දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට කුඩා දරුවන්ට බරපතළ ලෙස හිංසා කරන වෙළෙඳුන් ඉවත් කරන ලෙස ඉල්ලීම
Posted on September 21st, 2018

තුෂාර පාදුක්ක

ස්ථානාධිපතිතුමා,
දෙහිවල පොලිස් ස්ථානය

දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට කුඩා දරුවන්ට බරපතළ ලෙස හිංසා කරන වෙළෙඳුන් ඉවත් කරන ලෙස ඉල්ලීම
ඊයේ (20/09/2018 වෙනි දින ) මම මාගේ අවුරුදු දෙකක් පමණ වන කුඩා දරුවා සහ නිවැසියන් සමග දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට ගියෙමි. ආපසු පැමිණීමේදී, නරඹන්නන්ට පිටතට පැමිණීමට නොහැකි වන පරිදි ගේට්ටුව අවහිර කරමින් වෙළෙඳුන් පිරිසක් කුඩා දරුවන්ට විවිධ දේ දිගු කරමින් වෙළඳාමේ යෙදී සිටිනු දක්නට ලැබිණි.

මා අතේ දරුවාට යමක් ලබා දීමට ඒ මොහොතේ මුදල් නොතිබූ නිසා, මාගේ දරුවාට කිසිවක් දිගු නොකරන ලෙසත් මිලදී ගැනීමට අතේ මුදල් නැති බවත් මම අපගේ ගමන අවහිර කරමින් සිටි නීති විරෝධී වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටියෙමි. එහෙත් මාගේ කීම නොසැලකූ ඔවුන් දරුවා පසුපසින් සෙල්ලම් බඩු දරුවාගේ අතේ ගෑවෙන ලෙස දිගු කරමින් අඩි දහයක් දොළහක් පමණ පසුපසින් පැමිණියහ. ඒ අවස්ථාවේදීද එසේ නොකරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි.

නීති විරෝධී වෙළෙඳුන්ගේ ඇවිටිල්ල නිසා දරුවා රූං පෙත්තක් අතට ගත්තේය. එහෙත් මා අතේ මුදල් නැති නිසා, අපගේ කීම නොසලකා දුන්නා නම් දරුවා නොහඬවන ලෙස මම එම වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටියෙමි. මම මුදල් නොදෙන බව දැන ගත් ඔහු එක් වරම ඉදිරියට පැන දරුවාගෙන් එය උදුරා ගත්තේය.

මේ නිසා දරුවා දැඩි ලෙස බියට හා කම්පනයට පත් වූ අතර වරුවක් තිස්සේ සතුන් පෙන්වමින් දරුවාගේ සිතට අප දුන් සතුට එක් අමානුෂික වෙළෙන්දෙකුගේ තිරිසන් ක‍්‍රියාවක් නිසා මොහොතකින් අහිමි විය. දරුවා පැය ගණනක් ඉකි ගසමින් හැඬුවේය. රාත‍්‍රියේද කිහිප අවස්ථාවක් බිය වී මහ හඬින් හඬා ගෙන නැගිට්ටේය. සතුන්ගේ සෙල්ලම් දැකීමේ සතුටින් රාත‍්‍රිය පුරා දරුවා සිහිනෙන් සිනාසෙනු දැකීමට ආශාවෙන් සිටි අපගේ සිතට දැනෙන වේදනාව ඔබට තේරුම් ගත හැකි යැයි සිතමි. එමෙන්ම දරුවාගේ සිතට දැනුනු බිය, වේදනාව, දුක කොතෙක්දැයි ඔබට තේරුම් ගත හැකි යැයි සිතමි.

මෙවැනි අවස්ථා මම මීට පෙරද බොහෝ විට දෙහිවල සත්වෝද්‍යානයේ ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදී දැක ඇත්තෙමි. මෙම ක‍්‍රියාව දරුවන් ඉතා බරපතළ ලෙස මානසික හිංසනයට ලක් කරන්නක් වන අතර එය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ද වේ. එමෙන්ම නීති විරෝධීය. නීතිය කෙසේ වෙත් යුක්තිධර්මයට අනුව කිසිවක් නොතේරෙන කුඩා දරුවන් මේ ආකාරයෙන් හිංසනයට පත් කිරීම බරපතළ අපරාධයක් නොවන්නේද? එමෙන්ම මෙම ක‍්‍රියාව දෙහිවල ජාතික සත්වෝද්‍යානයට එන දේශීය හා විදේශීය සංචාරකයන්ද අපහසුතාවට පත් කරන අතර ලංකාවේ කීර්තිනාමයටද කැළලකි.
ඒ නිසා කුඩා දරුවන් බරපතළ ලෙස මානසික හිංසනයට පත් කරන මෙම වෙළෙඳුන් ඉවත් කරන ලෙසත් දරුවන්ට සිදු වන හිංසනය නතර කිරීමට මැදිහත් වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි,

මෙයට,

විශ්වාසී,

තුෂාර

පාදුක්ක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress