මේජර් ජෙනරාල් ධුරයෙන් පුද ලද ඇස් ඉස් මස් ලේ දන්දී රට දැය සුරැකි විරුවෝ
Posted on September 1st, 2018

පුබුදු වික්‍රමතිලක උපුටාගැණීම  මව්බිම

කුරිරු ත්‍රස්තවාදය වෙනුවෙන් තම තරුණ ජීවිතය කැපකළ විරුවන් අපමණය. ජීවිතය පුදා හෝ තම මවුබිම කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම ඔවුන්ගේ එකම අදිටන විය. රටේ සතර දිග් භාගයෙන් යුද හමුදාවට එක්වූ සියලු රණවිරුවන්ගේ එකම අදිටන වූයේත් ඒකීය රටක් වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදීමය.

ඒ වෙනුවෙන් තම ඇස්, ඉස්, මස්, ලේ පිදූ රණවිරුවන් අපේ කාලයේ විරුවන් ලෙස ඉතිහාසගත වූයේය. යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ තරුණ නිලධාරීන් හා සෙබළුන්ද ඒ අතරේ වූයේය. අද රටට මෙන්ම රට කරවන්නන්ටද ඔවුන් කළ මෙහෙවර අමතක වෙමින් තිබෙන්නේය. අප සියලු දෙනාට ජීවත් වන්නට රටක් උරුම කරදී දිවිදුන් හා ආබාධිත තත්ත්වයට පත් එකී විරුවන්ට කළගුණ සලකන්නට දකුණේ සියලු දෙනාට අමතක වෙමින් ඇත්තේය.

එසේ සියලු දෙනාට අමතක වෙමින් තිබූ අපේ කාලයේ රණවිරුවන් කළ මෙහෙවර වෙනුවට ඔවුන්ව ඉහළට ඔසවා තබන්නට වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පසුගිය සතියේ තීන්දුවක් ගත්තේය. ඒ මෙතෙක් කිසිදු හමුදාපතිවරයකු නොකළ දෙයකි. යුද්ධයේදී තම තරුණ දිවිය කැපකොට යුද පෙරමුණේදී තුවාල ලැබ ආබාධිත තත්ත්වයට පත් එයින් නොසැලී තම ජීවිතය දිනාගත් නිලධාරීන් සිවුදෙනකු මේජර් ජෙනරාල් ධුරයට උසස් කිරීමට යුද හමුදාපතිවරයා ගත් තීරණයෙන් යුද හමුදාවට නව බලාපොරොත්තුවක් ඇතිකර දුන්නේය. යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටින අභීත රණවිරුවන්ට මෙය තම අනාගතය වෙනුවෙන් පාර කපා දුන් තීරණයක්ද විය.

2018-09-02

යුද හමුදාවට නව බලාපොරොත්තුවක් ඇති කරමින් මේජර් ජෙනරාල්වරුන්ගේ ලැයිස්තුවට අලුතින්ම එක්වූ මේ සිවුදෙනාම පාබළ නිලධාරීහු වූහ. යුද බිමේදී පස් පාගාවත් නොමැති, යුද්ධයේදී සටන් බිම සෙබළුන් අතැර දමා පැමිණිය නිලධාරිනුත් මේජර් ජෙනරාල් ධුරයට උසස් වූ කාලයක්ද තිබුණේය. එවන් වටපිටාවක යුද හමුදා ඉතිහාසයේ පළමු වරට මේජර් ජෙනරාල් තනතුර දක්වා උසස්වීම් ලද යුද්ධයේදී තම දිවි පරදුවට තැබූ මෙම අපේ කාලේ වීරයන් අතරට එක්වූයේ ගැමුණු රෙජිමේන්තුව නියෝජනය කළ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එස්. මනතුංග, පාබළ රෙජිමේන්තුව නියෝජනය කළ මේජර් ජෙනරාල් ජේ.ආර්. අම්පෙමොහොට්ටි, ගජබා රෙජිමේන්තුව නියෝජනය කළ මේජර් ජෙනරාල් පෙරමුණගමගේ හා සිංහ රෙජිමේන්තුව නියෝජනය කළ මේජර් ජෙනරාල් ආර්. වික්‍රමසිංහ යන නිලධාරීන්ය.

මොවුන්ගේ විශේෂත්වය වූයේ සටන් පෙරමුණේ සිටි පාබළ රෙජිමේන්තු නියෝජනය කළ කනිෂ්ඨ නිලධාරීන් සමයේම සටන් බිමේ තුවාල ලද නිලධාරීන් වීමය.

මේජර් ජෙනරාල් පෙරමුණගමගේ මෙම නිලධාරීන් සිවුදෙනා අතරින් රණබිමේදී තුවාල ලද පළමු නිලධාරියා විය. 1984 මැයි 05දා පාඨමාලා අංක 19 යටතේ යුද හමුදාවට එක්වූ මොහු තුන්වැනි ගජබා රෙජිමේන්තුවට එක්වී සටන් බිමට ගිය නිලධාරියකු වූයේය. වරෙක ඔහුගේ අණදෙන නිලධාරියා වූයේ ලුතිනන් කර්නල් කමල් ගුණරත්නය. ඓතිහාසික වඩමාරච්චි මෙහෙයුමට එක්වූ පාබළ බළඇණියක් වූ මෙම බලඇණිය නියෝජනය කළ කාණ්ඩ භාර නිලධාරියකු ලෙස එවකට ලුතිනන්වරයකු වූ පෙරමුණගමගේ සටන් පෙරමුණේම සිටියේය. කොටි නායක ප්‍රභාකරන්ගේ උපන් භූමිය පිහිටි වඩමාරච්චි ප්‍රදේශය අත්පත් කරගන්නට කළ වඩමාරච්චි මෙහෙයුමේදී මෙම බළඇණියට පැවැරුණේ තොණ්ඩමනාරු පසුකර ගොස් වඩමාරච්චිවලට ඇතුළුවීමය. මෙම වඩමාරච්චි මෙහෙයුම අරඹමින් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වය යටතේ අභීත භට පිරිස් ඉදිරියට ඇදෙද්දී තුන්වැනි ගජබා රෙජිමේන්තුව තොණ්ඩමනාරු පසුකරමින් සිටියහ.

සතුරු ප්‍රහාර නොතකා ඉදිරියට ඇදුණු ලුතිනන් පෙරමුණගමගේ යටතේ වූ අනුඛණ්ඩයට එක්වරම එල්ල වූ සතුරු වෙඩි ප්‍රහාර මාලාවකින් එම කණ්ඩායමේ සෙබළුන් දෙදෙනකු දිවි පුදා තිදෙනෙක් තුවාල ලදහ. තුවාල ලද තිදෙනා අතර ලුතිනන් පෙරමුණගමගේද සිටියේය.

උකුලු ඇටය පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩයකින් තුවාල ලද ලුතිනන් පෙරමුණගමගේ සටන් බිමෙන් ඉවත් කර ගුවනින් කොළඹට රැගෙන එන්නේ ඉක්මන් ප්‍රතිකාර දෙන්නටය. ජයවර්ධනපුර රෝහලේ වසරක් එක තැන ප්‍රතිකාර ලද ලුතිනන් පෙරමුණගමගේ එතැන් පටන් යළි ජීවිතයට නව බලාපොරොත්තු දල්වාගෙන සෙමින් සෙමින් පැමිණෙන්නට වූයේය.

තමන් ආබාධිත නිලධාරියකු යැයි නොසිතූ ඔහු තමාගේ සිත දැඩි කරගෙන යළිත් නැඟිටින්නට වූයේ යුද්ධයේදී ආබාධිත වූ අනෙක් නිලධාරීන්ටත් ආදර්ශයක් දෙමිනි. එතැන් පටන් මෙතෙක් ගතකළ තිස්පස් වසරක සේවා කාලය තුළ බි්‍රගේඩියර් නිලය දක්වා උසස්වීම් ලබන්නේ මෙහෙයුම් කලාපවල පවා යළි රාජකාරි කරමිනි. ඔහු කොළඹ තර්ස්ටන් විදුහලෙන් සිප්සතර හදාරා එම පාසල් මාතාවගේ නාමය රටේ බබළවන්නට ක්‍රියාකළ නිලධාරියකු වූයේය.

මුලතිව් මුදාගන්නට ඇරඹි අකුණු පහර මෙහෙයුමේදී පළමුවන සිංහ රෙජිමේන්තුව නියෝජනය කළ දක්ෂ නිලධාරියකු වූ එවකට කපිතාන් ආර්. වික්‍රමසිංහ සටන් බිමේ තුවාල ලබන්නේ 1991දීය. පාඨමාලා අංක 21 යටතේ 1985 ජුනි 6දා හමුදාවේ සිංහ රෙජිමේන්තු නිලධාරියකු ලෙස සටන් බිමට ප්‍රවිෂ්ට වූ මෙකී රණවිරුවා වඩමාරච්චි, බලවේගය ඇතුළු ජෙනරාල් කොබ්බෑකඩුව යටතේ ඇරඹි මෙහෙයුම්වල සටන් පෙරමුණේ ගිය නිලධාරියකු වූයේය. යාපනය කොටුව මුදාගන්නට මෙන්ම බලවේගය මෙහෙයුමෙන් අලිමංකඩ මුදාගන්නට යද්දීත් සටන් පෙරමුණේ ගිය ඛණ්ඩ භාර නිලධාරියකු ලෙස වික්‍රමසිංහ එවකට ප්‍රසිද්ධ විය.

අකුණු පහර මෙහෙයුමේදී බළකායේ ඇජුටන් ලෙසින් සෙබළ කණ්ඩායම් සමඟ ඉදිරියට ඇදෙන මේ විරුවා ත්‍රස්තයන් ඇටවූ ජොනි බට්ටකුට අසුවී තුවාල ලබන්නේ සටන් පෙරමුණේදී තුවාල ලද තවත් භටයකු ප්‍රතිකාර සඳහා යොමුකරන්නට පසුපසට ගෙනිද්දීය. සටන් බිමේදී ජොනි බට්ටෙකුව පෑගී පාදයක් අහිමි වූ තම සහෝදර සෙබළා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවන්නට කරමතින් ගෙනයද්දි කපිතාන් වික්‍රමසිංහ ජොනි බට්ටකුට ගොදුරු විය. 1991 අගෝස්තු 29දා ත්‍රස්තවාදීන්ගේ බෝම්බයෙන් පාදය කැබලි වී මස්වැදලි එල්ලෙද්දීත් මෙකී විරුවා තම සෙබළුන්ට ධෛර්ය දෙමින් සටන් බිමෙන් ඉවත් විය. ගුවන් මගින් අනුරාධපුර රෝහලට ගෙනගිය කපිතාන් රජීව් වික්‍රමසිංහ හමුදා නිලධාරියකු ලෙසින් ඉදිරියට එන සටන අතැරියේ නැත. තම පාදය අහිමි වී දින විසිනවයක් රෝහලේ ඇ¼දමත සිටියත් ඔහු එතැන් පටන් පාදය අහිමිවීම පසෙකලා ජීවිතය යළි ජයගන්නට වෙර දැරුවේය.

යකඩ කකුලෙන් ඇවිදින්නට පුරුදු පුහුණු වෙමින් 1991 සටන් කොට රණවිරු සෙබළුන් යුද බිමේදී තම තරුණ ජවය පෙන්වා රට වෙනුවෙන් අත්පා දන්දුන් අනෙක් සෙබළුන්ට චිත්ත ධෛර්ය වැඩෙන්නට කපිතාන් වික්‍රමසිංහ මහඟු ආදර්ශයක් විය. රාගම රණවිරු සෙවණේ ක්‍රීඩා හා වෘත්තීය පුහුණු භාර ඛණ්ඩභාර නිලධාරියා ලෙස තමාගෙන් රටට ඉටුවිය යුතු සේවාව ඔහු ඉටුකර දුන්නේය. පිහිනුම් ශූරයකු වූ ජුලියන් බෝලිං රාගම රණවිරු සෙවණේදී වැඩමුළුවක් පවත්වා දුනු ඊතල ලබාදී දුනු විදීමේ ක්‍රීඩාවට මෙම රණවිරුවන් යොමු කළේය.

එයින් ප්‍රයෝජනගත් නිලධාරීන් අතරේ කපිතාන් වික්‍රමසිංහ පෙරමුණේම සිටියේය. යුද්ධයේදී තම තරුණ කාලයේ සිටම කළ මෙහෙවර හා සමාන මෙහෙවරක් ක්‍රීඩාව වෙනුවෙන් කැප කරන්නට ඔහු අදිටන් කරගත්තේය.

දුනු විදීමේ දක්ෂයකු බවට පත්වූ හෙතෙම එම ඉසව්වෙන් ජාත්‍යන්තරයටද ගොස් රටට කීර්තියක් අත්කර දෙන්නේය. රණවිරු සෙවණේ වසර නවයක් සේවය කර යුද හමුදාවේ ඉහළම තනතුරු රැසක් හොබවන්නට ඔහුට හැකි වන්නේද බි්‍රගේඩියර් තනතුර දක්වා උසස්වීම් ලබා පැමිණෙද්දීය.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් හා ධර්මශෝක විද්‍යාලයෙන් ඉගෙනුම ලද ඔහු රණබිමේදී මෙන්ම ජාත්‍යන්තරයේද නමක් දිනාගත් නිලධාරියකු වූයේය. යුද්ධයේදී පාදයක් අහිමි වූ ජේ‍යෂ්ඨතම නිලධාරියාද වූයේ මේජර් ජෙනරාල් ධුරයට උසස්වූ ආර්. වික්‍රමසිංහය. 2004දී දුනු විදීමේ ජාතික ශූරයා බවටද ඔහු පත්වන්නේ ආබාධිත නොවූ ක්‍රීඩකයන් සමඟ උරෙනුර ගැටෙමිනි. භූතානයේ තරග ඉසව් සඳහාද ආබාධිත හා ආබාධිත නොවන තරග ශූරයකු ලෙස ඉදිරිපත් වීමට අවස්ථාව හිමිවූයේද ඔහුට පමණකි. පැරා ඔලිම්පික් තරගය සඳහා රටට කීර්තියක් අත්කර දුන් නිලධාරියා වූයේද මේජර් ජෙනරාල් ආර්. වික්‍රමසිංහය.

මෙම නිලධාරීන් අතරින් උසස්වීම් ලද මීළඟ නිලධාරියා වූයේ ගැමුණු රෙජිමේන්තුව නියෝජනය කළ මේජර් ජනරාල් එස්. මනතුංගය. ඔහු 1985 ඔක්තෝබර් පළමුවැනිදා යුද හමුදාවට එක්වී ගැමුණු රෙජිමේන්තුවට එක්වූ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. මුහුදු සුළං ක්‍රියාන්විතය මඟින් වාලච්චේන නාගවන්තිව් දූපතේ රැදී සිටිමින් කප්පම් ගන්නා කොටි කඳවුරක් වනසන මෙහෙයුම් 1993 මැයි මාසයේ ආරම්භ වන්නේය.
එවකට දක්ෂ බුද්ධි නිලධාරියකු වූ කපිතාන් ධුරයේ සිටි මනතුංග සතුරු කඳවුරකට පහරදෙන සටනේදී තුවාල ලබන්නේ සතුරු උණ්ඩයක් හිස පසාරු කරගෙන යාම නිසායි.

බෝට්ටු මඟින් සතුරා අබිමුවට ගොස් සටන් කරමින් සිටියදී වෙඩි උණ්ඩය හිස් කබල හරහා පිටතට එන්නේ දෛවයේ සරදමක් ලෙසිනි. ගුවන් මඟින් කොළඹට රැගෙන එන ඔහු යළි ජීවත්වන්නේ සියලු දෙනා ජීවත් කරවන්නට ධෛර්යය දෙමිනි. වසර තුනහමාරක් රෝද පුටුවේ සිටිමින් යළි නැඟී සිටින්නට වෙරදරන ඔහු ක්‍රම ක්‍රමයෙන් ඉහළ තනතුරුවලට උසස් වෙද්දී අනෙක් ආබාධිත නිලධාරීන්ටද ධෛර්යයක් දෙමින් දෙපයින් ඇවිදින්නට කටයුතු කළේය. මුලදී වම් කකුල හා දකුණු අත පණ නැතිව ගියද මෙම අභීත රණවිරුවා ධෛර්යයෙන්ම නැඟී සිටියේය. යළිත් යුද හමුදාවට සේවය කරන්නට විවිධ නිලවල සිටිද්දී ඔහු තමන් කළ විශේෂ මෙහෙවර වෙනුවෙන් මේජර් ජෙනරාල් ධුරයට උසස් වීම් ලැබුවේය.

පාඨමාලා අංක 21 යටතේ යුද හමුදාවට එක්වූ ආර්. අම්පෙමොහොට්ටි මීළඟට උසස්වීම් ලද අනෙක් රණකාමියාය. පාබල රෙජිමේන්තු නිලධාරියකු ලෙසින් සටන් පෙරමුණේ ගිය අම්පෙමොහොට්ටි ජයශක්ති මෙහෙයුමේදී පලාලි කඳවුර පුළුල් කරන මෙහෙයුමේදී පෙරමුණේම සිටි නිලධාරියා සතුරා අබිමුවට කඩාවැදී වාසවිලාන් හන්දියේ කළ දැවැන්ත සටනකදී සතුරු වෙඩි ප්‍රහාරයක් පපුවට වැදී හිස් කබල හරහා පිටතට එන්නේ සුෂුම්නාවටද හානි කරමින්ය.

සතුරා හමුවේ අභීතව සටන් කළ මෙකී විරුවා ඉක්මන් ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන එන්නේ අසාධ්‍ය තත්ත්වයෙනි. වෛද්‍යවරුන් පවා ඔහුව ජීවත් කිරීමට අසීරු බව සිතුවද ඔහු යළි ජීවිතය පටන් ගන්නේ සියලු දෙනාටම ජීවත්වීමේ අශාව ඇති කරමින්ය. මාසයක් පමණ රෝහලේ ප්‍රතිකාර ලද ඔහු ක්‍රම ක්‍රමයෙන් රාගම රණවිරු සෙවණේදී යළි නැඟී සිටින්නට වූයේ ඒ වනවිට රණවිරු සෙවණට පැමිණ තුවාල ලබා පැමිණි තමා සමඟ එකට පාඨමාලාව හැදෑරූ වික්‍රමසිංහ සමඟය.

එතැන් පටන් ජීවිතය ජයගෙන ඉදිරියට පැමිණි ඔහු අදටත් රෝද පුටුවේ වාරුවෙන් සිටියද ඔහුගේම විස්මිත ධෛර්යය නිසා තවත් යුද්ධයෙන් ආබාධිත රණවිරුවන් රැසක් පුනරුත්ථාපන ක්‍රියාවලිය හරහා සමාජ ගත කරවන්නට හැකි වූයේය.

රාගම රණවිරු සෙවෙණේ රණවිරුවෝ නමින් සංගීත කණ්ඩායමක් පවා අරඹමින් රටට යුද හමුදාවේ රණවිරුවන්ගේ අභිමානය හා ශක්තිය කියා පාන්නට සුවිසල් කාර්ය භාරයක් ඉටුකළ නිලධාරියකු ලෙස මේජර් ජෙනරාල් අම්පෙමොහොට්ටි ප්‍රසිද්ධය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress