මෙහෙමයි වුනේ – (හතරවැනි කොටස)
Posted on August 11th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

1982 අවුරුද්දේ පවත්වපු ජනාධිපතිවරණයෙන් පස්සෙත් අපි හැංගිලා හිටියාට රටේ එහෙමකට කලබලයක් ඇති වුනේ නෑ. දිනලා හිටපු අය ම දිනපු හින්දා එහෙම වෙන්න ඇති. ඉතින් දිනපු අයට උණ වැඩිවෙන්න තරම් හේතුවක් ඇතිවෙච්ච නැති එකත් අපිට හිතාගන්න පුළුවන්. අතරින් පතර උෂ්ණය වැඩිවෙච්ච අය හිටියත් දවසක් දෙකක් යද්දි ඒ අයගේ උණත් බැහැලා යන්න ඇති.

ඒ වෙද්දි තාත්තාව වලපනෙන් කුරුණෑගලට මාරු කරලා එවලා අවුරුදු පහක් විතර ගතවෙලා තිබුණා. කිසිම නෑදෑයෙක් ළඟපාතක හිටියේ නෑ. අම්මාගේ නෑදෑයෝ හිටියේ නුවර, හඟුරන්කෙත පැත්තේ. තාත්තාගේ නෑදෑයෝ හිටියේ වලපනේ. කිරිඳිවැල වායගොල්ලේ හිටිය නැන්දා විතරයි කිට්ටුව පාතක හිටියේ. ඒත් මැටියගනේ ඉඳලා වායගොල්ලට කොච්චර නම් දුර ද? එහෙට යන්න බස් තුනක යන්න ඕන. අම්මායි තාත්තායි මේ ප්‍රශ්නය ගැන හිත හිතා හිටිය බව පැහැදිළියි.

මැටියගනේ ඉඩම ගත්තාට පස්සේ ඒකට එන පාරත් අසල්වැසියෝ වහපු හින්දා මේ එපාවීම තව තවත් දළු දාන්න ඇති. ඉතින් නුවර පදිංචියට යන්න ඕන කියලා අම්මායි තාත්තායි තීරණය කරලා තිබුණා. අයියාවයි මාවයි නුවර සෙන්ට් පෝල් එකට දාන්න කියලා තාත්තා ලක ලෑස්තිවුනා. තමන්ට පේරාදෙණියේ සරසවි උයන ඉස්කෝලෙට මාරුවක් හදාගන්න පුළුවන් බවකුත් තාත්තා අපිට කිව්වා. ඉතින් පේරාදෙණිය පැත්තේ ඉඩමක් බලන්නත් තාත්තා ගියා. ඒත් අධිබල විදුලි රැහැන් කීපයක් හින්දා ඒ වැඩේ වැළකුනා.

ඒක මෙහෙම සිද්ධියක්. පදිංචියට ගන්න කියලා හිතාගෙන තාත්තා බලපු ඉඩමට උඩින් අධිබල විදුලි රැහැන් පද්ධතියක් ඇදලා තිබුණා. ඒ හින්දා ඒ ඉඩමේ කෙහෙල් ගහක් ඇරෙන්න වෙන ගහක් කොළක් හදන්න අවසරයක් තිබුණේ නෑ. අම්මා ඒ වැඩේට එකඟවුනේ නෑ. අම්මා ගස් හදන්න කැමැති කෙනෙක්. මේ වැඩේට ඕන කරන හොඳ අත්ගුණේකුත් අම්මාට තිබුණා. මටත් ඒ ලෙඩේ තියෙනවා. ඇත්තෙන් ම මට හැදිලා තිබුණේ ඊටත් වඩා දරුණු ලෙඩක්. මම හදලා ලොකු මහත් කරපු ගහක් මොකක් හරි ඕනකමක් හින්දාවත් කපනවාට මම විරුද්ධ වුනා. ඉතින් මේ කාරණය මුල් කරගෙන මම නිතර නිතර ම තාත්තාත් එක්ක යම් යම් ආරවුල් පවා ඇති කරගත්තා.

කොහොම කොහොම හරි නුවර පදිංචියට යන වැඩේ අත ඇරලා දාන්න තාත්තායි අම්මායි තීරණය කළා. තාත්තාගේ ඉස්කෝලේ ගුරුවරුත් මේ වැඩේට උල්පන්දම් දෙන්න ඇති. ඉතින් අපි තවදුරටත් හත්කෝරළයේ මිනිස්සු බවට පත්වෙන්න පටන් ගත්තා. වලපනේ ඉපැදුනත්, කතා කරද්දි තවමත් යන්ට, එන්ට” කියලා කිව්වත්, තාමත් යකඩෝ” කියලා කියන්න බැරිවුනත් අපිට පුරුදුවෙලා තියෙන්නේ හත්කෝරළේ ගති පැවතුම්. අපි පුංචි කාලේ ම හත්කෝරළේට වැටිච්ච ගිරව් පැටව්. ඉතින් අපි හැදිලා තියෙන්නේ හත්කෝරළේ විදිහට. ඒ හින්දා අපි හත්කෝරළේ මිනිස්සු” කියලා මම අදටත් කියන්නේ හරි ම ආඩම්බරේකින්.

හත්කෝරළේ බින්න බහින්න ඕන කියන අවසාන තීරණයත් ගත්තාට පස්සේ ඊ ළඟට කරන්න ඕනවෙච්ච මූලික ම වැඩේ තමයි පිළිවෙළකට ගේ හදාගන්න එක. ඒ වෙද්දි අපි හදාගෙන තිබුණේ කාමර දෙකක ගෙයක්. සාලයක්, ආලින්දයක්, කෑම කාමරයක් වගේ මොකක්වත් ඒ ගෙදර තිබුණේ නෑ. පිටිපස්සට වෙන්න පුංචියට කුස්සියක් නම් හදලා තිබුණා. ඊට පස්සේ ගෙදර ඉස්සරහයි පස්සයි මාරු කළා. මුලින් ගේ මූණ දාලා තිබුණේ නැගෙනහිර පැත්තට. ඒත් ඊට පස්සේ ඒක බටහිර පැත්තට මාරු කළා. ඉතින් මේ හින්දා ගෙදර පිටිපස්ස පැත්ත බවට නැගෙනහිර පත්වුනා. ඒ පැත්තෙන් පිළිවෙළකට ගල් බැඳලා කුස්සියකුත් තව කාමරයකුත් හැදුවා. ඒක හදන්න ඕන ගඩොල් කැපුවේ අයියයි, ජයන්තයි, මමයි. ඒ දෙක හැදුවේ තිබුණු ගෙට අඩි දහයක් දොළහක් ඈත් කරලා. ඔය අල්ලපනල්ලේ ගේ පිටිපස්සේ පලේ යටට වෙන්න කණු දෙකක් හිටවලා, වරිච්චි බැඳලා, කටුමැටි ගහපු පුංචි කාමරයක් හදන්න අයියයි, ජයන්තයි, මමයි පටන්ගත්තා.

ඒ මොන විදිහට කෑලි ඇමිණුවත් අපිට ඕන කරන ගෙදර හදාගන්න අපිට පුළුවන් වුනේ නෑ. ඒ වෙද්දිත් තිබුණේ පොල් අතු බැඳපු පොඩි ගෙවල් කෑලි දෙකක්. මේ ගැන අම්මා සෑහීමකට පත්වුනේ නෑ. විදුහල්පති ශ්‍රේණියක රස්සාව කළාට දේශපාලන පලිගැනීම් හින්දා තාත්තාට උසස්වීම් ලැබුණේ නෑ. ඉතින් මේ හැම දෙයක් ම අපිට ඕන ඕන විදිහට කරගන්න අවශ්‍ය ආර්ථික ශක්තිය තාත්තාට තිබුණේ නැති එක පුදුමයට කාරණයක් නෙවෙයි.

අමතරව යමක් කමක් හොයාගන්න වැඩේට අම්මා කැපවෙලා හිටියා. වත්තේ පිටියේ එළවළු වවන එක, කෝපි – ගම්මිරිස් හිටවන එක අම්මා කරගෙන ගියා. තාත්තා ලොකුවට බුලත් පාත්ති දෙකකුත් හැදුවා. බුලත් හැදිල්ල බොහොම පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඔළුවේ තෙල් ගාගෙන බුලත් කොටුවට යන්න බෑ. එහෙම වුනොත් බුලත් වගාව විනාශ වෙයි කියන කතාව ඒ ගැන දන්න කියන අය අම්මාටයි තාත්තාටයි කියලා තිබුණා. බුලත්වලට හැම දා ම හොඳට වතුර දාන්න ඕන.

මේ වැඩේ ගැන වැඩි විස්තර කියන්න කලින් තව සිද්දියක් කියන්න ඕන. ඒ ගැන කියන්න අමතක වුනා. 1982 අවුරුද්දේ මහ නියගයක් ඇතිවුනා. ඒ මහා නියගයට අපේ වත්තේ තිබුණු ළිඳ පතුලට ම හිඳුණා. අනුන්ගේ ළිංවලට ගිහිල්ලා වතුර ගේන්න පවා අපිට සිද්දවුනා. ඉතින් හැම දේකට ම කලින් කරගන්න ඕන වෙලා තිබුණේ අලුතින් ළිඳක් කපාගන්න එක. පරණ ළිඳ තිබුණේ ගෙදරින් දකුණු පැත්තට වෙන්න.

අලුතින් ළිඳක් කපාගන්න ඕන කියලා තීරණය කරලා ටික දවසකට පස්සේ, වතුර තියෙන තැන් බලන්න පුළුවන් වයසක මනුස්සයෙක්ව තාත්තා එක් කරගෙන ආවා. ඒ මනුස්සයාගේ වයස අවුරුදු හැත්තෑවකට කිට්ටු ඇති කියලා තමයි මම හිතන්නේ. හරි ම මිටි මනුස්සයෙක්. උසින් අඩි හතර හමාරක් විතර ඇති. පිටිපස්සෙන් සරම තරමක් උස්සගෙන මේ මනුස්සයා වත්ත පුරා ම ඇවිද්දා. හැබැයි ඒ මනුස්සයා වැඩි හරියක් බැලුවේ බිම නෙවෙයි – උඩ. මේකත් මහ අමුතු වැඩක් කියලා හිත හිතා අපි ඒ මනුස්සයා පස්සෙන් ගියා. අන්තිමේ දී වත්තේ එක තැනක නැවතිච්ච ඒ මනුස්සයා අතේ තිබුණු කෝටුව එක තැනක ඇන්නා. මහත්තයා, මෙන්න මෙතන ළිඳ කපන්න” කියලා ඒ මනුස්සයා තාත්තාට කිව්වා.

ඒක මහ වේලිලා කරවෙලා ගිය තැනක්. එහෙම තැනක ළිඳක් කපන්න කියන්නේ ඒ මනුස්සයාට ඔල්මාදේ හින්දා කියලා තමයි අපිට හිතුණේ. ඒත් ඒ මනුස්සයා කියපු දේ අහලා ඒ කියපු තැන ම ළිඳ කපන්න ඕන කියලා තාත්තා තීරණය කළා. ළිඳ කැපුවේ අපි අපිමයි. අඩි දහයක් විතර විෂ්කම්භය තියෙන්න තමයි ළිඳ කැපුවේ. අඩි දෙකක් තුනක් ළිඳ කැපුවාට පස්සේ පස් උඩට ගන්න වැඩේට දබරයක් දාන්න ඕන. ඒ වැඩේ කරලා දුන්නේ දන්න අඳුනන අහල පහල කට්ටිය. කරු දෙකක් තියෙන කණු දෙකක් අඩි තුනක් විතර උසට හිටවලා ඒක උඩින් පුවක් කඳක් දාලා තමයි දබරයක් හදන්නේ. පුවක් කොටේ දෙපැත්තට අත් දෙකක් හයි කරනවා. එකකට එකක් විරුද්ධ පැත්තට හයි කරන ඒ අත් දෙක කරකවන්නේ බයිසිකලේ පැඩල් එක කරකවනවා වගේ. පුවක් ක‍ඳේ රවුම් කිහිපයක් වෙන්න කඹයක් පටලවනවා. ඒ කඹය දෙපැත්තට ම බාල්දි දෙකක් ගැට ගහනවා. පස් පුරවපු බාල්දිය යට ඉඳලා උඩට එද්දි හිස් බාල්දිය උඩ ඉඳලා යටට යනවා.

ටික දවසක් යද්දි බාප්පාත් ආවා. අහල පහල අයත් උදව් කරන්න පටන්ගත්තා. අඩි හයක් හතක් යටට කපද්දි මඩ මතුවෙන්න ගත්තා. ඒක මහා ආශ්චර්යයක් වගේ වැඩක්. ඒ වගේ මහ ඉඩැල්ලක ඒ වෙන දේ දැකලා අපි හැමෝම පුදුම වුනා. ඉතින් ඊට පස්සේ අපි ළිඳ කැපුවේ තවත් අඩි තුනක් විතරයි. ළිඳ බදින්න ඕන ගල් කඩලා ගෙනාවේ විජේසේකර මහත්තයලාගේ වත්තෙන්. ඉතින් විෂ්කම්භය අඩි අටක් විතර වෙච්ච, ගැඹුර අඩි දහයක් විතර වෙච්ච හොඳින් වතුර තියෙන ළිඳක් අපිට ලැබුණා!

වතුර තියෙන තැන අර මනුස්සයා හොයාගත්තේ ගස්වල කොළ දිහා බලලා තමයි කියලා අපි නිගමනය කළා. දැන් කාලේ ඉන්න අපේ විද්‍යාඥයෙක්ට” ඒ ගැන යමක් කියන්න පුළුවන්. ඒ මොකක් වුනත් අපි ඉතාමත් වාසනාවන්ත බව ඒ ළිඳ හදාගත්තාට පස්සේ අපිට තේරුණා. වතුර තියෙනවා නම් මොනවා ද කරන්න බැරි?

දැන් ආයෙත් බුලත් හදපු කතාව කියන්නම්. අලුත් ළිඳ කැපුවේ ගෙදර ඉඳලා මීටර් විස්සක් විතර දුරින්. ගෙදර ඉඳලා ඒ ළිඳට යන පාරේ වම් පැත්තේ තමයි බුලත් පාත්ති දෙක තිබුණේ. ඒ විතරක් නෙවෙයි. එළවළු පවා වගා කරලා තිබුණේ ඒ පැත්තේ. බුලත් පාත්තිවලට වතුර දාන්නේ කළවලින්. කට පුංචි ඒ කළ තරමක් උසයි. ළිඳ ළඟ තියලා ඒවාට වතුර පුරවන වැඩේ හරි පරිස්සමට කරන්න ඕන. කළේ ඇඳවෙලා තියෙන හින්දා ඕනෑවට එපාවට ඒවාට වතුර පුරවන්න බෑ. එහෙම කළොත් වතුර අහක යනවා. වතුර නාස්ති කරන එක මහ පව්කාර වැඩක් කියලා තමයි තාත්තා නිතර ම අපිට කිව්වේ.

ඉතින් අපි හැම දා ම හවස හයට විතර වතුර ඇදලා බුලත් පාත්තිවලටයි එළවළු පාත්තිවලටයි දාන්න පටන් ගන්නවා. පොළොවේ රස්නේ තියෙද්දි වතුර දාන්න හොඳ නෑ කියලා තමයි කිව්වේ. ඊට පස්සේ තමයි අපි නාන්නේ. හැබැයි අම්මා නාන්න යන්නේ අපිට රෑට කෑමත් බෙදලා දීලා ඉවරවෙලා. නෑවට පස්සේ තෙත මාත්තු කරලා ඔළුවේ තුවායක් බැඳගන්නවා මිසක් අම්මා කොණ්ඩේ හරියට වේලගන්නේ නෑ. එහෙම කළාම නාපු එකෙන් වැඩක් නෑ කියලා තමයි අම්මා කිව්වේ. ඒත් දැන් කාලේ ඉන්න ගෑණු කට්ටිය රෑ වෙලා නාන්නේ නැත්තේ කොණ්ඩේ වේලෙන්නේ නෑ කියලා හිතාගෙන.

මහ රෑ නාන වැඩේ අපිටත් පුරුදුවෙලා. හැම දා ම හැම වැඩක් ම ඉවරකරලා තමයි දැන් මමත් නාගන්නේ. මටත් අම්මාගේ ලෙඩ ඒ විදිහට ම බෝවෙලා. ඊට කලින් නාලා වැඩක් නෑ කියලා තමයි මටත් හිතෙන්නේ. ඒත් බාගෙට බාගයක් කෙස් හැලිලා තියෙන මට නම් වේලන්න තරම් ක‍ොණ්ඩයක් නෑ. ඒක වෙනම කතාවක්.

සති දෙකකට වතාවක් නාරම්මල පොළට තමයි තාත්තා බුලත් ගෙනියන්නේ. නාරම්මල පොළ තියෙන්නේ ඉරිදාට. බුලත් පොළ පටන්ගන්නේ හද්දා පාන්දර. ඉතින් බුලත් තට්ටුව බයිසිකලේ බැඳගෙන තාත්තා පාරට යනවා. ඊට පස්සේ නාරම්මලට ඒක ගෙනියන්නේ පත්තර ලොරියේ පටවගෙන. උදේ හතර හමාර විතර වෙද්දි ජයමහ සර්ලාගේ කඩේ ළඟට පත්තර ලොරිය එනවා. ඉරිදා උදේ පාන්දර ම පොළට යන්න ඕන හින්දා සෙනසුරාදා රැ වෙද්දි බුලත් අහුරලා තට්ටුව බැඳලා තියන්න ඕන. ඒක කරන්න නම් බුලත් කඩන වැඩේ පටන්ගන්න ඕන බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා, සිකුරාදා කඩන බුලත් ඊට පස්සේ තෝරනවා. පීදිච්ච කොළ, කඳ කොළ, කෙටි කොළ කියන විදිහට තමයි බුලත් තෝරන්නේ. ඊට පස්සේ ඒවා විස්ස විස්ස එකට අමුණන්න ඕන. විස්සේ මිටි දෙකක් එක බුලත් අතයි.

ඒ දවස්වල ළමයි ටියුෂන් ගියේ නෑනේ. ඉතින් මේ වගේ වැඩ කරන්න ඕන තරම් වෙලාව අපිට තිබුණා. ඉස්කෝලේ පොත්වල තියෙන පුංචි පුංචි දේවල් ඉගෙනගන්න ටියුෂන් යන්නේ ඇයි කියන එක නම් මට අදටවත් තේරෙන්නේ නෑ. ඔය ඉස්කෝල පොත්වල තියෙන බහුභූතවලට අමතරව තව කොච්චරක් නම් දේවල් මේ ලෝකේ ඉගෙනගන්න තියෙනවා ද? ඒත් සානුවක්, නිම්නයක් කියලා කියන්නේ මොකක්ද කියන එකවත් ටියුෂන් නොගිහින් තේරුම්ගන්න බැරි තරමට අපේ ළමයි ‍මොට්ට වෙලා කියලා හිතෙද්දි නම් හිතට මහා දුකක් ඇතිවෙනව‍ා. ඇත්තට ම අපිට මොකක්ද මේ වෙලා තියෙන්නේ?

අපි දැන් ඒක ගැන වදවෙන්න ඕන නෑ. දැන් ආයෙත් අපේ ගෙදර ආර්ථික යුද්ධය ගැන කතාව කියන්නම්.

කලින් ලිපියකිනුත් කියලා තියෙන විදිහට ඒ කාලේ අපේ අම්මා හැම දා ම වගේ පොල් අතු වියනවා. අපිත් ඒ වැඩේට හවුල් වෙනවා. වත්ත පුරා ම වැටිලා තියෙන පොල් අතු එකතු කරලා, ඒවායේ පිත්තයි අග්ගිස්සයි කපලා තමයි පතහට දාන්න ඕන. පතහට දාලා දවසක් දෙකක් පෙඟිච්ච පොල් අතු තමයි වියන්න ගන්නේ. අම්මත් එක්ක හරි හරියට පොල් අතු වියන්න අපිටත් පුළුවන්. ඒ කාලේ මඩකලපුව පැත්තේ ඉඳලා එන ලොරිවලට තමයි පොල් අතු විකුණන්නේ. ගමේ පොල් අතු එකතු කරන මිනිස්සු ඒවා පාර අයිනට ගෙනියනවා. ඊට පස්සේ ඒවා ලොරිවලට විකුණනවා. ඉතින් මේ සෙල්ලමින් අපේ ගෙදෙට්ටත් කීයක් හරි හම්බවෙනවා.

මේ වැඩවලට අමතරව හරක් හදන වැඩෙත්, කුකුල්ලු හදන වැඩෙත් අම්මා කළා. මුලින් හිටියේ රතුපාට වැස්සියෙක්. අපි ඌට කිව්වේ රත්ති කියලා. ඌ ටිකක් සැරයි. ඒත් අපිට කවදාවත් කිසිම අරියාදුවක් කළේ නෑ. පස්සේ සුද්දියකුත් ගෙනාවා. කල් ගතවෙද්දි වයසට ගිය සුද්දි බිම වැටිලා තුවාලයක් හදාගත්තා. අපි අහල පහල අයත් එක්ක එකතුවෙලා අට්ටාලයක් හදලා ඌව හිටවලා තිබ්බා. උගේ තුවාලෙට නිතර නිතර ම බෙහෙත් දැම්මේ මම.

ඒ දවස්වල අපේ වත්තේ පොල් කඩන්න එන්නේ වීරේ හිටපු පීතර මාමා. උණ ලී පහක් හයක් කරේ තියාගෙන තමයි පීතර මාමා එන්නේ. ඒ උණ ලී එක එක දිගට හදාගත්ත ඒවා. උස අඩු පොල් ගස්වලට කෙටි ඒවා. උස පොල් ගස්වලට දිග ඒවා. ඒත් උස ම උස පොල් ගහකුත් අපේ ළිඳ පැත්තට වෙන්න මිදුල අයිනේ තිබුණා. එක පොල් ගහක් වෙනුවෙන් දිග උණ ලීයක් ඇරගෙන එන එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් පීතර මාමා ඒ ගහේ පොල් කඩන්නේ නෑ. මම තමයි ඒ පොල් ගහට නැගලා පොල් කඩන්නේ. වළලු දාගෙන ගස් නගින්න මට බෑ. ඒ හින්දා මම ඒ ගහට නැග්ගේ බඩ උල උලා මහ අමාරුවෙන්. ආපහු පහළට බැස්සාම බඩ පතුරු ගිහිල්ලා. ඒත් ඒ ගැන මට වගේ වගක් නෑ.

සුද්දිට හැදිලා තිබුණු තුවාලේ ඇතුළේ පනුවොත් බෝවෙලා හිටියා. හිමින් හිමින් උන් අයින් කරන එක මහ අමාරු වැඩක්. මේක පීතර මාමා දැක්කා. මේකට කරන්න වැඩක් තියෙනවා කියලා පීතර මාමා කිව්වා. එහෙම කියලා පීතර මාමා අබ ටිකක් අම්මාගෙන් ඉල්ලගත්තා. ඊට පස්සේ ඒ අබ ටික අතේ තියාගෙන මතුරන්න පටන්ගත්තා. ටික වෙලාවක් යද්දි මහ පුදුමාකාර දෙයක් වෙන්න පටන්ගත්තේ. ඒ අබවලින් දුම් පිටවෙනවා. අබ ඇට ටික පොරිවෙලා. ඒ එක්ක ම  සුද්දිගේ තුවාලේ හිටිය පනුවෝ මැරි මැරී එළියට වැටෙනවා!

දැන් කාලේ ඉන්න දියුණු මිනිස්සු මේ කතා පිළිගන්න එකක් නෑ. ඒකට කමක් නෑ. අපි එච්චර දියුණු මිනිස්සු නෙවෙයිනේ. තවත් මේ වගේ මිථ්‍යා කතා” සෑහෙන ප්‍රමාණයක් කියන්න තියෙනවා. ඉඩ ලැබෙන විදිහට ඒ වැඩේ ඉදිරි ලිපියකින් කරන්නම්.

කොහොම වුනත් සුද්දි වැඩි කාලයක් ජීවත්වුනේ නෑ. ඒක සෑහෙන්න දුක් සහගත සමුගැනීමක්. ගෙදර හදන වැස්සියෙක් අපිට දෙන්නේ කිරි විතරක් නම් නෙවෙයි. ගොමත් දෙනවා. ඒ කාලේ අපි ගොම පාවිච්චි කළේ එළවළු පාත්තිවලට, බුලත් පාත්තිවලට, මල් පාත්තිවලට දාන්න විතරක් නෙවෙයි. ගෙදර බිම ගාන්නත් කුල්ලේ ගාන්නත් ගොම ඕනවුනා. පොහොර කවරයකට හරි තාච්චියකට හරි අතෙන් අහුලලා ගොම එකතු කරන එක කාටත් හුරු පුරුදු සාමාන්‍ය වැඩක්. මුල් කාලේ කුල්ලේ ගොම ගෑවත් පස්සේ පස්සේ ඒ වැඩේට අඹරපු ගොරක මද ගන්න අම්මා පුරුදුවුනා. දැන් අපේ ගෙවල්වල බිමට සිමෙන්ති දාලා, ටයිල් අල්ලලා තිබුණාට අදටත් අපේ ගම්වල මිනිස්සු උයන්නේ දර ලිපේ. ඉතින් ඒ දර ලිපට ගොම මැටි ගාන එක අදටත් අමුතු දෙයක් නෙවෙයි.

වැස්සි පැටියෙක් දැම්මාට පස්සේ ලැබෙන්නේ පුදුමාකාර අත්දැකීමක්. මුල් දවසේ හරි අමාරුවෙන් නැගිටලා වැස්සි වටේ කැරකෙන පැටියා දවස් කීපයක් යද්දි නටන්න පටන් ගන්නවා. වහු පැටියෙක්ගේ ලස්සන ම මොකක්ද කියලා දන්නවා ද? ඒ තමයි උගේ ඇස් දෙක. පුංචි වහු පැටියෙක්ගේ ඇස්වල පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ටික දවසක් යද්දි උන් අපේ ම යාළුවෝ බවට පත්වෙනවා. කිරි බීලා ඉවරවෙලා වලිගය උස්සගෙන වත්ත පුරා ම දුවන වහු පැටියෙක්ගේ දඟකාරකම දිහා බලාගෙන ඉන්න එක හරි ම අපූරු වැඩක්. උන් පුංචි ම පුංචි ඒ කාලේට අපිට උන්ව උස්සන්නත් පුළුවන්. ඉතින් අද උස්සන වහු පැටියෙක්ව හෙට උස්සන්න බැරිකමක් නෑනේ. ඉතින් මේ විදිහට හිතුවාම ඒකා මහ ලොකු හරක් තඩියෙක් වුනාට පස්සෙත් අපිට උස්සන්න පුළුවන් වෙන්න ඕන. අපි ඒ දවස්වල මේ වගේ විකාර කතා කිය කියා විනෝද වෙනවා.

අපේ ගෙවල්වල වැස්සියෝ හැදුවාට ගොන්නු හැදුවේ නෑ. ඉතින් වැස්සියෙක්ට පට්ටි දාන්න නම් ඒකට ගැලපෙන වස්සෙක් කාගෙන් හරි ඉල්ලගන්න ඕන. පස්සේ පස්සේ කෘෂිකර්ම මහත්තයා ඇවිල්ලා වැස්සියන්ට කෘතිම සිංචනය කරන්න පටන්ගත්තා. ඒ වෙද්දි නවයේ පංතියේ විතර හිටිය අපිට මේ දේවල් තේරෙනවා. ඒ කාලේ වෙද්දි නිතර නිතර ම වැල් දොඩම් මල් පරාගණය කරන එකත් අපි කරනවා. අපි ඒ වැඩේට ගන්නේ පාවිච්චි කරලා අයින් කරපු දත් බුරුසුවක්. හැබැයි ඒ දවස්වල දත් බුරුසුවක් හොයාගන්න එකත් සෙල්ලම් වැඩක් නෙවෙයි. උදේ පාන්දරට පොල් හනස්සක් ලිපේ දාලා ඒකේ අඟුරු ලුණු වතුර දාපු පොල් කට්ටකට කඩලා ඒවායින් තමයි අපි දත් මැද්දේ. ඒ වැඩේ හුඟක් වෙලාවට අපි කළේ ඇඟිල්ලෙන්. පැරකුම්බා, දන්ත මුක්ත වගේ දත් කුඩු වර්ග” ගෙනැල්ලා දත් මදින වෙලාවලුත් තිබුණා.

කුකුල්ලු හැදුවේ බිත්තර ගන්න. මගුලාගම ඉඳිද්දි නම් පොල් අතුවලින් වට කරපු ලොකු කුකුල් කොටුවක් අපිට තිබුණා. ඒත් මැටියගනේ කුකුල්ලු හැදුණේ නිදැල්ලේ. ඒත් රෑට උන්ව උඩකට යවන්න ඕන. එහෙම නැතිනම් කලවැද්දෝ ඇවිල්ලා උන්ට වැඩේ දෙනවා. ඉතින් පොල් ගස් දෙකක් අතර කටු කම්බිවලින් ලොකු කුකුල් කූඩුවක් එල්ලලා තිබුණා. ඒක තිබුණේ පොළොව මට්ටමට අඩි පහළොවක් විතර උඩින්. හවස හය හමාර විතර වෙද්දි කූඩු, කූඩු” කියලා කෑගැහුවාම කුකුල්ලු ඉගිල්ලිලා ඒ කූඩුවට යනවා. ඊට පස්සේ ඒකේ දොරට ගැට ගහලා තියෙන ලණුවකින් ඇදලා අපි ඒ කූඩුව වහනවා. උදේට දොර ඇරියාව උන් පහළට එනවා.

තල කොළවලින් තේ පෙට්ටි හදන වැඩක් දඹදෙණිය සංවර්ධන පදනම පටන් ඇරගෙන තිබුණා. අම්මා ඒ වැඩේටත් අත ගැහුවා. පදනමට ගිහිල්ලා ගේන තල කොළවලින් තේ පෙට්ටි වියලා ආපහු පදනමට ම දෙන්න පුළුවන්. එහෙම නැති නම්, තමන් ම තල අතු හොයාගෙන, කොළ ඉරලා තම්බලා ඒ වැඩේට ගන්නත් පුළුවන්. මේ හැම වැඩක් ම අම්මා කළා.

ඔය අස්සේ තාත්තා පුංචි පුංචි බිස්නස් වැඩවලටත් අත ගහලා තිබුණා. ආපස්සට හැරිලා ඒ ගැන හිතුවාම ඒවා මොන තරම් පුංචි වැඩ ද කියලා දැන් අපිට හිතෙනවා. ඒ විදිහට කරපු එක වැඩක් තමයි කුරුණෑගල යන්තම්පලාව පැත්තේ කඩේකින් පොල් ටොපි ගෙනැල්ලා ඉස්කෝලේ කැන්ටිමට දාන එක. ගමන් මහන්සියවත් ඒ වැඩෙන් ලැබුණා ද කියන එක අපි දන්නේ නෑ. කිරිඳිවැල නැන්දායි මාමායි කළේ පොළවල්වල රෙදි විකුණන එක. ගම්පොළ පැත්තෙන් තේ කොළ ගෙනැල්ලා සති අන්තයට යක්කල, කිරිඳිවැල පැත්තේ පොළවල්වල විකුණන්නත් තාත්තා පටන් ගත්තා. ඒ වැඩේට තාත්තා අපිවත් එක් කරගෙන යනවා. පොළේ දී සද්දෙන් කෑ ගහලා මිනිස්සුන්ට කතාකරන්න කීවාට මම නම් කවදාවත් ඒ වැඩේ කරන්නේ නෑ. මට ඕන වෙලා තිබුණේ පොළට වෙලා මිනිස්සු කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්න.

මේ එක වැඩක්වත් දුකක් කියලා අපි හිතුවේ නෑ. අපි ඒ හැම වැඩක් ම කළේ හරි ම විනෝදෙන්. ඒ දේවල් ඇතුළේ ගැබ්වෙලා තියෙන විනෝද වෙන්න පුළුවන් පැත්ත දන්නේ නැති මිනිස්සුන්ට ඒවා තේරෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි. ඒ වැඩ කරලා ඉගෙනගත්ත දේවල් මොන තරම් ලොකු පොතක් කියෙව්වත් දැනගන්න බෑ. අකුරු තියෙන පොත්වල තියෙන්නේ ඒ අකුරුවලින් කොටුවෙච්ච පුංචි ම පුංචි දැනුමක්. ඒත් අකුරු නැති පොත්වල තියෙන දේවල් මෙච්චරයි කියලා මේ ලියන අකුරුවලින් කියන්නත් බෑ. ඒකට කරන්න දෙයක් නෑ.

(කතාවේ ඉතිරි හරිය පස්සේ කියන්නම්)

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress