ජනාධිපතිතුමා දැන් සිංහයකු වෙලා
Posted on July 27th, 2018

උපුටාගැණීම  මව්බිම

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරන අදහස ජනතා ප්‍රසාදය අතින් අන්තයටම පිරිහී ගොස් තිබෙන අවස්ථාවක එල්ලුම් ගහේ එල්ලී හෝ ගොඩ යෑමට දැරූ උත්සාහයක් පමණක් බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පැවැසීය.

මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ උඩුගම්පොළදී පැවැති රැස්වීමකදීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

”තමන්ගේ ජනාධිපති ධුර කාලසීමාවේ අන්තිම හරියට ළංවීගෙන එනකොට දැන් ජනාධිපති සිරිසේන මැතිතුමා සිංහයෙක් වෙලා. අවුරුදු තුනකට පස්සේ තමයි එතුමාට මතක් වෙලා තියෙන්නේ මේ රටේ විධායක ජනාධිපති තමන් කියලා. හිටිහැටියේ ඒක මතක් වෙච්ච ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලලා මරන්න ඕනේ කියලා බෙරිහන් දෙනවා.

හරියට හොයලා බැලුවොත් එතුමට පෙනෙයි පසුගිය අවුරුදු තුනේ තමයි මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම වැඩි වුණේ කියලා. මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ මරණ බියෙන් රට පැනලා හිටපු පාතාලයෝ ටික ආපහු ලංකාවට ආවේ සිරිසේන මහත්තයා බලයට පත් වුණාට පස්සෙයි.

මේ රට අරාජික, පාතාල රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රධාන වග උත්තරකරුවා සිරිසේන මහත්තයා තමයි. කුඩු ජාවාරමට කියලා ඔය මරන්න යන එක හිරකාරයෙක්වත් කුඩු ජාවාරමේ ලොකු ලොකු මොළකාරයෝ නෙවෙයි. ඒ මොළකාරයෝ ඉන්නේ කැබිනට්ටුව තුළයි.

හම්බන්තොට විකුණුවා. දැන් මත්තල විකුණන්න යනවා. අඩු ගාණේ එතුමා ඒ ගැන වචනයක්වත් කියලා නැහැ. හැබැයි මත්තල ගුවන් යානා එන්නේ නෑ කියලා විකුණන ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ගම වන පොළොන්නරුවේ හිඟුරක්ගොඩ අලුත් ගුවන්තොටුපළක් හදන්න යනවා.

මේවා තමයි ලොකුම විහිළු. ගුවන් යානා එන්නේ නැත්නම් මත්තල තවදුරටත් දියුණු කරලා ගන්න එකට වඩා අලුත් ගුවන්තොටුපළක් හදන එක රටකට වාසිදායකද වෙන්නේ කොහොමද කියලා අපි අහනවා. මේ හදන්නේ මත්තල විකුණලා කොමිස් ගහන ගමන් හිඟුරක්ගොඩ අලුතෙන් හදලා තවත් කොමිස් මුදලක් සාක්කුවේ දාගන්නයි.

රනිල් වික්‍රමසිංහයි එයා වටේ ඉන්න මලික්, කබීර් වගේ ආර්ථික උපදේශකයෝ ටිකයි තව අවුරුද්දක් බලයේ හිටියොත් මේ රටම විකුණලා දායි. මහ බැංකුව මහ දවාලේ කොල්ලකාපු හොරු රැළට රටම කොල්ලකන එක ලොකු දෙයක් නෙවෙයි. එල්ලුම් ගස් දාහක් හරි ක්‍රියාත්මක කරලා එල්ලලා මරන්න ඕනේ මේ වගේ හොරුයි කියන එකත් අපි ජනාධිපතිවරයාට මතක් කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress