වාර්තාව ජනපතිට ඉතිරි වැඩ කඩුවට
Posted on December 30th, 2017

 ශ්‍යාම් නුවන් ගනේවත්ත උපුටා ගැන්ම දිවයින

  මැතිවරණ උණුසුමත් සමග බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන ඉදිරි දිනවල පුළුල් ලෙස සමාජ කතිකාවකට බඳුන් වනු ඇතැයි සිතිය හැකිය. දැනටමත් සෑම දේශපාලන වැඩසටහනකදීම මෙය කතාබහට ලක්‌ වෙයි. මේ ගැන එක්‌සත් ජාතික පක්‍ෂයට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් එජාප නියෝජිතයන් කරන ඇතැම් ප්‍රකාශ අනුව නම් අපට හැගෙන්නේ ඔවුන් බැඳුම්කර කොමිසමේ වාර්තාව දැනටමත් දන්නා බවකි. එසේත් නැතහොත් එහි ප්‍රධාන නිගමන සහ නිර්දේශ දන්නා බවකි. විශේෂයෙන් මේ ඇතැමුන් කියන්නේ වාර්තාව ආවම බලන්න පුළුවන් වැරදිකාරයෝ කව්ද කියලා සහ අගමැතිතුමා හෝ එජාපය හෝ මේකට වගකියන්න ඕනද කියල ආදී අදහස්‌ ඔවුන් ප්‍රකාශ කරනු ලබයි. ඔවුන් එම අදහස්‌ ප්‍රකාශ කරනු ලබන්නේද ඉමහත් විශ්වාසයකින් බවද පෙනේ. ඔවුන් එසේ කියනේ කෙසේද යන්න අපට සිතා ගැනීමට නොහැකි නමුත් බැඳුම්කර මගඩියේ වගකීම අගමැතිවරයා හෝ එජාපය මත පැටවෙන්නේ නැති බවට මේ තුළින් සමාජයට අදහසක්‌ ඇති වේ. ජනතාව මේ ගැන සිටින්නේ ඉතාම අවදියෙනි. ඔවුන්ට බොරු කිරීමට අපහසුය .මේ සමගම එජාප මහ ලේකම් සහ සභාපතිවරයා කොමිසමට කැඳවා චෝදනා එල්ල වූ පාර්ශ්වයන්ගෙන් එම පක්‌ෂයට මුදල් ලැබුනාද යන්න විමසා විනාඩි කිහිපයකින් ඔවුන් කොමිසමෙන් පිටත් කළ අයුරුද ජනතාවට මතකය. ඔවුන් දෙදෙනාගෙන්ම දප්පුල ද ලිවේරා මහතා ඇතුළු රජයේ රජයේ නීතිඥ මණ්‌ඩලයේ සාමාජිකයින් කිසිවෙක්‌ ප්‍රශ්න ඇසුවේ ද නැත. එයද ඉතාම සැකමුසු අවස්‌ථාවක්‌ විය. ඔවුන් දෙදෙනා පැමිණියේම කොමසාරිස්‌වරුන්ගේ සාක්‌ෂිකරුවන් ලෙසය. කුමන හේතුවක්‌ නිසා හෝ රජයේ නීතිඥ මණ්‌ඩලය ප්‍රශ්න ඇසුවේ නැති නමුත් ඔවුන් දෙදෙනාගෙන් එසේ කළේ ඇසීමට ප්‍රශ්න නොමැති නිසා නොවන බව අපගේ විශ්වාසයයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැදවා නීතිපතිම ප්‍රශ්න අසන්නට කැඳවා ඒ අවස්‌ථාවේදීද රජයේ නීතිඥ මණ්‌ඩලයේ අය අගමැතිගෙන් ප්‍රශ්න කළේ නැත. විශේෂයෙන් මේ සාක්‌කිකරුවන් තිදෙනා ගැන කොමිසම අනුගමනය කළ පිළිවෙත තුළ යම් වෙනසක්‌   අමුත්තක්‌ තිබෙන බව ජනසමාජය තුළද කතා බහට ලක්‌ වූ නිසා මේ සිදුවීම් සහ කොමිෂන් සභා වාර්තාව ගැන එජාප නියෝජිතයින් කියන අදහස්‌ අතර කිසියම් සම්බන්ධයක්‌ තිබෙන බවක්‌ හැඟෙයි. වංචාවක්‌ සිදුවී ඇති බව දැන් වහන්නට අපහසු නිසා මේ හදන්නේ ලොක්‌කා බේරලා ගෝලබාලයන් ගිරයට හසු කිරීමටද ? මේ අද දිනයේ සමාජය තුළ තිබෙන සැක සංකාවන්ය. එහෙත් කොමිසමේ බරපැන ඉසිලුවේද මහජනතාවය. මීට නිසි යුක්‌තිය ඉටු නොවීම මහජනයාට කරන අසාධාරණයක්‌ මෙන්ම මහජන මුදල් කාබාසිනියා කිරීමක්‌ ද වනු ඇත.

pg5 2
 
 මේ වන විටත් කොමිසමේ වාර්තාව ජනාධිපතිතුමන්ට භාර දී තිබෙන්නට පුළුවන. කොමිසමේ බලය සහිත කාලය තිබෙන්නේ අද (31) තෙක්‌ පමණි. ගිය සිකුරාදා සවස මේ ලියුම්කරු කළ විමසුමකට පිළිතුරු දෙමින් බැඳුම්කර ජනාධිපති කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා කීවේ කොමිසමේ වාර්තාව 31 දිනට පෙර ජනාධිපතිතුමන්ට භාර දෙන බවය. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ සංක්‌ෂිප්ත වාර්තාවක්‌ මුලින් දෙන බවකි. එහෙත් එය සත්‍ය නොවේ. මේ අනුව අද දින අවසන් වීමට පෙර අනිවාර්යෙන්ම එම වාර්තාව කොමිසම විසින් ජනාධිපතිතුමන්ට භාර දිය යුතු වේ. මීළඟට තිබෙන්නේ එම වාර්තාවට අනුව කඩිනමින් ගත යුතු නීති පියවර ගැනීමයි. නඩු පවරා දඩුවම් ලබා දීමයි. එහෙත්වංචාවට සම්බන්ධ මහමොලකරුවන් හැර සෙසු ගෝලබාලයන්ට සහ මහ බැංකුවට පමණක්‌ මෙහි වගකීම පවරා ඇත්නම් නීති පියවර ගත හැකි වනු ඇත්තේද ඒ අනුව පමණක්‌ බවද පෙනේ. ඒ නිසා කොමිසමේ වාර්තාව ආවත් ඒ අනුව වහා නීති පියවර ගත්තත් මෙහි දේශපාලන මහමොලකරුවන් බේරෙනු ඇති ද ? ජනසමාජයට මේ බලවත් සැකය තිබේ. කවරක්‌ නමුත් මේ කොමිසමේ වාර්තාව තමන්ට ලැබුණු පසු එය මහජනතාවගේ දැනගැනීම පිණිස වහාම ප්‍රසිද්ධියට පත් කරන ලෙසද අපි ජනපතිගෙන් ඉල්ලා සිටිමු. මෙය මහජන ඉල්ලීමක්‌ මත පත් කළ කොමිසමකි. ඒ නිසා මේ කොමිසමේ වාර්තාව මහජනතාව දැනගැනීම ඉතාමත් අවශ්‍ය වෙයි. ඉන් පසු මහජනයා දැනටමත් ගෙන ඇති තම මහජන විනිශ්චය සමග කොමිසමේ වාර්තාව සැසඳීම සිදු කරනු අතැයිද සිතිය හැකිය .
 
 මේ බැඳුම්කර නිකුත් කර, සිදු කරන්නේ රජයට ණය ගැනීම වන බැවින් මෙහිදී රාජ්‍ය ණය කළමනාකරණය ගැනද සාකච්ජා කිරීම වැදගත්ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන නියෝජිත කටයුතු අතර එක්‌ ප්‍රධානතම කටයුත්තක්‌ වන්නේ රාජ්‍ය ණය කළමනාකරණයයි. මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණය හා සම්බන්ධ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, රජය වෙනුවෙන් ණය උපකරණ නිකුත් කිරීම සහ රජයේ දේශීය හා විදේශීය ණය සේවාකරණය සම්බන්ධ සියලු කටයුතු මෙහෙයවීම සිදුකරයි. මුදල් අමාත්‍යාංශය විසින් විදේශීය මූලාශ්‍ර වලින් ණය ලබා ගැනීම සම්බන්ධ කටයුතු මෙහෙයවනු ලැබේ. විචක්‍ෂණශීලී අවදානම් මට්‌ටමකට අනුරූපව අවම පිරිවැයක්‌ යටතේ රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමත්, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වැඩිදියුණු කිරීම හා ශක්‌තිමත් කිරීමත්, එහි කාර්යක්‍ෂමතාව වැඩි කිරීම හා ස්‌ථායිතාව පවත්වාගෙන යැමත් රාජ්‍ය ණය කළමනාකරණයේ අරමුණු වේ. රාජ්‍ය ණය කළමනාකරණයේදී අනුගමනය කළ යුතු උපාය මාර්ගයන්, අරමුණු පිළිබඳව කිසියම් නීතියකින් පැහැදිලි ලෙස දක්‌ර්වා නොමැති වුවද, රාජ්‍ය ණය කළමනාකරණය තුළින් පහත සඳහන් අරමුණු ඉටු කර ගැනීමට අදහස්‌ කරන බව පැහැදිලිය.
 
 ෆ දිගුකාලින දෘෂ්ඨ§ කෝණයකින් බලන විට රාජ්‍ය ණය සඳහා වූ සෘජු හා වක්‍ර පිරිවැය අවම කිරීම.
 
 ෆ ණය සේවාකරණ පිරිවැයෙහි උච්ඡාවචනයන් මගහැරීම සහ එහි තුලිත ව්‍යාප්තියක්‌ සහතික කිරීම.
 
 ෆ ණය ගෙවීම් අධික ලෙස ඒකරාශී වීම වැලැක්‌¨වීම.
 
 ෆ ණය ප්‍රතිමූල්‍යකරණ අවදානම/නැවත නිකුත් කිරීමේ අවදානම අවම කිරීම.
 
 ෆ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයේ කාර්යක්‍ෂමතාව ප්‍රවර්ධනය කිරීම.
 
 ෆ රාජ්‍ය ණය සේවාකරණය 100% ක නිරවද්‍යතාවකින් යුක්‌¨තව නියමිත වේලාවට සිදු කිරීම.
 
 මේ සඳහන් කළ කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ නියෝජිත කටයුතු යන ශීර්ෂය යටතේ රාජ්‍ය ණය කළමනාකරණය යන කොටසේ දක්‌වා තිබිණි. එහි සඳහන් වූ පරිදිම රාජ්‍ය ණය කළමනාකරණයේදී අනුගමනය කළ යුතු උපාය මාර්ග හා අරමුණු මොනවාද යන්න පැහැදිලිය. එය නීතියකින් දක්‌වා නොමැති වුවද මහ බැංකුව විසින් පිළිගත් එම උපාය මාර්ග හා අරමුණු මොනවාද යන්න කාටත් පැහැදිලිය. මහ බැංකුව පිළිගත් එම උපාය මාර්ග හා අරමුණු තම වෙබ් අඩවිය මගින්ම ප්‍රසිද්ධියට පත්කර මහජනතාවට අනාවරණය කර තිබිණි. එසේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය වෙනුවෙන් ණය රැස්‌ කිරීමේදී මේවා අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බව පිළිගැනීමට සිදුවේ.
 
 මෙහි පළමු කරුණ වන්නේ රාජ්‍ය ණය සඳහා සෘජු හා වක්‍ර පිරිවැය අවම කිරීමට ක්‍රියා කළ යුතු බවයි. එහෙත් 2015 .02.27 දින ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී මෙන්ම 2016 මාර්තු 29 වැනිදා නිකුත් කළ බැඳුම්කර නිකුතුවේදී ද පොළී අනුපාත ඉහළ ගොස්‌ රජයට ගෙවීමට සිදු වූ පොළී පිරිවැය ඉහළ ගිය බව රහසක්‌ නොවේ. 2015 වසරේ බැඳුම්කර නිකුතුවේදී බැඳුම්කර වටිනාකම මෙන් දස ගුණයක (රු. බිලියන 10 ක) වටිනාකමක්‌ දක්‌වා ලංසු පිළිගත්තේය. ඒ වැඩි වූ පොළී පිරිවැය ගෙවීමට සිදුවන්නේ මේ රටේ මහජනතාවටය.2015 වසරේ දී සිදුවූ මහ බැංකුවේ මහා පරිමාණ බැඳුම්කර වංචාවෙන් පසුවද තවත් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදු වූ බවත් එහිදී සිදුවූ පොලී අනුපාත ඉහළ යැම හරහා මහජනතාවට අතිවිශාල පාඩුවක්‌ විඳීමට සිදුව ඇති බවත් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පැවසූහ. මේ බැඳුම්කර නිකුතුවලදී කෘත්‍රිම ලෙස පොලී අනුපාත ඉහළ නංවා මහ බැංකුව විසින් මුලින් ප්‍රසිද්ධ කළ වටිනාකම ඉක්‌මවා බැඳුම්කර ලංසු පිළිගැනීම නිසා මේ අක්‍රමිකතාව සිදු වූ බවද ඔව්හු කියති . මෙය හුදෙක්‌ම වෙළෙඳපොළ ක්‍රියාවලිය තුළ සිදුවූ පොලී අනුපාත තීරණය වීමක්‌ ලෙස පෙන්වා දෙමින් මුලදී මහ බැංකුව විසින් මේ අක්‍රමිකතාව සාධාරණය කිරීමට කටයුතු කළේය. එහෙත් මහ බැංකුවේම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පසුව ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිව්රුම් පිට දුන් ශාක්‍ෂි අනුව එය එසේ නොවන බව රටටම පැහැදිලි විය .
 
 ආර්ථික කරුණු කාරණා අතර පසුගිය කාලය පුරාවටම නිරන්තරයෙන්ම කතා බහට ලක්‌ වූ ප්‍රධානතම කාරණාව වී ඇත්තේ වත්මන් රජය යටතේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර මගඩියයි . එය සුළු පටු එකක්‌ නොවේ. එසේම මේ බැඳුම්කර මගඩිය නිසා සිදුවූ පොලී අනුපාත ඉහළ යැම හරහා දිගින් දිගටම රජයේ පොලී වියදම් රු. කෝටි ගණනින් ඉහළ ගිය අතර ඒ හරහා මහජනතාවට සිදුවන බලපෑම අතිවිශාල එකකි. ඒ නිසා මෙය වූ කලී මහජන මුදල් පිළිබඳ එනම් පොදු දේපළ නාස්‌ති කිරීම පිළිබඳ ප්‍රශ්නයක්‌ ලෙසද හැඳින්වේ. එහෙත් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට සිදුවෙමින් පැවතියේ එම මගඩිය යට ගැසීමට උත්සාහ කිරීමකි. මුල සිටම ආණ්‌ඩුවේ ප්‍රතික්‍රියාව ලෙස දක්‌නට ලැබුණේ එයයි . එසේත් නැතහොත් මෙහි වගකීම අන් අය මත පටවා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව නිදහස්‌ කිරීමට දරන බලවත් උත්සාහයක්‌¨ දක්‌නට ලැබිණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජයේ ශ්‍රීලනිප පාර්ශ්වය මේ සම්බන්ධයෙන් වෙනත් මතයක සිටියත් ඔවුන් මුලදී ඊට නිසි ප්‍රතික්‍රියා දැක්‌වුයේ නැත. රජයේ එජාප පාර්ශ්වය මෙය යට ගැසීමට කවර උත්සාහයක්‌ දැරුවත් මේ පිළිබඳ මාධ්‍ය සහ මහජනතාව මෙන්ම ආර්ථික සහ මුල්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක්‌ සිටියේ අවදියෙනි. මෙවැනි අවස්‌ථාවකදී සාධාරණ පරීක්‍ෂණයකට බාධා විය හැකි බැවින් චෝදනා එල්ල වූ අය පරීක්‍ෂණ නිමවන තෙක්‌ අදාළ තනතුරුවල සිටීම ද සුදුසු නොවේ. එහෙත් සාධාරණ පරීක්‍ෂණයක්‌ සඳහා අගමැතිවරයාගෙන්ද මහ බැංකුව ඉවත් කළ යුතු වුවත් එවැන්නක්‌ සිදු නොවීය . මේ මගඩියේ ප්‍රතිවිපාක ඉතා බිහිසුණුය . එය පොළී අනුපාතය ඇතුළු සියලු ආර්ථික සාධකවලට බලපා හමාරය . ඒ නිසා කොමිසමට කළ මහජන වියදම තවත් නාස්‌තියක්‌ වනු දැකීමටද මහජනයා කැමති නොවනු ඇත . මේ අනුව දැන් ජනතාව බලා සිටින්නේ කොමිසමෙන් නිසි යුක්‌තිය ඉටු වී තිබේද සහ ඒ අනුව වගකිවයුත්තන්ට දඩුවම් ලබාදී මහජනතාවගෙන් කොල්ලකා ගත් ධනය නැවත ඔවුන්ට හිමි කර දේද යන්න ගැනයි .
 
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත

One Response to “වාර්තාව ජනපතිට ඉතිරි වැඩ කඩුවට”

  1. Christie Says:

    ඉන්දියාවට කත් අදින රූකඩයා කතා කරන්නේ ඉන්දියන් කාරයෙකුගේ කඩුව ගැනය.

    අපේ රට හූරා කන්නේ ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිත්යන්ගෙනුත්ය.

    සිරිසේන මල්ලිගෙන් පොරොවෙන් වැඩේ දෙන්නම් කිව්වනම් විස්වාස කරන්න තිබුන.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress