වෘත්තීය ක‍්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යාම  සහ ජල සැපයුම අඩාලවීම
Posted on February 13th, 2017

 

උපාලි රත්නායක සභාපති ඉන්ජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය.

ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිළධාරීන්ගේ සංගමය එක්ව පෙබරවාරි 09 වන දින සිට ආරම්භ කළ වෘත්තීය ක‍්‍රියාමාර්ගය මේ වන විට ඉතා සාර්ථකව අඛණ්ඩව ඉදිරියට යමින් පවතී. මේ සඳහා සංගම් දෙකෙහි සාමාජිකයින් වන ඉංජිනේරු, ඉංජිනේරු සහකාර සහ කාර්මික නිළධාරීන් දහසකට වැඩි පිරිසක් සහභාගි වී සිටී.

සියළු අතිකාල සේවා, රාත‍්‍රී නඩත්තු සේවා මුර, සති අන්ත නඩත්තු සේවා මුර, ප‍්‍රතික්ෂේප කර ඇති අතර අදාල නොවන රාජකාරිවල නොයෙදේ. ජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා ජල පිරිපහදුවල කටයුතු පමණක් ඉටුකරන අතර බිඳවැටීම් අළුත්වැඩියාවන් නිසිලෙස සිදුනොවීම තුල ජල සැපයුම අඩාලවීමේ අවදානමක් උදාවී ඇත.

මේ වන විටත් මාතර, වැලිගම,කරගොඩ, උයන්ගොඩ, මිරිස්ස ආදී ප‍්‍රදේශවල ජල සැපයුම අඩාල වී ඇති අතර දිවයින පුරා දෛනිකව වාර්තාවන සුළු හා මධ්‍ය පරිමාණ ජල කාන්දුවීම්, ජල නල පිපිරීම් ආදියෙන් 80%ක් පමණ අළුත්වැඩියා නොවේ. ඒ අනුව විශාල ජල නාස්තියක් සිදුවේ. එසේ වුවද පාලකයින් නෑසු කන් ඇතිව සිිටින අතර කටයුතු හොඳින් සිදුවන බවට බොරු ප‍්‍රකාශ නිකුත් කරයි. එසේම සභාපතිතුමා පවසා සිටියේ අපට විසඳුම් 03ක් දී ඇතත් අප ඒවා ප‍්‍රතික්ෂේප කර ඇති බවයි.

එහෙත් මොවුන්ට මෙය විසඳීම සඳහා පසුගිය වසර දෙකක්ම කල් ලබා දී ඇත්තෙමු. ප‍්‍රශ්නය නොවිසඳා දිගටම කමිටු පත් කරමින් බොරු කිරීම හැර ලැබුණු විසඳුමක් නැත. දැන් දුන් විසඳුම් ලෙස කියා ඇත්තේ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීම, බේරුම්කරණයට යාම සහ කමිටු පත් කිරීමය. එහෙත් අපගේ ගැටළු මණ්ඩලීය පරිපාලනයට විසඳිය හැකි පරිපාලන ගැටළුය. අපගේ ප‍්‍රධාන ඉල්ලීම වී ඇත්තේ 6/2006 චක‍්‍රලේඛ ක‍්‍රියාත්මක කිරීමේ දී සේවා තත්වය සහ වැටුප්තල පහත හෙලීම සම්බන්ධවය. ඉහල චක‍්‍රලේඛයේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ සේවා තත්වය සහ වැටුප් පහත හෙලිය නොහැකි බවයි. එසේ තිබියදී සේවා තත්වය පහත හෙලීම නීති විරෝධී වේ.

දැන් පාලනාධිකාරිය ගැටළු විසඳනවා වෙනුවට වෙනත් පුද්ගලයින් යොදවා වෘත්තීය ක‍්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටී. එම පියවරයන් පරාජය කිරීමට අපට හැකියාව ඇති අතර සාධාරණ විසඳුක් නොලැබුනහොත් ඉදිරියේ දී පූර්ණ අඛණ්ඩ වැඩ වර්ජනයකට යැමට සිදුවනු ඇත.

මෙයට විශ්වාසී,

උපාලි රත්නායක

සභාපති

ඉන්ජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress