ඔටුවාගේ මරණ සහතිකය
Posted on January 12th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මේ කතාව පටන් ගන්නේ හැරීගෙන්. හැරී තමයි ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙච්ච මුල් ම ඔටුවා. හැරීට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න පොට පෑදුණේ කොන්රාඩ් මෝල්තෙ-බ්‍රැන් (Conrad Malte-Brun) කියන භූ ගවේෂකයා කරපු යෝජනාවක් හින්දා. 1822 අවුරුද්දේ මෝල්තෙ-බ්‍රැන් පුංචි යෝජනාවක් කළා. ඒ යෝජනාවෙන් කියැවුණේ ඕස්ට්‍රේලියාව ඇතුළේ අලුත් බිම් හොයාගන්න” ගවේෂණ වැඩවලට එක එක විදිහේ සත්තුන්ගෙන් උදව් ලබාගන්න පුළුවන් කියලා. ඉතින් කාන්තාර හරහා යන්න ඔටුවෝ යොදාගන්න පුළුවන් කියන යෝජනාවත් ඒ අතර තිබුණා. ඒත් ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ හිටියේ නෑ.

එහෙම නම් මොකක් ද කරන්න පුළුවන්? කරන්න පුළුවන් වැඩේ තමයි ඔටුවන්ව ආනයනය කරන එක. ඉතින් 1840 ඔක්තෝබර් 12 වැනි දා මුල් ම ඔටු නැව ඇඩිලේඩ් වරායට සේන්දු වුනා. ඒ නැව පිටත් වෙලා තිබුණේ උතුරු අප්‍රිකාවේ මොරොක්කෝව කිට්ටුව තියෙන කෙනරි දූපත්වලින්. කිලෝ මීටර් විසි දාහක් විතර දුර ගෙවලා ආපු මේ නැව් ගම‍න ඉවර වුනේ මැරිච්ච ඔටුවෝ පස් දෙනෙක් සහ පණ තියෙන එක ඔටුවෙක් ඕස්ට්‍රේලියාවට භාර දීලා. මැරිච්ච එවුන්ට නම් දාලා තිබුණා ද කියන එක නම් දන්නේ නෑ. ඒත් පණපිටින් හිටිය එකාට නම් නමක් ලැබුණා. ඒ නම තමයි හැරී.

හැරීගේ ඉරණම භාරවෙච්ච පුද්ගලයා ඉපැදුණේ මෝල්තෙ-බ්‍රැන් ඔටු යෝජනාව ඉදිරිපත් කරපු 1822 අවුරුද්දේ පාස්කු ඉරිදා (මාර්තු 22 වැනි දා). දැන් පාවිච්චි කරන දින දර්ශනයේ හැටියට පාස්කු ඉරිදා තීරණය වෙන්නේ මාර්තු 22 වැනි දා සහ අප්‍රේල් 25 වැනි දා අතර දවසක. හැරීගේ ඉරණම්කාරයාගේ නම ජෝන් අයින්ස්වර්ත් හොරොක්ස් (John Ainsworth Horrocks). ඒ කියන්නේ හැරී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙද්දි හොරොක්ස්ගේ වයස අවුරුදු 18 යි.

හොරොක්ස්ගේ තාත්තා සල්ලි හම්බ කළේ දකුණු ඕස්ට්‍රේලියාවේ අලුත් ජනපද හදලා. ඒක, ඒ කාලේ හුඟක් අය කරපු බිස්නස් එකක්. පුළුවන් විදිහට ගම්මාන, පුංචි නගර හැදුවා ම අලුතින් සංක්‍රමණය වෙන අයට පදිංචි වෙන්න තැනක් හොයා ගන්න එක අමාරු නෑ. ඉල්ලුමට සැපයුමනේ. ඉතින් තාත්තා කරපු ව්‍යාපාරයට ම පුතාලත් සම්බන්ධ වුනා. ඒ අයත් තමන්ට පුළුවන් විදිහට ගම්මාන, පුංචි නගර හදන්න පටන් ගත්තා. 1842 දී හොරොක්ස් තාත්තා පරලොව ගියාට පස්සේ පුතාලා එංගලන්තයට ගියා. ඒත් එංගලන්තේ ඉන්න තරම් ආර්ථික හයියක් මේ අයට තිබුණේ නෑ. ඉතින් 1844 වෙද්දි හැරීගේ ඉරණම්කාර හැරොක්ස් පුතා ආපහු ඕස්ට්‍රේලියාවට ආවා.

අලුත් වාසභූමි හදන්න නම් ඒවාට ගැලපෙන, වතුර වගේ මූලික අවශ්‍යතා සපයා ගන්න පුළුවන් තැන් හොයා ගන්න ඕන. ඕස්ට්‍රේලියාව මහ ලොකු රටක් වුනාට හැම තැන ම ජීවත්වෙන්න බෑනේ. ඉතින් මිනිස් වාසයට ගැලපෙන තැන් හොයන එක ලොකු වැඩක්. 1846 දී මේ වගේ හොඳ කෘෂිකාර්මික බිමක් හොයන වැඩකට හොරොක්ස් පුතා මුල පිරුවා. ඔහුත් එක්ක මේ වැඩේට හය දෙනෙක්ගේ මිනිස් කණ්ඩායමක් එකතුවෙලා හිටියා. මේ කණ්ඩායමට සම්බන්ධ වෙච්ච තව කෙනෙක් හිටියා. ඒ තමයි, හැරී!

සැප්තැම්බර් 1 වැනි දා වෙද්දි මේ දේශ ගවේෂක” කණ්ඩායම ගිල් (Gill) කියන විල (දැන් ඒ විලට කියන්නේ, Dutton කියලාලු) ළඟට සම්ප්‍රාප්ත වුනා. ඒ අය යන්න බලාපොරාත්තු වෙච්ච තැනට තව වැඩි දුරක් තිබුණේ නෑ. කණ්ඩායම මේ විල ළඟ නැවතුනාට පස්සේ හොරොක්ස් තමන්ගේ තුවක්කුවට උණ්ඩ පුරවන්න පටන් ගත්තා. හැරී (ඒ කියන්නේ – අපේ කතා නායක ඔටුවා) හිටියේ ඒ ළඟ ම බිම ඉඳගෙන. සත්තු කියන ජාතිය ටිකක් නළියනවානේ. මැස්සෝ, කෝඳුරුවෝ වහද්දි පවා ඇඟ පත ටිකක් හොළවන්න වෙනවා. ඉතින් හැරීටත් ඒ පුරුද්ද තිබුණා. මෙහෙම ඇඟ පත ටිකක් හොළවද්දි හැරී පිටේ බැඳලා තිබුණු බඩු පොට්ටනිය හොරොක්ස්ගේ තුවක්කුවේ වැදුණා. ඒ එක්කම තුවක්කුව පත්තු වුනා. වෙඩිල්ල වැදුණේ හොරොක්ස්ටමයි. ඒ වෙඩි පාර හොරොක්ස්කේ දකුණු අතේ මැදගිල්ල ගලවාගෙන ගිහිල්ලා කටට වැදුණා. දත් පේළියකුත් ගැලවුණා.

ගමන අතරමග නවත්තපු කණ්ඩායම තුවාල වෙච්ච හොරොක්ස්වත් ඇරගෙන ආපහු ගෙදර ආවා. ඒ තුවාලවලින් ම සැප්තැම්බර් 23 වැනි දා හොරොක්ස් මියගියා. මැරෙන්න කලින් හොරොක්ස් තමන්ගේ අවසාන ඉල්ලීම ඉදිරිපත් කළා. හැරීට වෙඩි තියලා මරන්න කියන එක තමයි ඒ ඉල්ලීම. ඉතින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙච්ච මුල් ම ඔටුවා – හැරී; වෙඩි කාලා පරලොව ගියා.

අපේ කතා නායක හැරීව පරලොව යවපු 1846 අවුරුද්ද වෙද්දි ඕස්ට්‍රේලියාවේ ජනගහනය ලක්‍ෂ තුනකටත් අඩුයි. 1851 අවුරුද්ද වෙද්දි ඕස්ට්‍රේලියාව සමහර තැන්වලින් රත්තරන් හොයාගන්න පුළුවන් වුනා. ඒත් එක්කම හතර වටින් ම එක එක මිනිස්සු ඕස්ට්‍රේලියාවට එන්න පටන් ගත්තා. ඉතින් 1859 වෙද්දි ඕස්ට්‍රේලියාවේ ජනගහනය ලක්‍ෂ 11 ක් කිට්ටු වෙන්න වැඩිවෙලා තිබුණා.

මෙහෙම ජනගහනය වැඩි වෙද්දි ඔටු සංක්‍රමණයකුත් වෙන්න ඕන. ඒත් 1859 වෙද්දිත් ඕස්ට්‍රේලියාවේ හිටියේ ඔටුවෝ හත් දෙනයි. ඒ හත් දෙනා සහ හැරී අතර නෑදෑකමක් තියෙන්න විදිහක් නෑ. ඒකට කමක් නෑ.

කොහොම හරි දවසින් දවස වැඩි වෙන වැඩ ටික කරගන්න තරම් ඔටුවෝ හිටියේ නැති එක ඕස්ට්‍රේලියාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ හින්දා යහමින් ඔටුවෝ ගෙන්න ගන්න ඕන කියන තීරණයට ඒ අය ආවා. හැබැයි ඔටුවෝ විතරක් ගෙනැල්ලාත් වැඩක් නෑ. ඔටුවන්ගෙන් වැඩ ගන්න නම් ඔටුගොව්වොත් ගේන්න ඕන. ඉතින් ඔටුවන් සහ ඔටුගොව්වන් ආනයනය කරන වැඩේ ජෝර්ජ් ජේම්ස් ලැන්ඩෙල්ස් (George James Landells) කියන පුද්ගලයාට පැවරුවා. ලැන්ඩෙල්ස් මුල් වෙලා ගෙනාපු මුල් ම ඔටු නැව 1860 ජුනි 9 වැනි දා මෙල්බර්න් වරායට සේන්දු වුනා. නැව පිටත්වෙලා තිබුණේ කරච්චියෙන්. ඒ නැවෙන් ඔටුවෝ 24 කුත් ඔටුගොව්වෝ 8 දෙනෙකුත් ඕස්ට්‍රේලියාවට සම්ප්‍රාප්ත වුනා.

හැබැයි මේ බිස්නස් එක වැඩි කාලයක් කරන්න ලැන්ඩෙල්ස්ට බැරි වුනා. සිදුවෙච්ච අකටයුත්තක් හින්දා 1860 ඔක්තෝබර් මාසයේ දී මනුස්සයා රස්සාවෙන් අස්වුනා. 1866 දී සැමුවෙල් ස්ටකී (Samuel Stuckey) කියන පුද්ගලයා කරච්චියෙන් ඔටුවෝ සීයකට වැඩි ගණනකුත් ඔටුගොව්වෝ 31 දෙනකුත් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. ඒ වෙද්දි මේ ඔටු සෙල්ලම නැගලා ගිහිල්ලා තිබුණේ. ඉතින් ඒ දශකය ඉවර වෙන්න කලින් ඔටුගොව්වෝ තුන්දාහක් විතර ඕස්ට්‍රේලියාවට ආනයනය කළා. මේ තරම් ඔටුගොව්වෝ පිරිසක් ගේන්න නම් ගෙනැල්ලා තියෙන ඔටුවෝ ප්‍රමාණය ගැනත් අපිට හිතාගන්න පුළුවන්. මේ ඔටුවෝ ඇරගෙන ආවේ ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉන්දියානු උපමහාද්වීපයේ තියෙන රාජස්ථානය වගේ අනෙකුත් ප්‍රදේශවලින්. මේ විදිහට ගෙනාපු ඔටුගොව්වෝ බලුකිස්ථාන, කාශ්මීර, සින්ද්, පන්ජාබ්, ඇෆ්ගනිස්ථාන, ඊජිප්තු, තුර්කි ප්‍රදේශවල අය වුනත් ඒ හැමෝට ම කිව්වේ ඇෆ්ගන්නු” කියලා. කටට පහසුවට වචනය කොට කරලා ඒ මිනිස්සුන්ට ගන්නු” (Ghans) කියලා කියන්නත් කට්ටිය පුරුදු වුනා.

කල් යද්දි මේ ගන්නු” ඔටු බිස්නස් එකටත් සෙට් වුනා. මේ ඔක්කොම කතා කියන්න ඉඩක් නෑ. කොහොම හරි ඕස්ට්‍රේලියාවේ ඔටු ගහනයත්, ඇෆ්ගන්” ජනගහනයත් ඉහළ යන්න පටන් ඇරගෙන තිබුණා. රට පුරා ම ඇතිවෙලා තිබුණු රත්තරන් හෙවිල්ලටත් මේ කට්ටිය සම්බන්ධ වෙන්න පටන් ගත්තා. මේ විදිහට පිටස්තරයෝ” කරන වැඩ ගැන ඕස්ට්‍රේලියාවේ අයිතිකාරයන්ට” ඇති වුනේ ලොකු කනස්සලක්. ඉතින් 1895 පනවපු නීතියක් මාර්ගයෙන් රත්තරන් හෙවීම ඇෆ්ගන්නුන්ට තහනම් කළා.

1852 ඉඳලා චීන සංක්‍රමණිකයොත් රත්තරන් හෙවිල්ලට බැහලා තිබුණා. ඒ අයව පාලනය කරන්න නීති 1855 ඉඳලා ම පැනෙව්වා. කොහොම වුනත් 1877 වෙද්දි ක්වීන්ස්ලන්තයේ හිටිය රන් කනින්නෝ අතරින් දහ අට දාහක් ම චීන්නු. වැඩට දක්‍ෂ හින්දා චීන්නුව බඳවා ගන්න අනිත් මිනිස්සුත් කැමැති වුනා. වැඩ කරන්න දුන්නාට රත්තරන් දෙන්න බෑනේ. ඉතින් යුරෝපීය නොවන අය රටට ඇතුළුවෙන එක නවත්තන්න ඕන කියලා 1900 විතර වෙද්දි ඕස්ට්‍රේලියාව තීරණය කළා. ඒ වෙද්දි ඕස්ට්‍රේලියාවේ ජනගහනය ලක්‍ෂ 38 කට කිට්ටුයි.

මේ අවශ්‍යතාව” සළකලා පිටස්තර” අය පිටු දකින ප්‍රතිපත්තියකට යොමු වෙන්න ඕස්ට්‍රේලියානු ආණ්ඩුව තීරණය කළා. 1901 අවුරුද්දේ ඉඳලා අවුරුදු 75 කට ආසන්න කාලයක් (ඒ කියන්නේ, 1975 වෙන කල් ම) යම් යම් ආකාරවලින් ක්‍රියාත්මක කරපු සුදු ඕස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය” බලාත්මක වුනේ ඒ තීරණය උඩ. යුරෝපීය සම්භවයක් නැති අය ඕස්ට්‍රේලියාවට ඇතුළු වෙන එක ඒ විදිහට නැවැත්තුවා. එංගලන්තේ හිටිය ජෝෂප් චැම්බර්ලේන් (Joseph Chamberlain) වගේ මහා ප්‍රාඥයෝ පවා මේ පාලනය අනිවාර්යයෙන් ම කළ යුතු සාධාරණ වැඩක් විදිහට සැළකුවා.

එතුමා ඒ ගැන මේ විදිහට කියලා තියෙනවා.

පිටස්තර සංස්කෘතීන්ට අයත්, පිටස්තර ආගම් අදහන, පිටස්තර සිරිත් විරිත් අනුගමනය කරන මිනිස්සුන්ගෙන් අපේ ජනපද ආරක්‍ෂා කරගැනීමේ අධිෂ්ඨානය අපිට තියෙන්න ඕන. ඒක ඒ බිම්වල ඉන්න ජනතාවගේ අයිතියක්.”

මේ විදිහට පාලනය කරපු කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ජනගහනය කෝටියකට වැඩි ප්‍රමාණයකින් (ඒ කියන්නේ එක් කෝටි තිස් නව ලක්‍ෂයක් දක්වා) වැඩි වුනා. සුදු ඕස්ට්‍රේලියාව” තහවුරු කරගත්තේ මේ විදිහට.

එතකොට ඔටුවෝ?

1901 පනවපු නීතියත් එක්ක ඇෆ්ගන්නුන්ට ගෙවල්වලට” යන්න සිද්දවුනා. ඉතින් ඒ ඔටුගොව්වෝ ආපහු යන්න ගියේ තමන්ගේ ඔටුවන්ව කැලෑවලට මුදා හැරලා. මේ වෙද්දි කෝච්චි දුවන්නත් පටන් ඇරගෙන තිබුණු හින්දා ඔටුවෝ නැති වෙච්ච එක ගැන ලොකු කම්පාවක් සුදු ඕස්ට්‍රේලියානුවන්ට” තිබුණේ නෑ.

ඒත් මේ නීති විරෝධී සංක්‍රමණිකයෝ – ඒ කියන්නේ කැලෑ වැදිච්ච ඔටුවෝ; සුදු මහත්තුරුන්ගේ වතුර බොනවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ කොහොම ද? ඉතින් දැන් ජල සම්පත ආරක්‍ෂා කරන අලුත් මෙහෙයුමක් ආරම්භ කරලා. අනවසරයෙන් ඇති දැඩි වෙච්ච ඔටුවෝ දහ දාහකට හැරීගේ ඉරණම නියම කරලා.

(මේ කතාව ඉවර කරන්න කලින් තවත් ඔටුවෙක් ගැන කියන්න ඕන. ඒ ඔටුවා හිටියේ අපේ කැම්පස් එකේ. අපිත් එක්ක එකට ඉගෙන ගත්තේ. තමන්ට ඔටුවා” කියන නම දාගත්තේ ඒ ඔටුවා ම තමයි. දැන් අවුරුදු දහයකට පහළොවකට විතර කලින් ඒ ඔටුවාත් තමන්ගේ පවුල පිටින් ම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුනා. ඒත් ගිය පමාවෙන් ඒ ඔටුවා ආපහු ලංකාවට ආවා. තමන්ට බොන්න විතරක් නෙවෙයි නාන්නත් එක්ක ලංකාවේ වතුර තියෙන බව ඒ ඔටුවා දැන ගෙන හිටියා).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress