ඒ 19 සහ මේ 19
Posted on November 8th, 2018

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මේ දවස්වල අපි කතාකරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන එක ගැන. මේ කතාවේ දී අපි 19, 19 කියලා කියන්නේ 2015 අවුරුද්දේ මාර්තු 24 වැනි දා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරපු පනත් කෙටුම්පත මත පදනම් වෙච්ච ව්‍යවස්ථා සංශෝධන කටයුත්තට. මේ 19 ට අමතරව තවත් 19 ක් තියෙනවා. ඒකත් නම් කරලා තියෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා. හැබැයි ඒ ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් පනත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා තියෙන්නේ 2002 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 19 වැනි දා.

2015 අවුරුද්දේ ඉදිරිපත් කරපු 19 ට අපි මේ 19” කියලා කියමු. 2002 අවුරුද්දේ ඉදිරිපත් කරපු 19 ට අපි ඒ 19” කියලා කියමු. මේ දෙක ම ඉදිරිපත් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙච්ච ආණ්ඩුවලින් වීමත් විශේෂයක්. මේ දෙකේ ම අරමුණුත් බොහෝ දුරට සමානයි. මේ සංශෝධන යෝජනා දෙකෙන් ම බලාපොරොත්තු වුනේ ජනාධිපතිවරයාට මහජනතාව විසින් පවරලා තියෙන ජනතාවගේ විධායක බලය කප්පාදුකිරීම.

2002 අවුරුද්දේ ඉදිරිපත් කරපු ජනතාවගේ විධායක බලය කප්පාදුකිරීමේ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කළේ සප්ත පුද්ගල අධිකරණ මඬුල්ලක් පත්කරලා. ඒ විනිසුරු මඬුල්ලට අගවිනිසුරු සරත් නන්ද සිල්වා, එස් ඩබ්ලිව් බී වඩුගොඩපිටිය, ශිරාණි බණ්ඩාරනායක, ඒ ඉස්මයිල්, පී එදුස්සූරිය, එච් එස් යාපා, ජේ ඒ එන් ද සිල්වා කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හත්දෙනා ඇතුළත්වුනා.

අගමැති සහ ඇමැති මණ්ඩලය පත්කිරීමට සහ අස්කිරීමට අදාළ ජනතාවගේ විධායක බලය ගැන සඳහන් කරලා තිබුණු 43 සහ 49 කියන වගන්ති සහ පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ ජනතාවගේ විධායක බලය සඳහන් කරලා තිබුණු 70 වැනි වගන්තිය තමන්ට අවශ්‍ය විදිහට වෙනස් කරගැනීමත් මේ විදිහට කරන්න උත්සාහ කරපු සංශෝධන අතර මුල් තැනක් ගත්තා.

මේ සංශෝධන යෝජනා මුළුමනින් ම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ඒවා සම්මත කරගන්න නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තුනෙන් දෙකකගේ අනුමැතියට අමතරව ජනමත විචාරණයක අනුමැතියත් අවශ්‍යයි කියලා ඒ සප්ත පුද්ගල විනිසුරු මණ්ඩලය ඒකමතික තීන්දුවක් දුන්නා. ඉතින් ඒ ව්‍යවස්ථා සංශෝධන යෝජනා අකුලාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට සිද්දවෙලා තියෙනවා.

ජනතා පරමාධිපත්‍යයට අදාළ ඉතාමත් ම වැදගත් කාරණා ගණනාවක් ම ඒ තීන්දුව ඇතුළේ ඉතාමත් පැහැදිළිව විස්තර කරලා තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍යය ගැන කියැවෙන 3 වැනි වගන්තියත්, ඒ බලය ක්‍රියාත්මක කරවන විදිහ ගැන කියැවෙන 4 වැනි වගන්තියත් එකිනෙකින් වෙන්කරලා සළකන්න බෑ කියන එක ඒ තීන්දුවෙන් විස්තරකරනවා. ඒ වගේ ම, බලය සඳහා ජනතාවට ඇති අයිතිය ඒ තීන්දුවෙන් ඉතාමත් හොඳින් විස්තර කරනවා. ඒ තීන්දුවෙන් මෙහෙම කියනවා.

විධායක බලය ජනාධිපතිවරයා සතු දෙයක් විදිහට හරි ජනාධිපතිධූරය දරන පුද්ගලයා සතු දෙයක් විදිහට හරි හඳුනාගත යුතු නෑ. එය ජනතාවට අයිති බලයක් ලෙසින් හඳුනාගත යුතුයි. ඒ වගේ ම, ව්‍යවස්ථාදායක බලයත් අගමැතිවරයාට හෝ පාර්ලිමේන්තුවේ ඉන්න පක්‍ෂයකට හරි කණ්ඩායමකට හරි අයිති දෙයක් ලෙසින් හඳුනාගත යුතු නෑ. ඒ බලය පක්‍ෂ අනුව බෙදිච්ච එකක් කියලාත් සළකන්න බෑ. මේ බලය හැම වෙලාවේ ම හඳුනාගත යුත්තේ ජනතාවගේ බලයක් විදිහටයි.”

මේ තීන්දුවෙන් තවත් වැදගත් දෙයක් අවධාරණය කරනවා. ඒ තමයි විධායක, ව්‍යවස්ථාදායක, සහ අධිකරණ බල වෙන් වෙන්ව පැවැත්මේ වැදගත්කම. ඒ කියන්නේ ජනතාවගේ විධායක බලයට අයිති කටයුතු ව්‍යවස්ථාදායක බලයත් එක්ක හුවමාරු කරගන්න බෑ. ව්‍යවස්ථාදායක බලයට අයිති කටයුතු විධායක බලයත් එක්ක හුවමාරු කරගන්න බෑ. මේ බලතල ව්‍යවස්ථාවේ තියෙන විදිහට ඉතා ම පැහැදිළිව වෙන්කරලා හඳුනාගන්න ඕන. ඒ විදිහට ම ඒවා ක්‍රියාත්මක කරන්න ඕන.

පනවලා තියෙන සීමා උල්ලංඝනය කරලා කටයුතුකරනවා නම් හරි ධූරය දැරීමට නුසුදුසුයි කියලා හිතනවා නම් හරි ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න ව්‍යවස්ථාදායකයට පුළුවන්. පවත්නා ව්‍යවස්ථාදායකයත් එක්ක රජය පවත්වාගෙන යන්න අමාරු නම් ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. මේ වැඩ කරන්න ඕන විධිවිධාන ව්‍යවස්ථාව තුළ පැහැදිළිව ම දක්වලා තියෙනවා. ඉතින් විධායක බලයත් ව්‍යවස්ථාදායක බලයත් එකට හොඳින් ගැලපෙන විදිහට ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය විධිවිධාන අපේ ව්‍යවස්ථාවෙන් ම සලස්සලා දීලා තියෙනවා. ඉතින් මේ කාරණය ගැනත් ඉතාමත් හොඳින් පැහැදිළි කරලා දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සප්ත පුද්ගල විනිසුරු මඬුල්ල කටයුතුකරලා තියෙනවා.

ඉතින් අගමැති සහ ඇමැති මණ්ඩලය පත්කිරීමට සහ අස්කිරීමට අදාළ ජනතාවගේ විධායක බලය ගැන සඳහන් කරලා තිබුණු 43 සහ 49 කියන වගන්ති සහ පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ ජනතාවගේ විධායක බලය සඳහන් කරලා තිබුණු 70 වැනි වගන්තිය වෙනස්කරනවා නම් ඒක කරවාගන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක අනුමැතිය සහ ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බව මේ තීන්දුවෙන් පැහැදිළිවම පෙන්නලා දීලා තියෙනවා.

70 වැනි වගන්තියට අනුව මැතිවරණය තියලා අවුරුද්දක් ගත වුනු වහාම අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවන්න තියෙන ජනතාවගේ විධායක බලය සුළුවෙන් හරි අඩුකරන්න බෑ කියලා එච්. එල්. ද සිල්වා මහත්තයා කියලා තියෙනවා. ඒ කියන්නේ අදාළ අවුරුද්දේ කාලය දවසකින්වත් දීර්ඝ කරන්න බෑ කියන එක තමයි ඒ මහත්තයාගේ මතය වෙලා තිබුණේ. ඒත් ජනතාවගේ අනුමැතිය ලබාගෙන මේ කාලය පාර්ලිමේන්තු කාලයේ හරි මැද වෙන කල් (2002 හැටියට අවුරුදු තුනක් ගත වෙන කල්) දීර්ඝ කරගන්න එකේ වැරැද්දක් නෑ කියලා මේ සප්ත පුද්ගල විනිසුරු සභාව මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒ සීමාව ඉක්මවලා ඉතාමත් දීර්ඝකාලයකට විධායක බලය සීමාකරන එක නුසුදුසු බවත් ඒ අය පෙන්නලා දීලා තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කරපු ඒ 19” ට විරුද්ධව බොහොම තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරපු මහත්තයෙක් තමයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න. ඒත්, ඒ උත්සාහය අසාර්ථක වෙලා අවුරුදු දොළහයි මාස පහක් විතර ගතවුනාට පස්සේ ඒ 19” ට විරුද්ධව හිටිය ජයම්පති වික්‍රමරත්න මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එකතුවෙලා මේ 19” ගෙනාවා. ඒ සංශෝධන යෝජනා ඇතුළත් ගැසට් නිවේදනය නිකුත්කළේ 2015 අවුරුද්දේ මාර්තු 16 වැනි දා. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළේ මාර්තු 24 වැනි දා. ඉතින් විරෝධතා ගොනුකරන්න ලැබුණේ දවස් හතක කාලයක් විතරයි.

දැන් මේ විදිහට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරපු මේ 19” ගැන විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පත් කළේ ත්‍රිපුද්ගල විනිශ්චයකාර මඬුල්ලක්. අග විනිසුරු කේ ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක, ප්‍රියසාද් ඩෙප් කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු තුන්දෙනා ඒ විනිශ්චයකාර මඬුල්ලට ඇතුළත්වුනා. මේ හා සම්බන්ධ විභාගය පවත්තලා තියෙන්නේ 2015 අවුරුද්දේ අප්‍රේල් 1, 2, සහ 6 කියන දවස් තුනේ.

කොහොම වුනත්, අධිකරණ විභාගය පැවැත්වෙන අස්සෙත් පිටු 12 ක සංශෝධන ලේඛනයක් ඉදිරිපත්කරන්න නීතිපතිවරයා කටයුතුකරලා තිබුණා. මේ අමතර ලේඛනයේ තිබුණේ මාර්තු 16 වැනි දා ගැසට් නිවේදනයේ නැති කරුණු. විභාගයට අදාළ වුනත් මේ ලේඛනය ප්‍රසිද්ධ කළේ නෑ. කොහොම වුනත්, තමන්ගේ තීන්දුව දෙද්දි ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය ඒ ලේඛනයේ කරුණුත් සැළැකිල්ලට ඇරගෙන තියෙනවා.

අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා විදිහට අගමැතිවරයාව නම්කරන්න, ඇමැතිවරුන් ගණන තීරණය කරන එක සහ ඒ අයට පවරන විෂයයන් පිළිබඳ තීරණයගැනීම අගමැතිවරයාට පවරන්න, ඒ ඒ ඇමැතිවරයාට පවරන විෂයය ඕනෑම වෙලාවක එහෙ මෙහෙ කරන වැඩේ සහ ඇමැති මණ්ඩලයේ සංයුතිය වෙනස්කරන වැඩේ අගමැතිවරයාට පවරන්න, ඇමැතිවරු පත්කිරීමට අදාළ ගැසට් නිවේදන පළකරන වැඩේ අගමැතිවරයාට පවරන්න මේ සංශෝධනවලින් මූලිකව ම යෝජනා කෙරුණා. ඊට අමතරව 70 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පවරලා තිබුණු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ජනතාවගේ විධායක බලය මුළුමනින් ම අඩපණ කරලා දාන්නත් මේ සංශෝධනවලින් යෝජනා කෙරුණා. (මේ සංශෝධනවලින් යෝජනා කෙරුණු ජනතාවගේ විධායක බලයට අදාළ කරුණු විතරක් මේ ලිපියේ සාකච්ඡා කරන්නේ ඉඩ සීමාව ගැන සළකා බව කරුණාවෙන් සළකන්න).

අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවට පත්වෙන්නත්, ඇමැතිවරු පත්කරන්න සහ ඒ අයට විෂයය පවරන්නත් කරපු යෝජනාව 3 වැනි වගන්තිය උල්ලංඝනය කරනවා කියලා ඒ විනිශ්චයකාර මණ්ඩලය තීරණය කළා. ඉතින් ඒ කරුණු ටික සම්මත කරගන්න නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් තුනෙන් දෙකකගේ අනුමැතියට අමතරව ජනමත විචාරණයක අනුමැතියත් උවමනා වෙනවා කියලා ඒ විනිශ්චයකාර මණ්ඩලය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ කාරණය හැරෙන්න අනිත් හැම යෝජනාවක් ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත කරගන්න පුළුවන් බවකුයි ඒ විනිශ්චයකාර සභාවේ තීන්දුවෙන් කියැවිලා තියෙන්නේ.

හැබැයි මේ සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවට 70 වගන්තියට අදාළ කරුණු කිසිවක් ඇතුළත් කරලා නෑ. ඒ වුනත්, මේ කාරණයට අදාළ 2002 අවුරුද්දේ යෝජනාකරපු ඒ 19” සම්බන්ධයෙන් සප්ත පුද්ගල විනිශ්චයකාර මණ්ඩලය ලබාදුන්න තීන්දුව කියලා තේරුම්ගන්න පුළුවන්. ඉතින් ඒ සප්ත පුද්ගල විනිශ්චයකාර මණ්ඩලයේ මතය අනුව ජනතාවගේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවීමට සඳහා ජනතාවට අයිති විධායක බලය අවුරුදු දෙකයි මාස හයක කාලයක් දක්වා දීර්ඝ කරවන්න කියලා ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයට යෝජනා කරන්න තිබුණා. ඒත් එහෙම දෙයක් වෙලත් නෑ.

ඇත්තෙන් ම, සංශෝධනයට අදාළ ගැසට් නිවේදනයේ අංක 19 යටතේ දක්වලා තිබුණු 70 වැනි වගන්තිය සංශෝධනය කිරීම ගැන යෝජනාව ගැන වචනයක්වත් ඒ ත්‍රිපුද්ගල විනිශ්චකාර මණ්ඩලයේ තීන්දුවේ නෑ. 2002 දී ලබාදුන් තීන්දුව ඉතාමත් පැහැදිළි නිසා එහෙම කළා වෙන්නත් පුළුවන්.

ඒත් අන්තිමේ දී – 2015 අප්‍රේල් 28 වැනි දා; පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේ මොකක්ද? පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා 70 වැනි වගන්තියේ දක්වලා තිබුණු ජනතාවගේ විධායක බලය අවුරුදු හතරයි මාස හයක් දක්වා අකර්මන්‍ය කරපු, අගමැති ඉවත්කිරීම සඳහා 47 වැනි වගන්තියේ දක්වලා තිබුණු ජනතාවගේ විධායක බලය නැතිකරලා දාපු ලේඛනයක්. ජනතාවගේ විධායක බලයක් නැති කරලා දාන්න, තවත් බලයක් අකර්මන්‍ය කරලා දාන්න ව්‍යවස්ථාදායකයට පත්කරපු නියෝජිතයන්ට බෑ. මේ කාරණය ගැන ඉතාමත් පැහැදිළි තීන්දුවක් ඒ 19” ඉදිරිපත් කරපු 2002 අවුරුද්දේ දී සප්ත පුද්ගල විනිශ්චයකාර මණ්ඩලය විසින් ලබාදීලා තියෙනවා.

ඒ හින්දා, මේ 19” ට අයිති සංශෝධන විශාල ප්‍රමාණයක් තවමත් මේ රටේ මූලික නීතියට ඇතුළුවෙලා තියෙනවා කියලා පිළිගන්න පුළුවන්කමක් අපිට නෑ. මූලික නීතිය බවට පත් නොවුනු ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගැන අපි සළකන්න ඕන නෑ. ඉතින් මේ කාරණය ගැන ජනතා සංවාදයක් ඇතිකරන අතර ම නියමිත විදිහට සම්මත කරගෙන තියෙන මූලික නීතියට අනුව කටයුතුකරන්න අදාළ බලධාරීන්ට පුළුවන් වෙන්න ඕන. මොහාන් පීරිස් මහත්තයා ගෙදර යවලා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත වැඩට ගෙන්නගත්තේ ඒ වැඩේ දැන් සිද්දවෙලා ඉවරයි. ඉතින් අපිට දැන් කරන්න දෙයක් නෑ” කියලා කියවා කියවා ඉඳලා නෙවෙයි. ජනතාවගේ බලයට ඔය මොන ලෝ පොයින්ට්” එකත් යටයි.

ඒ හින්දා අද අපිට ඕන මේ 19” පෙන්නලා කරන්න හදන මගඩිය පරද්දවන සෘජු දේශපාලන ක්‍රියාමාර්ගයක් කියන එක අපි තේරුම්ගන්න ඕන. මේ දේශපාලන ක්‍රියාමාර්ගයට ශක්තිය සපයන්න පුළුවන් වෙන්නේ ඊට අදාළ කරුණු ගැන ජනතාව දැනුම්වත් කරලා ප්‍රබල ජනතා මතයක් ඇතිකරනවා නම් විතරයි. මේ ලියන්නේ ඒ වෙනුවෙන්!

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

[email protected]

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress