ජනතා පරමාධිපත්‍යයට හදිකළ “19”
Posted on November 5th, 2018

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

1972 අවුරුද්දේ ඉඳලා අපේ රට ජනරජයක්. ඉතින් අපේ රටේ පරමාධිපත්‍යය බලය හිමිවෙලා තියෙන්නේ ජනතාවට. ජනතාව කියන්නේ ඡන්ද බලය හිමි පිරිස විතරක් නෙවෙයි. තවමත් ඡන්ද බලය හිමි නැති දරුවන් පවා ජනතාව කියන ගොඩට අයිතියි. ඒ විතරක් නෙවෙයි. ඉදිරියේ දී උපදින අයත් මේ ජනතාව කියන ගොඩට අයිතිවෙනවා. ඉතින් ජනතා පරමාධිපත්‍යය කියලා කියන්නේ ඉතාමත් පුළුල්, ඒ වගේ ම සාමූහික හිමිකමක්. මේ හිමිකම අන්සතුකරන්න බෑ. මේ බව ඉතාමත් පැහැදිළිව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ දක්වලා තියෙනවා.

  1. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත්වන්නේ ය.

මේ වගන්තිය වෙනස්කරන්න පාර්ලිමේන්තුවට බෑ. මේක වෙනස්කරන්න නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 150 කට වඩා ඡන්දය දීලා සම්මත කරගත්ත යෝජනාවක් ජනමත විචාරණයකටත් ඉදිරිපත්කරලා සම්මත කරගන්නත් ඕන. එහෙම වුනත් ඒක නීතියක් වෙන්නේ නෑ. ඒක නීතියක් වෙන්න නම් ඒ විදිහට අනුමත කරගත්ත යෝජනාව ජනාධිපතිවරයාගේ අත්සනින් සහතික කරන්නත් ඕන.

මේ කියපු 3 වැනි වගන්තියේ අවසන් වාක්‍යයෙන් කියැවෙන පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය පිළිබඳ පරමාධිපත්‍යය ජනතාව ක්‍රියාත්මක කරන්නේ කොහොම ද? මිනිස්සුන්ට එකතුවෙලා රට පාලනයකරන්න බෑ. මූලික අයිතිවාසිකම් ආරක්‍ෂාකරන්නත් බෑ. ඡන්ද බලය ක්‍රියාත්මකකරන්නත් බෑ. මේකට ක්‍රමයක් ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් විස්තර කරලා තියෙන්නේ ඒ ක්‍රමය.

ඒ හින්දා, 4 වැනි වගන්තිය වෙනම ඉදිරිපත් කරලා තිබුණත් ඒක සළකන්න ඕන 3 වැනි වගන්තියට ම අයිති එකක් විදිහට. ඒක 3 වැනි වගන්තියේ අනු ව්‍යවස්ථාවක් විදිහට සළකන්නත් පුළුවන්. එහෙම නැතිව රටේ පරමාධිපත්‍යය ජනතාවට තියෙනවා කියලා ඒක ක්‍රියාත්මක කරන ක්‍රමය ඒ පරමාධිපත්‍යය අයිතියෙන් වෙන්කරලා දක්වන්න පුළුවන්කමක් නෑ. ඒ හින්දා, 3 වැනි වගන්තියෙනුත් 4 වැනි වගන්තියෙනුත් කියැවෙන්නේ එක ම කාරණයක් කියලා අපි තේරුම්ගන්න ඕන.

ඉතින් 4 වැනි වගන්තියෙන් විස්තර කරලා තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මකවීමත්, භුක්තිවිඳීමත්. කලින් කියපු විදිහට මේ බලතල ක්‍රියාත්මකවීමත්, අයිතිවාසිකම් භුකිත්විඳීමත් ජනතා පරමාධිපත්‍යයට ම අයිති කටයුතු. අපි මේ කාරණයට අදාළ බලතල (ඒ කියන්නේ, පාලන බලතල) ගැන විතරක් සළකා බලමු. ජනතා පරමාධිපත්‍යයට අයත් බලතල තුන් ආකාරයකට වර්ගකරලා ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා. ව්‍යවස්ථාදායක, විධායක, සහ අධිකරණ කියන විදිහට කරන ඒ බලතල බෙදීම ගැන අපි කවුරුත් දන්නවා.

ජනතාව ගේ ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසිනුත් ජනමත විචාරණයක දී ජනතාව විසිනුත් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මකකරන්න පුළුවන්. කවුරු කොහොම ක්‍රියාත්මක කරත් මේක ජනතාවට අයිති බලයක්. මේ කාරණය අපේ ව්‍යවස්ථාවේ 4. (අ) වගන්තියෙන් පැහැදිළිකරලා තියෙනවා.

ඊට පස්සේ තියෙන්නේ 4. (ආ) වගන්තිය. මේ වගන්තියෙන් කියන්නේ “රටේ ආරක්‍ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය” කියලා.

අධිකරණ බලය ක්‍රියාත්මක කරන විදිහ ගැන කියැවෙන 4. (ඇ) වගන්තිය ගැන කරුණු කියන අදහසක් මේ ලේඛකයාට නෑ. අපි මුලින් ම 4. (ආ) වගන්තිය ගැන විතරක් සළකලා බලමු.

දැන් මේ 4. (ආ) වගන්තියෙන් විස්තරකරන්නේ කාගේ බලයක් ක්‍රියාත්මකකිරීමක් ගැන ද? මේ කියන්නෙත් ජනතාවගේ පරමාධිපත්‍යය බලයට ම අයිති විධායක බලය ක්‍රියාත්මක කරන විදිහ ගැන. මේ විධායක බලය ජනතාවට අයිති එකක්. එහෙම නැතිව ජනාධිපතිවරයාට අයිති එකක් නෙවෙයි. අපි අපේ විධායක බලය ක්‍රියාත්මක කරවන්න ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්නවා. ඒ මුළු රට ම එකතුවෙලා, තනි ඡන්ද කොට්ඨාශයක් විදිහට ක්‍රියාකරලා.

මෙ තැන දී, අපි එක කාරණයක් ඉතා හොඳින් තේරුම්ගන්න ඕන. විධායක ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරවන්නේ ඔහුට අයිති බලයක් නෙවෙයි. ඔහු හෝ ඇය හෝ විසින් ක්‍රියාත්මක කරවන්නේ ජනතාවට අයිති බලයක්.

මේ විධායක බලයට අයිති දේවල් ව්‍යවස්ථාවේ විවිධ වගන්තිවල විවිධ ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. ඒ බලතලවලින් විශාල ප්‍රමාණයක් සාරාංශ ගතකරලා 33 වැනි වගන්තියේ දක්වලා තියෙනවා. 33 වැනි වගන්තියේ තියෙන්නේ කාට අයිති බලතල ද කියන කාරණය ගැන අපි හොඳින් කල්පනා කරලා තේරුම්ගන්න ඕන. “ජනාධිපතිවරයාගේ බලතල, කාර්යය සහ කර්තව්‍යය” කියලා ඒ වගන්තිය නම් කරලා තිබුණත් ඒ වගන්තියෙන් කියැවෙන්නෙත් ජනතාවට අයිති බලතල ගැන කියන එක අපි අමතක කරන්න හොඳ නෑ. ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්නේ අපේ බලතල.

ව්‍යවස්ථාවේ 33. (2) (ඇ) වගන්තියෙන් කියැවෙන “පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන්කිරීමට සහ විසුරුවාහැරීමට” ඇති විධායක බලයත් ඒ විදිහට ම ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතු ජනතාවට අයිති බලයක්. මේ බලය ක්‍රියාත්මක කරන විදිහ පැහැදිළිකරලා තියෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියෙන්. 2015 අවුරුද්දේ ජනවාරි 8 වැනි දා අපේ රටේ ජනතාව ඡන්දය දීලා විධායක ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න වෙලාව වෙද්දි “පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන්කිරීමට සහ විසුරුවාහැරීමට” ඇති ඒ බලය ක්‍රියාත්මක කරන විදිහ අපේ ව්‍යවස්ථාවෙන් මේ විදිහට පැහැදිළි කරලා තිබුණා. (ඉඩකඩ සීමා ගැන සළකලා මේ සාකච්ඡාවට අදාළ උප වගන්තිය විතරක් මෙහි ඉදිරිපත්කරනවා).

  1. (1) ජනාධිපතිවරයා විසින් කලින් කල ප්‍රකාශනයක් මඟින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය;

එසේ වුව ද,

(අ) (ඈ) ඡේදයේ විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මහ මැතිවරණයක් පවත්වනු ලැබ ඇති විට ඉන් ඉක්බිතිව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුව ඉල්ලා සිටයහොත් මිස ඒ මහ මැතිවරණය පැවැත් වූ දින සිට එක් අවුරුද්දක කාල සීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුත්තේ ය.

මේ විදිහට ව්‍යවස්ථාවේ සඳහන් කරලා තිබුණේ ජනතාවට අයිති විධායක බලයක්. ඒත් 19 වැනි සංශෝධනයෙන් මේ කාරණය වෙනස්කරලා. ඒ කියන්නේ ජනතාවට අයිති විධායක බලයක් වෙනස්කරලා. ඒ, මේ විදිහට.

  1. (1) ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මඟින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය; 

එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය.

මේ මොකක්ද කරලා තියෙන්නේ? මේ කරලා තියෙන්නේ 2015 ජනවාරි 8 වැනි දා අපේ රටේ ජනතාව ඡන්දය ප්‍රකාශයට පත්කරලා තෝරාපත් කරගත්ත විධායක ජනාධිපතිවරයාට ජනතාව පවරපු ජනතාවගේ පාලන බලයක් බරපතල විදිහට කප්පාදුකිරීමයි. මේ මාර්ගයෙන් ඒ පාලන බලය මුළුමනින් ම අකර්මණ්‍ය කරලා තියෙනවා.

මහ මැතිවරණය පැවැත් වූ දින සිට” කියන කාරණය පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන්” කියලා වෙනස් කරලා. එක් අවුරුද්දක කාල සීමාවක් ඉකුත් වන තෙක්” කියන කාරණය අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක්” කියලා වෙනස් කරලා. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුව ඉල්ලා සිටයහොත් මිස” කියන කාරණය නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස” කියලා වෙනස් කරලා.

අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක්” කියන සඳහනේ අර්ථය මොකක් ද? ව්‍යවස්ථාවේ 62. (2) වගන්තියේ තියෙන විධිවිධානත් එක්ක සසඳලා තමයි මේ කාරණය තේරුම්ගන්න පුළුවන්. ඒ වගන්තියෙන් මෙහෙම කියනවා.

  1. (2) සෑම පාර්ලිමේන්තුවක්ම පළමුවරට රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට නොවැඩි කාලයක් පවත්නේය. එහෙත් නියමිත කාල සීමාව ඉකුත්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විට ම පාර්ලිමේන්තුව විසිර ගියාක් සේ සැළකෙන්නේ ය.

මේ කියන විදිහට පාර්ලිමේන්තුවේ ආයු කාලය පස් අවුරුද්දක් ඉක්මවන්න බෑ. අවශ්‍ය නම් ඒ කාල සීමාව ඉක්මවන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. හැබැයි අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක්” ඒක කරන්න බෑ.

ඒ කියන්නේ, පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා තමන්ට තියෙන විධායක බලය ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක කරවන්න ජනතාවට ඉඩදීලා තියෙන්නේ පාර්ලිමේන්තු කාලයේ අවසාන මාස හය ඇතුළේ විතරයි. මේ කරලා තියෙන්නේ ජනතාවගේ විධායක බලය බරපතල විදිහට සීමා කරවීමක් නෙවෙයි ද? මේ වෙනස කරන්න ඕන ජනතාවගේ අනුමැතිය ජනමත විචාරණයක් පවත්තලා ලබාගත්තා ද?

මේ විතරක් නෙවෙයි.

අගමැතිවරයා පත්කිරීමත්, ඉවත්කිරීමත් ජනතාව විසින් විධායක ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක කරවනු ලැබූ කාර්යයන්. 2015 ජනවාරි 8 වැනි දා තෝරාපත් කරගත්ත ජනාධිපතිවරයාටත් ජනතාව විසින් මේ බලය පවරලා දුන්නා. අගමැති පත්කිරීමේ කාරණය 43. (3) වගන්තියේ සඳහන් කරලා තිබුණා. ඒ, මේ විදිහට.

  1. (3) පාර්ලිමේන්තුවේ යම් කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේ ද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුත්තේ ය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ කටයුත්ත 42. (4) වගන්තියට ඇතුළත් කරලා තියෙනවා. ඒ, මේ විදිහට.

  1. (4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේ ය.

වගන්තිවල ඉලක්කම් මාරු කළාට, වචනයක් දෙකක් එහෙ මෙහෙ කළාට මේ වැඩේට යොදාගන්න ජනතාවගේ බලය වෙනස්කිරීමක් 19 වැනි සංශෝධනයෙන් කරලා නෑ. ඒත් අග්‍රාමාත්‍යවරයා ඉවත්කරවන්න තිබුණු ජනතා බලයට මොකක්ද කරලා තියෙන්නේ? 2015 ජනවාරි 8 වැනි දා ජනතාව විසින් තෝරාපත් කරගත්ත ජනාධිපතිවරයාට පැවැරුවේ මෙහෙම බලයක්.

  1. අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හෝ වෙනත් යම් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් : –

(අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මඟින් ඉවත්කරනු ලැබුවහොත්; හෝ

(ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මඟින් ස්වකීය ධූරයෙන් අස්වුවහොත්; හෝ

(ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවුවහොත් හෝ

මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.

මෙහි දී අපේ සාකච්ඡාවට අදාළවෙන්නේ 47. (අ) වගන්තිය විතරයි. ඒ වගන්තියේ සඳහන් කරලා තිබුණෙත් ජනතාවට අයිති බලයක්. 47. (ආ) සහ 47. (ඇ) කියන වගන්ති දෙකේ එහෙම බලයක් ගැන කියැවෙන්නේ නෑ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිද්දකරලා තියෙන්නේ මොකක් ද? මේකට අදාළ ව්‍යවස්ථාවේ 46. 2 වගන්තියේ සඳහන් කරුණු.

  1. (2) අග්‍රාමාත්‍යවරයා –

(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මඟින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත්; හෝ

(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුවහොත්; හෝ

මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.

19 වැනි සංශෝධනයට පෙර පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47. (අ) වගන්තිය යටතේ ක්‍රියාත්මක වූ ජනතාවගේ විධායක බලයට සිදු වී ඇත්තේ කුමක් ද? ඒ බලය (ඒ කියන්නේ, ඒ සඳහා වූ ජනතාවගේ බලය) මුළුමනින් ම ඉවත් කරදැමීමට 19 සංශෝධනයෙන් කටයුතු කරලා තියෙනවා. මේ කරලා තියෙන්නේ ජනාධිපති ධූරය සතු අසීමාන්තික බලතල ඉවත්කිරීමක් කියලා කාට හරි කියන්න පුළුවන්. එත්, අපි අමතක නොකළ යුතු වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි, මේ බලය අයිති ජනතාවට කියන එක. ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක කළේ ජනතාව සතුව තිබුණු බලයක්. දැන් ඒ බලය අහිමි කරලා. ඒක අහිමිකරලා තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට නෙවෙයි. ජනතාවට!

විධායක ජනාධිපති ක්‍රමය තුළ අසීමාන්තික බලතල ක්‍රියාත්මක වෙනවා කියලා හිතනවා නම්, ඒක වෙනස්කරන්න පුළුවන් වෙනත් ක්‍රම ගැන හිතන එකේ වැරැද්දක් නෑ. හැබැයි ජනතාවට හිමි බලය නැතිකරන්න බෑ. බලය අයිති ජනතාවට.

අපි උඩින් කියපු කාරණා දෙක ම උදාහරණ විදිහට සළකමු.

පාර්ලිමේන්තුව විසුරුවන්න, අගමැතිවරයා ධූරයෙන් ඉවත්කරවන්න බලයක් අපේ ජනතාවට තිබුණා. ඒ බලය සහිත ජනාධිපතිවරයෙක් අපි 2015 ජනවාරි 8 වැනි දා තෝරාපත් කරගත්තා.

මේ කාරණා දෙකට අදාළ ජනතාවගේ විධායක බලය එක පුද්ගලයෙක් හරහා ක්‍රියාත්මක කරද්දි ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා හිතනවා නම් කරන්න ඕන මොකක් ද? මේ බලය ක්‍රියාත්මක කරන්න විකල්ප ක්‍රියාදාමයක් සම්පාදනය කරන එකයි.

ජනාධිපතිවරයා, ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයකු, සහ ඒ නියෝජිතයාට විරුද්ධ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයකු එකතුවෙලා ඒ තිදෙනාගේ රහස් ඡන්දයෙන් උක්ත තීරණ දෙක ගන්න ක්‍රමයක් සම්පාදනය කරනවා කියලා අපි හිතමු. එහෙමත් නැතිනම් උක්ත කාරණා දෙකින් එකක් සඳහා වන ජනාධිපතිවරයාගේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් එකකට නොඅඩු සංඛ්‍යාවකගේ” ඡන්දයෙන් සම්මත කරගන්නවා කියලා අපි හිතමු.

මේ වගේ ක්‍රමයකින් ජනතාවගේ බලය ජනතාවට අහිමිවෙන්නේ නෑ. ඒ බලය තවදුරටත් ඒ විදිහට ම තියෙනවා. ඒ බලය ක්‍රියාත්මක කරන විදිහ පමණක් වෙනස්කරනවා. ඒත් 19 වැනි සංශෝධනයෙන් සිද්දවෙලා තියෙන්නේ ජනතාවට තිබුණු බලයක් අහිමිකරවීම. මේක ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්.

19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධූර කාලයත්, පාර්ලිමේන්තුවේ සභා කාලයත් වසර පහකට සීමා කරලා. මේ වෙනසේ වැරැද්දක් නෑ. ඒ වෙනසින් වෙලා තියෙන්නේ ජනතාවට තම ඡන්දය ප්‍රකාශකරන්න වැඩි අවස්ථාවක් ලබාදීම. ඒත්, කලින් කියපු වෙනස්කම් දෙකින් වෙලා තියෙන්නේ ජනතාවට හිමිවෙලා තිබුණු බලතල දෙකක් අහිමිකරවීමයි.

මේ කාර්යය පාර්ලිමේන්තුව එකතුවෙලා සම්මත කරගෙන අවසන් බවත්. ඒ වැඩේට අවශ්‍ය නීතිමය අවසරය අධිකරණයෙන් ලැබිලා තියෙන බවත් කාට හරි කියන්න පුළුවන්. ඒත් මේ කටයුත්ත සිද්දවෙච්ච පරිසරය, ඒ වෙලාවේ පැවැතුණු සුවිශේෂි වාතාවරණය අපි අමතක කළ යුතු නෑ.

19 වැනි සංශෝධනය සම්මත කරවාගත්තේ සුළුතරයක අගමැති කෙනෙක් නායකත්වය දීපු ආණ්ඩුවකින්. අගමැතිවරයාගේ පක්‍ෂයට හිමිවෙලා තිබුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීරු හතළිස් ගණනක් පමණයි. කලින් සිටි අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකසිය හතළිස් ගණනකගේ සහාය හිමිවෙලා තිබුණා. ඒ හින්දා, සුළුතරය විසින් බහුතරය අකර්මන්‍ය කරවපු වාතාවරණයක් ඒ වෙද්දි ඇතිවෙලා තිබුණා කියලා අපිට කියන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි. 2015 ජනවාරි 28 වැනි දා වන තෙක් හිටිය අග්‍රවිනිශ්චයකාරයා (මොහාන් පීරිස් මහත්තයා) අසාමාන්‍ය ක්‍රමයකින් ඉවත්කරනු ලැබුවා. 2013 ජනවාරි 11 වැනි දා දෝෂාභියෝගයකින් ඉවත් කරපු ශ්‍රියාණි බණ්ඩාරනායක මහත්මිය 2015 ජනවාරි 29 වැනි දා රාජකාරියට වාර්තා කරලා එදා ම විශ්‍රාම ගත්තා. ඊට පස්සේ කේ, ශ්‍රීපවන් මහත්තයාව අගවිනිසුරු ධූරයට පත්කළා.

මේකෙන් කියැවෙන්නේ මොකක් ද? මේ කරුණු ගැන අපිට හොඳින් හිතලා බලන්න පුළුවන්.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුනේ 2015 අප්‍රේල් මස 28 වැනි දා. ඉතින් මේ කටයුත්ත ඒ දවස්වල පැවැතිච්ච විශේෂිත වාතාවරණයක් යටතේ, බොහොම කලබලෙන්, විධිමත් ජනතා සංවාදයකින් තොරව සිදුවෙච්ච එකක් බව පැහැදිළියි. සිංහල පිටපතේ සහ ඉංග්‍රීසි පිටපතේ ඇති වෙනස්කම් (උදාහරණ 48. 1) පවා මේ කලබලය තහවුරු කරන කාරණයක්.

ඒ හින්දා, ජනතාවට හිමිවෙලා තිබුණු බලයක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට අහිමි කළ බව අපි තේරුම්ගත යුතුයි. ඒ බලතල වහා ම නැවතත් ජනතාවට ලබාදීමට අපේ පාර්ලිමේන්තුව කටයුතු කළ යුතුයි. ඒ කාර්යය සඳහා අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන සහ අධිකරණමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

[email protected]

2018 නොවැම්බර් 5

සැළැකිය යුතුයි: 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල අසීමිත ලෙසින් වැඩි කළ බවට චෝදනාවක් තිබෙන නිසා, මෙම ලිපියට ඇසුරු කළේ 2001 අවුරුද්දේ ඔක්තෝබර් 3 වැනි දින දක්වා සංශෝධිත (එනම් 17 වැනි සංශෝධනය ඇතුළත්) ව්‍යවස්ථාවත් 2015 මැයි මස 15 වැනි දින දක්වා සංශෝධිත (එනම් 19 වැනි සංශෝධනය ඇතුළත්) ව්‍යවස්ථාවත් බව සළකන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress