පුළුවන් ධර්මය සංග්‍රහකරලා, ආරක්‍ෂාකාරී ව පවත්වාගෙන යන එක.

හැබැයි මේ වගේ අරමුණක් ක්‍රිස්තු වර්ෂ 150 – 250 අතර කාලයේ දී, දැන් තියෙන ආන්ද්‍ර ප්‍රදේශය ආශ්‍රිත ව වැඩ වාසය කළා කියන නාගාර්ජුන හිමියන්ට තිබුණා කියලා හිතන්න බෑ. ධර්මයේ හරි, ශාසනයේ හරි චිරස්ථිතිය වෙනුවෙන් උන්වහන්සේ වදවෙලා නෑ. ථෙරවාදීනුත් ඇතුළත් හීනයානිකයන් ධර්මාත්මවාදයක් ගැන කතාකරනවා කියලා චෝදනාකරලා ශූන්‍යතාව කියන සංකල්පය ඔසවලා තියන්න තමයි උන්වහන්සේ කටයුතු කරලා තියෙන්නේ. ඒත් මේ සියල්ල ශූන්‍යයයි කියන අදහස උලුප්පලා පෙන්නන්න අපේ සම්ප්‍රදාය කටයුතුකරලා නෑ. මහා විහාරීය තෙරවරුන් එහෙම කරලා තියෙන්නේ ලෝක ස්වභාවය ගැන අනවබෝධයකින් කියලා හිතන එක වැරැදියි. අපි දන්නවා ශූන්‍යතාව උස්සලා පෙන්නපු නාගාර්ජුන හිමියන් ජීවත් ව හිටිය බිමේ බුද්ධාගමට වෙච්ච දේ. ඒ වගේ ධර්මයක් රැකෙන්න පුළුවන් පොත්වල විතරයි. පෘථග්ජන මිනිස්සු ඒ විදිහේ අදහස් තම තමන්ට හිතෙන හිතෙන විදිහට අර්ථදක්වන්න පටන්ගනියි. අපි දැනටත් අත්දකිනවා අපේ සමහරු තම තමන්ට ඕන විදිහට සූත්‍ර ධර්ම පවා අර්ථදක්වන විදිහ. ඉතින් ධර්මයත් හොඳින් රැකලා දීලා තියෙනවා නම්, ඒ ධර්මයේ උපකාරයෙන් නිවනට යන්න ඕන මාර්ගයත් ඉස්මතු කරගන්න පුළුවන් නම්, අපි ඇයි ථෙරවාදයටත්, එහි චිරස්ථිතිය වෙනුවෙන් කැපවුනු අපේ මහා විහාරීය තෙරුන්වහන්සේලාටත් ගරහන්නේ?

ඉතින් ශාසනයේ චිරස්ථිතිය කියන කාරණය සංස්කෘතික අරමුණක් බවට පත් කරගත්ත සිංහල අපි අදටත් ඒ වෙනුවෙන් වදවෙනවා. ඒ අරමුණට බාධාවෙන විදිහට කවුරු හරි කටයුතුකරනවා කියලා දැක්කම අපි කලබලවෙනවා. කිරිබත්ගොඩ ඤාණානන්ද, පිටිදූවේ සිරිධම්ම වගේ හිමිවරු අපි හැමෝ ම පිළිගත්ත පොදු ශාසන සම්ප්‍රදායයන් විවේචනය කර කර, ඒ වෙනුවට තම තමන් ගේ හිතු මතයට අලුත් සම්ප්‍රදායයන් හඳුන්වලා දෙන්න උත්සාහ කරන කොට අපේ අය කලබල වෙන්නේ මේ සංස්කෘතික අවශ්‍යතාව අපේ ශරීරයේ හම්, මස්, නහර සිඳගෙන, ඇට, ඇටමිදුළු දක්වා ම කිඳා බැහැලා තියෙන හින්දා. මේ වගේ වැඩ හින්දා අපේ ශාසනයේ චිරස්ථිතියට අනතුරක් වෙයි කියලා බයක් අපි තුළ ජනිතවෙනවා. ඒ බයෙන් අපි තැතිගන්නවා. ඒ අනතුරුවලින් ශාසනය බේරගන්න දිවා රෑ වෙහෙසෙනවා. ඇත්තෙන් ම මේ කාරණය ථෙරවාදී කලාපයේ අනෙක් ජනයාත් අඩු වැඩි වශයෙන් උරුම කරගෙන ඉන්නේ. ධර්මයේ හා ශාසනයේ චිරස්ථිතිය කියලා කියන්නේ මේ කලාපයේ ජීවත්වෙන අපි හැමෝට ම නොතකා හරින්න බැරි සංස්කෘතික අවශ්‍යතාවක්.

වරුණ චන්ද්‍රකීර්ති෴

One Response to “පෙරදිගට ගමනක් – 25 – නාගාර්ජුන නොතැකූ චිරස්ථිතිය”

  1. S.Gonsal Says:

    Generally there are only two vehicles , Mahayana and Hinayana.
    Taking Theravada Buddhism into various parts as people wish such as “අශෝක බුද්ධාගම“ appears to be bad action aimed at hurting Buddhists. Only recently these new terms started to appear from no where.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress