එතෙර වීමේ මඟ ඒදණ්ඩද තාක්ෂණයද?
Posted on August 26th, 2019

විශේෂාංගයතීරු ලිපි උපුටාගැණීම  මව්බිම

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය සතියේ එහි තරුණ සම්මේලනය උත්සවාකාරයෙන් සැමරීමත් සමඟ තරුණ පරපුර හා ඔවුන්ගේ අපේක්ෂාවන් ගැන අලුත් කතිකාවතක් රටේ නිර්මාණය වෙමින් පවතී.

වර්තමානයේ ලංකාවේ ජනගහනයෙන් 23ක් සිටින්නේ වයස අවුරුදු 15-29 අතරය. ලංකාවේ සමස්ත රැකියා වියුක්තිය 4.4%ක පමණ වුවද වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය එමෙන් සිවු ගුණයක් පමණ වේ.  තරුණ ජනගහනය තුළ සාක්ෂරතාව 92% පමණ ඉහළ අගයක තිබුණද උසස් අධ්‍යාපන අවස්ථා සීමිතය. තවමත් උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 19% පමණ සුළු ප්‍රතිශතයකි. තරුණ පරපුර අතර පරිගණක සාක්ෂරතාවයේ ප්‍රමාණාත්මක වර්ධනයක් දක්නට ලැබුණු ඉංග්‍රීසි භාෂා නිපුණත්වය අතින් බොහෝ දෙනකු තවමත් සිටින්නේ ඉතා දුර්වල මට්ටමකය.  ධනවත් පවුල්වල දරුවන්ට ලැබෙන අධ්‍යාපන හා රැකියා අවස්ථා රටේ බොහෝ තරුණ, තරුණියන්ට ලැබෙන්නේ නැත. ග්‍රාමීය ප්‍රදේශවල මේ තත්ත්වය අතිශයින්ම බරපතළය. 

මේ වන විට අනාගතය පිළිබඳ විශාල කතිකාවතක් රට තුළ නිර්මාණය වෙමින් පවතින අතර වෙන කවරදාටත් වඩා ජනතාව දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ගමට ජිම් කට්ටල ලබාදෙනවා වැනි බොරු පොරොන්දුවලට වඩා තරුණ ගැටලු විසඳන  රට හදන ප්‍රායෝගික සැලසුම්ය. මේ තත්ත්වය තුළ තරුණ ප්‍රතිපත්තීන් ගැන විවිධ දේශපාලන පක්ෂ හා නායකයන් දරන මතයන් ගැන ජනතාවගේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.  

ඉහළ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් සඳහා සැමට සමාන අවස්ථාවන් ලබාදීම, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට අවස්ථාව ලබාදීම,  ඉල්ලුමට සරිලන රැකියා හා ව්‍යාපාරික අවස්ථා ලබාදීම,  ක්‍රීඩා හා විනෝද වීමේ අවස්ථා පුළුල් කිරීම, රාජ්‍ය පාලනයේ තරුණ සහභාගිත්වය වැනි අවශ්‍යතා  රාශියක් තරුණ ප්‍රතිපත්තීන් යටතේ සාකච්ඡා කිරීමට සිදුව තිබේ. තරුණ කටයුතු සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය ආයතන රාශියක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබුණද මේ සියල්ල ඒකාබද්ධ කොට මෙහෙය වන පැහැදිලි ඉදිරි දැක්මක් ඇති කාර්යශූර නායකත්වයක අඩුව නිසා මේ ව්‍යුහයන්ගෙන් නිසි ප්‍රතිඵල ලැබෙනවාද යන්න ගැටලුවකි.

2015 යහපාලන රජය බලයට එනවිට ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනවා යන්නය. ඒ වන විට රාජ්‍ය අය-වැයට අනුව අධ්‍යාපනයට වෙන් වූයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.9%ක  ප්‍රතිශතයකි. යහපාලන ආණ්ඩුවේ සමහර විට අවසාන වසර විය හැකි 2019 වසරේත් අය-වැයෙන් අධ්‍යාපනයට වෙන්වී ඇති මුදල අපේක්ෂිත දළ ජාතික නිෂ්පාදනයෙන් 1.9%ක ප්‍රතිශතයක් පමණි. කයිවාරුව මිස වැඩ බැරි බව ජතාව ඉදිරියේ යළි යළිත් ඔප්පු කළ පාලකයන් පිරිසක් දැන් 2020 පසු මේ තත්ත්වය වෙනස් කරන්නට බලය ඉල්ලති. ජනතාවට අසන්නට සිදුව ඇත්තේ ඔබ පසුගිය වසර 4කුත් මාස 8ක් තිස්සේ කළේ කුමක්ද කියාය. 

2005 මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළාට පසු එම රජයට තිබුණු ප්‍රධානතම අභියෝගය වූයේ වසර 20කට වැඩි කාලයක් නොවිසඳී තිබුණු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කිරීමය. මේ සඳහා සැලසුම් සකස් කිරීමේ වගකීම මූලිකවම භාර වූයේ අභිනවයෙන් පත්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටය.  ප්‍රශ්නය හොඳින් අධ්‍යයනය කළ ඔහුට වැටහුණේ යුද්ධය ජයග්‍රහණය කිරීමට නම් ප්‍රමාණවත් තරම් හමුදා සෙබළුන් හා අවි ආයුධ අවශ්‍ය බවය. නමුත් වසරක් පාසා අය-වැයෙන් ජාතික ආරක්ෂාවට වෙන් වූ මුදල සාර්ථක යුද්ධයක් දියත් කිරීමට ප්‍රමාණවත් නොවන බව ඔහුට පැහැදිලි විය. ඔහු කළේ තම යුද උපදේශකයන් සමඟ සකස් කළ නව සැලැස්මට යන වියදම ගණනය කොට ආරක්ෂක ඇමැතිවරයා හරහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමය. මෙතරම් විශාල මුදලක් යුද්ධය සඳහා වියදම් කරන්නේ කෙලෙසදැයි කැබිනට් මණ්ඩලය ප්‍රශ්න කළ විට ඔහු පෙන්වා දුන්නේ යුද්ධය දිගටම පැවතීම තුළ රටට අහිමි වන ධනය වියදමට වඩා අති විශාල බවය.  අවසානයේ කැබිනට් මණ්ඩලය එයට එකඟ වූ අතර යුද්ධය වසර 4කට අඩු කාලයකින් නිමා විය.

අධ්‍යාපනය නඟාසිටුවීමේ සැබෑ අවශ්‍යතාවක් රජයකට ඇත්නම් එදා යුද්ධය වෙනුවෙන් රාජපක්ෂ රජය ආයෝජනය කළාක් මෙන්ම රටේ තරුණ පරපුර වෙනුවෙන් එම ආයෝජනය කරන්නට අනාගත රජයක් පසුබට නොවිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතා තරුණ සමුළුවේදී පැහැදිලිවම කීවේ අනාගත රජයකින් අධ්‍යාපනය ක්ෂේත්‍රයට වෙන් කරනා මුදල දෙගුණ තෙගුණ කරන්නට වුවත් තමන් සූදානම් බවය. 

විශ්වවිද්‍යාලවලට දැනට ගන්නා සිසුන් ප්‍රමාණය හැකි ඉක්මනින් දෙගුණ කරනා අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා විශ්වවිද්‍යාල පාඨමාලා හැකිතාක් දුරකට නව ලොවට ගැළපෙන ලෙස වෙනස් කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂගේ මතයයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මානව සම්පත් සංවර්ධනය අනාගත රජයක මූලික වගකීමක් විය යුතු බවයි. 

රටේ අනාගත පරපුර ඵලදායි පුරවැසියන් කරන්නට අවශ්‍ය දැනුමින් ඔවුන් පෝෂණය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුණතා වර්ධනයට විශේෂ අවධානයක් යොමු කරන බවත්, සියලුම තරුණ, තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අතරමං වීමට ඉඩ නොදී ඔවුන්ට උසස් අධ්‍යාපනයට හා තාක්‍ෂණික අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කරන බවත්, පොජපෙ ජනාධිපති අපේක්ෂකයාගේ පොරොන්දුවයි. අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හරහා ශිල්පීය දැනුම ලබාදෙන අතර නව නිර්මාණයන් කිරීම සඳහා අපේ තරුණ පරපුරට අතහිත දිය යුතු බව පවසන ඔහු පෙන්වා දෙන්නේ අපේ දීර්ඝකාලීන අරමුණ විය යුත්තේ නව නිර්මාණයන්ගෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රට බවට පත් වීම බවයි.

ලෝකයේ මේ වන විට කාර්මික විප්ලවයන් තුනක් සිදු වී ඇති අතර වර්තමානයේ අප අත්දකින්නේ සිවුවැනි කාර්මික විප්ලවයයි.

එතෙක් මානව ශක්තිය සහ සතුන්ගේ ශක්තියෙන් බලගැන්වුණු යන්ත්‍ර, සුළං බලය සහ ජල බලයෙන් සවි ගැන්වීම ඇරැඹුණේ ප්‍රථම කාර්මික විප්ලවයත් සමඟයි. පළමු ලෝක යුද්ධයට පෙර දශක දෙකකදී පමණ ඇති වූ දෙවැනි කාර්මික විප්ලවය සඳහා පාදක වූයේ විදුලි බලය භාවිතයෙන් නිෂ්පාදනය සිදුකිරීමයි. තෙවැනි කාර්මික විප්ලවය 1980 ගණන්වල ඇරැඹි නිෂ්පාදන ඉලෙක්ට්‍රොනික පාලනය යටතේ සිදුවීමයි.  එහිදී ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් යන්ත්‍ර සූත්‍ර පාලනය වීම යම්තාක් දුරකට ස්වයංක්‍රිය තත්ත්වයකට යන්ත්‍ර සූත්‍ර ගෙන ඒම ආදිය සැලකිය යුතු අන්දමින් සිදු විණි. 

මේ වන විට ආරම්භ වී තිබෙන සිවුවැනි කාර්මික විප්ලවය තුළ බොහෝ දියුණු  රටවල් සිය නිෂ්පාදනයන් සහ භාවිතයන් ඉලෙක්ට්‍රොනික භාවිතයන්ගෙන් ඔබ්බට ගොස් ස්වයංක්‍රියකරණය කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් සිය පද්ධති ස්වයං තීරණ ගත හැකි තත්ත්වයට පත්කර ධාරිතාව සහ කාර්යක්ෂමතාව ප්‍රශස්ත කිරීම විවිධ තාක්ෂණයන් සමෝධානිත කිරීම මඟින් භෞතික සහ ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් ඔබ්බට ගොස් සියල්ල එකම වේදිකාවක භාවිත කිරීම වැනි නවීන ක්‍රියාමාර්ග හරහා සිය කටයුතු උපරිම ප්‍රශස්ත මට්ටමින් සිදුකිරීමට වෙර දරමින් සිටිති. මේ අතරටම අන්තර්ජාලය හා බැඳි විවිධාකාර උපකරණ ස්වයංක්‍රියව සන්නිවේදනය කරගැනීමට සැලැස්වීම මඟින් මානව මැදිහත්වීම අවම කිරීමටත් සියලුම පද්ධති ස්වයං පාලනයකට සහ නිරන්තරව ස්වයංව යාවත්කාලීන කිරීමට සැලැස්වීම මඟින් සිය කාර්යක්ෂමතාව මිලිතත්පර ගණනකින් හෝ වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් සිටිති.

අපට දැන් තීරණය කරන්නට සිදුව ඇත්තේ දියුණු වෙමින් පවතින රටක් වශයෙන් සුපුරුදු පරිදි බාහිර ලෝකයට ඉදිරියට යන්නට ඉඩ දී ගතානුගතික ආර්ථික සංවර්ධන, බොරු පොරොන්දු  තුළ සිර වී සිටිනවාද, නැතිනම් අපේ තරුණ පරපුර වහ වහා දැනුමින් සන්නද්ධ කොට, දැනටමත් ආරම්භ වී ඇති සිවුවැනි කාර්මික විප්ලවයේ කොටස්කරුවන් වන්නට උත්සාහ කරනවාද යන්නයි. අනකුත් පක්ෂවල ජනාධිපතිකම අපේක්ෂකත්වය සඳහා අරගල කරන සමහර දේශපාලනඥයන් කැමරා ඉදිරියේ ඒදඬු බඩගාමින් රඟදක්වද්දී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තෝරාගැනීමට අවශ්‍ය ඇත්තේ ඉන් දෙවැනි මඟය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress