RANJANGATE SCANDAL – විනිසුරන්, දේශපාලකයන්, ප්‍රභූ කතුන්, නිළියන් හා පොලිසියත් කුජීත කළ රංජන්ගේ අලුත්ම හඬ පට කතාව
Posted on January 11th, 2020

උපුටා ගැන්ම මව්බිම

විසිඑක්වැනි සියවසේ දෙවැනි දශකය නිමාවී තෙවැනි දශකය උදාකරමින් 2020 අප රටට උදාවූයේ, ශ්‍රී ලංකා ජනරජයේ ‘ව්‍යවස්ථාදායකය’, ‘විධායකය’ හා ‘අධිකරණය’ යන තුන් අෑඳුතු බලාධිකාරියේ ‘ව්‍යවස්ථාදායකය’ හා ‘විධායකය’ යන ද්විත්වයම පුපුරුවා හරිමින් ‘ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) හරහා පැමිණ විධායකයේ බලගතු තනතුරු දැරූ හිටපු ඇමැතිවරුන් දෙදෙනකුම අධිකරණය විසින්ම දෙන ලද නියෝග මඟින් බන්ධනාගාර සිර භාරයට පත්වෙමිනි. ඒ ඉකුත් සතියේය. 

මේ සතිය උදාවූයේ තුන් අෑඳුතු බලාධිකාරියේ ඉතිරිව තිබූ ‘අධිකරණය’ද පුපුරුවා හරිමින් විනිසුරුවරියක් හා විනිසුරුවරුන් කිහිපදෙනකුම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු සමඟ සිදුකරන දුරකථන සංවාද මඟින් ප්‍රතිවාදී කඳවුරේ දේශපාලනඥයන් හිරේ – විලංගුවේ දැමීම සඳහා සිදුකෙරෙන කතා බහ ඇතුළත් හඬපට අතරින් කිහිපයක් ජනතාව අතරට පැමිණීමත් සමඟමය.

විනිසුරුවරුන්ගේ රෙදි ගැලවේ” වැනි ශීර්ෂ පාඨ සහිතව ඒ පිළිබඳව පුවත් පළවීමට තරම් තත්ත්වය අවාසනාවන්ත වීම ගැන අධිකරණ  ක්ෂේත්‍රයන් සමඟ සමීප සබඳතාවක් පවත්වන මා බොහෝ සෙයින් කම්පා වන්නේ සිය ධුරයේ ගෞරවය රකිමින් අධිකරණයේ පරම පූජනීයත්වය රකින බහුතරයක් විනිසුරුතුමන්ලා හා තුමියන්ලා හට මෙමඟින් සිදුවූ අපහසුතාව පිළිබඳව හදපත්ලෙන්ම හටගන්නා වේදනාව නිසාවෙනි. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන දුමින්ද සිල්වා වරදකරු කරන තීන්දුව ලිව් විනිසුරුවරිය හා රන්ජන්ගේ කතාබහ ඇතුළත් හඬපටය ඉමහත් ආන්දෝලනයට ලක්වී තිබේ.

මහාධිකරණ විනිසුරුවරියක් වූ පද්මිණී රණවක හා පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අතර පැවැති දුරකථන සංවාදයෙන් බිඳක් මෙන්න. 

විනිසුරුවරිය – හෙලෝ

රන්ජන් – හෙලෝ මැතිනිය කොහොමද?

විනිසුරුවරිය – ඇමැතිතුමා සොරි, මම දැනුයි ගෙදර ආවේ.

රන්ජන් – අනේ මම ජනාධිපතිතුමා ළඟ ඉඳගෙනයි ඒ කතා කළේ.

විනිසුරුවරිය – අනේ ඇත්තමද?

රන්ජන් – පාර්ලිමේන්තු ගිහිල්ලා එතුමත් ආවා. රූම් එක ළඟ ඉඳලා කතාකළේ. හෙටත් හම්බ වෙනවා. අගමැතිතුමත් හම්බ වෙයි. ඔබතුමිය කියන්නේ අගමැතිතුමාට කියන එක වඩා හොඳයි කියල නේද?

විනිසුරුවරිය – මම මෙහෙම වැඩක් කළා. අපේ එක්කෙනෙක්ට කියලා මම අග්‍රවිනිශ්චයකාරතුමාට ලියුමක් ඇරියා. මම රිටයර් වෙනවා ඩිසෙම්බර්, මම අවුරුදු 28ට නිවාඩු අරන් තියෙන්නේ දවස් 02ක් විතරයි කියලා. මගේ වැඩ ගැනත් කියලා. මගේ උසස්වීම ගැන.

මම ඒකෙ කොපි එකක් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටත් යවනවා. 

රන්ජන් – කවුද ශ්‍රී  පවන්ද ඉන්නේ?

විනිසුරුවරිය – නෑ. නෑ. ඩෙප්, එයාටත්, ඒකෙ පිටපතක් රෙජිස්ටර් පෝස්ට් ඇරියා.

රන්ජන් – ආ. රයිට් රයිට් ඒක අගමැතිතුමාටත් යවනවා නේද?

විනිසුරුවරිය – අගමැතිතුමාට යවන එක හරි නැහැ නේද? එයා කවුන්සිල් එකේ ඉන්නවා නේ. 

රන්ජන් – ආ රයිට්, රයිට්, හොඳයි හොඳයි. විනිසුරුවරිය. එයාට කටින්ම කියන එක හොඳයි නේද?

රන්ජන් – මටත් එහෙමනම් කොපියක් එවනවාද?

විනිසුරුවරිය – කොපි එක කොහොමද එවන්නේ?

රන්ජන් – මගේ ඊමේල් එකට දාන්නකෝ.

විනිසුරුවරිය – නෑ. එහෙම දාන්න හොඳ නෑ. මම කොපි එකක් මගේ මහත්තය අතේ එවන්නද?

රන්ජන් – හරි හරි එවන්න. මාදිවෙල මන්ත්‍රි නිවාසයට ඇවිල්ල මට අතටම දෙන්න කියන්න. මම ඒකත් අරගෙන ගිහිල්ලා අගමැතිතුමාට කතා කරන්නම්. 

විනිසුරුවරිය – මාදිවෙල මන්ත්‍රි නිවාස?

රන්ජන් – මාදිවෙල කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස

විනිසුරුවරිය – එතකොට අංකය?

රන්ජන් – අංක 5 ඒ

විනිසුරුවරිය – කොයි වෙලාවෙද ගෙදර ඉන්නෙ?

රන්ජන් – මට මේ නම්බර් එකට කෝල්කරලා ලෑස්තිවෙලා එන්න කියන්න. මං කොහොමහරි අතට ගන්නම්. අද පුළුවන්ද මැතිනියට ඒක?

විනිසුරුවරිය -අද ද?

රන්ජන් – හෙට උදේ මම ජනාධිපතිතුමා හම්බ වෙනවා.

විනිසුරුවරිය – අද ගෙදර ඉන්නවාද?

රන්ජන් – හෙට දුන්නත් කමක් නෑ.

විනිසුරුවරිය – මහත්තය කිව්වා අද දෙන්නම් කියලා. මං එන එක හරි නෑ නේ?

රන්ජන් – ඔබතුමිය පේන්න එන්න එපා!

විනිසුරුවරිය – ඒක තමයි.

රන්ජන් – මහත්තයා නැතිව ඩ්‍රයිවර් එව්වත් කමක් නැහැ.

විනිසුරුවරිය – ඩ්‍රයිවර් – ඉතිං මං තමයි ගෙදර ඉන්නෙ. මං කොහොම හරි මේක එවන්න බලන්නම් කොපි එකක්. සිරිසේන ජනාධිපතිතුමාගෙ එකත් එහෙනම් ඔබතුමාටම දෙන්නද?

රන්ජන් – ඒක රෙජිස්ටර් පෝස්ට් කරන්න. ඒක යවන ගමන් මගේ අතට දෙන්න ඒකෙ කොපියක්. 

විනිසුරුවරිය – සී.ජේ.ට යවපු එකේ කොපියකුත් දෙන්නද? කොපි කීයක්ද ඕන? දැන්  ඕන එකක්ද දෙකක්ද?

රන්ජන් – ඔබතුමිය හිතන්නේ අගමැතිතුමාට දුන්නොත් හොඳ නැද්ද?

විනිසුරුවරිය –  කමක් නැද්ද දුන්නට?

රන්ජන් – දෙන්න, දෙන්න, ඔබතුමිය වැරදි වැඩක් නෙවෙයිනේ කරන්නේ. ඔබතුමිය ලංකාව වෙනුවෙන් ශේ‍ර්ෂ්ඨ තීන්දු ගත්ත කෙනෙක් නේ.

විනිසුරුවරිය – මම ඒ තීන්දු දෙකක් ලිව්වා. මං මෙහෙම දුන්නා. චන්ද්‍රිකා මැඩම්ගේ එකත් දුන්නා කියලා මම ලිව්වා. 

රන්ජන් – වෝටර්ස් ඒජ් එකයි. දුමින්දගේ එකයි ලිව්වා නේද?

විනිසුරුවරිය – භාරත ලක්ෂ්මන්ගෙ එකයි. ඒ දෙක ලිව්වා. මම අර පාරමී කුලතුංග ඒවා නම් ලිව්වේ නැහැ. ‘නෝ ලිමිට්’ බෝම්බ ගහපුවා. ඒවා ලිව්වේ නැහැ. ‘හයිකෝට්’ එකේ කරපු වැඩ ටික විතරයි ලිව්වේ. ඉතින් කවුරු එයිද දැන් අධිකරණයටද?

රන්ජන් – තලතා එයි කියල තමයි බලාපොරොත්තුව

විනිසුරුවරිය – තලතා, එයාට පුළුවන්ද?

රන්ජන් – ඒක තමා වැඩේ. හැබැයි ටෆ් ගෑනි බය නම් නෑ.

විනිසුරුවරිය – ඇත්තද

රන්ජන් – එයාගේ, ෆොරීන් එම්ක්ලොයිටන්ට් කරන්නෙ

විනිසුරුවරිය – එයා හොඳයිද?

රන්ජන් – නැත්නම් ජයම්පති වික්‍රමරත්න, තාම අපි දන්නෙ නෑ කවුද කියල.

විනිසුරුවරිය – කවුරුහරි හොඳ කෙනෙක් ආවොත්, හොඳට ඔක්කොම හරියනවා නම් තමයි හොඳ?

රන්ජන් – විජයදාස මහත්තය නම් ඩබල්ගේම් එකක් නේ ගැහැව්වෙ.

විනිසුරුවරිය – ඔව්. ඒක තමයි. හරි වැරදියි ඒවා නම්. ඇත්තට මම ටික දෙනා එක්කයි කතා කරන්නෙ. ඔබතුමා ඒ එක්කෙනෙක්.

රන්ජන් – අනේ බොහොම ස්තූතියි. 

විනිසුරුවරිය – බයයි. මට විශ්වාසයකුත් නෑ අනෙක් අය

රන්ජන් – ලොකු කේ‍රඩිට් එකක් ඒක

විනිසුරුවරිය – හුඟක් අය විශ්වාස කරන්නත් බෑ. එදා මං චුට්ටක් සැරට කතා කළාට සමාවෙන්න.

රන්ජන් – අනේ නෑ. නෑ. කොහෙද සැරට කතා කළේ?

විනිසුරුවරිය – මගේ හිතේ අමාරුවට, අපට වෙන අසාධාරණය නිසයි මං එහෙම කතා කළේ?

රන්ජන් – ඒක ඇත්ත. ඒක ගණන් ගන්න එපා!

ඊළඟ දිනයේ සංවාදය

විනිසුරුවරිය – ඇමැතිතුමා, කතා කරන්න පුළුවන්ද?

රන්ජන් – පුළුවන්, මම මේ මඩුපල්ලි ඇවිත් ඉන්නෙ

විනිසුරුවරිය – මට හරි අසාධාරණයක් වුණේ. මම දැන් ගෙදර යනවා. දෙසැම්බර් මාසේ මම ඉන්නේ ලිස්ට් ඒකේ 9 වැනියට මේකයි, අභියාචනාධිකරණයට තමයි යන්න ඕන. දැන් වේකන්සි එකක් තියෙනවා. මෙතන අපේ අසාධාරණය කවුරුවත් කතා කරන්නේ නෑ. අපිට හරි අසාධාරණේ. අපි වැඩකරන  ජජ්ස්ලට හරියට හොයල තනතුරු දෙන්න කියන්න. ඒ ඇති. මං මොනතරම් සර්විස් එකක් කළාද? ඇයි මට අභියාචනාධිකරණයට යන්න හදා නොදෙන්නේ. මං අද හරි හිතේ අමාරුවෙන් කතා කරන්නේ. අවුරුදු 27ක් මගේ සර්විස් එක. 

රන්ජන් – විජයදාස රාජපක්ෂ විශ්වාස කරන්න අමාරුද?

විනිසුරුවරිය – නෑ. එයාට මම කිව්වා. එයා කියනවා අනේ කොහොමද කරන්නේ කියලා. එයාට ජජ්ස්ලාට ආසම නැහැ. එයා ඩිපාර්ට්මන්ට් එකටම තමයි කත් ඇද්දෙ. එහෙන් පුළුවන් තරම් පැටෙව්වා මේකට. අපි පල්ලෙහාට ගියා. නැත්නම් මම මෙලහටත් අභියාචනාධිකරණයේ ඉන්න ඕන. ඇත්තටම මමත් දුමින්දව නිදහස් කළා නම් මොකද වෙන්නේ. ඇත්තටම බලන්න අපේ නඩුව විතරයිනේ ඉවරකළේ. ඒකත් මගේම උනන්දුවෙන්නේ ඉවර කළේ. මේ ආණ්ඩුව ආවට පස්සේ තාජුදීන්ගේ නඩුවවත්’ මොකවත් ඇහුවේ නැහැනේ?

රන්ජන් – නූරිවත්තේ අතකොටාගේ නඩුව ඉවර කළා නේද?

විනිසුරුවරිය – නෑ. මම ඒක කළේ නෑ. මම කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙ අර ටවුන්හෝල් බෝම්බ බ්ලාස්ට් කේස් එකයි, දුමින්දගෙ කේස් එකයි තමයි මං කළේ. චන්ද්‍රිකාගේ නඩුව කවුරුවත් ඇහුවේ නෑ බයට. ගිය ආණ්ඩුවෙන් තමයි ගත්ත ගමන් අහලා ඉවර කළේ. අපි එහෙම වැඩ කරලා නිකං ගෙදර යනවා. 

රන්ජන් – ඔබතුමිය රිටයර් වෙන්න තියෙන්නෙ නොවැම්බර්ද?

විනිසුරුවරිය – මම දෙසැම්බර් 1 වැනිදා ගෙදර යනවා. ඒ කියන්නේ නොවැම්බර් 30 රිටයර් වෙන්නෙ. දැන් වේකන්සි එකක් තියෙනවා. අයෙත් වේකන්සියක් එන්නේ නොවැම්බර්. අඩුගණනේ මගේ රිටයර්මන්ට් එක බලලා මට දෙන්න කියන්න. 

රන්ජන් – මේ වේකන්සියට ඉඩක් තියනවාද?

විනිසුරුවරිය – වේකන්සි එකක් තියෙනවා. මොකද සුප්‍රීම් කෝට් වලින් එක්කෙනෙක් ගියා. ඒ වේකන්සියට අභියාචනාධිකරණයේ එක් කෙනෙක් දාලා එතැනට මාව අනේ පුළුවන් නම් දාලා දෙන්නකෝ.” අනේ පුළුවන්නම් මට ඒක අරන් දෙන්න කෝ.”

රන්ජන් – හොඳයි මම එච්.ඊ.”ට කියන්න ඕනෙ අභියාචනාධිකරණයේ වේකන්සියක් තියෙනවා ඒකට පද්මිණී රණවක ගුණතිලක මැතිනිය දාලා දෙන්න කියලා කිව්වම හරිනේ?

විනිසුරුවරිය – අනේ මම කිව්ව කියලනම් කියන්න එපා. වැඩ කරපු හැටි බලන්න කියන්න. ලෝයර්ස්ලා දන්නවා මම කොච්චර වැඩ කරනවද කියලා. මං හිතේ අමාරුවටයි අද කතා කළේ. සොරි කරදර කළාට.

රන්ජන් – මැඩම් අසනීප වෙන්න එපා. මං මේක භාරගත්තා. මම එච්.ඊ.” ළඟ ඉඳගෙන මේක කතා කරනවා. 

විනිසුරුවරිය – පුළුවන්නම් රනිල් වික්‍රමසිංහට කියන්න එච්.ඊ.” නම් විශ්වාස කරන්න බෑ මට නම්.

තවත් හඬ පටයක ඇතුළත්ව තිබූ කොටසක්

විනිසුරුවරිය – හලෝ

රන්ජන් – හෙලෝ, මැතිනිය ඇහෙනවද ෆෝන් එක?

විනිසුරුවරිය – ඇහෙනව ඇමැතිතුමා කියන්න

රන්ජන් – ජනාධිපතිතුමා කිව්වා ‘අනේ පොඩි ළමයෙක් වගේනෙ කතා කරන්නේ’ කියලා.

විනිසුරුවරයා – මං හොඳමට බයත් වෙලා හිටියේ. මට පුරුදුත් නැහැ. අනෙක් එක කොහේදි හරි ජනාධිපතිතුමා කිව්වොතින් එහෙම මම මෙහෙම කිව්වා කියලා මගේ අවුරුදු 28ම කළ සේවය ඉවරයිනේ.

රන්ජන් – නෑ නේද? ඉතින් වරදක් නෙමෙයි නේ ඔබතුමිය කරන්නේ. ආයෙ සේවයක් කරන්න නේ ඉල්ලන්නේ. මේක ක්‍රයිම් එකක්වත්, හොරකමක්වත්, වංචාවක්වත් නෙමෙයිනේ.

විනිසුරුවරිය – මට කියාගන්න බැරිවුණා හරියට. දැන් මම මහත්තයට කිව්වම මට එයා හොඳටම බැන්නා. අවුරුදු 28ක් සේවය කළා ලබන මාසේ රිටයර් වෙන්නයි ඉන්නේ කියලා කියන්න මට කටට ආවේ නෑනේ. 

රන්ජන් – දැන් හොඳම දේ ආයෙත් එක දිගට කන්ටැක්ට් තියාගන්න. මං හොඳට පෝර දාලා වැඩේ හැදුවා. ඒකට ෆවුන්ඩේෂන් එක. 

රන්ජන් – මම කිව්වෙ ඔබතුමිය කුඩුකාරයා ගැන තීන්දුව දුන්නු නිසා ඔබතුමියගේ පුතාටත් තර්ජන තියෙනවා. ඒ හින්දා ඔහුට ආරක්ෂාවක් දෙන්නත් ඕනෑ කියලා.

විනිසුරුවරිය – ඇත්තටම කුඩුකාරයන්ගෙන් තර්ජනයක් වුණේ නෑනේ. පුතාට මරණ තර්ජනයක් කරලත් නැහැනේ.

මගේ ළඟ තමයි තිබ්බේ‘දිවිනැඟුම’ නඩුවයි, ගම්මන්පිලගෙ නඩුවයි. මිනිහට ලක්ෂ 5ක් ඇප නියම කළා කියල මිනිහා මට හොඳටම බැනලා ජජ් දුන්නේ ලක්ෂයයිනේ. ඔය දෙකම ජනවාරියෙ ඉඳලා අහන්න දාලා තිබ්බේ. මාව ට්‍රාන්න්සර් කළානේ. මම ඇහුවනම් දෙන්නේ ඔයිටත් අන්ත තීන්දුවක් තමයි. 

රන්ජන් – මං ගියේ වෙන වැඩකට ජනාධිපතිතුමත් එක්ක කතා කරන්නයි. ඔබතුමිය ගැන මතක් වෙලා ලියාගෙන ටක් ගාලා කිව්වා. මොකද හොඳ මූඩ් එකේ තමයි හිටියේ. යූඑන් එකට දැම්මනේ අපි එක්කොමලා කට්ටියම තුන්වැනිදා.

දැන් හොඳම වැඩේ තමයි කොහොම හරි මැතිනිය ඕක වුණාට පස්සේ මේවා වෙලා වැඩක් නෑ කියල තවත් කල් ඇර ඇර ඉන්නෙ නැතුව දැන්ම ඉඳලාම එතුමා එක්ක කන්ටැක්ට් තියාගන්න. ආයේ සිංහලෙන් ලියුමක් ලියලා කියන්න ඔබතුමා එක්ක දුරකථනයෙන් සාකච්ඡා කළ පරිදි මම මේ වගේ නඩු තීන්දු ගණනාවක්ම දුන්නා, අවුරුදු 28ක්ම සේවය කළා. මම කැමැතියි දිගටම මගේ සේවය රටට ලබාදෙන්න කියලා. අපි ලියුමක් යවමු.

විනිසුරුවරිය – හා: හා..

රන්ජන් – මේක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. රටේ ප්‍රධාන පුරවැසියාටනේ අපි ලියන්නේ. අපි ගෙයක් ඉල්ලනවා නම් වැරදියි. 

විනිසුරුවරිය:- මං මේ අවුරුද්දටම එකම එක නිවාඩුවයි යන්නේ. දිගටම මිනීමරුම් නඩු තීන්දු දීගෙන යනවා. ඔබතුමා හොයලා බලන්නකෝ.

රන්ජන්:- ඔබතුමියගෙන් මං අහන්නයි හිටියේ. කොහොමද අර සිල්රෙදි නඩුවේ තීන්දුව දුන්න ඒ මනුස්සයා කියලා.

විනිසුරුවරිය :- හරි ෂෝක්. හරි හොඳයි. එයා මටත් කතා කරලා ස්තුති කළා.

මට හරියට දුක හිතුණා, මගෙන් ගියාට බැසිල්ගෙයි ගම්මන්පිලගෙයි නඩු දෙකම. ඒ දෙකම තිබුණෙ මං ගාව.

රන්ජන් :- හොඳයි මැතිනිය මොනවා හරි තිබුණොත් කතාකරන්නකෝ. 

විනිසුරුවරිය :-අනේ බොහොම ස්තූතියි කරන උදව්වලට. පරිස්සමෙන් මං ගැන කියනකොට. 

තවත් සංවාද දෙකක්

තවත් විනිසුරුවරුන් 2 දෙනකු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක දුරකථන ඔස්සේ පවත්වන ලද රහස් සංවාද දෙකක්ද මාධ්‍ය හරහා අනාවරණය වූයේ ඊළඟ පැයේදීය.

රන්ජන් :- හලෝ!

හේමපාල විනිසුරුවරයා :- ගුඩ් මෝනිං.

රන්ජන් :- කරදර කරනවාට සමාවෙන්න. 

විනිසුරු :- අනේ නෑ නෑ කියන්න කියන්න. මට ඔබතුමත් එක්ක කතා කරන්න ඕන. ඒත් අපිට කල් තියෙනවා ඒකට.

රන්ජන් :- නොවැම්බර් 8

විනිසුරුවරයා:- ඊට ඉස්සෙල්ලා අපි හම්බවුණා නම් වඩා හොඳයි නේද?

රන්ජන් :- ආණ්ඩුවම බේරාගන්න පුළුවන්. ඔබතුමාට කියන තැනකට වඳින්නම්. ඕන උදව්වක් අරන් දෙන්නම්. පුළුවන් නම් මුළු ආණ්ඩුවම බේරන්න. කවුරුත් නෑ නේද ඔතැන. 

විනිසුරු :- නෑ.නෑ. මම මගේ වාහනේ හරවන ගමන් උසාවියට. අපි මෙහෙම කරමු.

රන්ජන් :- පැයක් ඇතුළට දැම්මත් ඇති. පුළුවන්ද ප්‍රතිපාදන තියෙනවාද?

විනිසුරු :- අපේ මැඩම් අතේ තමයි තියෙන්නේ. පොඩි දෙයක් තියෙනවා සහතිකයක් දමා ගන්න.

රන්ජන් :- මැඩම්ට  කතා කළා මම දැන්.

විනිසුරු :- අන්න හරි. අන්න හරි.

රන්ජන් :- එයා අතේද තියෙන්නේ වැඩේ? 

විනිසුරු :- එයාම ඇවිල්ල ඉල්ලීම කළා නම් තමයි හොඳ. මොකද ඒ අය ඇවිත් කියනවා ඇප දීමට විරුද්ධ නෑ කියලා. එතකොට ඒ විධියට පැමිණිල්ලෙන්ම කියනකොට ඇපදීමට විරුද්ධ නැහැ කියලා එහෙම කියපු හැටියෙ මං අසරණ වෙනවා.

ඉතිහාසයේම එහෙමයි වෙන්නේ. ගෝඨලාගේ එකෙක් වුණේ කෙළින්ම නීතිපති එකෙන් ඇවිත් කියනවා. ‘අපි ඇප දීමට විරුද්ධ නෑ’ කියලා. 

රන්ජන් :- අන්න ඒකනේ වැඩේ. වෙනත් පාර්ශ්වයකින් බැරිද ඒක කරන්න?

විනිසුරු :- අපි චුට්ටකට මේ ගැන කතා කරගමු. කොහොමද මේක අපි ඔක්කොමලා බේරිලා අධිකරණෙත් බේරන්නත් එපැයි මට. මොකද මේ ආයතනයට තියෙන මහජන විශ්වාසය ගැනත් හිතන්න එපායැ. අනෙක් ඒවාට ඇප දීම කරනවා නම්, ඇයි මේකට විතරක් මෙහෙම කළේ කියලා හිතනවා. එතකොට ආණ්ඩුවෙ වුවමනාවට තමයි කළේ කියලා හිතනවා. ඒක ආණ්ඩුවටත් හොඳ නැහැ නේ. එකපාරටම මිනිස්සුත් කණපිට පෙරළෙනවා.

රන්ජන් :- ඒක ඇත්ත. ඒක ඇත්ත.

විනිසුරු :- ඒ හින්දා ඒක සියලුදෙනාම බේරෙන විධියට, පැමිණිල්ලෙන් ඇප දීමට විරුද්ධ වෙන හේතුව මෙන්න මේකයි කියලා ඒගොල්ලට කියන්න ඕනෑ.

රන්ජන් : ඔව්. මේගොල්ලො දිගටම ගහන්නේ අපි පළිගන්නවා කියලනේ. මෙයා පොඩ්ඩක් එහෙම දැම්මොත් අපි ඔක්කොම බේරිලා.

විනිසුරු :- හරි මට තේරෙනවා. මට තේරෙනවා. 

රන්ජන් :- මොකද එතකොට පළිගැනීමක් පේන්නෙ නෑනේ. මොකුත් කියන්න බෑ. කට්ටියත් හිර කරලා. 

විනිසුරු :- එහෙනම් කරන්න ඕනේ අපේ මැඩමුයි ඔබතුමයි, මායි චුට්ටක් අපි කොන්ෆරන්ස් හරි දාලා අපිට කතා කරන්න පුළුවන්නේ. අන්න එහෙම එකක් හරි කරමු.

රන්ජන් :- මට මොනවද කරන්න පුළුවන්. මම එන්නම් ඉස්සරහට. මට බයවෙන්න දෙයක් නැහැනේ?

විනිසුරු :- හරියට හරි, ඔබතුමා අන්න ඒ වගේ දෙයක් කළා නම් ඇවිල්ලා.

විනිසුරු :- එතකොට පැමිණිලිකරු නේද? ඔබතුමානේ පැමිණිලිකරු?

රන්ජන් :- පැමිණිලිකරු නෙවෙයි, මම ඕන නම් මම මේ ටිකේ ගිහින් දමන්නම් පැමිණිල්ලක්. මං ලොක්කිගෙන් අහලා ඔයාට කෝල් එකක් දෙන්නම්.

විනිසුරු :- අන්න රයිට්, ඒ පැත්තෙන් කතාකරලා මට පුෂ් එකක් දෙන්න.

රන්ජන් :- හොඳයි. හොඳයි ඕකේ. 

රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සහ තවත් විනිසුරුවරයකු වූ ගිහාන් පිලපිටිය අතර දුරකථන ඔස්සේ සිදුවූ තවත් සංවාදයක කොටසක් මාධ්‍ය හරහා ජනගත වූයේ මෙසේය.

එම කතාබහ සිදුව ඇත්තේ ඔහුට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ විභාග වුණු අධිකරණයට අපහාස කිරීමේ නඩු විභාගයක් පිළිබඳව බැව් පැහැදිලි වේ.

රන්ජන් :- දැන් ඔබතුමා හිතන්නෙ මොකක්ද මේ ගැන. ඇතුළෙන් එන ආරංචි මොනවද ඔබතුමාට. මාව හිර කරයිද?

පල්ස්වලට දැනෙන විධියට මාව ඇතුළට දාලා ඒ ගොල්ලො අනාගනියිද? නැත්නම් අවවාදයක් දීලා ෂේප් කරලා දායිද?

විනිසුරු :- වෝන් කරයි වගේ නේද? ප්‍රසිඩන්ට් පොඩ්ඩක් කිව්වා නම් හරි නේද?

රන්ජන් :- ප්‍රසිඩන්ට් හම්බ වුණා. 

රන්ජන් :- ප්‍රසිඩන්ට් හම්බවෙලා. මං ඇහුවා මොකක්ද කරන්න කියන්නෙ ඔබතුමා කියලා. එතකොට කිව්වා ‘උඹ කිව්වෙ ඇත්තනේ, මුන්ගෙන් බාගෙට බාගයක් හොරුනේ. ඒක වෙනස් කරන්න වෙනවා. පස්සට අඩිය තියන්න එපා කියලා. 

ඊට පස්සේ මම ආයෙත් ඇහුවා දැන් සර් මොනවාද කරන්නේ අධිකරණයට අපහාස කරලා කියලා සුප්‍රිම් කෝට් එක තීන්දු කළොත් මොනවද කරන්නේ කියලා.

ටිකක් බලන් ඉඳලා කිව්වා ඉතිං මට මූ එළියට ගන්න වෙනවානේ” කියලා. හැබැයි උඹ ස්ත්‍රී දූෂණ කේස්, කුඩුකේස් දාගන්න එපා. ඒවාට එළියට ගන්නේ නෑ මම” කියලා. 

මේකට මම උඹට ගැසට් එකක් මේව කරන්නම්. මම ප්‍රයිවෙට් උඹට මේ කියන්නේ” කියලත් කිව්වා.

විනිසුරු :- එයා කියන එක නම් අහන්නේ නැතිලු සර් චීප් ජස්ටිස්.

විනිසුරුවරුන් සමඟ පවත්වා ඇති දුරකථන සංවාදවලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සමඟ පවත්වා ඇති සංවාද කිහිපයක්ම අඩංගු ‘හඬපට’ ද මාධ්‍ය හරහා විකාශනය වන්නට පටන් ගත්තේද මේ අතරතුරදීමය. 

ශානි:- සර්.

රන්ජන් :- කොහොමද?

ශානි:- සර් හදිසියක් කතා කරන්න පුළුවන්ද?

රන්ජන් :- පුළුවන්.

ශානි:- සර් වඳින්නම් නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනකුට කතාකරන්න එපා? ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒක. 

රන්ජන් :- ඇත්තද?

ශානි:- වැඳලා කියන්නම් සර්. කිසිම තැනක සර්ගෙ කටවත් අරින්නෙපා. දැන් හොඳම තත්ත්වයට ඇවිල්ලා ඇවිල්ලා තියෙන්නේ.

රන්ජන් :- හා … හා…

ශානි:- සර්. කතාකරපු එකක් ලොකුවට පත්තුවෙලා යන්න හදන්නේ. අපි දැනට ඒක බැලන්ස් කර ගන්නම්. වඳින්නම් කිසිම කෙනකුට කතාකරන්න නම් එපා. සර් දන්න දෙයක්වත් කියන්න යන්න එපා.

රන්ජන් :- රයිට්, රයිට්, මං කාටවත් කිව්වේ නැහැ. අද ජනාධිපතිතුමා හම්බ වෙනවා පහමාරට. 

ශානි :- එපා. එපා. සර් වඳින්නම් මොකුක්ම කියන්න එපා. දැන් ප්‍රශ්නෙ ඔක්කොම හරි.

රන්ජන් :- ප්‍රශ්නෙ හරිද?

ශානි අබේසේකර :- ප්‍රශ්නෙ හරි.

ශානි :- හැබැයි සර් වඳින්නම් පද්මිණි රණවක මැඩම්ට කෝල් දීලා මොකුත් කියන්න එපා. ලොකු ප්‍රශ්නයක් වෙනවා අපි ඔක්කොටම.

රන්ජන් :- ඇත්තද? ඔතැන කවුරුවත් නෑ නේද?

ශානි :- නෑ… නෑ…

රන්ජන් :- මම කතා කරලා කිව්වා. මොකද එදා ඔයා හිතේ අමාරුවෙන් කතා කළානේ. මට කතා කළාම එවෙලේම මම එහෙම්ම ගත්තා එයාට. මම කතා කරලා කිව්වා අනේ මැතිනිය මම මේ බලපෑමක් කරනවා නෙවෙයි. මුළු රටම බලන් ඉන්නවා මේ 9 වැනිදා දුමින්දගේ නඩු තීන්දුව ගැන. එතකොට ඔව් රන්රන් මොකක්ද ප්‍රශ්නෙ” කියලා එයා ඇහුවා.

මං කිව්වා මුළු රටම බලන් ඉන්නවා මැඩම්. එතකොටම ආ රන්ජන් කට්ටියක් ඇවිල්ලා මං පස්සේ ගන්නම් කියලා කිව්වා.” 

ශානි :- එච්චරයි නේ සර්?

රන්ජන් :- එච්චරයි වෙන මොකුත්ම නෑ.

ශානි :- ඔය ඇරෙන්න වෙන මොකුත්ම?

රන්ජන් :- නෑ වෙන මොකුත්ම නෑ.

ශානි :- සර් ආයෙ එහෙම මැඩම්ට කතා කෙරුවොත් ඒ ගොල්ලොත් ඔක්කොම අනෙක් පැත්තට හැරිලා අරයාගේ තීන්දුවට එකඟ වෙයි.

රන්ජන් :- දැන් ශානි ඔයයි මමයි යාළුවෝ. අපි කාලෙක ඉඳලා දන්නවා. දැන් මගෙන් මොනවා හරි මිස් ෆයර් එකක් වෙලා තියෙනවා නම් කියපන්කෝ. 

ශානි :- ඔව්. ඔව්. සර් පද්මිණී රණවක මැඩම්ට කතා කරපු එක ලොකු ප්‍රශ්නයක්. 

රන්ජන් :- ඇයි එයා මගේ යාළුවනේ. 

ශානි :- ඔව්. හරි සර්, නමුත් සර් වඳින්නම්., තවත් නම් කතා කරන්න එපා මේ නඩුව ගැන මැඩම්ට. දැන් ඔක්කොම හරි ගානට සෙට් වෙලා තියෙන්නේ. හොඳ පැත්තට පෙරළිලා තියෙන්නෙ. 

රන්ජන් :- දැන් කොහොම හරි හොඳ පැත්තට හැරිලානේ. අනේ දෙයියන්ගේම පිහිටයි. 

ශානි :- සර්ට මම ගෙනත් පෙන්වන්නම් මම ඔය තීන්දුව ගන්න දාපු සටහන්. සර්ට කියන්න මං කරපු ගොඩක් දේවල් තියෙනවා. 

තවත් හඬ පටයකින් හෙළිවූ රහස් සංවාදයක් මෙසේය. 

ශානි :- ගුඩ් ඊවිනිං සර්. මම ශානි අබේසේකර. 

රන්ජන් :- මම නම්බරය දාලා තියෙන්නේ. අපිට ගුඩ් නිව්ස් එකක් එයිද? බෑඩ් නිවුස් එකක් එයිද? 

ශානි :- ගුඩ් නිවුස් එකක් එනවා අනිවාර්යෙන්ම. 

රන්ජන් :- අනේ ඒක ඔයා ආයෙ වෙනස් කරන්න එපා. ආයේ අපේ හීන කඩන්න එපා. 

ශානි :- නෑ සර්, ඒකෙ ආයෙ දෙකක් නෑ. හැබැයි මැද එක්කෙනා නිදහස් වෙන්න ලියන්නේ. 

රන්ජන් :- අම්මට සිරි. මැද එක්කෙනා කියන්නේ? 

ශානි :- ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට දෙන්නෙක් ඉන්නවා. 

රන්ජන් :- එතකොට පත්මා සුප්‍රීම් කෝට් යවනවද? 

ශානි :- කොහොමත් සුප්‍රීම් කෝට් යැවෙනවානේ. 

රන්ජන් :- පද්මිණී හරිනේ. 

ශානි :- ඒ ඔක්කොම හරි. 

රන්ජන් :- එතකොට මං එන එක හරිද? ඒක හොඳද? 

ශානි :- සර් හැම දූෂණ වැරැදි වැඩවලටම ඉන්නවා නම් ඕකට මොකද? සර් එන්නකෝ. ඒක හයියක්. 

රන්ජන් :- තිරෙන් පිටුපස ඉන්නවද අපි. ෂුවර් නේද?

ශානි :- ෂුවර්ම තමයි. අයේ දෙකක් නෑ. 

රන්ජන් :- ආයේ හෙට උදේට වෙනස් වෙන්නේ නෑ නේද? 

ශානි :- හරියටම හරි. 

රන්ජන් :- හොඳයි හොඳයි දෙයියන්ගේ පිහිටයි එහෙනම්. ඔය වගේම තාජුඩීන් වැඩෙත් කරලා දෙන්න. 

ශානි :- දැන් බොහොම ළඟ ඉන්නේ. 

රන්ජන් :- කවුද? 

ශානි :- අපි ළඟ ඉන්නේ. 

රන්ජන් :- කැමරාවේ වැඩේ මොකද වුණේ? 

ශානි :- ඒක මෙගා පික්සල්  ගාණ අඩු එකක්. 

ඒකට කමක් නෑ. ඊට වැඩිය මැටීරියල් තියෙනවානේ. ආනන්ද සමරසේකරත් අනිවාර්යෙන්ම ඇතුළට යවනවා. 

රන්ජන් :- මරු මරු. 

ශානි :- රස පරීෂක කෙනකුත් යයි. 

රන්ජන් :- හරියට හරි. ඒක තමයි වෙන්න ඕනෑ. 

රන්ජන් රාමනායකගේ මන්ත්‍රි නිල නිවසේ තිබී අත්අඩංගුවට ගත් රහස් දුරකථන සංවාද එක්ලක්ෂ විසිඑක්දහසක් (1,21,000ක්) පමණ ඇතුළත් වූ ඩී.වී.ඩී.(DVD)  තැටි 162ක්ද  දෘඪාංග 

( Hard Disks)  09 ක්ද, පරිගණකයක්ද නුගේගොඩ මහෙස්ත්‍රාත්  අධිකරණයට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ( 09වැනි දින) ඉදිරිපත් කරනු ලැබූ අතර මහෙස්ත්‍රාත්වරයා නියෝගකොට ඇත්තේ ඒ සියල්ල රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබාගන්නා ලෙසටය.

මෙකී රහස් දුරකථන සංවාද ඇතුළත් හඬපට පොලිසිය සොයා ගැනීමත් සමඟම එකී  හඬපටයන්හි තවත් පිටපත් 14ක් පමණ මේ වන විටත් විවිධ මාධ්‍යයන් හරහා සංසරණය වෙමින් තිබේ.

අධිකරණයේ විනිසුරුවරුන් වන ධම්මික හේමපාල, ගිහාන් පිලපිටිය, විනිසුරුවරියක් වන පද්මිණි රණවක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා  වශයෙන් කටයුතු කරමින් සිටි ශානි අබේසේකර, රජයේ සොලිසිටර් ජනරාල්වරිය වශයෙන් හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන්ද කටයුතු කරමින් සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ , හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යනාදීන් හා සම්බන්ධ සංවාද ඇතුළත් එකී  හඬපට  රට පුරා සංසරණය වෙමින් පවතී.

මේ සමඟම රට තුළ උද්ගතව ඇත්තේ විවිධ තනතුරුවල හා විවිධ තරාතිරම්වල පුද්ගලයන්,  ප්‍රභූ කාන්තාවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, නිළියන්, රාජ්‍ය නිලධාරීන් හා නිලධාරිනියන්ද පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධාරීන්ද තම තමන්ගේ කටහඬවල්ද මේ රහස් සංවාද ඇතුළත්  හඬ පට තුළින් ජනගත වේදෝයි  යන බියෙන් තැතිගෙන ඇති ආකාරයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress