රණමඟ ඔස්සේ නන්දිකඩාල්
Posted on October 5th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
සිව් රියනේ හිත සතුටින්            නිදන්නට
මිනිසෙකු විලස ඉපදුන පල        දකින්නට
පුලුවනි මරණ මංචකයේ             වුවද මට

”රණමඟ ඔස්සේ නන්දිකඩාල්” යන කෘතිය  එලි දක්වා ඇත.වර්ෂ 2009යේ මැයි මස 19 වෙනිදායින් පසුව මෙරට කලාකරුවන් සාහිත්‍යදරයින්  හා ලේඛකයින් විසින් ඉටුකලයුතුව තිබු, නමුත් ඒ කිසිවෙක් අත නොතැබූ  කාර්යයක් මේ මහා ග්‍රන්ථය එලිදැක්වීමත් සමග සම්පුර්නව  ඇත ”රණමඟ ඔස්සේ නන්දිකඩාල්” හි කතුවරයා ලේඛන කලාවේ කෙලපැමිණි ප්‍රවීනයෙක් නොවුණද,  ඔහු, ග්‍රන්ථ  නිර්මාණ ලේඛනකලාව නවතම තලයකට  ඔසවා තබා ඇති බව විශේෂයෙන්ම  සදහන් කල යුතු කරුණකි.

මහා සැඩ පරුෂ  කුරිරු යුද්දය තුලද, සුමට  කලාවක් ඇත. ඒ කලාවේ කෙල පැමිණි යුධ ශිල්පියා සිය රණබිමේ කාර්යය නිමවා, සිය  අත රැදී ආයුදය පසෙකලා, පෑනෙන් ශිල්ප දැක්වීම ආරම්භකර  ඇත. යුද ආයුදයට වඩා පෑන බලවත් යයි පාරම්බාන සමාජයක, පෑන නිසි ලෙස හැසිරවීමට එරෙහිව  බලපෑම් ඇති සමාජයක, පෑන ඉතා සුමටව හැසිරවීමේ කර්තව්‍යට මේ රණවිරුවා විශිස්ට ලෙස අත ගසා ඇත. ඒ වෙනුවෙන් රටෙත් ජාතියේත් ප්‍රණාමය මේ කෘතියට හා ලේඛකයාට හිමිවිය යුතුය.

”රණමඟ ඔස්සේ නන්දිකඩාල්” යන කෘතිය ඓතිහාසිකව සද්ධර්මාලංකාරය හා සසදා බැලීමකට අපව මෙහෙයවන්නේ, මේ කෘතියේ ඇති ප්‍රබලතාවයයි. ”රණමඟ ඔස්සේ නන්දිකඩාල්” යනු බෞද්ධ දර්ශනය අයත් ත්‍රිපිටිකය, හා හින්දු දර්ශනයෙන් අඩංගු භගවත් ගීතාවෙන්ද  පෝෂිත කෘතියක් බව කිව යුතුව තිබේ, වචන 3,38,000- 3,60,000 ත් අතර  සංඛාවක් උත්පාදිත ස්ථානයේ සිට ගලාගෙනවිත් සිය පෑන් තුඩින් මවන චලන චිත්‍ර දහරාව විසින් සිදුකරන්නේ එදා සද්ධර්මාලංකාරය නිර්මාණය කල විද්වතා ඉටුකල  සමාජ සත්කරයට සමාන ආකාරයේ කාර්‍යයක් බව මනාව දිස්වේ. අප රණවිරු මහා විද්වතා සිය කෘතිය ආරම්භ කරන්නේ මෙසේය.

පිළිගැන්වීම
1. මා මෙලොවට බිහිකර කරදඩු උස් මහත් කර උත්තරීතර යුද්ධ හමුදා සේවයට යැවු මගේ මාපියන්ට

2. පවුලේ සියලුම කටයුතු සිය උර මතට ගනිමින් යුදබිම මෙහෙවර සදහා මා නිදහස් කළ මගේ බිරිදට

3. දෙවියන් විසින් මා හට දෙනලද උතුම්ම දායාදය වූ මගේ කුඩා දියණියට

4. මගේ හමුදා දිවිය අතිසාර්ථක කරගැනීමට මා හට අදර්ශයක්වූ හා සියලුම ගුරුහරුකම් දුන් ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න ඇතුළු සියලුම ජේෂ්ඨ නිලධාරීන්ට

5. මා යටතේ සටනේ නියැළුණු මගේ සියලුම නිලධාරීන්ට හා සෙබළුන්ට

6. රට ජාතිය වෙනුවෙන් සිය උතුම් මෙහෙවර සිදුකරද්දී මියගිය හා අබාධිතවූ සියලුම රණවිරුවන්ට

7. තමන්ගේයයි කීමට බිම් අගලක් නැතත් මව්බිමේ සෑම බිම් අගලක්ම ආරක්ෂා කිරීමට තිස් වසරක් පුරා සටන්කළ සියලුම රණවිරුවන්ට

8. අප මාතෘභූමිය ත්‍රස්තවාදයේ සාපයෙන් බේරාගැනීම සදහා යුග මෙහෙවර කිරීමට සිය දරුවන් යුද්ධ හමුදාවට දායාද කළ සියලුම මාපියන්ට

මෙම ග්‍රන්ථය උපහාරයක්ම වේවා!

නුතනයේදී සටන් වැදුන ශ්‍රී ලංකා හමුදාවන් මනා විනයකින් යුත් හමුදාවක් වූ අතර, ඒ හමුදා විනයට සමාන විනයක් මේ රණවිරුවා විසින් ලේඛණ කලාවටද ආරෝපණය කර ඇති ආකාරය මේ පිළිගැන්වීම තුලින් මනාවට දිස්වේ .සිය දෙමවුපියන්ට උපහාර පිදීමෙන් ආරම්භ කල පිළිගැන්වීම, සිය දෙමවුපියන්ද ඇතුළු සියලුම රණවිරු දෙමවුපියන්ට උපහාර කිරීම තුලින් නිමාකර  ඇත. තවද මේ පිදීම තුල ඇත්තේ, මව්බිමහි විමුක්තිය උදෙසා සටන් වලට දායකවූ පිරිස් පමණක්ම වීමද සුවිශේෂිවූ කරුණකි.

මේ රටේ මිනිසුන් අතර සිය දෙමව්පියන්ටත්, සිය බිරිදටත්, සිය දරුවන්ටත්, සිය සටන් සගයන්ටත්, එම සටන් සගයන් දැයට  බිහිකළ දෙමවුපියන්ටත් එකවරම උපහාර දක්වන මිනිසෙක් හෝ මිනිසුන්  බිහිවිය නොහැක. නමුත් මේ පවතින රටාවට පරිබාහිරව මේ පින්බිම සුරැකීම සදහාම නිර්මිතවූ පුද්ගලයින් දායාදය කිරීමේ ස්වාභාවීය ක්‍රියාදාමයක්ද  ඒ ඒ කාල වලට අනුරූපව සිදුවේ. මේ ක්‍රියාදාමය ඉතිහාසය තුලදී අපට මුණගැසෙන එක් අවස්ථාවක් වන්නේ එළාර -ගැමුණු යුද්ධයයි. කාවන්තිස්ස, විහාර මහා දේචිය, ගැමුණු කුමරු, හා දස මහා යෝධයින් යනු මේ පින්බිම ආරක්ෂා කිරීම සදහා විශ්වීයව නිර්මාණය කරණ ලද කණ්ඩායමක් වන අතර, මෙවරද සිදුවූයේද ඊට සමානවූ ක්‍රියාවලියක් නම් එවන් සුපිරිව නිර්මාණය කරන් ලද මිනිසුන් තුල මෙවන් උදාර ලක්ෂණ තිබිය හැක..

එළාර -ගැමුණු යුද්ධයේ අවසන් අදියරේදී පුස්සදේව නම්වූ යෝදයා දෙමළුන් විශාල සංඛාවක් විනසකර ,අවසන්වරට භල්ලුකයාට විද මැරී වැටෙන මොහොතේ, භාල්ලුකයාගේ දෙපා රජතුමා සිටින යොමුව තිබීම රජතුමාට සිදුවූ අවැඩක් සේ සිතා, ‘ තෝ කොහොමද අපේ රජතුමා දෙසට කකුල් දික්කරගෙන ඉන්නේ ‘ යයි පවසමින් භාල්ලුකයාගේ හිස රජතුමා සිටින දිසාවට යොමුකර එදා යුධ ජයග්‍රහණය සමරුවාසේ , මෙදා ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියාව මරාදමිමත් සමග ඇතිවූ රණවිරු උදානය උද්දීපනය කරැති ආකාරය තුලින්, වර්ෂ 2009 මැයි මස 19 වෙනිදා උදැසන 10.30 කනිසමට නන්දිකඩාල් කලපුව වෙත අපවද රැගෙන යයි එය යුද්දය නිමවා වසර හතකට පසුව හෝ සිදු කිරීම සම්බන්ධව ජාතියේ ප්‍රණාමය පිදිය යුතුය.අප ජාතියක් වශයෙන් එකතුව මේ ග්‍රන්ථය මිලදීගෙන එය ජාතියේ අත්පොතක්සේ තබාගනිමු.සෑම පාසල් දරුවෙක්ම කියවිය යුතු පොතක් බවට මෙය පත්කරමු. එදා අප මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘රොහිනී ‘ පොතින් ලද වීරත්වය මුළු ජාතියටම උරුම කරමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress