ශ්‍රීලනිප සමග ඒකාබද්ධ පොදුජන පෙරමුණ එක්ව තරග කිරීම…! [Mahinda.Info EXCLUSIVE]
Posted on December 22nd, 2017

Mahinda.info

ඉදිරි පළාත් පාලන මතිවරණයෙන් ජය ගැනීමටනම් මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වී ඒකාබද්ධ පොදුජන පෙරමුණ තරග කළ යුතු බවට සුළු පිරිසක් පවසයි. එහෙත් අති බහුතරයගේ මතය වන්නේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ වෙන්ව තරග කළ යුතු බවය. සුළුතර මතය වූ පමණින් එය ප්‍රතික්ෂේප නොකර ඔවුන්ගේ තර්කය mahinda.info වෙතින් විශ්ලේෂණාත්මකව විමසා බලමු.

ශ්‍රීලනිප සමග ඒකාබද්ධ පොදුජන පෙරමුණ එකතු විය යුතුයැයි කියන අයට ඒ සඳහා වෙන වෙනම ඤායපත්‍රයන් තිබිය හැකිය. එහෙත් ඔවුන් මතු කරන එකම තර්කය වන්නේ පළාත් පාලන මැතිවරණය ජය ගැනීමටනම් එකතු විය යුතු බවයි. ශ්‍රීලනිපය සමග එකතු වීමෙන් ඇති වාසි ඔවුන් මෙසේ පෙළ ගස්වයි.

1. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ ඔහුට සහය දක්වන පිරිසට ඉතා සුළු ජන පදනමක් ඇති අතර ඔවුන්ද එකතු කර ගැනීම ජයග්‍රහණයට හේතුවකි.

2. මෛත්‍රීපාලගේ ශ්‍රීලනිප ය එකතු කර නොගතහොත් ඔවුන් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනු ඇත.

3. විධායක බලය ඇත්තේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වන අතර එය මැතිවරණය ජයග්‍රහණයට අවශ්‍ය වෙයි.

දැන් එම තර්ක 3 හි ඇත්ත නැත්ත බලමු.

1. මෛත්‍රීපාල සිරිසේන හැරුණ විට අන් කිසිවෙකුට ඡන්දය නොදෙමි යන මතයේ සිටින ඉතා සුළු පිරිසක් සිටිය හැකිය. නමුත් මෛත්‍රීපාල සමග එකතු වුවහොත් නැවත කාටවත් ඡන්දය නොදෙමි කියන මහින්ද පාක්ෂිකයන් ප්‍රමාණය ඊට වඩා අතිශයින්ම වැඩි ය. මේ දේ ඔබට විශ්වාස නැතිනම් ඔබ එදිනෙදා දන්නා මහින්ද පාක්ෂිකයන්ගෙන් ඒ බව විමසා බලන්න. එතකොට මෛත්‍රීපාල සිරිසේන සමග එකතු වීම යනු ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩු කර ගැනීමකි.

2. මෛත්‍රීපාලගේ ශ්‍රීලනිප ය එකතු කර නොගතහොත් ඔවුන් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනු ඇත යන තර්ජනය අනුව පෙනී යන්නේ ඔවුන්ට ප්‍රතිපත්තියක් නොමැති බවයි. ඔවුන් හරියට කුලී හමුදාවක් වැනි ය. උඹලට අපිව ඕනැ නැතිනම් අපි උඹලගේ විරුද්ධවාදීන්ගේ පැත්ත ගන්නවා කියන උදවියව විශ්වාස කිරීමට නොහැකි ය. වරාය ගුවනොත්‍ටුපොළ තරංගසංඛ්‍යාත ඇතුළු ජාතික සම්පත් විකුණන, කෝටි ප්‍රකෝටි ගණන් බැඳුම්කර වංචා කළ, සංවර්ධනය සහමුලින්ම නවතා දැමූ, රණවිරුවන්ව සිරගත කරන, කොටින්ව නිදහස් කරන, උහුලන්නට බැරි ජීවන වියදමක් ඇති කළ උදවිය සමග එක් වෙන බව කියන අයව විශ්වාස කිරීම තරම් මෝඩ කමක් තවත් නැත. ඔවුන් යම් හෙයකින් ඒකාබද්ධ පොදු ජන පෙරමුණෙන් ජයග්‍රහණය කළද එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනු ඇත.

3. විධායක බලය ඇත්තේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වන අතර එය මැතිවරණය ජයග්‍රහණයට අවශ්‍ය වෙයි කියන කථාව අනුව බැලුවහොත් කිසිදා විපක්ෂයකට බලයට ඒමට නොහැකි වේවි. අනික අතට මෛත්‍රීපාලගේ විධායක බලය යොදා ගනිමින් ඡන්ද දිනන්න ශ්‍රීලනිපය හදනවානම් එය ඡන්ද වංචාවකි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දක්වන අප කිසි සේත්ම ඡන්ද වංචා වලට එකඟ නොවෙමු.

මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දරන ශ්‍රීලනිප සමග ඒකාබද්ධ පොදු ජන පෙරමුණ එකතු වෙන්න කියන අය නොකියන තවත් කරුණු ලයිස්තුවක් ද mahinda.info වෙතින් ඔබට සැකවින් මෙසේ දක්වන්නෙමු. ඒවා පහතින්.

[1]. 2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නායකත්වය දැරූ රජය, එජාපය විසින් පෙරලූයේ මෛත්‍රීපාල සිරිසේන මූලික කරගනිමිනි. අපට අවශ්‍ය වන්නේ නැවතත් මහා සංවර්ධනයක් සිදුවෙන – රටම එකම වැඩ බිමක් බවට පත් වෙන – අධිවේගී මාර්ග ගුවන් පාලම් ඉදි වෙන – නීතිය නමා නිදහස් කළ කොටින්ව බො‍ටුවෙන් අල්වා සිරගත කර, හිරේ සිටින රණවිරුවන්ව නිදහස් කරන – බැඳුම්කර හොරුන් හොරා කෑ මුදල් නැවතත් ජනසතු කරන – ජීවන වියදම අඩු වෙන – මහින්ද යුගයකට යාමටනම් අප විසින් මෛත්‍රීපාල සිරිසේනව තීරණාත්මකව පරාජය කළ යුතුය. ඔහු කුමන වෙස් මුහුණු බැන්දත් ඔහුව පරාජය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එය යමපාලන ගෙදර යැවීමේ පළමු වෙඩි මුරයයි. එසේම මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දරණ පක්ෂයක පරාජය මගින් ජාත්‍යන්තරයත් රටේ සැබෑ ජනමතය කුමක් දැයි හඳුනා ගනු ඇත. ජාත්‍යන්තරය මත යැපෙන එක්සත් ජාතික පක්ෂයට ලැබන ඩොලර් කුට්ටි වලට තිත තැබෙනු ඇත.

[2]. මෛත්‍රීපාල සිරිසේනගේ සහයෝගයක් නොමැතිව ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කළ විට පාර්ලිමේන්තුවේ මෛත්‍රීපාල සිරිසේන යටතේ සිටින මන්ත්‍රීවරුන් රොත්තක් ඉන් ගැලවී ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වෙනු ඇත. මෛත්‍රීපාලගේ සහයෝගයෙන් ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කළ විට මෙය සිදු නොවේ.

[3]. තනියම තරග කළද නැතහොත් එක්සත් ජාතික පක්ෂය සමග එක් වී තරග කළද මෛත්‍රීපාල සිරිසේනගේ පිලට ඡන්ද නොලැබෙනු ඇත. ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රීලනිපය ගත් විට මෛත්‍රීපාල සිරිසේනට රෙද්දක් ඇඳන් ශ්‍රීලනිප නායකත්වය හෙබවීමට නොහැකි වනු අත. එවිට ඒකමතිකිකව ශ්‍රීලනිප නායකත්වය මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවතත් ලැබෙනු ඇත. මෙය 2020 ජයග්‍රහණයේ සංධිස්ඨානයකි. ශ්‍රීලනිප නායකත්වය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබුණත් 2020 ඡන්දය ඉල්ලන්නේ අත ලකුණෙන් නොවේ. (යම් හෙයකින් අති විශාල ඡන්ද ප්‍රමාණයකින් පළාත් පාළන මැතිවරණය පොහොට්‍ටුව ජය ගතහොත්, ජනමතයක් නොමැතිව රටක් පාලනය කිරීමට නොහැකි බැවින් 2018 අප්‍රියෙල් වෙද්දී ආණ්ඩුව විසිරුවීමට සිදුවෙනු ඇත.)

[4]. එය වන්නේ මෙසේ ය. ඒකාබද්ධ පොදු ජන පෙරමුණ වෙනම ඉදිරිපත් වූ විට මෛත්‍රීපාල පාර්ශවය සතුව පවතින්නෙ විකල්ප 3ක් පමණි. තනිව ඉල්ලීම, එජාපය හා ඉල්ලීම හා ඉල්ලා නොසිටීම ය. මෙහි එජාපය හා ඉල්ලුවොත් හෝ ඉල්ලා නොසිටිය හොත් සෘජුවම සමස්ත ආණ්ඩු විරෝධී බලවේගයම , රජයට විරුද්ධව සිටගනු ලැබේ. මෛත්‍රීපාල තනිව ඉදිරිපත් වුව හොත්, අවම වශයෙන් 3% වත් ඡන්ද ප්‍රතිශතයක් නොලබනු ඇත. එය ඔහු සතු වන තීරණාත්මක පරාජයකි. එමගින්ම ඔහුගේ නිදහස් පක්ෂය ගැලවී යනු ඇත. එහිදී ද රජයට 2/3 බලය අහිමිවනු ඇත. හුළඟ යන අතට ගසා යන එජාප මන්ත්‍රීවරුන්ද එදා 17 කණ්ඩායම ගැලවුණා මෙන් එජාපෙන් ඉවත් වෙනු ඇත. එදා වේල ණය මත යැපෙන එජාපයට රටේ බහුතර ජනමතය නැති විට ණය දීමට කවුරුත් අකමැති වීමෙන් මුදල් නැතිව කොහොමත් ආණ්ඩු කිරීමට නොහැකි වෙනු ඇත.

[5]. මෛත්‍රීපාලගේ කණ්ඩායමට කවුරුන් හෝ සහය දේනම් ඔහු සමස්තයක් වශයෙන් වත්මන් යමපාලන ආණ්ඩුවට සහය දෙන අයෙකි. එජපය හා මෛත්‍රීපාල කණ්ඩායම බෙදී තරග කිරීමෙන් , රජයේ බලවේගය පරිපූණ ලෙස දෙකට බෙදී යයි. එයින් ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතයට වන හානිය, ඒකාබද්ධ පොදු ජන පෙරමුණේ ප්‍රතිශතයට වන හානියට වඩා ඉතා අධික ය.

[6]. ආණ්ඩු විරෝධී මහින්ද පාර්ශවය, යළි මෛත්‍රීපාල හා එක්වීමේ දී , එනයින්ම යමපාලන ආණ්ඩුවේ වැරදිවලින් කොටසකට කරගැසීමට ද සිදු වේ. එතැන් පටන් සාර්ථකව ආණ්ඩුව විවේචනය කිරීමක් කළ නොහැක. සහෝදර පක්ෂයක් බවට පත් වෙන මෛත්‍රීපාල සිරිසේනව විවේචනය කිරීමට නොහැකිව යයි. එනයින් ම ඒකාබද්ධ පොදු ජන පෙරමුණේ ඡන්ද , බෙදී වෙන්වී ඉල්ලන අවස්ථාවකටත් වඩා පහළ යනු ඇත.

[7]. මෛත්‍රීපාල සමග එක්ව තරග කිරීමේ ප්‍රතිඵලය පසුගිය 2017 මහ මැතිවරණයේදී අපි අත් දු‍ටුවෙමු. මෛත්‍රීපාලම පැවසූයේ ඔහු එජාපය ජයග්‍රහණයට උපකාර කළ බව යි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති කම නොදෙන බවට අන්තිම මොහොතේ ලිපියක් ලිවීම, පක්ෂ ලේකම්වරුන්ව ඉවත් කිරීම, කිසිදු ජන ‍රැලියකට සහභාගී නොවීම, ජාතික ලයිතුව කොල්ල කා පරාජය වූ අයව නැවතත් පත් කිරීම ආදිය මගින් ඔහු එය ඔප්පු කළේ ය. එසේ වෙද්දී නැවතත් ඔහු සමග එකතු වී රෑ වැ‍ටුණ වලේ දවලුත් වැටීමට කටයුතු නොකළ යුතු ය.

[8]. යම් හෙයකින් මෛත්‍රීපාලගේ ශ්‍රීලනිපය සමග එක් වී ඒකාබද්ධ පොදු ජන පෙරමුණ, එජාපය පරාජය කර දිනුවා යැයි සිතමු. එතැන් පටන් මෛත්‍රීපාල, එස්බී දිසානායක, අප්පච්චි මළෝ, චන්ද්‍රිකා කුමාරතුංග, ඩිලාන් පෙරේරා ආදීන්ගේ සටන් පාඨය වන්නේ “අපියි දිනුවේ, ඒකාබද්ධය අපේ ඇඟේ එල්ලිලා ගොඩ ගියා, විධායක බලය තියෙන්නේ අපිට, කැමතිනම් එජාපය සමග එක්ව ආණ්ඩු පිහි‍ටුවීමට එකඟ වෙනු, බැරි අය විපක්ෂයට පල” යන්න ය. එය මෛත්‍රීපාල ගේ ම ජයග්‍රහණයකි. එය වක්‍රව ආණ්ඩුවේම ජයග්‍රහණයකි. එසේනම් එය රනිල්ගේත් ජයග්‍රහණයකි. එයින් අවම වශයෙන් සංකේතාත්මක ව වත් ජනවාරි 8 ජනමතය පරාද වන්නේ නැත.

[9]. ශ්‍රීලනිපයටත් ජයග්‍රහණයේ කොටසක් දී පළාත් පාළන මැතිවරණය ජය ගත් පසු මෛත්‍රීපාල රනිල් හවුල සුපුරුදු එට්කා , අතුරුදන්වීම් පනත්, නව ව්‍යවස්ථා සම්මත කිරීම දක්වා ගමන් කළොත් නවත්වන ක්‍රමයක් නැත. ඔහු ජනමතය යළි දිනා අවසන් ය. මහින්ද පාක්ෂිකයන් එවිට කළකිරී ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකටවත් ඡන්දය දීමෙන් වළකිනු ඇත. එනයින් එක්ව ඉල්ලීමෙන් වන්නේ , මහින්ද පාර්ශවය දිනුවත් ඒ ජන මතය ආණ්ඩුවටම පාවා දී , ව්‍යවස්ථා සඳහා ජනමතවිමසුමේ ජයග්‍රහණය ආණ්ඩුව ට ම පාවා දීම ය.

එකතු වෙන්න කියමින් තවමත් තර්ක කරන අයට මෙම ලිපිය පෙන්වමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress