ව්‍යවස්ථාදායක සභාව නොහොත් සිල් රෙදි පොරවා ගන්නට තැතනූ යහපාලන හොරු
Posted on July 15th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

හැඳින්‌වීම

රනිල්ගේ ලිච්චවි කාටූනය

ක්‍රිස්තු පූර්‌ව 5 වන ශතවර්‌ෂයේ බෞද්‌ධ ඉන්‌දියාවේ පැවති ලිච්චවි පාලන ක්‍රමයට, දශරාජ ධ‌ර්‌මවලට, සමාන කලහැකි, යහපාලන සංකල්පයක් (ගුඩ් ගවර්‌නන්ස්-බෑඩ් ගවර්‌නන්ස්) ගැන යුරෝපයෙන් ඇසෙන්නේ, 14 වන ශතවර්‌ෂයේදී, ඉතාලියේ එක් බලවත් පුර සමූහාණ්ඩුවක්‌වූ සියෙනා පුරයේ පුර සභා (සිටි කවුන්සිල්) රැස්වීම් ශාලාවේ බිත්ති තුනක, අම්බ්‍රොගියෝ ලොරෙන්සෙටි නම් සිත්තරා ලවා, එයට චන්දයෙන් පත්‌වන මැජිස්ට්‍රේට්ලා නවදෙනා විසින් 1338 දී අන්ඳවන ලද බිතු සිතුවම් වලින්‌ය. ඉන් එකකින් යහපාලනයේ ප්‍රතිඵලත්, තව එකකින් අවපාලනයේ ප්‍රතිඵලත් දැක්වේ. වරක් තේරී පත්‌වූ පසු මේ නව දෙනා ඊළඟ චන්දය එනතුරු සිටි බිල්ඩිමේම ජීවත්‌වන්නේ තමන් ගන්නා විධායක හා අධිකරණ තීරණ වලදී අනිසි බාහිර බලපෑම් ඒමෙන් ගැලවී සිටීමටය. 1818, 1848, 1915 සිද්‌ධි කෙසේවුනත්, සුද්දන්ගේ පාලන කාලයේදීද නිතරම නීති පැණවීමේ ලේඛණවල සඳහන්‌වූ වචන නම් <පීස් ඇන්ඩ් ගුඩ් ගවර්‌නන්ස් සඳහා> යනුය!

2015-19, යූ.ඇන්.පී යහපාලනයේද අග්‍ර ගන්‍ය ඵලයක් සේ දැන් හුවා දැක්‌වෙන්නේ 19 වන සංශොධනයෙන් ගෙනා ව්‍යවස්ථාදායක සභාව හා ස්වාධීන කොමිෂන් සභා සෙට් එකය. ඒවා අහෝසි කලොත් රටේ තිබෙනවා යයි කියන ප්‍රජා-තන්ත්‍ර-වාදය නැතිවනවා යයි එක්තරා පිරිසක් විසින් බෙරිහන් දෙමින් සිටී. බලාගෙන යනවිට මේ, මීට පෙර, මේ යුද්‌ධය නම් කවදාව‌ත්ම දිණන්න බෑ යයි මොරගෑ පිරිසමය. එරික් සොල්හම් ට අනුව, ඒ අවධියේ යුද්‌ධය දිණන්න පුළුවන් යයි කී එකම ආණ්ඩුවේ ඉහළ නිලධාරියා, දැන් රටේ ජනාධිපතිවී සිටින්නේ, මුන් 225 ම එපා, මුන් අවුරුදු 72 ක් පුරාම රට කෑවා යනුවෙන් මතුරමින්, වහසිබස් දොඩමින්, මහජනයා, විශේෂයෙන් පක්‍ෂ දේශපාලන කළුසුද්දන් විසින් හිත හොඳ ගෑණුන්සේ සැළකෙමින් සිටි සිංහල බෞද්‌ධ ජනතාවගේ කැමෙත්තෙනි.

2005 දී ඔහු ආරක්‍ෂක ලේකම්වූදා සිටම, 2006 දෙසැම්බර් ඔහු ඝාතනය කිරීමේ උත්සාහයේ සිටම, 2019 නොවැම්බර් 25 ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙන් තිරගතකල, එහි දෙමළ සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‌රැන්සිස් කිඩ්නැප් කතාව හා අන්තිමේදී කොරෝනාව දඩමීමා කරගෙන දියවන්නා හෝටලයේ දොර සුප්‍රිම් උසාවිය මඟින් ඇරවා ගන්නට කල වැරදුන කුරුමාණම (2020 ජූනි 2) දක්වාම, රට දුටුයේ <ගොඨා දමණයකට> කල අසාර්‌ථකවූ ක්‍රියා දාමයකි. දැන් මේ 19-ඒ, ව්‍යවස්ථාදායක සභා-ස්වාධීන කොමිෂන් සභා රැක ගැනීම සඳහා ගොඨාභයට තුනෙන් දෙකක් දෙන්න එපා යන දේශ ද්‍රෝහී කළුසුද්දන්ගේ ව්‍යායාමය මිණීවළ උඩ සිටගෙන කරණ අන්තිම වැලපීමක් වැනිය.

මෙම කතාවේ අග මුල සමස්තයක් වශයෙන් විමසා බැලිය යුත්තේ සිංහල බෞද්‌ධයාගේ පැත්තෙන්, සත්‍ය කරුණු වටහා ගැනීම පිණිසය. සිංහලේ රට කැඩී බිඳී විනාශවී යාමෙන් බේරාගැනීමේලා ඇති අවසාන අවස්ථාවද මේ විය හැකිය. මෙම අන්තෝජටා-බහිජටා ගැටය සරලව හඳුනාගැනීමේදී පැමිණිය හැකි නිගමන සමහරක් මෙසේය.

  1. මේ සභාව හෝ එය විසින් පත්කල කොමිෂන් ස්වාධීන ලෙස ක්‍රියාකර නැති බවට ශාක්‍ෂි ඇත;
  2. ලුණුමිදෙල්ල ලීයෙන්, තේක්ක/බුරුත ගනයේ කැබිනට් බලාපොරොත්තු විය නොහැකි පරිදිම, දූෂණයේ අන්තයටම ගිය රටකින් මේ කොමිෂන් වලට පත්කල හැකි අවංක පුද්ගලයින් සොයා ගැනීම පවා කළුනික හොයනවා මෙන් අති දුෂ්කරය;
  3. නූගත්, වැලි-බාර් පර්මිට්කාරයින්, කුඩු-පගාකාරයින්ගෙන් හා පොදුවේ හොරුන් සේ රට තුල සැළකෙන මන්ත්‍රීන්ට, ව්‍යවස්ථාදායක සභාව භාරදීම, හරියට නරියාට කුකුල් කොටුව මුරට දීම වැනිය;
  4. එහි සිවිල් පුරවැසියන් තුන් දෙනා ලෙස පත්කර ඇත්තේද යහපාලනකාරයින් හා පෑස්සෙන අයවළුන්‌ පමණය. සෙසු කොමිෂන් වලද හැටි එසේය;
  5. මේ සභාව හැසිරිය යුතු ආකාරය සම්බන්‌ධයෙන් රෙගුලාසි සදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, එහි අයිතිකාරයා සේ සිතමින් හැසිරෙන කතානායකගේ වගකීම වුවත්, අවුරුදු හතරක් පුරාම ඔහු එය කර නැත. ගොනා වැට කඩාගෙන යනවා වෙනුවට, කඹයේ දුරට සීමා කරවීමට, පීලි පැන යාමට තිබුණු අවකාශය අවම කිරීමට තිබූ ඉඩකඩ පවා මේ මඟින් රටට අහිමිකර ඇත.
    මේ කොමිෂන්, ලංකාවේ (නැති) තන්ත්‍රවාදයේ දේවාල සේ පෙන්නා දැන් දොඩවන වික්ටර් අයිවන් වැනි එන්.ජී.ඕ කපුරාළලා, ජේවීපීකාරයෝ, මේ ගැන මෙතෙක් නිහඬව සිට්‍යේය. මොවුන් අවංකවම ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මොර දෙන අයද, නැත්නම් විදේශ මිලේනියම්/ඊළම් න්‍යායපත්‍ර කාරයින්ද? මොවුන්ගේ යටි අරමුණ රටේ සිංහල බෞද්‌ධ පදනමට පහරදීම නොවේද?;
  6. රටේ පුරවැසියාට, පන්සල්/පල්ලි වලට/ වෘත්තීය සමිති වලට, මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතා ආයතනවලට සුදුසු, නිසි පුද්ගලයින්ගේ නම් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදී, බලයේ සිටින දේශපාලකයින් විසින් නොයෙක් තරාතිරමේ/මට්ටමේ හෙංචයියලාගෙන් මේවා පිරවීම, මේ මහ ලොකු ප්‍රජා-තන්ත්‍රවාදයේ බල කණුවේ නාමයෙන්ම එයට කරණ අපහාසයකි;
  7. චන්ද්‍රිකා විසින් බහුභූතයක් ලෙස හැඳින්‌වූ ජේ ආර් ගේ 1978 ව්‍යවස්ථාව නිසා නොවේ නම් සමහර විට, තිස් අවුරුදු යුද්‌ධයක් තුන් අවුරුද්දකින් අවසාන කර ගන්නට නොහැකි වෙන්නට ඉඩ තිබුණි. මේ නිසා ජනාධිපතිගේ තටු කැපීම යනු, ඊළම්කාරයින්ගේ ශූක්‍ෂම අරමුණක් යන්න යයි සනාථ වන්නේ, 19-ඒ මරාලය, ඊට පසුව ගෙනා සුමන්තිරන්-ජයම්පති-රනිල් ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට පෙරවදනක්‌වූ නිසාය. සුමන්තිරන් විසින් කල ප්‍රකාශයකින් මෙය පැහැදිලි විය;
  8. මාක්ස්වාදී, ක්‍රිස්තියානි හා ඊයේ කිව්දේ අද, අද කිව්දේ හෙට වෙනස්කරණ, දයාන් ජයතිලක නම් ස්‌වයං න්‍යායාචාරියා විසින් නොවෙනස්‌ව දිගටම ඉන්නා එකම් දේ නම් 13-ඒ ප්ලස් කතාවය. 19-ඒ රැකගැණීමේ සටනේ, ගෝටාට තුනෙන් දෙක නොදිය යුතුය යන ව්‍යාපාරයේ මුල් තැනක් ගෙන ඉන්නා ඔහු, එය 13-ඒ සමඟ බද්‌ධ කර කතා කිරීම ඉහත එක තවදුරටත් තහවුරු කරලන්නේය;
  9. රට වැටී ඇති අගාධයේ තරම ගැන සිතන විට, ඉතාමත් පිරිසිදු ව්‍යවස්ථාදායක හා කොම්ෂන් සභා සෙට් එකක් තිබුණත්, ඒ මඟින් රට ගොඩ ගැනීමට සිතීම ලේනා වලිගයෙන් මුහුද හිස්කරන්නට සැදුවා වැනිය. රටට අවශ්‍ය යාන්ත්‍රණයේ තරම හිරගෙවල් වලින්, නාකොටික් පොලිස්කාරයින්ගෙන් එලිවන තොරතුරු අනුව සිතාගත හැකිය. එවැනි රැඩිකල් මාවතකට භාධාවන 19-ඒ ඉවත්කිරීමට මහජනයා එකඟවනවා නිසැකය;
  10. නමින් කපුරුහාමි, නමුත් කට ගඳයි

1948 සිටම තට්ටුමාරු ක්‍රමයට, මාක්ස්වාදීන්ද සමඟ ලංකාව විනාශකල පක්‍ෂ දේශපාලන ක්‍රමය වෙනස් කරණවා මිස, නීතියේ ආධිපත්‍යය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනාදී ඇස්බැන්ඳුම් වලින් මහජනතාව රැවටූ කාලය අවසාන වීමට හොඳටම ඉඩ ඇති බව පක්‍ෂ දේශපාලකයෙක් නොවන යුද්‌ධ නිලධාරියෙකුට රට භාරදීමට සිංහල ජනයා තීරණය කිරීමෙන් පෙනී යන්නේය. සියළු සත්‌වයන් (මිනිසුන් පමණක් නොව) සුවපත්වේවා යන ධර්‌මතාවය අනුගමණය කිරීමට කුඩා කාලයේ සිට පුරුදු කරණ සිංහල බෞද්‌ධ සමාජයකින් එන එවැනි නිලධාරී ජනාධිපති කෙනෙකු, සිංහල හෝ බෞද්‌ධ හෝ නොවන කිසිවෙකුට හානියක් කරන්නේ නැත.
එහෙත් ඒ වෙනුවට 19-ඒ නැත්නම් රට විනාශ වේ යයි කියන්නේ, හැම අංශයකින්ම රට අගාධයට ගෙනගිය යූ.ඇන්.පීකාරයින්, දෙමළ බෙදුම් වාදීන්, මාක්ස්වාදීන්, ශාරියා-ඉහ්වාන්කාරයින් හා විදේශ තානාපති කට්ටල නොවේද? මේ අය නාස්ලණුවාදී කපුරු හාමිලාය;

  1. මෙම 19-ඒ ගේම් එක ගැන තවදුරටත් විමසා බැලීමේදී, පැහැදිලිවම ජේ ආර්ගේ 1978 ව්‍යවස්ථාවේ ඇති අහිතකර ඇතැම්දේ ඉවත් කල යුතු බව සැබෑය. ජේ ආර් විසින්ම එයට ගෙනා සංශොධන මඟින් ඔහුගේ කැත හැසිරීම හා අශිෂ්ට මනස ප්‍රදර්‍ශනය කලේය;
  2. ඔහුගේ ව්‍යවස්ථාව වත්, 17, 18 සංශොධනවත් ජනතාවගේ දරිද්‍රතාවය අඩුකලේ නැත. ජේවීපිකාරයින්ට හා දැන් පෙරටුගාමීන්ටද සියේට තුනේ හෝ වේදිකාවක් තිබෙන්නේ ඒනිසාය. මේ නිසා අවුරුදු 72 කට පසුව, ලංකාවේ, මිනිසුන්ට සතුටින් හා සාමයෙන් ජීවත්‌විය හැකි රටක් බිහිකිරීමට, එහිදී හැකි උපරිම ලෙස ජනයාගේ පුද්ගලික නිදහස (ප්‍රජා (තන්ත්‍ර) වාදය) රැක ගණිමින්ම, විනය ගරුක, ශීලාචාර රටක් ගොඩනැඟීමට, කරණා ව්‍යායාමයකදී, අවම වශයෙන් 19 හා 13 බබාලා දෙන්නා බේසමේ වතුර සමඟ පමණක් නොව බේසමත් සමඟම විසි කල යුතුව ඇත.

ලංකාවේ ප්‍රජාතන්ත්‍ර (නාස්ලණු) වාදය රැක ගැනීම

19-ඒට විරුද්‌ධව චන්දය දුන්නේ අම්පාර මන්ත්‍රී, රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර පමණය! පසු කලෙක, ඊට දායකවූ හැමදෙනාම, ජීනීවා නුවරට පැනගිය ජයම්පතිද ඇතුළුව, එහි නුගුණ කියමින් හැසුරුණේ ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා භයානක ලෙස මේ 19 වැඩේ රට විනාශ කරණ බව ලෝකයටම (හා කොළඹ තානාපතිලාට) පෙනී යාම නිසාය. කෙටියෙන් කියනවා නම් යහපාලනයකට තියා බලු පාලනයකට වත් ඉන් ඉඩක් නොදුන්නේය. මෙහිදී පාස්කු ප්‍රහාරය හා කොරෝනාව, රට, ජාතිය, ආගම, ආරක්‍ෂාකරණ අදෘෂ්‍යමාන බලවේග විසින් ගෙනා වෙස්‌වලාගත් භාග්‍ය විය.

කිරි කලයේ ගොම බිංදු!

එහෙත් යහපාලනකාරයින් දැන් හදිසියේම මැරී ඉපදෙමින් සිටී. ලෝකයේ හොඳම පාර්ලිමේන්තුව, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ තිබෙන්නේ ලංකාවේ යයි කියූ මොවුන්, දැන්, මේ පඩංගු 19 රැකගත යුතුයයි මාරාන්තික චන්ද සටනක නියැලී සිටී. එසේද වුවත්, මොවුන්ගේ මේ කිරිකලයට දැනටමත් ගොම බින්දු දෙකක්ම වැටී ඇති බව ඔවුන්ට නොතේරේ. එනම්, මැතිවරණ කොම්ෂමේ රත්නජීවන් හූල් හා ඊටත් ඉහළින් ඉන්නා ව්‍යවස්ථාදායක සභාවේ ජවාඩ් යුෂුෆ් යන බිංදු දෙකය. රට බලාගන්නා විෂ්ණු දෙවියන් විසින් යහපාලන හොරුන්ට දඬුවමක් වශයෙන් මේ දෙන්නාගේ සිහි විකල් කර ඔල්මාදකලා වත්ද කියා සිතේ. මේ වගේ අයට ගම්වල කියන්නේ දෙයියන්ගේ හාල් කැවිලා කියාය. මේ දෙකටම වඩා බරපතල වන්නේ කලම්බු ටෙලිග්‍රාෆ් ජූලි 13 දිනැති, දේශප්‍රියගේට් නමැති ඕශල හේරත් හා මැකෝ අතර කතාවේ වීඩියෝ කොටස් ය. සමන් නමැති නිලධාරීයා විසින් කල අක්‍රමිකතාව, හූල් ද දැන සිටි බවත්, මේ අය රකින්නට මැකෝ හැසිරෙන බවත් එලිවී ඇත!

පෙරහැරවල නැටීමට දන්නා, භාවානා කරණ ලෙස බලකරමින් ලිෆ්ට් ඔපරේටර්ගේ බෙල්ලෙන් අල්ලන පූජිත ජයසුන්දර වැනි කෙනෙක්වත් ඉවත් කරන්නට නොහැකි මේ, 19 වනාහී, බල්ලාගේ පිටිපස්සේ බැඳි තුට්ටුවක් වැනි නොවේද? ව්‍යවස්ථාදායක සභාව නම් තන්ත්‍රවාදී සිල්හොරුන් විසින් මොහුව පත්කලේ, ඔහුට වඩා සුදුස්සෙක් සිටියත්, ඔහු යූ.ඇන්.පී කාරයෙක් නිසායයි විජේදාස රාජපක්‍ෂ විසින් එලිකලේය. මේ විකට පොලිස්පතිත්, ජනාධිපති සොයාගත් නැව්වල තීන්ත ගාන කොන්ත්‍රාත්කරුවෙකු වූ හේමසිරි ප්‍රනාන්‌දු නම් ආරක්‍ෂක ලේකමුත් අතර ගුණාත්මක වෙනසක් නොවීය. කොටින්ම කියනවා නම් 19 නිසා රටට <කෙලවා> දැමීම සම්පූර්‌ණ විය.

මේ කොම්ෂම් වලට ස්වාධීන විය නොහැකි ඇයි?

ඉහතින් පෙන්‌වා දුන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා යයි කියන කොම්ෂම් සභා නමැති බොරුව ඇත්තෙන්ම ස්වාධීන නොවන බව රටට එලිකල නිදසුන් දෙක තුනකි. අප නොදන්නා මෙවැනි හොර, දූෂිත පත්‌වීම්, මැදිහත්‌වීම් කෙතරම් සිදුවනවා ඇද්ද? 19 යනු තමන් රටට කල යුග පුරුෂ සේවය යයි කියූ සිරිසේන මහතා, පසුව කිව්වේ එය නීති පොතෙන් ඉවත් කල යුතු භයානක විෂ බීජයක් බවය. එහෙත් ඔහුගේත් අළුත්ම මතය නම් 19 යේ ඇති මේ කොමිෂම් සභා ක්‍රමය නම් කෙසේ හෝ රැක ගත යුතු බවය. ඔහු කියන්නේ රටේ කතානායක විසින් මේ සභා සංකල්පය විනාශ කල බවය. එක් ඒකාධිපතියෙකුගේ, එනම් ජනාධිපතිගේ දළ කඩන්නට ගෙනා 19 න්, කතානායක නම් හිතුවක්කාර ලෙස ක්‍රියාකරන පුද්ගලයෙක් බිහිවී, ඔහු තමන්ට අයිති පාර්ලිමේන්තුවේ වැඩ වෙනුවට, රාජ්‍ය සේවයට නොයෙක් අනිසි බලපෑම් කරමින් විධායකයට ඇඟිලි ගසනවා යයි හිටපු ජනාධිපති කියයි. මේ අනුව 18 සංශොධනය නමැති ඉඟුරු වෙනුවට 19 නමැති මිරිස් ගත්තා සේය.

රීසනබල් වීම-නැපෝලියන් බොනපාර්ට්ගේ නංගිලා

මුළු ලෝකයේම ඉන්නේ ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධ නොවේද යයි සිතන විට, සෑම මිනිසාම තමන් තුල වසන යක්‍ෂයා හා දේවතාවා අතර සටනක හැම මොහොතේම නියැලී සිටින විට, මෙත්තා-කරුණා-මුදිතා- අපේක්ඛා- කියන්නේ මොනවාදැයි නොදන්නා පාලක රැළක් සිටින රටක ස්වාධීන කියන වචනයේ අර්‍ථය කුමක්ද? අප බොහෝවිට කරන්නේ අපවම රවටා ගැනීමක් නොවේද? ඥාති සංග්‍රහය, මිත්‍ර සංග්‍රහය, දෙමව්පියන් බලාගැනීම මෙන් බුද්ධාගමට පටහැනි නැති ලෝක ධර්‌මතාවන්‌ය. මේ හැමදේකදීම වැදගත් වන්නේ මධ්‍යම ප්‍රතිපදාවය. එසේ නැතහොත් රීසනබල්වීමය. සුදුසුකම් නැති නෑයාට, දේශපාලන හෙංචයියන්ට රාජ්‍ය වගකීම් භාරදීම කෙතරම් බලු වැඩක්ද? 1956 න් පසු පිහිටුවන ලද රාජ්‍ය සංස්ථා නමැති අනගි සංකල්පය කෙලෙසා, ඒවාට දේශපාලන ගැත්තන් දමා ඒවා විනාශකලේ මේ පක්‍ෂ දේශපාලක කළු සුද්දන් විසිනි. සංස්ථා දේපොළ පවා කැබලි කොට විකුණා දැම්මේ 1978 න් පසුවය. වාලච්චනෙයි කඩදාසි, ගිංතොට තුනී ලෑලි, තුල්හිරිය රෙදිපිළි නමැති සංස්ථා මළකුණු වලින් පවා දේශපාලකයින් හා කොමිස් කාක්කන් සල්ලි ගරා ගත්තේය. හෝටල් ගරාජයක්දී වාහනය ඇතුලේ පගා සල්ලි ගනිමින් සිටියදී ඉහළම හොරු දෙන්නෙක් අල්ලස් නිලධාරීන්ට අසුවිය.

නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත

තමන්ගේ පන්තියට, කුලයට, ආගමට, ගමට, දේශපාලනයට, වාසි ගන්නට ක්‍රියාකරණ අය නැති කිරීමට සිතීම කිසාගෝතමී අබ සෙවුවා වැනිය. එස්. එල්. ගුණසේකර මහතාගේ, ලෝර් ඇන්ඩ් අදර් මෙමරීස් (2011) යන පොතේ සුප්‍රිම් උසාවියේ නඩුකාරයින්, අගමැති, ඇමති, ඇමෙරිකන් එම්බසිඩර් යන අයවළුන් එකිනෙකාගේ පිටකසා ගන්නා අයුරු (උදව් කරගන්නා) අයුරු රසවත් ලෙස පෙන්‌වා දී ඇත. මේවායින් තොර පරම පවිත්‍ර ලෝකයක් නැත. මා පුද්ගලිකවම දන්නා සිද්‌ධියක් නම්, එවකට සිවිල් සේවා කොමිෂන් සභාවේ සිටි පානදුරේ උපාලි දියෙස් ගැනය. මා මිත්‍රයෙකුට ඔහුගේ බිරිඳට පුත්තලමේ සිට කොළඹට ගුරුමාරුවක් ගැනීමට අවශ්‍ය විය. අඳුනන කෙනෙකු මඟින් ඔහු දියෙස් හමුවූ විට දියෙස් කියා ඇත්තේ, එසේ තමා ලඟට පැමිණ උදව් ඉල්ලීම ගැන අසතුටු නොවිය යුතු බවත්, කරගත යුතු දෙයක් කරගැනීමට උදව් ඉල්ලීම සධාරණ බවත්‌ය. නියමිත දුෂ්කර පලාත් සේවා කාලයට කලින්, නීතිය කඩා දැමීමට දියෙස් එකඟවිය. 1975 දී පමණ සිදුවූ මෙය හරිද, නැද්ද යන්න අදටත් මට ප්‍රහේලිකාවකි. කිසිවෙකුගේ උපකාරයක් නැතිව ඉතා කෙටි කාලයකින් අධිරාජ්‍යයෙක්‌වූ නැපෝලියන් ඔහුගේ මස්සිනාලාව (රෝයල් කොලේජ් ක්ලාස්මේට්ලා වෙනුවට?) ඔහු අල්ලාගත් රටවල අධිරාජයින් ලෙස පත්කරණ ලදී. නොබෝ කලකින්ම ඒවා සියල්ලම අහිමිවී ගිය ඔහුට ජොසෆින් වද නැතුව එල්බා දූපතට යාමට සිදුවිය!

යුරෝපීය විසඳුම් හා ලංකාවේ අනාදිමත් පරිපාලන ත්‍රිත්‌වය

ග්‍රීක පුර රජ්‍ය ක්‍රමය හා ඉන්පසු බිහිවූ රාජාණ්ඩු-වැඩවසම් ක්‍රමයෙන්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාරුවීමත් සමඟ බලයට පත්‌වන නියෝජිත ආණ්ඩු, බලය අනිසි ලෙස භාවිතා කිරීම බලවත් ප්‍රශ්ණයක් විය. ඉතාලියේ සයනා පුර සමූහාණ්ඩුවේ බිතුසිතුවම් මඟින් මඟින් හා තේරී පත්‌වන නියෝජිතයින් ඊළඟ චන්දය එනතුරු ගමට නොගොස් නගර සභා පාලන ගොඩනැඟිල්ලේම නවාතැන් ගෙන සිටීම වැනි මනෝ විද්‍යාත්මක හා භෞතික උපක්‍රම පවා යොදාගන්නා ලදී. එකම පින්තූර හැම තිස්සේම දකිණ විට රැස්වීම් ශාලාවේ බිත්ති හතරෙන් පින්තූර නැති ජනේල තිබෙන බිත්තිය පවා අමතකවීම මිනිස් ස්වභාවයය.කම්මලේ බල්ලට වුන දේ වගේය. එංගලන්තයේ ඇක්ටන් සාමිගේ (1887), <පවර් ටෙන්ඩ්ස් ටු කරප්ට්, ඇබ්සොලියුට් පවර් කරප්ට්ස් ඇබ්සොලියුට්ලි> යන ප්‍රසිද්‌ධ කියමන, මෙම මිනිස් පංචස්කන්‌ධවල ස්වභාවය සංකේතවත් කරයි. යමෙකුට දේශපාලන හෝ වෙනත් බලයක් වැඩිවත්ම, එයට සාපේක්‍ෂව සදාචාර ගුණය අඩුවෙයි.

මීට පෙර මේ දුර්‍වලතාවය හඳුනාගත් ප්‍රංශයේ මොන්ටෙස්කි (1748) බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරණ ලදී. ඒ අනුව, ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන අංග තුන එකිනෙක හා බල තුලනය වන ලෙසට පැවතිය යුතුයයි යන අදහස, ඒ අයුරින්ම ක්‍රියාවට නගන්නට ඇමෙරිකන් ජනපද 13 විසින් තීරණය කරණ ලදී (1790). ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ මේ වනවිට මෙම බලතල බෙදීමේ න්‍යාය ඇමෙරිකාවේ බලවත් අර්බුදයක් බවට පත්‌වී ඇත. මීට හේතුව රාජ්‍ය පාලනයේදී මේ අංශ තුන සම්පුර්‍ණයෙන්ම එකිනෙකින් වෙන්ව තැබිය නොහැකි නිසාය. නිදසුනක් වශයෙන් තම රාජකාරි වලදී අර්‌ධ අධිකරණ බලතල භාවිතා කිරීමට විධායක නිලධාරීන්ට සිදුවේ.

මොන නීති විධි විධාන තිබුණත්, යම් තනතුරක් දරණ පුද්ගලයා වංක නම් ඔහු හෝ ඇය රිංගා යාමේ හිඩැස් හොයා ගන්නවාමය. පුද්ගලයා දූෂිත නම් කෙතරම් හොඳ ආයතන තිබුණත් වැඩක් නැත. ජේ. ආර් හෝ ප්‍රේමදාස ජනාධිපති හා විජේතුංග ජනාධිපති අතර වෙනස එයය. ඇමෙරිකාවේ පුද්ගලික අංශය (හා රාජ්‍ය සේවය වුවත්) බොහෝ දුරට කාර්යක්‍ෂ්ම වන්නේ ඒ ආයතන අයිතිකාරයින් විසින් සේවකයින් මොනිටර් කරණා සුපවයිසර් ක්‍රමයක් අකුරටම ක්‍රියාත්මක කරවන නිසාය. වැරදි කිරීමට, හොරකම් කිරීමට, අස්සෙන් රිංගා යාමට ඇති ඉඩ ප්‍රස්ථා අවම කිරීමෙනි.

එහෙත් දැනට බොහෝ කාලයකට පෙර සිටම, විශේෂයෙන් ඉංග්‍රීසි දේශපාලන විද්‍යාඥයින් විසින් පෙන්වා දුන් පැහැදිලි කිරීම නම්, මෙසේ බලතල වෙන්කිරීමක් මොන්ටෙස්කි විසින් අදහස් නොකල බවත්, ඔහු කියා සිටියේ සමස්ත රාජ්‍ය බලයම (සම් ටෝටල්) හැකිතාක් උපරිම ඒකක සංඛ්‍යාවකට භූමිය පුරා විසිරී යායුතුය යනුත් බවය. මෙය මොන්ටෙස්කි ඔළුවෙන් හිටගැනීමක් යයි පැවසේ. නිදසුණක් වශයෙන් ලංකාවේ පන්සල් මෙවැනි ස්වාධීන ආයතනය. ක්‍රිස්තියානි හො ඉස්ලාම් පල්ලි මෙන් මධ්‍යම අධිකාරියේ චක්‍ර ලේඛන මඟින් පන්සලේ නායක හිමියන් පාලනය නොවේ. හැමදෙනාම දවසට පස් පාරක් වත් මක්කම පැත්තට හැරී යඥා කල යුතුයයි නීති නැත. ලංකාවේ අනාදිමත් කාලයක සිට පැවති ගම-වැව-දාගැබ යන (සමාජ-ආර්ථික-දේශපාලන) ත්‍රිත්‌වය, භූමිය මත විසිරී පැවතිව යුතුවන මේ නව මොන්ටෙස්කි ක්‍රමයට සමානය. මෑතක සිට ජන සභා (ජන මූල සභා) වශයෙන් යලි උපදින්නට හදන්නේ මේ ත්‍රිත්‌වයය. ස්මෝල් ඊස් බියුටිෆුල් (ෂුමාකර්, 1973 ), හියුමන් ස්කේල් (කර්ක්පැට්‍රික් සේල්, 1980) යනුවෙන් පරිසර හානිය අවම කිරීමේ, ගෝලීය උණුසුම්වීමට මුහුණදීමේ සංකල්පද මීට අනුගතය. නිව්සීලන්‌තයේ ව්‍යවස්ථාවෙන් ඒ රටේ සිවිල් පාලන ඒකක (අපේ ප්‍රාදේශීය සභා වැනි) ගංඟා ද්‍රෝණි අනුව මායිම් කලයුතුයයි නියමකර ඇත්තේද ඒ අනුවය.

පක්‍ෂ දේශපාලන ක්‍රමය පිළිකාවකි

1931-48 දක්වා පක්‍ෂ නැති ඩොනමෝර් අවධියේ රටට ගුණදායිවූ දේ සිදුවිය. අපේ මිනිසුන්ට පාර්ලිමේන්තුවක් දීම වඳුරන්ට දැලි පිහි දීමක් විය. විදුර වික්‍රමනායක කියන හැටියට ඔහු සිතුවේ ඔහු හිරගෙදර ඉන්නාවා කියාය. ඊට හේතුව මිරිස් කුඩු හෝ පිහි නොව දෙපැත්තේ අය එකිනෙකාට, හොරා, කුඩුකාරයා, බඩුකාරයා යයි කියමින් කෑගසා ගන්නා නිසා මොවුන් සිටිය යුතු හිරගෙදර නිසාය. වරක් රනිල් වික්‍රමසිංහම බෑන්ඩ් එකක කන්ඩක්ටර් කෙනෙක් වගේ, කවුද හොරා යයි අත් ඔසවමින් මන්ත්‍රීන් ලීඩ් කලේය! 1960-70 කාලයේදි, විශේෂයෙන් මාක්ස්වාදීන් ඇමතිලා වන්නට ඇරඹීමත් සමඟ සිදුවූ දෙයක් නම් මන්ත්‍රීන් ප්‍රශ්ණ අසන විට ඒවාට ඇමතිලා බොරු උත්තර දීමය. මෙය පාර්ලිමේන්තුව නම් දේවාල මිදුලේ මලපහ කිරීමේ ආරම්භයය.

19-ඒ එක ගෙනා හැටි, සුප්‍රිම් උසාවිය පවා රැවටූ හැටි, මන්ත්‍රී පරාණ පඹයන්සේ නිදිමරගාතේ අත ඉස්සූ හැටි ගැන අළුතෙන් ලිවීම අවශ්‍ය නැත. රටක ඉරණම නමැති භාරධූර කටයුත්ත මොවුන්ට භාරදීම නීතියේ ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද? 19-ඒ ගැන සී. ඒ. චන්ද්‍රප්‍රේම අයිලන්ඩ් පත්‍රයේ හොඳ විවරණයක් කර තිබුණේය. මන්ත්‍රීලා සවුත්තු ඔවුන් තෝරණ චන්ද ක්‍රමයේ වරදිනි. ප්‍රේමදාස 12% කටෝෆ් එක 5% ට අඩුකර, අස්‌රාෆ්ලාව, හකීම්ලාව, රිෂාඩ්ලාව, හිස්බුල්ලා-අසාස් සාලිලාව රජ කෙරෙවූවේය ඒ ක්‍රමයේ වරද නිසා ජනාධිපතිත් නැත්නම් ඊළම සුවර්ය.

කරමල සුදු කුකුළා

අබ්දුල් කලාම්, ප්‍රතිභා පටිල් හා මෝඩි විසින් බුද්‌ධාගමෙන් ලෝකයේ ප්‍රශ්ණවලට විසඳුම් සොයාගත හැකියයි කියති. ලෝක ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර සංගමයේ උපසභාපති කෙනෙක්ව සිටි රනිල් පවා දැන් කෝරෝනාව මර්‌ධනයවූනේ බුද්‌ධ ධර්‌මයේ බලයෙන් යයි කියයි. මීට කලින් සිරිසේන ජනාධිපති බෞද්‌ධ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන කතාකලේය. මේ සිංහලයින්ට බුදුදහම හරියට නිතර දකිණ කුකුළාගේ කරමල වැනිය. එහි අගයක් නැත. වල්පොල රාහුල හා යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවරු දෙන්නා ලංකාවට 1956 න් පසු සිදුවු විනාශයට වගකිව යුතු යයි, ඔහුගේ, ද වර්ක් ඔෆ් කින්ස් යන පොතේ (1999) ලියූ (පොතේ මතය: හාමුදුරුවරු රජවරුන්ට අයත් කාර්යයන්ට අත නොගැසිය යුතුය) ඇමෙරිකාවේ වසන එච් එල් සෙනෙවිරත්න විසින් ලඟදී ලියා සිටියේ, 1956 ට පෙර තිබූ අන්දමේ සෞභාග්‍යකට යලි යෑමට නම්, රටේ තරුණ හාමුදුරුවරු එකතුව විප්ලවයක් කල යුතුය කියාය. මාක්ස්වාදී ශිෂ්‍යයෙකුවූ ඔහු ගනනාත් ඔබේසේකර, ස්ටැන්ලි තම්බයියා එකිනෙකාගේ පිට කසා ගන්නා කල්ලියට අයත් විය. මෙය බුදුන්ගේ රස්තියාදුව නම් පොතට වඩා වෙනස් කියමණකි. එය උතුරේ ආණ්ඩුකාරයාව සිටි දෙමළ බෞද්‌ධයයි කියන සුරේෂ් රඝවාන්ගේ මතයට සමානය.

ඩී.එස්ලා ගිය වැරදි පාර

රටක් නිදහස ලබනවා කියන්නේ, ඒ රට, වතුර යට මුණින් අතට ඔබා ගෙන සිටි කළයක් අත බුරුල් කල විගසම උඩට එනවා මෙන්, නිදහසත් සමඟ අළුගසා දමා නැගිටීමය (ඉන්‌දියාව මීට කිට්ටුවෙන් යන නිදසුනකි). අනාගාරික ධර්‌මපාලතුමා කී දේ සිහිපත්කර ගැනීමය. එහෙත් මේ සිතින් කළු සුද්දා, අයිවර් ජෙනින්ස් පස්සේ යමින්, හුදෙක් අගමැතිවීමේ අරමුණ උදෙසා 29 වගන්තිය නමැති තොන්ඩුව දමා ගත්තේය. හාමුදුරුවනේ, ආණ්ඩුව සරණං ගච්චාමි කියා පදයක් නෑ කියා සරදමින් හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ට ඔච්චම් කලේය. 1505 සිට කෙසේවෙතත්, 1815 සිට සුද්දන් විසින් සිංහලයාට කල සමූලඝාතන, වෙනස්කම්, හිරිහැර අසාධාරණ ඉවත්කර යුක්තිය ඉටුකලයුතුනේද යන්න ඔහුට නොවැටහුණේය. පෙත්සම් ගසා ජාතියක පියා වෙන්නට ලෝකයේ කිසිවෙකුටවත් නොහැක.

මෙසේ සිංහලයාට, සිංහල බෞද්‌ධයාට කල වැරදි හා අසාධාරණකම් නිවැරදි කිරීම, සෙසු සුළු ජනව‌ර්‍ග වලට කරණ වෙනස්කමක් නොවේ. දැන් ඔස්ට්‍රේලියාවේ වසන දේවනේසන් නේසයියා විසින්, ඉන්‌දියාව, ඇමෙරිකාව හා මැලේසියාව උදාහරණ ලෙස ගණිමින්, ඔහුගේ හාර්‍වඩ් ආචාර්ය උපාධියේ පෙන්වා දී ඇත්තේ, ඩිස්ක්‍රිමිනේෂන් විත් රීසන් යන මතයේ නිවැරදි බවය (1997). ඩී.එස්ලා ගිය මේ වැරදි පාරේම අද 2020 දීත් යූ.ඇන්.පී කාරයින් යමින් සිටී. මෙම කාසියේ අනිත් පැත්ත නම් ලංකාවේ ඇත්තේ හැම දෙනාටම සමාන අවස්ථා නොලැබෙන භූමිය මත දක්නට ලැබෙන විෂමතා මිස, ජාතිය, කුලය, ආගම අනුව කෙරෙන අසමානතාවන් නොවේ යන්නය (ස්පේෂියල් ඉනික්‌විටි ඇන්ඩ් අන්‌ඊක්වල් ඇක්සස්ටු ඔපර්චුනිටීස්). උදාහරණයක් වශයෙන් කොළඹ සිටි විග්නේෂ්වරන්ට තිබුණු අවස්ථා පානදුරේ සිටි මට තිබුණේ නැත. කොළඹ ආනන්ද හෝ තර්ස්ටන් එකටවත් යාමට වත්කමක් නොවීය. දරිද්‍රතාවයට ජාතියක්, ආගමක්, භාෂාවක් නැත.

පන්සල හා යුද හමුදාව

තිස් අවුරුදු යුද්‌ධය හා 1978 සිට ජේ. ආර් හඳුන්වා දුන් මත්ස්‍ය න්‍යාය නිසා, අද ලංකාවේ තිබෙන්නේ මොනතරම් විකෘතවූ, ඔල්මාදවු, ඔද්දල්වු, සදාචාරයෙන්, කරුණාවෙන්, දයාවෙන් පිරිහුණු සමාජයක්ද යන්න පේන්නේ රටින් පිට ජීවත්‌ව දිගු කලකට රටේ ජීව‌ත්‌වීමට සිතා රටට එන කෙනෙකුටය. සංචාරකයෙකුගේ මනසින් මාසයක් තමන් උපන් රටේ සිටියත් මෙම රටවැසියාගේ, ලඟ නෑයින්ගේ හෝ පරණ මිතුරන්ගේ මානසික ව්‍යාධිය/අසහනය රේඩාර් එකට නොවැටේ. යුද්‌ධය නිසා තමන් නොදැනම, තමන්ගේ යටි හිතට මරණ භය කාවැද්දී ගියේය. ලොකු මාළුවා, පොඩි මාළුවා ගිලින ආර්ථික ක්‍රමයකදී ඩොලර් වලට දූ දරුවන්, දෙමව්පියන් වුනත් විකුණන්නේය. මෙවැනි සමාජයක්, ගමේ රටේ ගෑණු අරාබි වැසිකිළි හෝදන්නට යෑමෙන් තවත් හීනමානයකින් තෙරපුණේය. බිරිඳ එවන මුදලින්, පියා බේබද්දක්, කුඩුකාරයෙක්, වෙන ගෑණූ පස්සේ යන්නෙක් විය. ඒ මදිවාට ඇඟලුම් කර්‍මාන්තය ගමේ කෙල්ලන් නගරයට ඇදගෙන ඔවුන්ගේ විනීතකම, සුන්දරකම කිලිටිකර දමන්නේය. ළමයින්ට ලමාකාලයක් නැත්තේ ටියුෂන් වසංගතය නිසාය. පක්‍ෂ දේශපාලකයා නම් අළුත් ධනවත්, බලවත් පිරිස ගම, නගරය, පක්‍ෂ පාට අනුව බෙදී මරාගන්නා තැන් බවට පත්කලේය. ග්‍රාම සේවක, කාර්යාල සේවක, කසළ එකතුකර්න්නාගේ සිට ඇමති ලේකම්, මැති-ඇමතිලා දක්‌වා හැමදෙනාම අල්ලස්, දූෂණ, මැරකම් වලින් පිරී ගියේය. ඒ අස්සේ වැල්ලවත්තේ ජීවත්‌වෙන ගමන් ශිවාජිලිංගම් අහන්නේ ඒකීය රාජ්‍යය මොන බම්බුවක්ද යනුවෙනි!

ගෝඨාභයගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ මේ විනාශ මුඛයෙන් රට ගලවා ගැනීමය. මේ 19-ඒ තිබුණත් නැතත් ඔවුන්ට ප්‍රශ්ණයක් නැත. නීතීයේ ආධිපත්‍ය කන්නද කියා අසන්නට වත් ඔවුන් ඒ මොකක්ද කියා නොදණී. ගෙදරින් පිටවී පාරට බැස්ස වේලේ සිට ඔවුන් මුහුණ දෙන්නේ දුකට, අසාධාරණයට හා හිංසාවටය. හිටපු මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න යෝජනා කල තරුණ භික්‍ෂූ විප්ලවය හා සජිත් ප්‍රේමදාසද දැන් ස්ත්‍රීන් සම්බන්‌ධයෙන් කාර්ය සාධක් බලකායක් දානවා යන කාරණා දෙක අනුව යමින් ජනාධිපති විසින් කල යුත්තේ පන්සල (පල්ලිය/කෝව්ල) මුල් කරගෙන ජන මූල සභා (ජන සභා) පිහිටුවා, එයට යුද හමුදාව එක් කර දැඩි විනය ගරුක සමාජයකට අත්තිවාරම දැමීමය. බේසික් ඩිමොක්‍රසි යන නමින් මෙවැනි මහජන කවුන්සිල් ක්‍රමයක් පකිස්ථානයේ ආයුබ් ඛාන් විසින් 1959 දී ක්‍රියාත්මක කලේය. ගම්වල පාලන කටයුතු හා ආණ්ඩුව අතර සම්බන්‌ධතා මේ කවුන්සිල් මඟින් සිදුවිය.

ඒකාධිපතිවාදය හෝ ජාතිවාදය හෝ ගැන කතා කිරීමට දේශීය හෝ විදේශීය හතුරන්ට ඉන් ඉඩක් නොලැබෙන්නේ, බිම් මට්ටමින් ජනතාව බලවත් කල විට, මේ දෙකම ඉබේම අහෝසිවී යන නිසාය. සිංහල-දෙමළ පාසැල් වල උගන්වනවා මෙන්ම වැදගත් දෙයක් නම් ජන මූල සභා හෝ ප්‍රදේශීය සභා හෝ ග්‍රාම නිලධාරී වසම් හෝ ප්‍රාදේශිය ලේකම් ප්‍රදේශ භාෂාව, ආගම අනුව නොව පරිසර සාධක අනුව මායිම් කිරීමය. නාගානන්ද කියන අන්දමට උප්පැන්න සහතිකයේ ජාතිය ශ්‍රී ලාංකික කියා ලිවීමෙන් නොව, මෙසේ ගංඟා හෝ භූගත ජල ද්‍රෝණි වශයෙන් භූමියේ සිවිල් ඒකක හඳුනා ගැනීමෙන් ජාතිවාදී, බෙදුම්වාදි මඳුරුවාට බිත්තර දමන්නට තැනක් නැති කරන්නේය. භාෂාව, ආගම අනුව පාසැල් අනවශ්‍ය කරන්නේය. කුඩා ඒකක අනුව කරණ භූමි ප්‍රදේශ බලවත් කිරීමෙන් (මීනින්ෆුල් ඩිවොලූෂන්) මිනිසුන්ට තමන්ගේ පුද්ගලික අවශ්‍යතා හා උවමනාවන් බිම් මට්ටමින්ම සපුරා ගත හැකි වන අතර, ඒ නිසා විශේෂයෙන් සිංහල මහජාතියට බියක් ඇති නොවන්නේය. යම් පොදු අභිලාශ ඇත්නම් ඒවාද එක්තරා දුරකට ලඟාකර ගන්නට මඟ පාදා ගත හැකි වන්නේ ප්‍රථමයෙන් මෙවැනි භාෂාවට හා ආගමට අන්‌ධ කුඩා ඒකක වලින් ජාතීන් අතර ඇතිවන අවභොධය මඟිනි.

පන්සිය පනස් ජාතක පොත

මා දැනට කියවමින් සිටින්නේ 487 වන ජාතකයය. මේ පොත කියවීමෙන් යමෙකුට අවුරුදු 200 කින් වත් ලබාගත නොහැකි දැණුමක් හා ඥානයක් ලබාගත හැකියයි මාර්ටින් වික්‍රම සිංහ මහතා කියා ඇත. මට වයස 20-30 දී වත් මේ පොත කියවන්නට සිතුනා නම් කෙතරම් වටීද, මගේ ජීවිතය මොනතරම් වෙනස් වන්නට තිබුණාද කියා මට සිතේ. සමහර මේ ජාතක කතා ඇසුරෙන් මට සිතෙන දෙයක් නම් වාසුදේව නානායක්කාර යෝජනාවේ වැදගත් කමය. 13 හා 19 ඉවත්කිරීම හැර ජේ. ආර් ව්‍යවස්ථාවට බරපතල සංශොධන කඩිමුඩියේ අවශ්‍ය නැත. එහෙත් යම් ලෙසකින් තුනෙන් දෙකක් නොලැබුණත්, චන්ද ප්‍රකාශණයේ ඒ බව පැහැදිලිව කියා, චන්දයෙන් පසු, 1972 දී කලා මෙන් වෙනම රැස්වී ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් සේ ගෝඨාභය ආණ්ඩුව ක්‍රියා කල යුතුය. අර්ජුන මහාභාරත යුද්‌ධයේදී කලා මෙන් මෙය රට වෙනුවෙන් ඔහුට ඇති ඩියුටියය. රට ගලවා ගැනීමේ මේ ඓතිහාසික අවස්ථාව, නැවත උදාවේව්ද යනු සැක සහිතය. එය අපවත් කලාද යන සැකයක් ඇති මාදුළුවාවේ සෝභිත හිමිඳුන් ඇමෙරිකන් තානාපතිනි මිෂෙල් සිසන්ලාට රැවටී, තැටිය රත්‌වූ වේලේ රොටිය හදා ගැනීමක් නොව, 2005 සිටම හෝ ඊට පෙර සිටම ගෝඨාභයගේ සිතතුල ජනිතවූ ඩියුටි එකක් කියා මට සිතේ. පක්‍ෂ දේශපාලකයා ගෙන් රට බේරා ගැනීමේ රටේ අනාගත සමෘධියේ සංකේතයය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress