බ්‍රදර් චාල්ස් තෝමස්ගේ <දහම් පහන> හා සිංහල බුද්ධාගම
Posted on May 24th, 2021

C. Wijeyawickrema

“මනුසතා ලෝකෙ ඉපදී – මංමුලා වුනා මඟදී”

                                            මොහිදීන් බෙග්, සංසාරේ චිත්‍රපටිය, 1962

බෞද්ධ සමාජයට හා, බුදු දහම ප්‍රචලිත කිරීමට දායකවූ උපතින් බෞද්ධ හෝ සිංහල හෝ නොවූ බොහෝ අය සිටියේය. අවිවාදයෙන් මතකයට එන නමක් නම් ටිබැට්-සිකීම් ජාතික ඇස්. මහින්ද හිමියන්ය. මොහිදීන් බෙග් බුද්ධාලම්භන ප්‍රීතිය හා ශ්‍රද්ධාව උපදවන බුදුගුණ ගී ගැයුවේය. සුදු සිවිල් සේවකයින් අතර කැපී පෙනෙන්නේ රීස් ඩේවිඩ්ස් මහතාය. මැලේ ජාතික  ජී. එස්. බී රාණි, සිංහල බුදුගුණ ගී ගායනා කලා පමණක් නොව, කැළනියේ පෙරේරා පවුල බුද්ධාගමට  හරවා, රේඩියෝ සිලෝන් එකේ දිනපතා උදේ පිරිත්  දේශනා කිරීමේ චාරිත්‍රය ආරම්භ කලාය.

මේ මට මතක උදාහරණ දෙක තුනක් පමණය. 2015-19 දී යහපාලන කාරයින් රන්ජන් රාමනායකවද අමුණා ගනිමින් කරගෙන ගිය සිවුරු දඩයම් කාලයේදී, ලංකාවේ බෞද්ධ පදනම සුළු ජාතීන් විසින් පිලිගත යුතුයයි මැල්කම් රන්ජිත් කාදිනල්තුමා කල ප්‍රකාශය, දොන් ජුවන් ධර්මපාල 1551 කෝට්ටේ ක්‍රිස්තියානි රජු වූවාට පසුව ක්‍රිස්තියානි නායකතුමෙකු ප්‍රසිද්ධියේ ඉෂ්ටකල ඓතිහාසික වගකීමක් හා වගවීමක් විය. මේ යුතුකම නිසා මිසිස් චන්ද්‍රිකා, රෝසි සේනානායක වැනි මහාවංශ විරෝධී හීතල හොරු නොහොත් කළු සුද්දන් කොට උඩ ගියේය. මෙම ප්‍රකාශනය කලේ පාස්කු ප්‍රහාරයට කලින්ය.

උපතින් කතෝලිකයෙකුවන බ්‍රදර් චාල්ස් තෝමස්ගේ භූමිකාව ආරම්භ වුනේ  කාදිනල්තුමාගේ ප්‍රකාශයට බොහෝ කලකට පෙරය. තම ව්‍යාපාරවල සේවකයින්ගේ සිත් ශක්තිමත් කරවීම, දිරි ගැන්වීම මෙන්ම පොදුවේ සමාජයේ දක්නට ලැබෙන දූෂණ හා  පිරිහීම් වලට බුදු දහමින් හා බෞද්ධ සංගීතය යොදා ගනිමින් ඔහු පවත්වන කතා හා වාග් විලාශය නිසා පුද්ගලික ආයතන විසින් තම සේවකයින් උදෙසා ඔහු ලවා දේශන පවත්වයි. තවද ඔහුගේ කඳුළු වැඩසටහන ජනප්‍රියවීම නිසා පොලිසිය, යුදහමුදාව, සෞඛ්‍ය සේවයද ඔහුට අනුග්‍රහය ලබා දෙන්නේය. මේ හැම අවස්ථාවකදීම ඒවාට හාමුදුරුවරුද සහභාගීවන්නේය. සිංහල සිංදු, බුදු ගුණගී තම දේශනවලට උපයෝගී කර ගැනීම නිසා ඔහු සිංහල බෞද්ධයින් රවටවමින් වෙනත් සැඟවුණ ව්‍යාපාරයක් ගෙනයනවා යයි විරෝධයක් සමහර හාමුදුරුවරුන්ගෙන් මතුවිය. මේ ගැන ලිවීමට  තරම් දැනුමක් මට නැත. ඔහු බුදු දහම විකෘතිකරණවා නම් එය පෙන්වා දීම මිස ඔහු හා උරණවීමට හේතුවක් නැත. ක්‍රිස්තියානි මූලධර්ම වාදීන්ගේ ආක්‍රමණශීලි අන්‍යාගමිකයින් ක්‍රිස්තියානියට හරවා ගැනීමේ කූඨ උපක්‍රම නිසා චාල්ස් තෝමස් සම්බන්ධයෙන්ද සැක ඇතිවීම පුදුමයට කරුණක් නොවේ.

බෞද්ධයින්ට වඩා මැනවින් බුද්ධාගම කියාදෙන අබෞද්ධයා!

කුඩා දරුවන් පියා සමඟ තනිකර දමා සිය මව වයස 39 දී පිලිකාවක් නිසා මියගිය, තමාට වයස 18 දී ලියුකේමියා වැළඳුන චාර්ල්ස්, සිය පියාටද පහරදී ගෙදරින් පිටවූ දඩබ්බර චරිතයක් විය. හිතුවක්කාර ජීවිතයකට පසු, කතෝලික පාදිලිවරයෙක් වෙනවා වෙනුවට, අර්නස්ට් පෝරුතොට පාදිලිතුමාගේයේ මඟ පෙන්වීම යටතේ, විශේෂයෙන් යුරෝපීය  කතෝලික ආගමට දේශීය සිංහල මුහුණතක් දීමේ වැඩපිලිවෙලට ඔහු හවුල් විය (ලතින් වෙනුවට සිංහලෙන් යාඥා, ඉටිපන්දම් වෙනුවට පොල්තෙල් පාන්, ගොක්කොල සැරසිලි හා මඟුල් බෙර ). මේ වනවිට හිමිපානෝ වැනි බෞද්ධ සංකල්ප කොපි කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් තිබේයයි චෝදනාවක් දක්වා මෙය දුරදිග ගොස් ඇත. කතෝලිකයෙකු වශයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිනා ගමන්ම බුදුදහම පදනම් කරගනිමින්, බෞද්ධයයි කියා ගන්නා අයටද වඩා හොඳින් බෞද්ධයින් ඇමතීමට ඔහු සමත්වි සිටී.

ඊළම් විරෝධීයෙකු ලෙස උතුර-දකුණ යා කිරීමේ උත්සාහය

උතුර හා දකුණ සමඟි කිරීමේ හා උතුර-නැඟෙනහිර සංවර්ධනය කිරීමේ යුද හමුදා මහජන මෙහෙයුමට චාල්ස් හවුල් විය. ප්‍රභාකරන්ගේ අවසානයට පසු දේශීය හා විදේශීය ඊළම් පිරිස් ගෙනයන ව්‍යාපාරයට විරුද්ධව නිර්භීතව යාපනයේදීත්, ලන්ඩන් වලදීත් ඔහු කතා  කලේය (මනුෂ්‍යත්වයේ පාලම, 2018 ජූලි 9 යාපනය; මනුස්සකම රජ කරවමු- 2018 දෙසැම්බර් 20, ලන්ඩන්). ඔහුගේ මෙම කඳුළු යූ ටියුබ් වැඩසටහන් දෙක බැලු පසු, ඔහුත්, තමන් දෙමළ බෞද්ධයෙකු බව කියන, එවකට උතුරේ ආණ්ඩුකාරයාවූ සුරේන් රඝවානුත් අතර තිබෙන වෙනස මට පෙනී ගියේය. මේ නිසා මම ඔවුන් දෙන්නාගේ ඊමේල් ලිපිනවලට මෙහි පහතින් ලින්ක්කර ඇති 2019 පෙබරවාරි 26 දිනැති  ලිපිය යැව්වෙමි. රඝුවාන්ගේ    දේශපාලන දෙබිඩි පිළිවෙත පෙන්වා දුන් එම ලිපියෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේ බ්‍රදර් චාල්ස් උතුරේ ද්‍රවිඩ ජනයාට කරන සේවයට දායකවන ලෙසටය.

ටැමිල් චේගුවේරා- අරුලානන්දන් සිද්ධාර්ථන්

ජනාධිපති සිරිසේන විසින් කරණ ලද මෝඩ ක්‍රියා දෙකක් නම් රඝුවාන් හා අසාද් සාලිට ආණ්ඩුකාරධුර දීමය. මේ නිසා රඝුවාන් හා චාල්ස් තොමස් අතර පෑහීමක් බලාපොරොත්තුවීම මගේ මෝඩකමය. එහෙත් චාල්ස් හා යාපනේ අළුතින් නැඟී එන භූමිකාවක් වන අරුන් හා චාල්ස් අතර  සබැදියාවක් සඳහා ඇති ඉඩකඩ ගැන  මට බොහෝ විට සිතුනේය. ඊට හේතුව නම් ඊළම් කොටින්ගෙන් 2009 මැයි 19 ට පෙරත්, ඉන් පසුව දැන් 2021 වනවිට ටී.එන්.ඒ කාරයින් ගෙනුත් යාපනේ කුලහීනයයි සැලකෙන ජනයා විඳින දුක වෙනුවෙන් අරුන් ගෙනයන සටන හා චාල්ස් තෝමස්ගේ යාපනේ ජනයා වෙනුවෙන් කරණ සේවය එකම කාසියක පැති දෙක වීමය.

මෛත්‍රී භාවනාවට කොටුවීම හා කොටු කිරීම

එහෙත් යම් කාලයක්, කොරෝනාව නිසා නිහඬව සිටියායැයි සිතෙන චාල්ස් පසුගිය අප්‍රේල් 24 වෙනිදා  සිට අළුත් මුහුණුවරකින් එළියට බැස ඇතිබවක් පෙනේ. දහම් පහණ නමින් අරඹා ඇති යූටියුබ් නාලිකාවක් මඟින්, “ධර්මය බලවත්වූ දේශයක් කරා,” (Towards a spiritually empowered nation) යන තේමාව යටතේ අළුත් වෘත්තාන්තයක් ඔහු විසින් ගොතමින්, ගොඩනගමින් සිටී.  මැයි මස 1 දා හා 8 වැනිදා පවත්වන ලද ඔහුගේ සම්මන්ත්‍රණ වලදී “සොබා දහම තව ඉවසන්නේ නෑ,” “පන්සල හා ඝන්ඨාරය” යන අදහස්  ප්‍රකාශ විය. මෙහිලා ඔහුගේ සද්භාවය පිළිඹඳව මම සැක නොකරමි. එහෙත් අශෝක අධිරාජයාගේ සිටම <ධර්මය බලවත්වූ දේශයක්> සැදීමේ ව්‍යායාමය දේශපාලන න්‍යායධර්මයක් වශයෙන් ඒකාලයේදීත්, 1505 න් පසු ඇරඹුණු යටත් විජිත යුගයේදීත්, 1948 න් පසුව හා දැන් 2021 දීත් බලවත් අර්බුදයකට මුහුණ දුන්නේය, දෙන්නේය. 1977-78 චන්ද කාලයේදී බෞද්ධ දර්ශනය පිළිඹඳ මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතාගේ, ” මිනිසා තුල සන්තානගත විප්ලවයකුත් (ච්ත්ත දමණය ), සමාජයේ බාහිර විප්ලවයකුත් (සරල දිවි පැවැත්ම ) සිදුවිය යුතුය යන මතය උපයෝගී කර ගනිමින්, ඔහුව රට වටේ යවමින්  “ධර්මිෂ්ඨ සමාජයක්” ගොඩඟනවා යයි ජේ. ආර්. ජයවර්ධන  මහතා ප්‍රචාරයක් ගෙන ගියේය. 2015 සිට ආවේ “යහපාලන” මරාලයකි. මේ නිසා “ධර්මය” සම්බන්ධ කර ගනිමින්. ඇඳා ගනිමින් දේශය පාලනය ගැන යමෙක් කතාකරණ විට, විශේෂයෙන් ලංකාවේදී අප බෙහෙවින් පරිස්සම් විය යුතුමය. මීට හේතුව නම් අන්තිමේදී එවැනි ප්‍රාර්ථනාවලින් අමාරුවේ වැටෙන්නේ සිංහල බෞද්ධයාම වීමය. වදින්න ගිය මිනිසාගේ හිසට දේවාලය කඩා වැටීමක් නැතහොත් ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇනීමක්, මහාවංශ විරෝධී බලවේග  විසින් අහිංසක ගිහියන්ට හා හාමුදුරුවරුන්ට අත්කර දේ. සරලව කියනවා නම්, දමිල ඊළමක් සඳහා සිහින බලමින් සිට මියගිය හාවඩ් සරසවියේ ස්ටැන්ලි තම්බයියා ඇසූ, “අවිහිංසාව උගන්වන ධර්මයක් අදහන බෞද්ධයින් (දමිල ) මිනිසුන් මරන්නේ ඇයි” යන ප්‍රශ්ණය මේ “ධර්ම සූත්‍රයේ” යටගවුම බවට පත්වේ. මේ කාරණය චාල්ස් ට පැහැදිලි කර දිය යුතුය කියා මට සිතුන නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි.

කියන දේ හා කීමට අතපසුවන දේ

යමෙකු විසින් යම්  කතාවකදී කියන දේ තරම්ම වැදගත් කමක් ඔහු හෝ ඇය කීමට අමතක කරණ හෝ නොකියා සිටින දෙයෙහි තිබිය හැකිය. මෙය හරියට යම් ලේඛනයක පේලි අතරින් කියවනවා වැනිය. තමන් කිසිම දේශපාලන පක්ෂයකට අයත් නැතැයි චාල්ස් පවසයි. කිසිම එන්.ජී.ඕ පසුගිය අවුරුදු 73 ක් ම පුරාම පක්ෂ දේශපාලකයින් විසින් රට විනාශ කලා යන ඔහුගේ කතාව සැබෑය. තමන් කිසිම දේශපාලන පක්ෂයකට අයත් නැතැයි චාල්ස් පවසයි. කිසිම එන්.ජී.ඕ එකකට සම්බන්ධ නැතිබවත් ඔහු පවසයි. පසුගිය අවුරුදු 73 ක් ම පුරාම පක්ෂ දේශපාලකයින් විසින් රට විනාශ කලා යන ඔහුගේ කතාව සැබෑය. එහෙත් මේ වින්නැහියෙන් ගැලවීමට කලයුත්තේ කුමක්ද යන ප්‍රශ්ණයේදී බොහෝ කථිකයින් හරිහමන් පිලිතුරක් දීමට අසමත්වී සිටී. පුදුමයට කරුණක් නම් යු.ඇන්.පී ආණ්ඩුකාලවල නිහඬව සිටිනා මේ අය යම් තරමකින් හෝ සිංහල බෞද්ධයාට සරණක්වූ නිල් පාට-දම් පාට (අත/රෝදය/පොහොට්ටුව ) ආණ්ඩුවක් බලයට ආ විට තොර තෝංචියක් නැතිව ඔහේ වාග් ප්‍රහාර එල්ල  කරන්නේය.

කලම්බු ටෙලිග්‍රාෆ් වැනි වෙබ්සයිට් සිංහල බෞද්ධ විරෝධී බව හැමෝම දනී. එහෙත් දර්ශන හඳුන්ගොඩ, සේපාල් අමරසිංහ, සුදත්ත තිලකසිරි වැනි අය සිරස නාලිකාව මෙන් “සර් ෆේල්” කියන වලිගයක් අල්ලාගෙන ඉන්නවා මිස විසඳුම් ඉදිරිපත් නොකරයි. ඔවුන් ජේ.වී.පී නොවන ජේ.වී.පී කාරයින් වැනිය. නාගානන්ද කොඩිතුවක්කු කියන කතාවල ඇත්තක් ඇත. එහෙත් හැම දෙයක්ම යකාට ගොස් ඇති රටකට, සමාජයකට, ඔහුගේ පොතේ කියන අන්දමට “රූල් ඔෆ් ලෝ” නමැති කෝකට ත් තෛලය ආලේප කල හැකිද?  සිංහල බෞද්ධ සංස්කෘතියට පිටුපාමින්, ශ්‍රී සද්ධර්මය රැකීමට ඔහු කතාකිරීම අත්තේ අග සිට අත්ත මුලින් කපා දැමීමක් බව ඔහුට නොතේරේ. ලංකාවේ හාමුදුරුවරු නොසිටින්නට ඔහු කතාකරණ ත්‍රිපිටකයක් ලෝකයේ නැත. සංඝ සාසනයේ අද දක්නට ලැබෙන නොයෙකුත් අර්බුද වලට සුද්දගෙ නීතිය හා පක්ෂ දේශපාලක කළු සුද්දන්ගේ ක්‍රියාකලාපය හේතුවී ඇතිබවත් ඒවා නිවැරදි කල යුතු බවත් අමතක කිරීම වැදගත් සමාජ ක්‍රියාකාරීන්, සැඟවුණ න්‍යායපත්‍ර සහිත තවත් රංජන් රාමනායකලා බවට පත් කරයි. මෙසේ අන්තිමේදී ඉතුරු වන්නේ තවත් සිංහල බෞද්ධ විරෝධියෙක් පමණය.

කොසොල් රජතුමා දුටු සීන දාසැය හා පන්සිය පනස් ජාතක පොත

සහෝදර චාල්ස් තෝමස්  බෞද්ධ ධර්මය නමැති පාරුව යොදාගනිමින් රටේ ජනයා යහමඟට ගැනීමට දරණ උත්සාහය, 2019 හා 2020 ච්න්ද ප්‍රතිඵල වලට අනුකූල වියයුතුය. දැනට රටේ පවතින විකාර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පිස්සු පාර්ලිමේන්තු ක්‍රමයක් හා ජනාධිපතිගේ කකුලෙන් අදින විපක්ෂයක් සිටී. හැම දෙයක්ම සිදුවන්නේ, ජනාධිපති විසින් දැඩි විනයක් සහිත පාලන ක්‍රමයක් අනුගමණය නොකලොත්, ඊළඟ චන්දයේදී දේශීය හා විදේශීය සිංහල බෞද්ධ විරෝධී බලවේග යලි මතුවෙන බවට ඉඟි කරවමින්ය. සුළු උදාහරණයක් දෙනවා නම් කුරගල ගලවා ගැනීම, දෙවනගල සටන හා මුලතිව් කුරුන්දමලේ සංරක්ෂණය කිරීම ආරම්භ කිරීම ගෝඨභය රජයක් යටතේ මිස සිදුවන්නේ නැත.

චාල්ස්ගේ දේශන කළු සුද්දන් විසින් කල, කරණ, විනාශය ගැන කියමින් අවසාන වන්නේ, සමහර විට ඔහුත් නොදැනම ගෝටා පාලනයට ඊතලය එල්ල කරමින්ය. ඔහුගේ වැඩසටහන සමාප්තවන්නේ ප්‍රේක්ෂකයා අතරමං කරමිනි, අනාථ කරමිනි. ගෝඨාභය පාලනය ගැන කුකුසක්, සැකක් ජනිත කරවමිනි. ආණ්ඩුවට වැඩක් කරන්නට නොදෙන වටපිටාවක් සතුරු බලවේග විසින් ගොඩනඟමින් බව චාල්ස්ට නොපෙනේද? දැන් අළුතින්ම ක්‍රියාත්මක වන්නේ සිරස ටී.වී මඟින් චීන භාෂාවෙන් සිරස්තල දැමීමය. මේ මඟින් ජනයාගේ යටි සිතේ චීන විරෝධී, චින බිල්ලා යන හැඟීමකට උල්පන්දම් දෙන බව මහාරාජා ලොක්කා නොදනීද? මෙහිදී චාල්ස් නිහඬව සිටීම, දෙමල මන්ත්‍රී  රාසනායගම් ඊළම් වෙනුවට චීලම් හැදෙනවා යයි කීම වැනිමය.

 රටට විරුද්ධව ඇති දේශීය හා විදේශ බලවේග සඳහන්  කිරීමේ වගකීමක්, ධර්ම රාජ්‍යයක්, සමාජයක් උදෙසා කැපවුණ අයෙකුට ඇත. මේවා එලිදරව් නොකිරීමට හේතුවක් තිබේද? මේ එකිනෙක හා බද්ධවී ඇති බලවේග මෙසේය. (1) 2009 මැයි 19 දා ප්‍රභාකරන් මළත්, ඊළම් ව්‍යාපාරය මැරී නැත. ජිනීවා හරහා ඉන්දියාව, ඇමෙරිකාව හා එංගලන්තය හදන්නේ 13 සංශෝධනය මඟින් එය ලබා දීමය. මිලේනියම් පගාව අසාර්ථකවීම නිසා මෙය ඇමෙරිකාවේ ප්‍රධාන උපායවි ඇත; (2) ශාරියා-වහබ් ආක්‍රමණය ලෝක ව්‍යාපාරයක ශාඛාවකි. ඒ සඳහා අරාබි ඩොලර් ගලා ඒ. එය දීප ව්‍යාප්ත ඉස්ලාම්කරණයකි. එය දීප ව්‍යාප්ත, සංවිධානාත්මක, ගම් නියම් ගම් වල ශාරියා බලකොටු සැදීමේ ඉස්ලාම්කරණයකි; (3) තවත් බලවේගයක් වන්නේ කූඨ උපක්‍රම මඟින් අන්‍යාගමිකයින් ක්‍රිස්තියානි කිරීමේ බිලියන් ඩොලර් ලෝක ව්‍යාපාරයය. මීට සම්බන්ධ අය පාර්ලිමේන්තුවේ පත් කල මන්ත්‍රීන් ලෙසද සිටී. විශේෂයෙන් බෝන් අගෙන් කල්ලිය, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු, පොලිසිය යනාදී රටේ මර්මස්ථාන අල්ලාගෙන සිටි යයි සඳහන්වේ; (4) පරණ අධිරාජ්‍ය සුදු රටවල්, නොයෙක් ලෝක සංවිධාන හරහා ලංකාව වැනි පරණ යටත් විජිතවල, ගෝලීය නිදහස් වෙළඳාම, යනුවෙන් අළුතෙන් ගෙනියන ආර්ථික යටත් විජිත වාදය; (5) සුළු ජනවර්ග ආරක්ෂා කලයුතුය යන කතාව ඉදිරියට දමමින් රටවල මහජාතියට වලංගු දමා මජාතියේ රට-රාජ්‍යය කැබලි කිරීමේ ව්‍යපාරය (මෙම 4 හා 5 හැඳින්වෙන්නේ අතීතයේදී මෙන් තුවක්කුවේ බලය නොව “සොෆ්ට් පවර්” භාවිතය යනුවෙනී.

මෙම කාරණාද තම දේශනයට අඩංගු නොකිරීම ලෝකයේ සිංහල බෞද්ධයාට ඇති එකම ඉඩම් කැබැල්ලේ, ඔවුන්ගේ ධර්මයම ඔවුන්ටම දේශනා කරමින්, ඔවුන්ව අනාථ කිරීමක් යයි මට සිතේ. චාල්ස්ගේ පසුගිය දේශනා බලනවිට යමෙකුට එන හැඟීම නම් චාල්ස් අවුරුදු 73 ක කුණුවලට ගෝඨාභයවද යටකරණ්නට හදනවා නොවේද යනුය. ජනාධිපතිට සුදුහුණු ගෑම හෝ කඩේයාමක් නොකල යුතුය. ඔහුගේ තීරණ වල අඩු පාඩු ධනාත්මක දෘෂ්ටි කෝණයකින් පෙන්වා දිය යුතුමය. හේතුව ඔහුද පෘථග්ජනයෙකු නිසාය. බ්‍රදර් චාල්ස් කොසොල් රජතුමාගේ සීන දාසැය හා ජාතක කතා පොත කියවා තිබේද යන කුකුස මට ඇතිවන්නේ ඒ නිසාය. නියම වශයෙන්ම බෞද්ධ චින්තනය හා සභ්‍යත්වය තේරුම් යන්නේ ඒවා තුලින්ය.  1815 දී සිංහලේ නම් රටට අහිමිකල සිංහල බෞද්ධ උරුමය හා අයිතිවාසිකම් 1948 වනවිට ඉබේම අහෝසිවී ගියාද? ඒවා සාධාරණ හා යුක්තිසහගත ආකාරයට නැවත ලබා දීමෙන් කඩවන්නේ කාගේ මානව අයිතිවාසිකම්ද? තවත් වැදගත් කරුණක් නම් යාපනේ අරුලානන්දන් සිද්ධාර්තන්ට බලවත් රුකුලක් ලබාදීමට චාල්ස්ට ඇති හැකියාවය. ඔහුත් චාල්ස් මෙන්ම බෞද්ධ ධර්මය පිළිපදින අයෙක් නිසා චාල්ස්ට ඇති ප්‍රසිද්ධිය ඔහුගේ සමාජ දේශපාලන සේවයට අත දිගු කිරීමකි.

2 Responses to “බ්‍රදර් චාල්ස් තෝමස්ගේ <දහම් පහන> හා සිංහල බුද්ධාගම”

  1. DR M D P DISSANAYAKE Says:

    Great write up. Brother Charles has been fulfilling a vaccum in the society by lighlighting use of obscene words against Girls, Wives and Mums alike by young boys and men, using such words as Baduwa, Badu Kella, Komadu Paluwa, Waraka Madula. He also clearly mention the true meaning of LOVE, which most people have misunderstood.

    His powerful vocabularly, excellent voice are hallmarks of this Great Man, using Sinhala Songs, Buddhist teachings alike. He explain the meaning of sinhala songs, just the same way, if not better than Ratna Sri Wijesinghe.

    I would like to see a program where Brother Charles and Ratna Sri Wijesinghe doing a show together, especially if possible with the daughter of Sunil Edirisinghe.

  2. Ratanapala Says:

    සහෝදර චාර්ලස් සහ ක්‍රිස්තියානි ඔටුවා 

    බුද්ධාගම ඔය තරම් හොඳනම් සහෝදර චර්ලෙස්ට තියෙන්නේ බුද්ධාගම වැළඳගෙන බුදු බන කියන එකයි. ලෝගුවක් ඇඳගෙන මේ කියන කතා වලින් කරන්නේ ලෝකය පුරා වන්දවීගෙන යන ක්‍රිස්තියානි ධර්මයට බුදු එළියෙන් ගොඩ එන්න බැලීමක් මිස වෙන යමක් නොවේ. ක්‍රිස්තු ධර්මයෙන් බුද්ධ ධර්මයට එළියක් ලැබෙන්නේ නැහැ.

    මේ ටික රටේ ඉන්න වඳුරන්ට තේරෙන්නේ නැහැ. 

    බෞද්ධ කුඩාරමට මේ රිංගන්න හදන්නේ ලෝක ක්‍රිස්තියානි ඔටුවාය!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress