ජිනීවා  සමුළුවට විවෘත ලිපියක්
Posted on September 5th, 2017

මතුගම සෙනෙවිරුවන්

මානව හිමිකම් කවුන්සිලෙයේ විසිහත් වන සැසිවාර යේදී මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීමේදී ශ්‍රී ලංකාව යුධ අපරාධ කර ඇති බව උලුප්පා දක්වා ඇත.එම කරුණු දැක්වීම අනුව ශ්‍රී ලංකා රජය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කළහ. එහිදී සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනයට කිරීමට එකඟ විය යුතු බවද දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවද ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියත්මක කිරීමට මෙන්ම එය ඉක්මවා යන බලය බෙදීමකට එකඟ විය යුතු බවටද එහිදී ප්‍රකාශ කර ඇත. මෙම කාරණා යලි යලිත් මතක් කරමින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් ඇත.එයට හේතුව මානව හිමිකම් නියෝජිතයන්ට මෙම මානව හිමිකම් කටයුතු සඳහා අත පෙවීමට ඉඩදීමේ රජයේ එකඟතාවයයි. එසේම මහජන ආරක්ෂක පණත සංශෝධනය කරමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතුය යන බලපෑමද කොට ඇත. ඒ තත්ත්වය තුළ 2015 වසරේ සිට ගත වුණු කාල වකවානුවේදී ශ්‍රී ලංකා රජය අතුරුදහන් වූවන් සඳහා වූ පනතක් සම්මත කර ඇත. එසේම සංහිඳියාව සහ වගවීම පිනිස ලංකාවේ නීති රිති අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රයන්හි ව්‍යුහාත්මකවෙනස් කම් රාශියක් කරමින් තිබේ.මෑතකදී බෙන් එමර්සන් මහතා ලංකාවට පැමිණ ඉහතකී තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයන් ගැන තර්ජනාත්මකව විමසා තිබේ. මානව හිමිකම් කොමසාරිස් තුමනි.ඔබට ලැබී තිබුණු සාක්ෂි පට්ටපල් බොරු යයි වෙනත් වාර්තා වලින් ඔප්පු වී තිබියදීත් මෙලෙස ස්වාධීන රාජ්‍යයකට බලපෑම් කිරීම සහ තර්ජනාත්මකව සැලකීම කුමන අන්දමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් දැයි විමසමි.බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකාවද මානව හිමිකම් උල්ලංඝණය කරන කල්හි නිශ්ශබ්දව සිට ශ්‍රී ලංකාව කෙරෙහි පමණක් ඇඟිල්ල දිගු කරන්නේ දෙමළ ගෝලීය සංසදයෙන් ඔබට යහමින් මුදල් ගෙවා ඇති නිසා නොවේද.

වර්තමානයේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මහා බ්‍රිතාන්‍ය 1815 වසරේ දී ගිවිසුමකින් ලංකාව භාරගත් පසු මෙරටදී කරන ලද යුධ අපරාධ රාශියක් තිබෙන බව මේ මොහොතේ දී මතක් කර සිටිමි. සිංහල ජනතාව සහ රදළවරු මූලික කරගෙන 1817 දී ඇතිවූ විමුක්ති අරගලයේදී සහ 1848 ඇති වූ මාතලේ නිදහස් අරගලයේදී ලංකාවේ සිංහල ජනතාවට අරභයා විශාල වශයෙන්  යුධ අපරාධ සිදු කිරීමට බ්‍රිතාන්‍ය හමුදාව කටයුතු කර ඇත.1817 විමුක්ති අරගලයට මේ වන විට වසර දෙසීයක් සපීරී තිබේ. බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සහ නිළධාරීන් සිංහල පිරිමින් සහ කුඩා දරුවන් අමානුෂික ලෙස ඝාතනය කළ ආකාරය පිළිබඳ වාර්තා රාශියක් ඇත. එසේම සිංහල ජනතාවගේ වතු පිටි කුඹුරු ගිනිතබා විනාශ කරමින් ගවයන් ඝාතනය කොට ළිං වලට එම මළ කුණු ඇද දමා දුර්භික්ෂයක් ඇති කර නිහීන ලෙස අරගලය පරාජය කළ හැටි පෙන්වා දිය හැකිය.එසේම මෙම අරගලයට නායකත්වය දුන් රදළයන් රාජ ද්‍රොහීන් ලෙසට නම් කර රටින් පිටිවහල් කරන ලදී. ඔවුන් ගේ දරුවන්ට හිමි විය යුතු වරප්‍රසාද පවා අහිමි කරන ලදී.අදටත් මාතලේ මහනුවර පමණක් නොව නැගෙනහිර පළාතේ පවා ප්‍ර වේනි ඉඩ කඩම් වල උරුමය තහවුරු කරගනු බැරිව සිංහල පැරණි පරම්පරා දුර්වලව සිටී.

අප මුතුන් මිත්තන් මහා බ්‍රිතාන්‍ය රජුට රට භාර දුන්නේ මෙවැනි අපරාධ කරන්නට නොවේ. පෙර සිරිත අනුව රට පාලනය කරන්නටයි. එම ගිවිසුම ද උල්ලංඝණය කරමින් බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුව 1948 තෙක් අඛණ්ඩව රට පාලනය කර ඇත. ඉන්පසු රට ස්වදේශිකයන් අතට භාර දුන්නද මහ රැජිනගේ බලපෑමෙන් මිදෙන්නට ඉඩ නුදුන්හ. උතුරු සහ නැගනහිර ප්‍ර දේශ 1766 ට පෙර සිංහල රජුන් යටතේ පාලනය වූ පළාත් ය. එම ප්‍ර දේශ වල සිංහල ජනතාව විශාල වශයෙන් ජීවත්ව සිට ඇත. නමුත් බ්‍රිතාන්‍ය යන් බලයට පත් වූ පසු මලබාරයෙන් ගෙන්වූ වහලුන් එම ප්‍ර දේශ වල පදිංචි කරමින් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කර තිබේ. දැන් එම මලබාරයන් ගෙන් පැවතෙන මෑත පුරපුරේ දේශ පාලනඥයන් ලක් රජයෙන් සවයං පාලනයක් ඉල්ලවති. එහිදී ඇති වූ සිවිල් අරගලයේදී හමුදාව යොදවා එය පාලනය කර ත්‍රස්තවාය පරාජය කරන් ලද්දේ රටේ සාමය සහ නීතිය ආරක්ෂ කර ගැනීමටයි. එහිදී ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් දිවි පරදුවට තබා ත්‍රස්තවාදය පාලනයට රජයට සහාය දැක්වූයේ රජයේ අණ පරිදිය.රටේ ආරක්ෂාව තහවුරු කිරීම ත්‍රිවිධ හමුදාවක වගකීමයි. එම නිසා එම ක්‍රියාන්විතයේ යෙදී සිටි සියලුම හමුදා නිළධාරීන්ට විශේෂ මුක්තියක් හිමි විය යුතුය.මහා විජයබාහු රජු ගේ පනාකඩුව තඹ සන්නසේ සඳහන් පරිදි  පෙර රජ දවස  රජු වෙනුවෙන් කළ සේවයට ලබා දුන් විශේෂ මුක්තිය  මගින් හෙළි කරනුයේද එවැනි වරප්‍රසාදයක් හමුදාවට හිමි විය යුතු බවයි..

බ්‍රිතාන්‍ය යන් සහ ලන්දේසීන් විසින් පදිංචි කරනු ලැබූ මලබාර් වහලුන් ගෙන් පැවත එන කිසිවකුට රටේ පවතින බලය දුර්බල කොට සවයං පාලනයක් දීමේ අවශ්‍යතාවයක් නැත. වර්තමානයේ රටේ ජීවත් වන සිංහල දෙමල මුස්ලිම් ජනතාව සියල්ලම රට වැසියන් ලෙසට සැලකුවහොත් ඔවුන් ගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගැනීමටත් දේශපලන වැඩ කටයුතු වල යෙදීමටත් තිබෙන නිදහස උපරිමයෙන් පවතින බව කිව යුතුයි. 1815 දී බ්‍රිතන්‍ය න් ට රට භාර දෙන කල්හි රටේ දේශපාලන බලය මැනවින් ශක්තිමත්ව තිබුණි. රජු රටේ භාරකරු විය. නමුත් ගම් මට්ටමින් පැවති ගම් සභාව සහ පළාත් මට්ටමින් පැවති රට සභාව ආදී තැන් වල ජනතාවගේ වැඩ කටයුතු කර ගැනීමට අවශ්‍ය බලයක් ප්‍රදානය කර තිබුණි. නමුත් සියල්ලන්ම රජුට යටත්ව එම රාජ කාරි ඉටු කළහ. බ්‍රිතාන්‍යයන් රට භාරගත් මුල් කාල වකවානුවේදී 1833 න්  පසු මෙම රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේ විය. ඉන්පසු රටේ පරිපාලනය බිඳි වැටුණ අතර මහ ගංවතුර සමයන්හිදී වාරිමාර්ග  බොහොමයක් කැඩී බිඳි ගියහ. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට තමන් කළ වැරැද්ද තේරුම් ගියේ එවිටයි. ඉන් පසු ඔවුහු ක්‍රමයෙන් රටේ සංස්කෘතිය තෙරුම් ගනිමින් ගම්බද පරිපාලන ක්‍රම ශක්තිමත් කළහ.එහි පළමු පියවර වූයේ 1871 ගම් කාර්ය සභා පණතයි. ඉන්පසු 1920 දක්වා මෙම පණත් සංශෝධනය මගින් ගම් සභාවලට යලි බලය පවරමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව නීති රීති සකස් කළහ.

1916 දී බස්නාහිර පළාත් ඒජන්ත වරයා වූ ජේ.බී. ප්‍රෙෂර් මහතාගේ මූලිකත්වයෙන් පළාත් පාලන ක්ෂේත්‍රය පිළිබඳ කරුණු සොයා බැලීමට කොමිසමක් පත් කර ඇත. මෙහි වාර්තාව 1918 දී පිටවිය. මෙම වාර්තාව පදනම් කරගත් රජය 1920 අංක 11 දරණ පළාත් පාලන ආඥා පනත සහ 1924 අංක 9 දරණ ගම්කාර්ය සභා ආඥා පනත් දෙක සම්මත කර ගෙන ඇත.1924 පනතින් විශේෂ වෙනස්කම් දෙකක් මූලිකව ඇති කරන ලදී. ඒ නම් මෙතෙක් නිල බලයෙන් ගම් කාර්ය සභාවල මූලිකත්වය ගෙන කටයුතු කළ ගම් මුලෑදෑනීන් ඉන් ඉවත් කිරීමයි. අනෙක නම් අතුරු ව්‍යවස්ථා සම්පාදනය ට හැකි වන පරිදි ගම් කාර්ය සභාවේ බලතල පුළුල් කිරීමයි.1927 දී පත් කරනු ලැබූ ඩොනමෝර් කොමිසම මගින් ලංකාවේ පළාත් පාලනය පිළිබඳ පුළුල් අදහස් විමසා වාර්තාවක් සකස් කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්  1932 සහ 1933 පනත් මගින් ගම් සභිකයන් පත් කිරීම ඇති කරන ලදී.මෙහි උච්චතම අවස්ථාව නම් 1938 අංක 60 දරණ ගම් කාර්ය සභා ආඥා පනතයි. මේ මගින් පළත් පාලන ආයතන තව දුරටත් පුළුල් කරන ලදී. මේ යටතේ සෑම ගම් කාර්ය සභාවත්ම පොදු දේපළ තබා ගැනීම පොදු මුද්‍රාවත් තබා ගැනීම බදු අය කිරීම සහ  ව්‍යවස්ථා පැනවිය හැකි නීතිගත සංස්ථාවක් බවට පත් වීම සිදු විය.

1946 අංක 53 පනත මගින් මෙතෙක් ගම්සභා සහ නගර සභා සඳහා වූ මැතිවරණ නීතිය වෙනස් කොට සියලුම පළාත් පාලන ආයතන මැතිවරණ කොමසාරිස්වරයා යටට පත් කරන ලදී.එසේම 1945 අංක 43 පනත මගින් සියලුම පළාත් පාලන සේවකයන් පළාත්පාලන සේවා කොමිසම යටතට පත් කර ඇත. 1955 දී රජය විසින් පත් කරන ලද චොක්සි කොමිසම මගින් පළාත් පාලන ආයතන වල ස්වයං පාලන හැකියාව විමර්ශනය කොට යෝජනා ඉදිරිපත් කර තිබේ. මේ නිසා 1971 අංක 48 දරණ පනතින් ආදායම් එකතු කිරීමේ වගකීම ද 1977 අංක 24 දරන පනතින් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට අයවැය අනුමැතිය දී සම්බන්ධයෙන් ද බලතල පවරා ඇත. ඒ අතින් බලන කල්හි පූර්ණ බලතල බෙදීමක් මෙම සභා හරහා සිදුවී ඇති බව පැහැදිලි වෙයි. නමුත් 1977 කාලයේදී කොටි ත්‍රස්වාදීන් විසින් දියත් කළ රට බෙදීමේ ඊලාම් සටන නිසා බිය පත් වූ රජය 1980 අංක 35 දරන පනතින් දිස්ත්‍රික් සංවර්ධන සභාවන් පිහිටුවීමට තීරණය කළහ. ඒ එකළ විපක්ෂ නායකායාව සිටි ඒ .අමිර්තලිංගම් සැනසීමටයි.රජය ගත් මෙම අදූරදර්ශී තීරණය නිසා ගම්සභා සහ සුලු නගර සභා සියල්ල අහෝසි විය.1980 ජූන 30 වන විට ගම්සභා 547 ක් සහ සුලු නගර සභා 83 ක් පවත්වාගෙන පැමිණ ඇත.දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කිරීම නිසා ග්‍රාමීය ජනතාවට ඉතාමත් සමීපව කටයුතු කරල ආයතනයන් අහෝසි විය.එම ප්‍රතිසංස්කරණ  කරන ලද්දේ පැවති එක්සත් ජාතික පක්ෂ රජයයි. ඒ වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභාවලට අමාත්‍යංශ 11කට අදාල විෂයයන් 15 ක් පවරනු ලැබූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ද මෙම සභා වල අසුන් ගෙන කටයුතු කළහ.එයින් සිදු වූයේ ජනතාවට බලය යෑම නොව දේශපාලන නායකයන් හට බලය ලැබීමයි. එහිදී ගමේ ඇති නියෝජන අඩුව සම්පූර්ණ කරලීමට 1981 දී ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවනු ලැබූහ.නමුත් මේ කිසිවකින් ගම් මට්ටමේ ප්‍රශ්ණ විසඳීම පහසු නොවීය.ඒවා අවසානයේ දූෂිත ආයතන බවට පත් විය.පසුව ඉන්දීය රජයේ බලපෑමෙන් ඇති කළ පළතා සභා නිසා මෙම දූෂීත භාවය දෙතුණ තෙගුණ විය. බලය දේශපාඥයන්ට හුවමාරු වීමෙන් ඇති වූ දුර්භාග්‍ය අද මුළු රටම වෙලා ගෙන ඇත.

1987 දී නැවත උප දිසාපති කොට්ඨාශ මටිටමින් ගම් කාර්ය සභා පාලන ප්‍රදේශ එක් කර ප්‍රාදේශීය සභා පිහිටුවීමට කටයුතු කරන ලද අතර. අද රට පුරා මහ ජන චන්දයෙන් තේරී පත්වූ සභිකයන් සහිතව ප්‍රා දේශීය සභා ක්‍රියාත්මක වෙයි. ඒවා තුළින් රට පුරා සෑබෑ ලෙසටම බලය බෙදා හැර තිබේ.පරිපාලනය ශක්තිමත් කර තිබේ.නමුත් පළත් සභා පනත මගින් එම බලය නැවත උදුරා ගෙන ඇත.2015 වර්තමාන ආණ්ඩුව පත් වූ පසු දිගින් දිගටම පළාත් පාලන චන්දය කල්දමමින් ජනතාව සතු බලය අව භාවිත කරමින් සිටින්නේ මානව හිමිකම් කොමසාරිස් ඇතුළු ජාත්‍යන්තර ආයතන විසින් ලබා දුන් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම උදෙසා කල් මැරීමටයි.මෙවැනි ක්‍රියා යහපාලන ගණයේ උසස් ක්‍රියා නොවේ. දේශපාලන තක්කඩියන්ගේ අමන ක්‍රියා වේ. එම නිසා සැප්තැම්බර් 11 වන දිනට රැස්වන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය වටහා ගෙන ව්‍යාජ සාක්ෂි ඉවත දමා ලංකාවේ ස්වාධීන පැවැත්මට හිතකර යෝජනා පමණක් සම්මත කර සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙසට  හැසිරෙනු ඇතැයි  බලාපොරෙත්තු වෙන් සිටිමි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress