බර්ටි ගලහිටියාව පිළිබඳ මතකය
Posted on September 18th, 2017

වෛද් රුවන් එම් ජයතුංග

ඒ 1985 සැප්තැම්බර්  මාසයයි.  අපොස උසස් පෙළ විභාගය ලිවීමෙන් පසු ලැබෙන දිග නිවාඩුව මම  ගත කරමින් සිටියෙමි. මා සමග කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ උසස්පෙළ හැදෑරු සිසුන් බොහෝ දෙනෙකු පරිගණක , විදේශීය  භාෂා අධ්‍යයනය වැනි කාර්යන් වල නිරත වී සිටියහ. නිකරුනේ ගෙදර කාලය ගත කිරීම නුසුදුසු බව සැලකු මගේ පියා තාවකාලික පදනම මත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස  වැඩ කොට අත්දැකීම් ලබා ගන්නා ලෙසට මා උනන්දු කළේය. එම නිසා ඒ සඳහා ඉල්ලුම්පත්‍රයක් මම  යැව්වෙමි. මා විසින් යවන ලද ඉල්ලුම්පත්‍රය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලිවී විජේමාන්න මහතා අනුමත කළේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස මාස තුනක් පමණ සේවය කරන විට බීබීසීයේ කීර්තිමත් නිවේදකයෙකු   වු ස්ටුවර්ට් වේවල් මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබු පුහුණු වැඩසටහනට මාව තෝරාගෙන ඇති බව  වීරමන් මහතා  ඉංග්‍රීසි සේවයේ අධ්‍යක්‍ෂක සරත්  ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් මට  දැනුම් දුන්නේය. එය සෑම  මාධ්‍යවේදියෙකුගේ සිහිනයකි. මෙම පුහුණු වැඩසටහනට බර්ටි ගලහිටියාව වැනි ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි ශිල්පින් ද පැමිණ සිටියහ. එහි සිටි  ලාබාලම  තැනැත්තා වුයේ පාසල්   අධ්‍යාපනය නිම කොට මාස හයක්වත් නොඉක්මවූ මා ය. 

බර්ටි ගලහිටියාව බොහෝ අත්දැකීම් ඇති ගුවන් විදුලි ශිල්පියෙකි. ඔහු තමන්ගේ රසවත් අත්දැකීම්  අපට පැවසිය.බර්ටි ගලහිටියාව ඉතා මිත්‍රශීලී මිනිසෙකි. හොඳ ගුරුවරයෙකි. ඔහු තමාගේ ගුවන් විදුලි අත්දැකීම් අප හා කීවේය​. ඒ කාලයේ ගුවන් විදුලියේ පටිගත කිරීම් වලට ඈත ගම් වලට ගිය විට පන්සල් වල ; ගස් යට රාත්‍රිය ගත කල ආකාරය ගැන කීවේය​. 

වරක් ඔහු මට අපූරු කතාවක් කීවේය​. 70 දශකයේ පමණ සයිප්‍රසයේ ආච් බිශොප් මාකාරියොස්ව බලයෙන් පහ කරන ලදි. මෙම පුවත මුලින්ම ලෝකයේ ගුවන් විදුලි සේවා අතරින් විකාශණය කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි. 

බර්ටි ගුවන් විදුලි කලාව පිලිබඳ  පතාක යෝධයෙකි. එහෙත් ඔහු ප්‍රසිද්ධිය හඹා නොගියේය​. දේශපාලකයන් පසුපස පන්දම් අල්ලන්නට නොගියේය​. ඒ කාලයේ අග්‍රාමාත්‍ය ඒකකය කියා නොනිල සේවයක් තිබුණු අතර එම අංශයේ වැඩ කල සමහරුන්ට තිබුනේ හැකියාවට වඩා පන්දම සහ බෙලි කැපීමේ දක්‍ෂතාවය ය​. මේ අග්‍රාමාත්‍ය ඒකකයට ඉතා පහසුවෙන් හේත්තු වීමට තිබුනද බර්ටි දේශපාලන පුබ්බඩයන් කරන එකී ලාමක දේවල් නොකලේය​. 

බර්ටි නියෝජනය කලේ ගුවන් විදුලියේ එක් කීර්තිමත් යුගයකි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress