අරාබියට ගල්ගැසීම
Posted on June 15th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

මුස්ලිම් භක්තිකයන් ඉලක්ක කරගත්ත ආරවුල් ඇතිවෙන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. ඇමෙරිකානු ජනපද සංගමයේත්, ප්‍රංශයේත් නිතර ම මේ විදිහේ අවුල් මතුවෙනවා. මෑතක ඉඳලා මියන්මාරයේ බංග්ලාදේශ දේශසීමාව ආසන්නයේ ඉන්න මුස්ලිම් ජනතාව සම්බන්ධයෙනුත් ආරවුලක් ඇතිවෙලා තියෙනවා. අපේ රටෙත් මුස්ලිම් අය ගේ දේපලවලට පහරදීම්, පෙට්‍රල් බෝම්බ ගැසීම් වගේ දේවල් සිද්දවෙනවා. හටපු ගමන් මේ ආරවුල් දුරදිග යන වෙලාවලුත් තියෙනවා. මීට අවුරුදු තුන හතරකට කලින් බේරුවල පැත්තේ – දර්ගා නගරයේ සිද්දවුනේ එහෙම දෙයක්. මේ සිද්දවෙන්නේ මොකක්ද?

බොහෝ වෙලාවට මේ ආරවුල් හඳුන්වන්නේ ආගමික ගැටුම් විදිහට. ජාතිවාදී කලබල විදිහට මේවා හඳුන්වන වෙලාවලුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ කලබලවල වගකීම එක්කෙනෙක් දෙන්නෙක් පිටට පටවන සිරිතකුත් ඇතිවෙලා තියෙනවා. අපේ රටේ මේ වැඩේ වගකීම බොහෝ වෙලාවට ඈඳන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට. මියන්මාරයේ නම් පූජ්‍ය විරාතු හිමියන්ට. රොයිටර්ලා විරාතු හිමියන්ව නම්කරලා තියෙන්නේ බෞද්ධ බින් ලාඩන් කියලා. මේ ස්වාමීන්වහන්සේලා අපේ රටවල් දෙකේ මුස්ලිම් විරෝධී කලබලවලට මුල්වෙලා ඉන්න බව ඇත්ත. ඒ විතරක් නෙවෙයි. මේ උන්වහන්සේලා තමන් ගේ අදහස් ප්‍රකාශකරන විදිහත් හරි ම ආවේගශීලියි. ඒක අපේ බෞද්ධ සම්ප්‍රදායට නොගැලපෙන බව අමුතුවෙන් කියන්න උවමනා නෑ. ඒත්, මේ අලකලංචිවල වගකීම මේ විදිහට එක් කෙනෙක් දෙන්නෙක් පිටට විතරක් පටවන්න පුළුවන් ද?

ඇයි අපිට බැරි මේක සමාජ, සංස්කෘතික ගැටලුවක් විදිහට හඳුනාගන්න. යම් යම් සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික ගැටලු තියෙන වෙලාවට තමයි මිනිස්සු අසහනයට පත්වෙන්නේ. ඒ අසහනයට විසඳුම් දෙන්න කියලා සමහරු ඉස්සරහට එනවා. ඒ අතර අවස්ථාවාදීනුත් ඉන්න පුළුවන්. ඒත් ඒ විදිහට ඉස්සරහට එන අය ඉලක්ක කරගත්තා කියලා, ඒ අය ව යටපත් කළා කියලා ඇතිවෙලා තියෙන අසහනය තුරන්කරන්න පුළුවන්කමක් නෑ. මර්දන ක්‍රියාමාර්ගවලින් යම් කාලයකට මේ ආරවුල් යටපත්කරන්න පුළුවන් වේවි. ඒත්, යටින් පැසවන වෛරයක් ඉතිරි කළොත් කවදා හරි මහ විනාශයක් වෙලා තමයි නවතින්නේ. ඉතින් අපි කරන්න ඕන මේ ආරවුලට මුල්වෙලා තියෙන කාරණා මොනවා ද කියලා ප්‍රවේශමෙන් හොයලා බලන එක.

මේ ආරවුල් ආගමික ගැටුම් විදිහට හැඳින්වීම වැරැදියි. අපේ රටේත්, මියන්මාරයේත් බෞද්ධයන්ට ඉස්ලාම් ධර්මයත් එක්ක තියෙන ආරවුල මොකක් ද? ඇමෙරිකානු ජනපද සංගමයේ, යුරෝපා රටවල ඉන්න කිසිම ආගමක් අදහන්නේ නැති අය පවා මුස්ලිම් අයත් එක්ක ගැටෙනවා. ඒ ගැටුම් කතෝලික, ක්‍රිස්තියානි අය ගේ ගිණුම්වලට පටවන සිරිතක් ඒ රටවල නෑ. මේ වැඩේට අපේ රටවල් දෙකේ මුල්වෙලා ඉන්නේ බෞද්ධ ස්වාමීන්වහන්සේලා දෙතුන් නමක් බව ඇත්ත. ඒත් එහෙම වුනා කියලා බෞද්ධ අපේ ගිණුමට මේක බැරකරන එක සාධාරණ නෑ. මේක ආගමික ගැටුමක් විදිහට නම්කරන එකත් සාධාරණ නෑ. අපි මේ ආරවුල තේරුම්ගන්න ඕන සංස්කෘතික ගැටුමක් විදිහට.

එහෙම කියන්නේ ඇයි? ආගමකුත් ඒ හා බැඳිච්ච සංස්කෘතියත් එකිනෙකින් වෙන් කරන්න පුළුවන් ද? මේ විදිහේ ප්‍රශ්න මතුකරන එක සාධාරණයි. ආගමකුත් ඒ හා බැඳිච්ච සංස්කෘතියකුත් වෙන්කරන්න අමාරුයි. ඒත් ආගමක් රටකින් රටකට යද්දි ඒ හා බැඳිච්ච සංස්කෘතිය වෙනස්වෙනවා. උදාහරණයක් විදිහට අපේ රටේ බෞද්ධ සංස්කෘතියත් මියන්මාරයේ බෞද්ධ සංස්කෘතියත් අතර යම් යම් වෙනස්කම් තියෙනවා. අපේ රටවල් දෙකේ ම අදහන්නේ එක ම බුද්ධාගම තමයි. ඒත් අපි වගේ අලි ඇතුන් සම්බන්ධ කරගෙන පෙරහැර යෑමක් මියන්මාරයේ බෞද්ධයෝ කරන්නේ නෑ. අපි දන්නවා 1915 මුස්ලිම් කලබලය ඇතිවුනේ ගම්පොල නගරයේ පෙරහැරක් පවත්වන්න බැරිවෙච්ච කාරණයක් මුල් කරගෙන. අපි පෙරහැරවල බෙර ගහනවා, නළා පිඹිනවා, නැටුම් නටනවා. ඒත් මුස්ලිම් අය කිව්වා තමන් ගේ පල්ලිය ළඟින් යද්දි සද්ද නොකර යන්න කියලා. පෙරහැරක බෙර ගැහිල්ල, නළා පිඹීම, නැටුම් නැටීම අපේ සංස්කෘතික පුරුද්දක්. එහෙම නැතුව මේක අඩුම ගණනේ විනය පිටකයෙන්වත් පනවපු ශික්‍ෂාවක් නෙවෙයි.

ඉතින් ආගමක් රටින් රටට යද්දි ඒ හා බැඳුණු සංස්කෘතික සිරිත් ඒ ඒ රටේ දේශගුණික තත්ත්වයන්ට පවා ගැලපෙන විදිහට හැඩගසාගන්න සිද්දවෙනවා. සමහර වෙලාවට ආගමික පැවතුම් පවා සකස්කරගන්න වෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් රාමසාන් උපවාසය ග්‍රීස්ම කාලයට යෙදුනොත් ඉර බහින්න පැය තුනකට විතර කලින් උපවාසය අත්හරින්න කියලා අයිස්ලන්තයේ අගනුවර පිහිටලා තියෙන අල්-නූර් මුස්ලිම් පල්ලිය අනුදැන වදාරනවා. මොකද ඒ කාලෙට අයිස්ලන්තයේ ඉර බහින්නේ රෑ 12 ත් පහුවෙලා. ඉර පායන්නේ උදේ තුනටත් කලින්. ඉතින් දවසට පැය 22 ක් උපවාස කරලා ඉතිරි පැය දෙක ඇතුළේ කන්න බොන්න පුළුවන්කමක් ඒ රටේ මුස්ලිම් අයට නෑ. ඉස්ලාම් ආගම පිළිබඳ යුරෝපීය ෆත්වා සභාව තමයි මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න කියලා අනුමැතියක් දීලා තියෙන්නේ. මේ ගැනත් වාද විවාද තියෙන බව ඇත්ත. ඒ මත අයිස්ලන්තයේ මුස්ලිම් අය දෙපිලකට බෙදිලා ඉන්න බවත් ඇත්ත. ඒත් මේ වගේ දේ වෙන බව අපි තේරුම්ගන්න ඕන.

මහම්මත්තුමා අනෙක් ආගමික ශාස්තෘන්වහන්සේලාගෙන් වෙනස්වෙන මූලික කාරණයක් තියෙනවා. ඒ තමයි එතුමා තමන් ගේ ජනතාව පාලනය කරපු, රංජනය කරපු නායකයකු වීම. ක්‍රිස්තු වර්ෂ 622 දී, මක්කම ඉඳලා මදීනාවට ගිය එතුමා ඒ ප්‍රදේශයේ ජනතාව ගේ නායකයා බවට පත්වුනා. ඊට පස්සේ මදීනාවේ ව්‍යවස්ථාව සම්පාදනය කරලා ඒ ප්‍රදේශයේ ජනතාව අතර තිබුණු ආරවුල් සමථයකට පත්කළා. ඒ විදිහට තමයි ලෝකයේ පළමු ඉස්ලාමීය රාජ්‍යය ගොඩනැගුවේ. ඉතින් එතුමා ඒ කළේ ඒ ප්‍රදේශයේ ජනතාව ගේ දේශපාලනික අවශ්‍යතා ඉටුකිරීමක් කියලා හිතන්න පුළුවන්. ශරියා නීතිය, ශුරා පැවැතුම් වගේ දේ භාවිතයට ආවා. ඉතින් මේ වගේ විවිධ සමාජයීය කරුණුවලිනුත් කුරානය පෝෂණයවෙලා තියෙනවා. ඒ ඉගැන්වීම් අනුව හැඩගැසීමෙන් තමයි අරාබි සංස්කෘතිය සකස්වෙලා තියෙන්නේ.

අපි සළකා බලන්න ඕන අනෙක් වැදගත් ම කාරණේ තමයි සංස්කෘතියක් ගොඩනැගෙන්න ගතවෙන කාලය. ඇත්තෙන් ම අපිට කියන්න බෑ කිසිම සංස්කෘතියක් ගොඩනැගිලා පරිපූර්ණ තත්ත්වයට පත්වෙලා තියෙනවා කියලා. අරාබි සංස්කෘතිය වුනත් එහෙමයි. අද තියෙන්නේ මීට අවුරුදු 100 කට කලින් තිබුණු අරාබි සංස්කෘතිය ම තමයි කියලා කියන්නේ කොහොම ද? මිනිස්සුන් ගේ ඇවැතුම් පැවැතුම් කාලීන උවමනා එපාකම් අනුව වෙනස්වෙනවා. ඉතින් දේශය අනුව වගේ ම කාලය අනුවත් සංස්කෘතියක් හැඩගැහෙනවා.

අපේ රටේ වැඩි හරියක් ඉන්නේ තමිළ්නාඩුවෙනුත් ඒ ආශ්‍රිත ප්‍රදේශවලිනුත් ආපු මුස්ලිම් ජනතාව. අපේ සමහරු කියන විදිහට අරාබියෙන් ආපු පිරිමි සිංහල කාන්තාවන් විවාහ කරගෙන මේ රටේ මුස්ලිම් ජනයා බිහිකළා කියන කතාව පිළිගන්න අමාරුයි. තාත්තා කතාකළේ අරාබි නම්, අම්මා කතාකළේ සිංහල නම් ළමයි දෙමළ කතාකරන්නේ කොහොම ද? ඒ හින්දා ඒ වගේ පදනම් රහිත කතා අපි පිළිගන්න ඕන නෑ. ඉතින් තමිළ්නාඩුවෙනුත් ඒ ආශ්‍රිත ප්‍රදේශවලිනුත් ආපු මුස්ලිම් ජනතාව ඒ ප්‍රදේශවල තිබුණු සංස්කෘතික පැවැතුම් අපේ රටට ඇරගෙන ආවා. හම්බන්තොට පැත්තේ ඉන්න මැලේ අය ගේ ඇවැතුම් පැවැතුම් එයට වඩා වෙනස්. ඒත් පස්සේ කාලේ මේ අය සිංහල අපේ ඇවැතුම් පැවැතුම් පවා යම් යම් ප්‍රමාණවලින් අනුගමනය කරන්න පටන්ගත්තා. උදාහරණයක් විදිහට අපේ මුස්ලිම් ජනයා හොඳට පොල්කිරි දාලා කෑම හදනවා. අපේ කෑම වගේ ම තමයි.

සිංහල අපිත් මුස්ලිම් අයගෙන් සමහර දේවල් ලබාගෙන තියෙනවා. අපේ කාන්තාවෝ අද අඳින සාරිය පවා ඉන්දීය උපමහාද්වීපය මූගල් පාලනය යටතේ තියෙද්දී මුස්ලිම් සංස්කෘතික ආභාෂයෙන් නිර්මාණය කරගත්ත එකක්. ඉතින් අපි දැන් මහාමායා දේවියටත් සාරි අන්දවනවා. අරාබි සංස්කෘතිය ඒ විදිහට ම කොපි කරන්නේ නැතිව තමන් ගේ ම නිර්මාණ කරලා ඒවා අනෙත් අයටත් ලබාදීමේ නිර්මාණශීලි බව ඒ සාරිය නිර්මාණය කරපු අයට තිබුණා. ඒත් අද තත්ත්වය ඊට වෙනස්. අද පිරිසක් උත්සාහකරන්නේ අරාබි සංස්කෘතිය ඒ විදිහට ම අනෙක් රටවල්වලට ගෙනියන්න. මේක කරන්නේ ඉස්ලාම් ආගමේ නාමයෙන්.

ඉතින් මේ වගේ ආගන්තුක සංස්කෘතික නිපැයුම් හිටි හැටියේ මතුවෙනවා දකිද්දී ඒවා දකින අනිත් අය කලබලවෙනවා. අද ප්‍රංශයේ ඇතිවෙලා තියෙන්නෙත් මේ සංස්කෘතික කලබැගෑනිය. මේ විදිහට කලබල ඇතිවෙන්න පටන්ගත්තේ අරාබි සංස්කෘතිය ගෙඩිය පිටින් ම අනුකරණය කරන්න උත්සාහකිරීමත් එක්ක. මේක ඒ ඒ රටවල්වල මිනිස්සු දකින්නේ සංස්කෘතික පීඩාවක් විදිහට. ඒ ඒ සමාජ සංස්කෘතීන්ට අනුගතවෙලා හිටිය මුස්ලිම් අය පවා මේ වැඩෙන් පීඩාවට පත්වෙලා ඉන්නේ. මඩකපුවෙන් කොළඹට ඇවිල්ලා නීති පනවන පිරිසක් හින්දා තමන් ගේ දියණියන් දෙන්නා පීඩාවට පත්වෙලා ඉන්න ආකාරය ගැන අවනඩුවක් එක්තරා මුස්ලිම් ජනමාධ්‍යවේදියෙක් මේ ලේඛකයාත් එක්ක කියලා තියෙනවා.

ඉතින් දැන් ඇතිවෙලා තියෙන මේ ප්‍රශ්නය අපි තේරුම්ගන්න ඕන ආගමික ගැටුමක් විදිහට නෙවෙයි. එක්තරා ආකාරයක සංස්කෘතික ගට්ඨනයක් විදිහට. හැබැයි එහෙම කියලා මිනිස්සුන් ගේ දේපල විනාශකරන්න, මුස්ලිම් දේවස්ථානවලට පහරදෙන්න ඉඩ තියන්න හොඳ නෑ. ඒ වගේ සෙල්ලම්වලින් වෙන්නේ මිනිස්සු තව තවත් දුරස්වෙන එක විතරයි. කරන්න ඕන මේ සිද්දවෙන දේ ගැන නිරවුල් ව හිතලා බලලා ඒ ගැටලු විසඳගන්න විධික්‍රම හොයාගන්න එක.

වරුණ චන්ද්‍රකීර්ති ෴

3 Responses to “අරාබියට ගල්ගැසීම”

  1. Senevirath Says:

    ඉතින් දැන් ඔබ නිරවුල්ව දන්නවනේ .විසදුමත් කියන්නකෝ

  2. Christie Says:

    සින්හලයේ වියාපාරික බස දෙමලය.

    මෙය පටන්ගත්තේ 1840න් පසුවය. (Trade Registration Ordinance of 1840)

    1840- ඉන්දියානු පරපෝසිත්යෝ සින්හලයේ වෙලහෙලඳාම උන් නතුකරගත්තෝය.

    මුස්ලිම් වියාපාරික අයට ජීවත්වීම සඳහා දෙමල දැනුමක් අවැසි විය.

    බන්ඩා සින්හල රජයේ බස (භාෂාව) කලද වියාපාරික බස ලෙස දෙමල තවත් තහවුරු විය.

    මියන්මාරයේ රොහින්ඟියා ඉන්දියානු පරපෝසිතයන්ය.

    මුස්ලිම්වරුන්ට තඩිබාන ගරු තරබාරු හාමුදුරුවරු ඉන්දියාවෙන් හා ඉන්දියානු පරපෝසිතයන්ගෙන් යැපෙන්නන්ය.

    අද ඉන්දියානු අදිරදය මුස්ලිම් අය මරා දමති.

    සින්හල බොදු, කිතුනු, මුස්ලිම් එකතුවී ඉන්දියානු අදිරදයට එරෙහිව නැගීසිටුමු.

  3. NAK Says:

    The spat between the Rohingaya’s and the Myamarie’s is because the Rohingaya’s are illegal immigrants.
    It is the western main steam media who are doing cooli work for the christian/catholic church that call this as a Buddhist Muslim clash.
    It is the same in Sri Lanka. Buddhist’s protest when Muslim’s trespass in to their holy sites and the western media are ever ready to call that Buddhist aggression against minority Muslims.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress