කන්සල්ටන්ට් උමතුව
Posted on October 15th, 2016

වෛද් රුවන් එම් ජයතුංග

අතීතයේ වෛද්‍යවරු  කන්සල්ටන්ට් හෙවත් විශේෂඥ මට්ටමට පත් වූයේ දැණුම අත්දැකීම් වලින් පරිණතව වෛද්‍ය විද්‍යාවෙන් පමණක් නොව  ජීවිත අත්දැකීම් වලින් ද පරිපූර්ණ වූ මිනිසෙක් ලෙසටය. එහෙත් පසුකාලීනව විශේෂඥ විද්‍යවරුන් ගේ හිඟය නිසා පශ්චාත් උපාධි ආයතන විසින් ආප්ප බාන්නාක් මෙන් අපරිණත වෛද්‍යවරු විභාග වලින්  තල්ලු කරවා දෙවසරක් පමණ විදේශ පුහුණුවක් දී ඔවුන්ට විශේෂඥ ලේබලය ගසා රෝහල් වලට එවන්නට විය. දැණුමෙන් මෙන්ම ජීවිතාවබෝධයෙන් පිරිපුන් නොවූ මෙම කන්සල්ටන්ට්ලා රෝහලේ සම්පත් වලට මෙන්ම පුද්ගලික සේවය සඳහාද මරා ගනිති. මීට හොඳම නිදසුන   කරාපිටිය රෝහලේ  හෘධ   හා උරස් ශල්‍ය  අංශයේ විශේෂඥවරුන් ගේ කඹ ඇදීමයි.  මොවුන් ගේ මොන්ටිසෝරි ගෝරි දකින විට පෙනී යන්නේ ජීවිත විද්‍යාවෙන් මොවුන් කෙතරම් පසුගාමීද යන්නයි. 

මෑතකදී තමා හලාවත රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු බව කියූ තරුණ වෛද්‍යවරයෙකු සමග මම සංවාදයේ යෙදුනෙමි. අහංකාර ලෙස වගාඩම්බරයේ යෙදුනු ඔහුගෙන් තමා මෙතෙක් පළ කොට තිබෙන පරියේෂණ පත්‍රිකා ප්‍රමාණය ගැන ඇසූ විට ඔහු නිරුත්තර විය. ඔහු කිසිදු පරියේෂණ පත්‍රිකාවක් පළ කොට නැත. මනෝ විශ්ලේෂණය පිලිබඳ ඔහුගේ දැණුම අවමය. යන්තම් මනෝ රෝගයක් හඳුනාගෙන ප්‍රති විශාද හෝ ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් රෝගියාට නියම කිරීමට පමණක් මොවුන් ගේ විශේෂඥ භාවය සීමාසහිත වී තිබේ. 

ruwan15101601

මනෝ ප්‍රතිකාරය (Psychotherapy) යනු අද දිනයේ විශේෂිත වූ විෂයකි. මනෝ ප්‍රතිකාරය විෂය PhD  මට්ටම දක්වා හැදෑරිය හැක. එහෙත් අපගේ අළුත් පරම්පරාවේ වෛද්‍යවරුන් ගේ මනෝ ප්‍රතිකාර පිළිබඳ දැණුම ඉතා අවම බව පෙනී ගොස් තිබේ. තවද නූතන  මනෝ ප්‍රතිකාර  ක්‍රමයන් ගැන මොවුන් බොහෝ  දෙනෙකු දැණුවත් නැත. එම නිසා ඖෂධ මත පමණක් යැපෙමින් මනෝ ප්‍රතිකාර කිරීම අද දිනයේ සුලබව දැකිය හැකි සාධකයකි.  කිසිදු රෝගයක් හෝ සමාජ ගැටළුවක්  වෛද්‍ය විද්‍යාත්මක / මනෝ විද්‍යාත්මක / සමාජ විද්‍යාත්මක කෝණයකින් ගැඹුරුව හදාරන්නේ නැති මෙම නූතන කන්ස්ල්ටන්ට්ලාගේ සමාජ මැදිහත්වීම නුග සෙවනටත් නවලිය වැනි පුවත්පත් වලටත් සීමාවී තිබේ.  මේ හේතුවෙන් මිනිසුන් වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි ඇති විශ්වාසය බිඳී විශ්ව ශක්තී, එලොවින් ආ ජීවකයන්, දේවාල කපුවන් වෙත යති. 

අන්තර්ජාතිකව පිළිගත් පොතක් හෝ පරියේෂණ පත්‍රිකාවක් පළ කොට නොමැති කිසිදු පරියේෂණයක් විශ්ව විද්‍යාල මට්ටමකින් සිදු කොට නොමැති කිසිදු සමාජ මැදිහත්වීමකට උර නොදුන් එහෙත් තමා සියළු දේ දත් කන්සල්ටන්ට් කියා සිතාගෙන සිටින මෙවැනි හීන දැණුම සහිත  නව විශේෂඥ මනෝ වෛද්‍ය පරම්පරාව ඩෙරීඩයා, ලැකන්ලා ගැන උඩින් පල්ලෙන් කියවාගෙන ජිම්නාස්ටික් පෙන්වන ගැටයන් හමුවේ  නිරුත්තරය. මනෝ විශ්ලේෂණය ගැන මේ කජු කිරි කොල්ලන්ට තිබෙන දැණුම මේ නව විශේෂඥ මනෝ වෛද්‍ය මල්ලිලාට නැත. මේ නිසා අන්තර්ජාතික තළයට ලාංකික මනෝ වෛද්‍ය විද්‍යාව ගෙන ගිය මහසෙන් ද සිල්වා, දයා සෝමසුන්දරම් , නීල් ප්‍රනාන්දු , දියනාත් සමරසිංහ වැනි සුවිසල් පුරුෂයන් මේ නව පරම්පරාව තුලින් බිහි වනු ඇතැයි කියා සිතීම හිතළුවකි. 

සංවර්ධිත රටවල විශේෂඥවරු බිහි වන්නේ ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල මෙන් විභාගයක් කිරීමෙන් පමණක් නොවේ.  ඔවුන් දැණුම සහ අත්දැකීම් මත පරිණත බව ලබා විශේෂඥවරු වෙති. උදාහරණයක් ලෙස වෛද්‍ය බැසිල් වැන්ඩ කොල්ක් යනු මනෝ වෛද්‍යවරයෙකි. එහෙත් ඔහු විසින් පරියේෂණ රැසක් කොට අන්තර්ජාතිකව කීර්තියට පත් වූ වියතෙකි. මම ඔබ කන්සල්ටන්ට් කෙනෙක් ද කියා බැසිල් වැන්ඩ කොල්ක් ගෙන් ඇසුවෙමි. ඔහු දුන් පිළිතුර වූයේ යමෙකු විශේෂඥයෙකු වන්නේ පෆෝමන්ස් හෙවත් අනුයුංජනය යන සාධකය මත බවයි. 

උතුරු ඇමරිකාවේදී විභාග විශාල ප්‍රමානයක් සමත්ව එහෙත් ප්‍රායෝගික දැණුම අවම ඉන්දියානු මනෝ වෛද්‍යවරු මට හමු වී තිබේ. මොවුන්ට වෛද්‍ය එන්සයික්ලෝපීඩියා වේද ග්‍රන්ථ මෙන් කට පාඩම් ය. එහෙත්  ආවේදනික මනෝ රෝගයක් හඳුනාගෙන සාර්ථක මනෝ ප්‍රතිකාරයක් රෝගියා වෙත ලබා දීමට මොවුන් අපොහොසත්‍ ය. මේ නිසා සුද්දන්ට බනිමින් තමා සමත් වූ විභාග ගැන කියවමින් සිටි නවක ඉන්දියානු මනෝ වෛද්‍යවරයෙකුට මැකෙන්සි රෝහලේදී මා දුන් උපදේශයක් නම් මානසික රෝගියෙකු හමු වූ විට එම රෝගියා ජීවමාන ටෙක්ස්ට් පොතක් බව සිතා රෝගියාව හදාරන්න යන්නයි. 

රෝගීන් සමග සංවාදය අවම කොට උඩින් පල්ලෙන් රෝගියා බලා රෝග විනිශ්චය දීම ලංකාව ඉන්දියාව වැනි කලාප වල වෛද්‍යවරු නිතරම කරති. මට හමුවූ කැනේඩියානු මනෝ වෛද්‍යවරියක වූ ඊවා කබෙල්ලෝ වරක් මට පැවසුවේ එක් රෝගියෙකුට භින්නෝන්මාදය රෝග නිර්ණය දීම සඳහා මාස හයක් පමණ තමා එම රෝගියාව නිබඳව හමුවී රෝගියායේ රෝග ලක්‍ෂණ හැදෑරූ බවයි. මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ද  වරක් ද ඉතා ඉවසිල්ලෙන් මාස හතරක් පමණ රෝගියෙකු නිරීක්‍ෂණය කොට රෝගියා තුලින් භින්නෝන්මාදය රෝග නිර්ණය කල අයුරු මට එම අවස්ථාවේදී සිහිපත් විය. 

කන්සල්ටන්ට් උමතුව විසින් බොහෝ තරුණ වෛද්‍යවරුන්ව නොමග යවා තිබේ. කන්සල්ටන්ට් ලේබලය ලැබීමෙන් පසු තමා සියල්ල දත් අයෙකු ලෙස සිතා කිසිවක් හදාරන්නේ නැතිව කිසිදු පරියේෂණයක් නොකොට මවා ගත් ගාම්භීර භාවයකින් තමන් ගේ හීන ලෝක වල ජීවත් වන මේ වෛද්‍යවරු පොළවට පතිත වන්නේ ෆ්‍රොයිඩ් ගැන , ඩෙරිඩා ගැන ලැකාන්ලා ගැන කජු කිරි කොල්ලෙක් ප්‍රශ්න කල විටදීය. එතෙක් ඔවුන් තමා සර්වඥ කියා සිතාගෙන සිටිති. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress