මූල්‍ය අර්බුදය හා පරස්‌පර ප්‍රකාශ නිසා ආයෝජකයන් එන්නේ නෑ – බන්දුල ගුණවර්ධන
Posted on December 27th, 2017

අනුර බාලසූරිය උපුටා ගැන්ම දිවයින

මහින්ද රාජපක්‌ෂගේ නම තියෙන නිසා වරාය නගරයේ සමරු ඵලකයත් ගලවලා – ඉන්දික අනුරුද්ධ

bandulaලංකාවේ ඇතිවී තිබෙන මූල්‍ය අර්බුදය හා කරන එකිනෙකට පරස්‌පර ප්‍රකාශ හේතුවෙන් කිසිම ආයෝජකයෙක්‌ ලංකාවේ මූල්‍ය ක්‌ෂේත්‍රයේ ආයෝජනය නොකරන තත්ත්වයක්‌ නිර්මාණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේ දී ඊයේ (26 දා) පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බන්දුල ගුණවර්ධන මහතා,

මැතිවරණය නිසා ජනතාවගේ ගැටලු පිළිබඳ අවධානය ගිලිහී ගොස්‌ තිබෙනවා. ලංකාවේ ඇතිවී තිබෙන දැවැන්ත මූල්‍ය අර්බුදය කරන කොටගෙන මූල්‍ය ක්‌ෂේත්‍රය හා සම්බන්ධ ආයතන කඩාවැටෙන්නත් ඒ පදනම්ව මහ ගනුදෙනුකරුවන් විශාල අර්බුදයකට පත්වීමටත් ඉඩ තිබෙනවා.

මූල්‍ය සමාගම් ක්‌ෂේත්‍රයේ සමාගම් තුනක්‌ දීර්ඝ කාලයක්‌ පටන් කඩාවැටීම පිළිබඳ අර්බුදයක්‌ නිර්මාණය වී තිබෙනවා. මේ නිසා තැන්පත් කළ මුදල් ආපසු ලබා ගැනීම පිළිබඳ අර්බුදයක්‌ නිර්මාණය වී තිබෙනවා. පුද්ගලික අංශයේ ව්‍යාපාරයක්‌ කඩාවැටුණම මහජනතාවගේ බදු මුදල්වලින් ගෙවීමේ ක්‍රමවේදයක්‌ ලෝකයේ නැහැ. ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට මේ රජය ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය වැරැදි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශාල දෝෂාරෝපණයක්‌ රජයට එල්ල කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සමාගම් කිහිපයක බලපත්‍ර අහෝසි කරන බවට නිවේදන නිකුත් කරන විට මූල්‍ය අර්බුදයක්‌ තිබෙන බව රටට වැටහිය යුතුයි.

ලංකාවේ ඇතිවී තිබෙන මූල්‍ය අර්බුදය හා එකිනෙකට පරස්‌පර ප්‍රකාශ නිසා කිසිම ආයෝජකයෙක්‌ ලංකාවේ මූල්‍ය ක්‌ෂේත්‍රයට ආයෝජනය නොකරන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබෙනවා. ඒ රටේ ඇතිවී තිබෙන මූල්‍ය අර්බුදය දෙස බලා සිටිය නොහැකියි. ලංකා ආණ්‌ඩුව හංගලා ලෝකයෙන් ණය අරගෙන තිබෙන බව කියනවා නම් සුරැකුම්පත්වල විදේශිකයෝ තියා ස්‌වදේශිකයොවත් ආයෝජනය කරයිද? විගණකාධිපතිවරයා කියනවා දරාගත නොහැකි ණය කන්දක්‌ අරගෙන තියෙනවා කියලා. මූල්‍ය සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බව මහ බැංකුව කියනවා.

මහින්ද රාජපක්‌ෂ පාලන කාලයේ රහසිගත ණය අරගෙන තියනවා, පිරමීඩ ගනුදෙනු වගේ බැඳුම්කර ගනුදෙනු කරලා තියෙනවා කියලා රට අර්බුදයකට ලක්‌වෙලා. මූල්‍ය සමාගම්වල බලපත්‍ර අහෝසි කරන තැනට ඇවිල්ලා.

බැඳුම්කර කොමිෂන් සභාව වාර්තාව නිකුත් වූවාට පසු ආණ්‌ඩුවෙන් කොටසක්‌ ඉවත් වන බවට අපට ලැබී තිබෙන අලුත්ම දේශපාලන ආරංචියයි. එ.ජා.ප. යට අයත් අමාත්‍යාංශ කිහිපයක්‌ සමහර විට ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට පුළුවන්. ඡන්දය ඉවර වී අර්බුද සියල්ල උග්‍ර වන විට ඒකාබද්ධ විපක්‍ෂයට තර්ජන ගර්ජන කරයි. එජාප ප්‍රතිපත්ති සමග සිට නොගත්තොත් මන්ත්‍රී ධුර අහෝසි කරන බවට කියයි. ඒක සුළු ප්‍රශ්නයක්‌. වැඩිම වුණොත් අපේ මන්ත්‍රී ධුර අහෝසි වුණොත් වෙන්නේ තව මාස 12 කට හෝ 15 කට පමණයි. එය අපට ගමින් ගමට ගොස්‌ ආණ්‌ඩුවට එරෙහිව ජනතාව සංවිධානය කිරීමට ලබාදෙන ලොකු වරප්‍රසාදයක්‌ ලෙස සලකනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා – මේ ආණ්‌ඩුවට ආර්ථිකය කළමනාකරණය නිසියාකාරව කර ගැනීමට නොහැකි වීම හා විදේශ ප්‍රතිපත්තිය හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම තුළින් අද වන විට රට අර්බුද ගණනාවකට මුහුණපා තිබෙනවා. අවුරුදු 30 ක්‌ එල්.ටී.ටී.ඊ. දරුණු ත්‍රස්‌තවාදයට බියෙන් ඇළලී ගොස්‌ තිබූ රට මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිතුමා නිදහස්‌ කරගත්තා. එතුමා කිසිදු බලවේගයක්‌ හෝ විදේශ බලපෑමකට යට නොවී ඒ කටයුත්ත කළා.

පරිසරයට අහිතකර දෙයක්‌ වෙනුවෙන් ජනාධිපතිවරයා තීන්දු තීරණ ගත්තම ඒකට කෘමියෙකුට බලපෑම් කිරීමට පුළුවන් වෙලා.

නායකයෝ පත්වෙද්දි කටයුතු කරද්දී, නායකයන්ගේ ප්‍රතිපත්ති ගැන බැලිය යුතුයි. අපිට මතකයි දුම්වැටි සම්බන්ධව රටේ නායකයා කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගත් නිසයි දුම්වැටි සම්බන්ධ යම් තරමකට තහනම ගේන්න හැකිවුණේ. අද මොකද්ද වෙලා තියෙන්නේ…..

මේ ආණ්‌ඩුව අත්තනෝමතිකවයි කටයුතු කරන්නේ. කොළඹ වරාය නගරය සෑදීමට චීන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා මුල්ගල තියපු දා විවෘත කළ සමරු ස්‌ථම්භය මුහුදට දැමීමට ලොරියක පටවාගෙන යනවා. මේ සම්බන්ධව චීනයට කොහොම දනෙයිද? මේ මුහුදට දාන්න ගෙන ගියේ චීන ජනාධිපතිවරයාගේ නම තියන ගල බව මතක්‌ වන්නේ පසුව. මුලදී දකින්නේ මහින්ද රාජපක්‌ෂ නම විතරයි. රාජපක්‌ෂ භීතිකාව නිසා මේවා මුහුදට දානවා. මේවාට හෙට මොන උත්තරයක්‌ දෙයිද දන්නේ නෑ. මෙහෙම ගිහින් චීනයත් අපත් සමඟ තරහ වුණොත් අප රටේ ආර්ථිකේ කොහේ නතර වෙයිද දන්නෙ නෑ.

මේ මැතිවරණය ජනමත විචාරණයක්‌. මේ මැතිවරණයට ජනතාව සූදානම්වෙලා ඉන්නේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා කාන්තාවන්ට විරුද්ධව වේදිකාවල කතා කරන දේවල් බලනවා කියලා. නමුත් ගමේ බඩු බෙදන ඒවා පේන්නේ නෑ. අවුරුදු

2 1/2 ක සංවර්ධනය ගම දැක්‌කේ නෑ. නමුත් මැතිවරණ කාලයේ ඒවා පටන් අරන්. ඒ කාලේ මැතිවරණ කාලේ පැෆරල් සංවිධාන වගේ නොයෙක්‌ සංවිධාන තිබුණා. අද ඒවත් වැඩි ශබ්දයක්‌ නෑ. මේ කවුරු ශබ්ද නොකළත්, කවුරු නීතිරීති නොදැම්මත් ජනතාව සූදානම් වෙලා ඉන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress