සිවුර
Posted on January 14th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

වෙන රටවල්වල වගේ ම අපේ රටෙත් අනාගාමික (Atheist) මිනිස්සු ඉන්නවා. ඒ අය අතරින් සමහර අය ඒ බව කියා පානවා. එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නෑ. සමාජයට පොදුවේ හානියක් නැතිනම් යම් කෙනෙක්ට තමන්ගේ අදහස් කියන්න බාධාවක් තිබිය යුතු නෑ. ආගම් අදහන අයට ගැරහීමක් අනාගාමිකවාදය (Atheism) තුළ නෑ. අනාගාමික මිනිස්සු ආගම් ගැන වදවෙන්නේ නෑ. එච්චරයි.

ආගම් විරෝධය (Antireligion) කියලා එකකුත් තියෙනවා. මේ අදහස් පිළිගන්න අය හැම ආගමකට ම විරුද්ධයි. මේක අනාගාමික වැඩක් නම් නෙවෙයි. මේක දේශපාලනික කටයුත්තක්.

අපේ රටේ තමන් නිරාගාමික (අනාගාමික) කියලා හඳුන්වා ගන්න අය අතරින් සමහරු අයිති වෙන්නේ ආගම්-විරෝධී ගොඩට. ඇත්තෙන් ම, ඒ අය හැම ආගමකට ම විරුද්ධ නෑ. ඒ අය නිතර ම තමන්ගේ විරෝධය සහ විවේචනය පළ කරන්නේ බුද්ධාගමට විරුද්ධව. ඒ හින්දා, ඒ අයව නම් කරන්න පුළුවන් බෞද්ධ-විරෝධී (Anti-Buddhist) කියලා.

මේ බෞද්ධ-විරෝධීන් තමන්ගේ මූලික ම කටයුත්තක් බවට පත් කරගෙන තියෙන්නේ මහා සංඝයාවහන්සේලාට පහරදීම. මේ අයට සිවුර අසාත්මිකයි. පහුගිය දවසක මංගල සමරවීර මහත්තයා දෙරුවන ගැන කියද්දිත් මේ අසාත්මිකතාව පැහැදිළි වුනා.

අපේ රටේ ඉස්මතු කරන මේ සංඝ-විරෝධය මූලික ව ම දේශපාලනික කාර්යයක්. සංඝයාවහන්සේලා යම් යම් ආකාරවලින් දේශපාලන කටයුතුවලට සම්බන්ධවීමත් මේකට හේතුවෙලා තියෙනවා. රටේ ජනගහනයෙන් සියයට එකක් විතර වෙන එංගලන්ත සභා ක්‍රිස්තියානි (කතෝලික නෙවෙයි) සමාජයේ පූජක පක්‍ෂය ඉතාමත් තීරක විදිහට අපේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුනාට ඒක හුඟක් අයට පේන්නේ නෑ. එංගලන්ත යටත්විජිත උරුමය ඇතුළේ අපේ රටේ ආයතනික බලය මෙහෙයවන පරිසරයක් ඇතුළේ ඒ බලපෑම් වෙන් කරලා හඳුනගන්නත් බෑ. ඒක වෙනම කතාවක්.

සිවුරට විරෝධය දක්වන අය කියන කතා ගණනාවක් තියෙනවා. පුංචි ම කාලයේ ළමයින් මහණකිරීමත් ඒ අයට තේරුම් ගන්න බෑ. එහෙම නැතිනම් තේරෙන්නේ නැති බව පෙන්වමින් ඒකට විරුද්ධ වෙනවා. යම් කෙනෙක් පැවිදිවෙන්න ඕන දුක ගැන අවබෝධ වෙලා, නිර්වාණ ප්‍රාර්ථනයෙන් නේ ද කියලා ඒ අය අහනවා. පොඩි අයට එහෙම අවබෝධයක් තියෙන්න විදිහක් නෑ. ඉතින් එහෙම අය මහණ වෙන්නේ ඇයි කියන එක ඒ අයට තියෙන මහ විශාල ප්‍රශ්නයක්.

රටක් කියලා කියන්නේ මොකක්ද කියලා මේ අයට තේරෙන්නේ නැති බවක් තමයි පේන්නේ. රටක් කියලා කියන්නේ සිතියමකින් ලකුණු කරලා පෙන්නන්න පුළුවන් භූමිය විතරක් නම් නෙවෙයි. ඒ භූමි සීමාව තුළින් ආවරණය වන සමස්ත ස්වභාව ධර්මයමත් රටට අයිතියි. මිනිසා කියන්නෙත් ඒ ස්වභාව ධර්මයේ ම කොටසක්. ඉතින් යම් භූමියක තියෙන ගහ කොළ, ඇළ දොළ, සතා සීපාවා, මිනිස්සු, අහස, ආශ්‍රිත මුහුද, මුහුදු ජීවීන් සහ සාගර සම්පත් වගේ මෙකී නොකී හැම දෙයක් ම රටක් කියලා අපි හඳුනාගන්න දේට අයිතියි.

ඇත්තෙන්ම රටක් කියලා කියන්නේ මේ ස්වභාවික භෞතික සීමාවත් ඉක්මවපු එකක්. භෞතික සීමාව ඉක්මවන නිර්මාණ කරලා තියෙන්නේ මිනිස්සු. පොදුවේ අපි සංස්කෘතිය කියලා කියන්නේ ඒ නිර්මාණවල එකතුවට. භාෂාව, සාහිත්‍යය, සිරිත් විරිත්, ඇගැයීම්, ආගම, ඇදහිළි, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්වල ස්වභාවය, පවුල් සම්බන්ධතා, දේශපාලනයේ ස්වරූපය වගේ ඉවරයක් නැති දේවල් සංස්කෘතියකට ඇතුළත්. සංස්කෘතිය විසින් තමයි රටකට අනන්‍යතාවක් ලබා දෙන්නේ.

සංස්කෘතියක් ඇතුළේ අස්පර්ශනීය (ඒ කියන්නේ අත පත ගාන්න බැරි, Intangible) දේවල් ඕන තරම් තියෙනවා. ඇත්තෙන් ම වැඩි හරියක් තියෙන්නේ ඒවා තමයි. දැන් දැන් මේ විදිහේ අස්පර්ශනීය දේවල් වෙන් කරලා හඳුනාගෙන ඒවා ලෝක උරුම විදිහට නම් කරන වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා. අපේ එල්ලංගා පද්ධති ක්‍රමයත් ඒ විදිහේ අස්පර්ශනීය ලෝක උරුමයක් බවට පත් කරපු බව අපි දන්නවා. අවුරුදු දෙකකට විතර කලින් චීනයේ සාම්ප්‍රදායික දින දර්ශනයත් අස්පර්ශනීය ලෝක උරුමයක් බවට පත් කළා. ඕනකමක් තියෙනවා නම් අපේ සිංහල අවුරුද්ද වගේ උත්සව පවා මේ විදිහට අස්පර්ශනීය ලෝක උරුම කියලා නම් කරගන්න පුළුවන්.

මේ විදිහේ අස්පර්ශනීය නිර්මාණ ඒ ඒ සමාජවලට අයිති සමාජ ප්‍රාග්ධනයක් (Social capital) විදිහට හඳුනාගෙන කටයුතු කරන උගත්තු ඉන්නවා. ඒ අයට ඒවා ගැන හොඳ වැටහීමක්, ඇගැයීමක් තියෙනවා.

අපේ සංස්කෘතිය ඇතුළේ භික්‍ෂූන්වහන්සේලාට විශේෂ තැනක් තියෙනවා. අද මහණ කරපු කුඩා දරුවෙක්ට වුනත් අපි දණ නමස්කාර කරලා වඳින්නේ ඒ හින්දා. මේක අපේ ඇගැයීම්වලට අදාළ කටයුත්තක්. හැම සංස්කෘතියක් ඇතුළේ ම ඒ සංස්කෘතියට අදාළ ඇගැයීම් (Cultural values) තියෙනවා. මේ ඇගැයීම් හඳුනාගන්න පුළුවන් වෙන්නෙත් අස්පර්ශනීය විදිහට.

ඉතිහාසය පුරා ම අපේ ස්වාමීන්වහන්සේලාට සමාජ නායකත්වයක් පැවරිලා තියෙනවා. ඒක අපේ සමාජ සම්මුතියෙන් සිද්දවෙච්ච එකක්. එහෙම නැතුව මේ වැඩේට අදාළ කරුණු කාරණා ත්‍රිපිටකයෙන් හොයාගන්න අපිට බෑ. සමාජ නායකත්වය කියන්නේ වගකීමක්. ඉතින් අපේ රටේ මිනිස්සු මහණ වෙන්නේ, ළමයි මහණ කරන්නේ නිර්වාණය අරමුණු කරගෙන විතරක් ම නෙවෙයි.

මෙතෙන්ට අපේ ජාතික අරමුණත් අදාළයි. ඉතිහාසය පුරා ම අපි වැඩ කරලා තියෙන්නේ එක්තරා පොදු, ජාතික අරමුණක් වෙනුවෙන්. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තමයි අපේ ජාතික අරමුණ.

මිහිඳු මහ රහතන්වහන්සේ වැඩම කළාට පස්සේ මහා විහාරය පිහිටුවීමේදීත්, ආක්‍රමණිකයාගෙන් රට මුදවා ගන්න දුටුගැමුණු මහ රජතුමාගේ නායකත්වයෙන් කරපු සටනේදීත්, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේදීත්, අටුවා ලිවීමේදීත්, පොළොන්නරුවේ දී කරපු මහා ශාසන ශෝධන කාර්යයේදීත්, දඹදෙණිය යුගයේ දී කරපු ධර්ම ග්‍රන්ථ ලිවීමේදීත්, ලන්දේසි කාලයේ දී නැවත උපසම්පදාව හඳුන්වා දීමේදීත්, එංගලන්ත කිරීටයට අපේ රටේ පාලනය පවරා දීපු ගිවිසුමේදීත්, අන්තිමට අපි හදාගත්ත ජනරජ ව්‍යවස්ථා දෙකේදීත් මේ ජාතික අරමුණ විවිධාකාරයෙන් ප්‍රකාශයට පත් කෙරිලා තියෙනවා.

මේ ජාතික අරමුණට අදාළ සමාජ වගකීම් අපේ ස්වාමීන්වහන්සේලා විසින් ඉෂ්ට කරලා දෙයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. ඉතින් අපේ ස්වාමීන්වහන්සේලා කරන්නේ බණ කියන එක විතරක් නෙවෙයි. එහෙම නැතිනම් සමාජයෙන් ඈත්වෙලා භාවනා කරන එකමත් නෙවෙයි. මේ කටයුතුත් උන්වහන්සේලා අතින් සිද්ද වෙන්න ඕන. ඒ වගේ ම, බුද්ධ ශාසනය පවත්වා ගෙන යෑමට අවශ්‍ය, මේ ශාසනය සහ ධර්මය ඉදිරි පරම්පරාවලට රැකලා දීමට අවශ්‍ය කටයුතුත් උන්වහන්සේලා විසින් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

හැම මනුස්සයෙක් ම හැම දේට ම එක විදිහට දක්‍ෂ නෑ. මේක අපේ ස්වාමීන්වහන්සේලාටත් අදාළ කාරණයක්. ඉතින් අපේ සමහර ස්වාමීන්වහන්සේලා බණ කියන්න දක්‍ෂයි. තවත් සමහර ස්වාමීන්වහන්සේලා පොත් පත් ලියන්න දක්‍ෂයි. තවත් සමහර ස්වාමීන්වහන්සේලා පන්සල්, වෙහෙර විහාර හදන්න දක්‍ෂයි. ඒවා පාලනය කරන්න දක්‍ෂයි. තවත් ස්වාමීන්වහන්සේලා දක්‍ෂ ගෝලයෝ හදන්න. ගංවතුරක්, නාය යෑමක් වගේ ආපදාවක් වෙච්ච වෙලාවට ඉස්සරහට ඇවිල්ලා මිනිස්සුන්ට උදව් කරන වැඩේට නායකත්වය දෙන්න හැකියාව තියෙන ස්වාමීන්වහන්සේලාත් වැඩ ඉන්නවා. චිත්‍ර අඳින්න, ගීත ලියන්න දක්‍ෂ ස්වාමීන්වහන්සේලා පවා වැඩ ඉන්නවා. ඉතින් අපේ සංඝයාවහන්සේලා විවිධ හැකියාවන් තියෙන අය.

ඒ වගේ ම, උන්වහන්සේලා කරන වැඩට අදාළව ස්වාමීන්වහන්සේලාගේ හැසිරීම් තේරුම් ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕන. ආරණ්‍යවාසීව පූර්ණකාලීනව භාවනා කරන ස්වාමීන්වහන්සේලා හැසිරෙන විදිහට වැඩ කරන්න ගම්වල වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේලාට බෑ. බණ ගෙවල්, දාන ගෙවල්, පාංශකූල පවා කොච්චරක් නම් තියෙනවා ද? ඉතින් තමන් විසින් ඉෂ්ට කරන ශාසනික වගකීමට අදාළ විදිහට තමයි උන්වහන්සේලා හැසිරෙන්නේ.

එක කාරණයක් වෙනුවෙන් දක්‍ෂ ස්වාමීන්වහන්සේ නමක් අතින් තවත් පැතිවලින් අඩුපාඩු සිද්දවෙන්න පුළුවන්. කාලයකට කලින් ගම්පහ ප්‍රදේශයේ වැඩ සිටිය පූජ්‍ය දරමිටිපොළ රතනසාර හාමුදුරුවෝ කියලා කියන්නේ අපේ රටේ දේශපාලන කටයුතුවලට මූලික වෙලා කටයුතු කරපු, ජේ. ආර්. මහත්තයා එක්ක පවා හරි හරියට හැප්පිච්ච ස්වාමීන්වහන්සේ නමක්. ඒත් උන්වහන්සේ සිගරැට් පානය කළා. සිගරැට් වැළඳුවා කියලා අපි කියන්නේ නෑනේ. සමහර වෙලාවට දායකයෝ එක්ක ප්‍රශ්න ඇති කරගෙන පන්සල ඉස්සරහ පාරේ (ගම්පහ රෝහල පැත්තෙන් තියෙන කොළඹ පාරේ) සිගරැට් බිබී ඇවිද්දා. එහෙම වුනා කියලා උන්වහන්සේට දක්වපු ගෞරවය මිනිස්සු අඩු කරගත්තේ නෑ.

ලැබෙන සමාජ නායකත්වය හින්දා, සමාජ වගකීම් ඉටු කිරීමට ලැබෙන සත්කාර හින්දා ඒ දේවල්වලින් අයුතු ප්‍රයෝජන ගන්න අයත් සිවුරු ඇඳගන්න පුළුවන්. අශෝක අධිරාජ්‍යයාත්, පරාක්‍රමබාහු මහ රජතුමාත් මේ විදිහේ අත්දැකීම්වලට මුහුණදීලා ශාසනය හෝදන්න කටයුතු කරපු බව අපි දන්නවා.

ඉතින් සිවුර කියන්නේ මේ හැම දේ ම නිරූපණය කරන සංකේතය. සමහර ස්වාමීන්වහන්සේලාගේ හැසිරීම්වල අඩුපාඩු තියෙන බව දැන දැනත් සිවුරට ගරු කරන්න ඕන” කියන අදහස අපි ඇති කරගෙන තියෙන්නේ ඒ හින්දා. සිද්දවෙන අඩුපාඩු ඒකට සුදුසු වෙලාවක, සුදුසු නායකත්වයක් යටතේ හදාගන්න පුළුවන්. ඒ කොහොම වුනත්, සිවුරට පහර දෙනවා දකිද්දි අපිට රිදෙනවා. ඒක ශාසනයට එල්ලවෙන අභියෝගයක් කියලා අපි හිතනවා. අපි ඒ වැඩේට එරෙහිව නැගී සිටිනවා.

සිංහල බෞද්ධයා කියන සංස්කෘතික නිර්මිතය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් යුද්ධ කරන්නත් දක්‍ෂයි. ශාසනයට හානියක්, අනතුරක් වෙනවා කියලා තේරිච්ච ගමන් ම අපි කඩු, පොලු ඇරගෙන ඉස්සරහට එනවා. මේකට අදාළ මෙහෙයවීම ලැබෙන්නේ සාමූහික විඥානයකින්. එහෙම නැතුව කවුරුවක් කීවාට අපි කඩු පොලු අතට ගන්නේ නෑ. සිංහල මිනිස්සු නියෝගවලින් මෙහෙයවන්න අමාරුයි!

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress