පෙරදිගට ගමනක් – 26 මකර ලෝකයට ඇතුළුවීමට පෙර
Posted on August 8th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

මේ ලිපි පෙළේ මුල් භාගයෙන් හඳුනාගත්ත විදිහට ඉන්දියාව කියලා හදලා තියෙන රටේ සමාජ සංස්කෘතික නිමැවුම් පෝෂණය වෙලා තියෙන්නේ පර්සියානු, මූගල්, තුර්කි, අරාබි සංස්කෘතික ප්‍රවාහවලින්. ඒ විදිහට දායාද කරගත්ත දේවල් යම් ආකාරයකින් ඉන්දියානුකරණයකට ලක්වෙලා තියෙන බව ඇත්ත. ඒත් අපේ සංස්කෘතිය වැඩියෙන් නෑකම් කියන්නේ බෞද්ධ උරුමයන්ගෙන් පෝෂණය වුනු සමාජවලට. අවුරුදු පන්සියයකට වැඩි බටහිර බලපෑම පවා අපේ සංස්කෘතික උරුමයන් අපෙන් ඈත්කරවන්න හේතුවක් වෙලා. ඊට අමතර ව, ඉන්දියාව කියලා ඉංග්‍රීසි යටත්විජිත පාලකයන් විසින් හදපු මහ විශාල රට නිසාත් අපි අන්දමන්ද වෙලා. අපි කවුද, අපේ උරුමය මොකක් ද කියන එක හිතාගන්න බැරි තත්ත්වයකට අපි පත්වෙලා. ඉතින් මේ හැම දෙයක් ගැන ම යම් යම් ආකාරයෙන් කරපු නිරීක්‍ෂණ මත පදනම් වෙලා මේ විදිහට පෙරදිගට ගමනක් යන්න මේ ලේඛකයා තීරණය කළා.

අපි දැන් මේ පෙරදිගට යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයකට ඇවිල්ලා. ථෙරවාදී කලාපයේ අපි එකිනෙකා අතර ඇතිවුණු, ගොඩනැගුණු, තවමත් තිබෙන සම්බන්ධකම් ගැන මෙයට පෙර ලිපි කිහිපයෙන් කළ සාකච්ඡාව මාර්ගයෙන් දැනගන්න අපිට පුළුවන් වුනා. ඇත්තෙන් ම, මුලින් කියපු විදිහට මේ නෑදෑකම් ගැන කතා කළේ ඒ ඒ සමාජවල ජීවත්වෙලා ලබපු අත්දැකීම් මත පදනම් වෙලා නෙවෙයි. පෙරදිගට යන මේ ගමන ආරම්භ කළේ චීන භාෂාව ඉගෙනගැනීමටත්, ථෙරවාදී කලාපය තුළ අපි ඇති කරගෙන තියෙන සම්බන්ධකම් ගැන පොත පතින් හොයාබැලීමටත් තීරණයකිරීමෙන්. පොත් කියවලා හොයාගන්න නෑදෑකම් සජීවි අත්දැකීම් නෙවෙයිනේ. ඉතින් මේ කළ දේ අංග සම්පූර්ණ, පරිපූර්ණ කටයුත්තක් කියලා මේ ලේඛකයා හිතන්නේ නෑ. මේ කලාපයේ තියෙන ඒ ඒ සමාජවලට ගිහිල්ලා, ඒ ඒ අය ගේ සංස්කෘතීන් අපි තවදුරටත් විමසා බැලිය යුතුයි.

කලින් කියපු විදිහට මේ වැඩේ තනි පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දක්වා පොත පත යොදාගෙන කරපු අධ්‍යයනයෙන් හඳුනාගත්ත කරුණු මත පදනම් වෙලා පුළුල් සමාජ, සංස්කෘතික අධ්‍යයනයකට අපි යොමුවෙන්න ඕන. සාමූහික ව දරන ප්‍රයත්නයකින් මෙයට වඩා කරුණුවලින් පරිපූර්ණ, සජීවි සබඳකම් හා සමානකම් සමුදායක් ඉස්මතු කරගන්න පුළුවන් බවට සැකයක් නෑ. අපේ සැබෑ උරුමය අපිට ඉස්මතු කරගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහේ පුළුල් වැඩපිළිවෙලකින්. මෙය ගිහි පැවිදි භේදයක් නැතිව අපි හැමෝට ම පවරාගන්න පුළුවන් කාර්යයක් කියලා මේ ලේඛකයා විශ්වාසකරනවා.

ධර්මය ඉගෙනගැනීමේ අරමුණින් පෙරදිග කලාපයේ අනෙකුත් රටවල්වල ඉඳලා අපේ රටට තවමත් භික්‍ෂූන්වහන්සේලා වැඩමකරනවා. ඒත් උන්වහන්සේලා මුහුණදෙන අකරතැබ්බ මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ විදිහට වැඩමකරන උන්වහන්සේලාට වැඩ ඉන්න තැනැක් නෑ. දානයක් මානයක් හරියට ලැබෙන්නේ නෑ. නොයෙකුත් අය ගේ ගසාකෑම්වලට ලක්වෙනවා. ඊට අමතර ව, පශ්චාත් උපාධි කටයුතු වෙනුවෙන් සමහර පාඨමාලාවලට සහභාගී වෙන උන්වහන්සේලාට කියලා දෙන්නේ අමුතු ම බණ. බටහිර සමහර උගතුන් විසින් කළ වැරැදි නිරීක්‍ෂණ ඒ විදිහට ම ඒ පශ්චාත් උපාධි පාඨමාලාවල උගන්වනවා.

එක්තරා අචාර්යවරයෙක් වරක් කියනවා ආනන්ද හාමුදුරුවෝ සමහර තැන්වල බොරු කියලා තියෙනවා කියලා. ඒකට උදාහරණයක් විදිහට ඒ ආචාර්යතුමා ගෙනහැර දක්වන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මේ සූත්‍රය බරණැස මිගදායේ දී දේශනාකරලා තියෙන්නේ පස්වග මහණුන් අමතලා. ඒ වෙද්දි ආනන්ද හාමුදුරුවෝ මහණවෙන්න හිතලාවත් නෑ. ඒත් මේ සූත්‍රය ගැන ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශකරලා තියෙන්නේ මා විසින් මෙ සේ අසන ලදී කියලා. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ කියලා තියෙන්නේ බොරුවක්! ඒත් මොකක්ද ඇත්ත? මොකක්ද මේ ආචාර්යතුමා අමතකකරලා තියෙන්නේ? ඒ තමයි අග්‍ර උපස්ථායක තනතුර පිරිනමපු වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන්වහන්සේට ඉදිරිපත් කරපු හතරවැනි ආයාචනාව. උන්වහන්සේ ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේගෙන් ආයාචනා කර සිටියා තමා නොමැති තැනක දේශනා කළ දහමක් නැවත තමන්ට දේශනා කළ යුතුයි කියලා. ඒත් අනුන් ගේ සටහන්වලින් බුද්ධ ධර්මයත්, ඒ ආශ්‍රිත අනෙක් කරුණුත් පාඩම් කරගෙන කියවන මේ වගේ ආචාර්යවරු තමන් ගේ බොරු පණ්ඩිතකම් පෙන්න පෙන්න කරන්නේ මහත් උනන්දුවෙන් බුද්ධ ධර්මය ඉගෙනගන්න එන අය තුළ තියෙන ශ්‍රද්ධාව නැතිකරන එක.

මේ තමයි අපිට තිබුණු විද්‍යෝදය, විද්‍යාලංකාර වගේ මහ පිරිවෙන් නැතිවුනු එකේ පාඩුව. අපේ සම්ප්‍රදාය ඇතුළේ ශිෂ්‍යයන්ට ලබාදුන්නේ දැනුම විතරක් නෙවෙයි. තුනුරුවන කෙරෙහි ශ්‍රද්ධාව ශිෂ්‍යයන් තුළ වගාකරවන්නත් ඒ ආයතනවල හිටිය ගුරු හාමුදුරුවරු කටයුතු කළා. ශ්‍රද්ධාව කියන්නේ අන්ධ භක්තිය නෙවෙයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒත් දැන් ඉන්න සමහර ගුරුවරු මුල් තැන දීලා තියෙන්නේ විවේචනයට. හැම දෙයක් ම එක විදිහට සළකලා, ශාසනයේ චිරස්ථිතිය කියන මූලික අවශ්‍යතාවත් අමතක නොකර, යහපත් අරමුණකින් කරනවා නම් විවේචනයේ වැරැද්දක් නෑ. අඩුපාඩු කීමේ වැරැද්දක් නෑ. ඒත් මේ කරන්නේ එහෙම කටයුත්තක් නෙවෙයි. මේ විදිහට විවේචනය කරන අයට තමන් ගේ දැනුමේ තියෙන අඩුපාඩු ගැන තක්සේරුවක් නෑ.

ලොකු ම වැරැද්ද තමයි ශාසනයේ චිරස්ථිතිය කියන මූලික අවශ්‍යතාවට තමන් කියන, කරන දෙයින් හානියක් වෙනවා ද කියන එක නොතැකීම. අපි කියන කරන දේවල්වල සංගත බවක් පරීක්‍ෂාකරලා බලන්න ඕන මේ පොදු අවශ්‍යතාවත් එක්ක ගලප්පවලා. ඒ ඒ අදහස ඇතුළේ සංගත බව රැක්කාට වැඩක් වෙන එකක් නෑ තමන් කියන කරන සියලු දේ සමස්තයක් විදිහට සංගත වෙන්නේ නැතිනම්. ඒ ඒ අදහසේ අභ්‍යන්තර සංගතභාවයේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න පුළුවන්. ඒත් තමන් කියන හැම දෙයක් ම එක විදිහට – ඒ කියන්නේ සමස්තයක් විදිහට; සංගතවෙන්නේ නැතිනම් අපි හිරවෙන්නේ මහ අවුලක. ඊට අමතර ව, මේ කියන කරන දේවල්වලින් ශාසනයේ චිරස්ථිතිය කියන සංස්කෘතික අවශ්‍යතාවට හානියක් වෙනවා කියලා අදහසක් ජනිතවුනා ම තමන්ටමයි පීඩාවට පත්වෙන්න සිද්දවෙන්නේ. මොකද ඒ වගේ අනතුරක් තියෙනවා කියලා හැඟුණු ගමන් ම අපේ මිනිස්සු ආපහු හැරිලා පහරදෙනවා. හුඟක් වෙලාවට අපේ අය මේ විදිහට පහරදෙන්නේ කරුණු කාරණා හැම දෙයක් ම සළකලා, බොහො ම සාධාරණ විදිහට නෙවෙයි. ඒ වගේ වෙලාවට අපේ මිනිස්සු හැසිරෙන්නේ එක්තරා ආකාරයක ඉවකින් සහ ඒ මත උත්පාද කරගන්නා ආවේගයකින්.

ථෙරවාදී කලාපය ගැන කරුණු කාරණා පොත පත කියවමින් හොයා බලන අතරතුර චීන භාෂාව ඉගෙනීමේ කටයුත්තත් මේ ලේඛකයා අත ඇරියේ නෑ. ඒ එක්ක ම චීන සංස්කෘතිය ගැන හොයලා බලන්නත් මේ ලේඛකයා කටයුතු කළා. අදාළ සංස්කෘතික කාරණා ගැන අවබෝධයක් නැතිව භාෂාවක් ඉගෙනගන්න බෑ. ඉතින් චීන සාහිත්‍යය, ගීත, ටෙලි නාට්‍ය, චිත්‍රපට, චීනයේ ඉතිහාසය, සමාජ ආර්ථික කරුණු කාරණා ගැනත් හොයලා බලන්න මේ ලේඛකයා පෙළඹුනා. ඊට අමතර ව, කිහිප වතාවක් ම චීනයට යන්නත්, කාලයක් චීනයේ ජීවත්වෙන්නත්, ඒ රටේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරන්නත් අවස්ථාව මේ ලේඛකයාට හිමිවුනා. ඒ විදිහට ලබපු අත්දැකීම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ විදිහට කෙරෙන හොයා බැලිල්ල තවමත් අවසන් කරලාත් නෑ. මොකද චීනය කියන්නේ පුදුමාකාර විදිහට ගැඹුරු, පුළුල් සංස්කෘතියකට හිමිකම් කියන රටක්. ඒ විතරක් නෙවෙයි. ඒ සංස්කෘතියේ තියෙන අපිට අදාළ පොදු දේවල් ප්‍රමාණයත් අතිමහත්.

ඉතින් පෙරදිගට යන ගමනේ කතාව සම්පූර්ණ වෙන්න නම් ඒ අත්දැකීම් ගැනත් කියන්න ඕන. අපි එකිනෙකා අතර බෙදා හදාගෙන තියෙන දේවල් ගැනත් කියන්න ඕන. ඒ කටයුත්ත තරමක් භාරදූරයි. ඉතින් ඒ දේවල් ගැන එක හුස්මට ම කියාගෙන යන්න අදහසක් මේ ලේඛකයා තුළ නෑ. මේ දක්වා කියපු දේවල් එකට ගොනුකරලා – ඒ කියන්නේ පොතක් විදිහට; පාඨකයන්ට ලබාදුන්නාට පස්සේ චීනය ගැන අත්දැකීම් කියන්නයි මේ ලේඛකයා අදහස්කරන්නේ. ඒ කටයුත්ත ආරම්භකරන්න තව ටික දවසක් ගතවේවි. ඒ විරාම කාලයේ දී මේ දක්වා කියපු දේවල් ගැන පාඨකයන් කියන දේ, ඔවුන් ගේ විවේචන දැනගන්නත් මේ ලේඛකයා බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන් ම මේ වෙද්දී පවා යම් යම් විවේචන ලැබිලා තියෙනවා. ඒ ගැනත් යමක් කියලා මේ පෙරදිගට ගමනක් ලිපි පෙළෙහි පළමු භාගය අවසන්කරන්නම්.

ඉන්දියාව කියන්නේ අලුත් රටක් කියලා කියපු දේ ගැන ලැබුණු ප්‍රතිචාර දෙකක් තියෙනවා. එක් ප්‍රතිචාරයකින් කියැවුනේ ඉන්දියාව විතරක් නෙවෙයි, ඉතාලිය. ජර්මනිය පවා අලුත් රටවල් කියලා. දැන් තියෙන විදිහට දේශ සීමා ලකුණුකරලා රටවල් හැදිල්ල ම අලුත් වැඩක් කියලා. මේ කතාව සෑහෙන දුරකට ඇත්ත. ඒත් ඒ කතාවෙන් ඉන්දියාව අලුත් රටක් කියන අදහස ප්‍රතික්‍ෂේප වෙන්නේ නෑ. අනිත් එක ඉතාලියේ, ජර්මනියේ වගේ බොහෝ දුරට සමාන ජනවාර්ගික සංයුතියක්, පොදුයි කියලා සළකන්න පුළුවන් සංස්කෘතියක් ඉන්දියාව කියන රටේ නෑ. මේ සම්බන්ධයෙන් කුකුසක් තියෙන ඇතැම් අය නිතර අහනවා එහෙම නම් අපි ඉන්දියාව, ඉන්දියාව කියලා කිව්වේ මොකට ද කියලා. අපි ඉන්දියාව, ඉන්දියාව කියලා කිව්වේ රටකට නෙවෙයි. උප මහාද්වීපයකට. ඒක හරියට අපි දැන් මහාද්වීපයකට අප්‍රිකාව, අප්‍රිකාව කියලා කියනවා වගේ.

සිංහලයන් ඇරෙන්න පාරම්පරික ව බෞද්ධ වුනු අනෙක් හැම ජන කොටසක් ම මොංගොලොයිඩ් වර්ගයට අයිතියි කියන නිරීක්‍ෂණය ගැනත් ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඒ අතරින් ඇතැම් අය චෝදනාකරනවා මේ ලේඛකයා බුදුහාමුදුරුවන් ව චීනයට අයිතිකරන්න කටයුතුකරනවා කියලා. තමන් පදනම්වෙලා ඉන්නේ මහා විහාර මතවාදය ඇතුළේ කියන එක මේ ලේඛකයා ඉතා ම අවධාරණයෙන් කියපු දෙයක්. ඉතින් ඒ මතවාදයෙන් ඉතා ම පැහැදිළි ව ප්‍රකාශකරලා තියෙනවා බුදුන් උපන් දේශය මොකක්ද, උන්වහන්සේ වැඩවාසය කළේ කොහෙද කියලා. ඒ කරුණු කාරණා ම තමයි චීන බෞද්ධයන් පවා පිළිගන්නේ. ෆා-ෂියෑන් හාමුදුරුවෝ, ෂුවාන්-ත්සාං හාමුදුරුවෝ පවා ඒ කරුණු ඒ විදිහට ම සළකලා බුදුරජාණන්වහන්සේ වැඩ විසූ දඹදිව මධ්‍ය මණ්ඩලය වැඳ පුදාගන්නත් ධර්මය ඉගෙනගන්නත් ආපු හැටි අපි හැමෝ ම දන්නවා. ඉතින් මේ පෙරදිගට යන්නේ අපේ බුදුහාමුදුරුවෝ කාටවත් අයිතිකරලා දෙන්න නෙවෙයි. මේ යන්නේ බෞද්ධ සංස්කෘතික ආභාෂයෙන් පෝෂණය වුනු සමාජවවල හැඩරුව විමසා බලලා, ඒ සමාජවලින් අපට උකහාගන්න පුළුවන් මොනවා ද කියලා දැනගන්න යන ගමනක් විතරයි.

පහුගිය අවුරුදු සියයක විතර කාලය ඇතුළේ අපේ ඔළුවලට කාවද්දලා තියෙන සිව්හෙළ අදහසෙන් කියැවෙන යක්‍ෂ උරුමය ගැන සංකල්ප දැඩි ව වැළැඳගත්ත අය මේ ලිපිපෙළින් ඒ ගැන කියපු කරුණු ගැන වැඩි මනාපයක් දක්වලා නෑ. ඊයේ පෙරේදා සමාජ ගතකරපු වර්ගපූර්ණිකාව කියන පොත ගැන කතාව හිස මුදුණින් පිළිගන්න අයත් මේ කොටසට අයිතියි. ඒ වගේ පොත එළියට ආවේ කොහොම ද, ඒ ගැන කියන පසුබිම් කතාව පිළිගන්න පුළුවන් ද වගේ කරුණු මේ අය විමසන්නේ නෑ. ඒත් මහාවංශය වගේ මූලාශ්‍ර පැත්තකට දාලා මේ වගේ අගක් මුලක් පැහැදිළි නැති පොතකට වන්දනා මාන කරන්න ඒ අය පෙළැඹිලා. කොහොම වුනත් අදාළ කාලයේ රජකළ ශිෂ්ටාචාර ගැන සළකලා යක්‍ෂ ප්‍රශ්නයට පැහැදිළි උත්තරයක් දෙන්න මේ ලේඛකයා කටයුතු කළා. මහා විහාර මතවාදය පෝෂණයකරන්න උදව්කරගන්න පුළුවන් වුනත් ඒ වගේ අලුත් අදහසක් සමාජ ගතවෙන්න තව කාලයක් ගතවෙයි.

මේ ලිපි පෙළ ගැන කියන්න තව තවත් අදහස් තියෙන්න පුළුවන්. ඊට අමතර ව, කියපු දේවල්වල යම් යම් වැරැදි තියෙනවා නම් ඒවා ගැන දැනගෙන, ඒ අඩුපාඩු හදාගන්නත් මේ ලේඛකයා සූදානම්. ඉතින් ඒ වගේ මොකක් හෝ අදහසක්, වැරැද්දක් ගැන දොසක්  කියන්න තියෙනවා නම් ඒවා [email protected] විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

ඉතින් මේ පෙරදිගට යන ගමනේ මුල් අදියර මෙයින් අවසන් කෙරෙනවා. ඉතා ඉක්මනින් ආයෙත් හමුවෙමු!

වරුණ චන්ද්‍රකීර්ති෴

One Response to “පෙරදිගට ගමනක් – 26 මකර ලෝකයට ඇතුළුවීමට පෙර”

  1. Senevirath Says:

    මහාවංශය කියන විදිහට කුවේණී යකින්නක්ක් .එක ලියාපු මහාවංශය පිලිගන්නත් අමාරුය් . අඩුපාඩු තිබුනත් අක තිබුනත් වරිගපූරනිකාවත් එවගෙය් .කොයෙකෙත් අඩුපාඩු ඇති වරිගපූරනිකාවඒ හෙම නම් පිළිගන්න බැරි මොකද . යක්ෂනමින් වර්ගයක් හිටියෙම නැද්ද නාගයෝ හිටියම් යක්ෂයොත් ඉන්නැති හිටිය නම් වාරිග පූර………හරි ඇති නේද

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress