හතේ පොතට ලුණු වැඩි වුනාලු!
Posted on January 21st, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

පහුගිය දවස්වල අපේ රටේ මහා ආන්දෝලනයක් ඇති කරපු හතේ අපේ පොත” ගැන සාකච්ඡාවකට මමත් සහභාගී වුනා. අද (ජනවාරි 21 වැනි දා අඟහරුවාදා) ඒ සාකච්ඡාව පැවැත්වුනේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී. ඒ සාකච්ඡාව කැඳවලා තිබුණේ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවයි කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවයි ඒකාබද්ධ වෙලා. හවස 2 ට පටන් ගත්ත ඒ සාකච්ඡාව හවස 5:30 විතර වෙද්දි අවසන් වුනා.

මේ සාකච්ඡාවේ දී මම නියෝජනය කළේ හතේ අපේ පොත” සම්බන්ධයෙන් සමාජ විරෝධයක් ඉදිරිපත් කරපු පාර්ශ්වය. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්තයා සහ රාජකීය විද්‍යාලයේ ගුරුවරුයෙක් (මම එතුමාගේ නම දන්නේ නෑ) එක්ක තමයි මම ඒ පාර්ශ්වය නියෝජනය කළේ. ඒ කියන්නේ අපේ පාර්ශ්වයට පස් දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා.

හතේ අපේ පොත” සම්පාදනය කරන්න දායක වෙච්ච සෞඛ්‍ය සහ අධ්‍යාපන ආයතන නියෝජනය කරන නිලධාරීන් සහ ඒ පොතේ ගුණ දකින අය තිහක් හතළිහක් විතරත් සාකච්ඡාවට සම්බන්ධ වුනා. මහ සද්දෙට පොතේ ගුණ වනපු අය අතර ප්‍රවීන සිනමා නිළි අනෝමා ජිනාදරී මහත්මියත් හිටියා.

තවත් පිරිසක් පැත්තක් ගන්නේ නැතුව බලාගෙන හිටිය බවක් තමයි මම දැක්කේ. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහත්තයා වගේ අය තමයි ඒ පාර්ශ්වය නියෝජනය කළේ. ඒ අය කිසිම දෙයක් කිව්වේ නෑ.

සභාව මෙහෙයවපු ඉස්සරහ මේසයේ දහයක දොළහක විතර පිරිසක් රැඳිලා හිටියා. ඒ අතර කාරක සභා දෙක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමැතිවරු පිරිසකුත් කාරක සභා දෙකේ ලේකම් තනතුරු හොබවන අයත් හිටියා. ඒ හැම කෙනෙක්ගේ ම මූණු මම අඳුරන්නේ නෑ. සභාපති පුටු දෙක හෙබෙව්වේ ආශු මාරසිංහ මන්ත්‍රීතුමාත් වෛද්‍ය තුසිතා විජේමාන්න මන්ත්‍රීතුමියත් (අද තමයි එතුමිය අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිතුමියක් කියලා මම දැන ගත්තේ). මේ සභාපති පුටුව හොබවපු දෙන්නා ම එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් ඒ පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු අය.

කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අතර රන්ජන් රාමනායක මන්ත්‍රිතුමාත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමියත් ඉන්න බවක් පස්සේ දැන ගත්තා. කොහොම වුනත් ඒ අය අද සාකච්ඡාවට සහභාගී වුනේ නෑ.

අද සාකච්ඡාවට සහභාගී වෙලා ඉස්සරහ මේසයේ හිටිය අනිත් මන්ත්‍රිවරුන්ගේ මූණුවලින් මම අඳුරන්නේ සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මන්ත්‍රිතුමියත් ලසන්ත අලගියවන්න ඇමැතිතුමාත් විතරයි. මොන තරම් දේවල් මතක තියාගන්න පුළුවන් වුනත් මට මිනිස්සුන්ගේ මූණු මතක තියාගන්න ටිකක් අමාරුයි. සමහර විට ඒ අය මීට කලින් මම කවදාකවත් දැකපු නැති අය වෙන්නත් පුළුවන්. ඒකට කමක් නෑ. කොහොම හරි අපිට ඉස්සරහින් දහයක් දොළහක් විතර පිරිසක් වාඩි වෙලා හිටියා.

සභාපති පුටු දෙක හොබවපු ආශු මාරසිංහ මන්ත්‍රීතුමාත් තුසිතා විජේමාන්න මන්ත්‍රීතුමියත් හතේ අපේ පොත” අගය කරමින් අදහස් දක්වපු පාර්ශ්වයට පක්‍ෂ බවක් තමයි මම නම් නිරීක්‍ෂණය කළේ. තුසිතා විජේමාන්න මන්ත්‍රීතුමිය නම් ඒ වෙනුවෙන් කෙළින් ම පෙනී හිටියා. ආශු මාරසිංහ මන්ත්‍රීතුමා නම් ඒ තරම් ප්‍රබල විදිහට තමන් පෙනී ඉන්න පැත්ත එළිදරව් කළේ නෑ.

ආශු මාරසිංහ මන්ත්‍රීතුමාට පිං සිද්ද වෙන්න මමත් විනාඩි පහක විතර කාලයක් අදහස් ඉදිරිපත් කළා. අනිත් පාර්ශ්වය නියෝජනය කරපු පිරිස වැඩි හින්දා අපිට වැඩි වෙලාවක් දෙන්න එතුමාට බැරිවෙන්න ඇති කියලා මම හිතනවා. හැමෝට ම සාධාරණය ඉෂ්ට කරන්න ඕනනේ!

ඉස්සරහ මේසයේ හිටිය අයගෙන් මූලික පරිපාලන සහ තීන්දු තීරණවලට අදාළ කරුණු අහලා ලසන්ත අලගියවන්න ඇමැතිතුමා මැදිහත් භූමිකාවක් නිරූපණය කළා. පෙළ පොත්, පුස්තකාල පොත් සහ අමතර කියැවීම් පොත් පළ කරන වැඩේට අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ වෙන විදිහ පැහැදිළි වුනේ එතුමා අහපු ප්‍රශ්නවලට ලැබිච්ච උත්තරවලින්.

කොහොම හරි අපි පස් දෙනා ම අපිට පුළුවන් විදිහට අපේ අදහස් ඉදිරිපත් කළා. ඉඩ කඩ සහ කියවන අයගේ වෙලාව ගැන සළකලා ඒ ඔක්කොම අදහස් මේ ලිපියෙන් ලියන්නේ නෑ. මගේ අදහස් දැක්වීමේ දී මම අහපු ප්‍රශ්න ටික විතරක් මෙතැන සඳහන් කරන්නම්.

1.    ජීවිතයට අදාළ හැම දෙයක් ම පාසලේ දී ම ඉගෙන ගත යුතු ද?
2.    දෙමව්පියන් කියන්නේ ගුරුවරුන් නෙවෙයි ද?
3.    සමාජයේ ගුරුවරු නැති ද?
4.    යහළුවන් අතර ගුරුවරු නැති ද?
5.    තමන්ටත් තමන්ගේ ම ගුරුවරයෙක් වෙන්න බැරි ද?
6.    කවි, කෙටි කතා, නව කතා වගේ දැනුම හරහා මේ දැනුම සන්නිවේදනය කරන්න බැරි ද?
7.    මේ දේවල් අමු අමුවේ කියන්නේ සන්නිවේදන හැකියාවක් නැති අය නේ ද?

මේ ප්‍රශ්න එකකටවත් කාගෙන්වත් උත්තර ලැබුණේ නෑ. ඒකටත් කමක් නෑ. අපි එච්චර දේවල් දන්න අය නෙවෙයිනේ.

කොහොම හරි සාකච්ඡාව ඉවර වුනේ එකඟතා දෙකක් ඇති කරගෙන. අපේ හතේ පොතට ලුණු වැඩි වුනා” කියලා ඒ පොත ලියපු අය පිළිගත්තා. කෑමකට ලුණු වැඩිවුනාම සීනි දාලා ලුණු අඩු කරනවා වගේ මේ වැරැද්ද හදාගන්න ඕන කියලා එක නෝනා කෙනෙක් කිව්වා. අපේ අම්මා අපිට කියලා දීලා තියෙන්නේ කෑමකට ලුණු වැඩි වුනාම අල පෙත්තක් කපලා දාන්න කියලා. කොහොම හරි ලුණු අඩු කර ගන්න පුළුවන් නම් කමක් නෑ. ලුණු වැඩි වෙච්ච පොත් ටික ඔක්කොම ආපහු එකතු කරගන්න අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරපු නිලධාරීන් එකඟවුනා. ඉතින් ඒක තමයි පළමුවැනි එකඟතාව.

දෙවැනි එකඟතාව ඇතිවුනේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්තයා ඉදිරිපත් කරපු අදහසක් මුල් කරගෙන. එතුමා කිව්වේ මේ වගේ පොත් ලියන්න කලින් ඒවාට අදාළ ප්‍රතිපත්ති, නිර්දේශ සහ සම්මත සකස් කරගන්න ඕන බවක්. යුනිසෙප් සංවිධානයත්, නවසීලන්තයේ අධ්‍යාපන අමාත්‍යාංශයත් සකස් කරපු ඒ වගේ ලේඛන ගණනාවක් එතුමා සභාවට ඉදිරිපත් කළා. ඒ ලේඛන ආශු මාරසිංහ මන්ත්‍රීතුමා භාරගත්තා. ඉතින් ඒ විදිහට අපේ ම අපේ ශ්‍රී ලාංකික ප්‍රතිපත්ති, නිර්දේශ සහ සම්මත ඇති කරගන්නත් හැම දෙනා ම එකඟවුනා. ඒක තමයි දෙවැනි එකඟතාව.

ඉතින් ඉදිරියේ දී කවදා හරි අලුතින් අපේ හතේ පොතක් හරි අපේ අටේ පොතක් හරි ලියැවෙන්නේ මේ ප්‍රතිපත්ති, නිර්දේශ සහ සම්මත සම්පාදනය කර ගත්තාට පස්සේ. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන්න අපිත් එකඟවුනා.

හවස පහයි තිහට පමණ සභා තොමෝ සතුටින් විසිර ගියා!

මේ ලිපිය ඉවර කරන්න කලින් අපි පුංචි ම පුංචි කාලේ කියවපු කවියක් දෙකක් ලියන්නම්. මේ කවි තියෙන්නේ ගණ දෙවි හෑල්ල” පොතේ.

ආයුබෝ වන සෙතා
ඉසුරු වරමින් යුතා
උමාගන දළ නෙතා
ඉසුරු එබිසෝ වෙතා

ගැබැ කුමර හට ගතා
දිනෙන් දින මෝරතා
දොළ උපත හට ගතා
රස මියුරු ගෙන දෙතා

එදොළ සංසිඳුවතා
එසත් මස පිරිගතා
දෙතන පුඩු කළු වෙතා
කිරි බරින් සිට ගතා

නව සඳෙව් රුවිනිතා
දස එකඩ මස වෙතා
විලි රදය පහරිතා
ගුරු දිනේ බිහි වෙතා

මේ මොන අධ්‍යාපනයක් ද කියන එකත් ටිකක් හිතලා බලන්න.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress