RANJANGATE SCANDAL – රස පරීක්ෂක වාර්තාවෙන් පසු රංජන්ගේ හඬපට ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව CCDය කියයි
Posted on January 13th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රස පරීක්ෂක වාර්තාව ලැබුණූ පසු හඬ පට සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයා ගත් සංයුක්ත තැටි හා දෘඪ තැටි මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ංන් රාමනායකගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළේ පසුගිය 04 වනදායි.

එහිදී නීතිවිරෝධි ගිනි අවියක්, ජීව උණ්ඩ, දුරකතන සංවාද ඇතුලත් සංයුක්ත තැටි සහ දෘඪ තැටි කිහිපයක් පොලිසිය සොයා ගත්තා.

ඒ අනුව අත්අඩංගුවට ගැණුනු රංජන් රාමනායක මන්ත්‍රීවරයා පසුදින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා.

මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී හමුවූ හඬ පට සම්බන්ධයෙන් විමර්ශනය කිරීම කොළඹ අපාරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබුවා.

පොලිසිය භාරයට ගැණුනු භාණ්ඩ පසුගිය 9 වනදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත්තේ ඒ අනුවයි.

ඒ සම්බන්ධයෙන් වන වාර්තාව මේ සතිය තුල ලැබෙනු ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ අධිකරණය නියෝගයක් ලබා දුනහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකද කටහඬ පරීක්ෂාවක් සඳහා සිය දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට සූදානම් බවයි.

අදාල හඬපට සම්බන්ධයෙන් පසුගිය බදාදා ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළ කොළඹ අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ලබා ගත්තා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress