බෞද්ධ ජනරජ ප්‍රවාදය – 21 වැනි කොටස -සංස්කෘතියේ ආර්ථිකය
Posted on June 7th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මිනිසා යනු සංස්කෘතික සත්ත්වයෙකි. තමන් පිළිගන්නා පොදු සංස්කෘතික ඇගැයීම්වලින් මිදී තීරණගැනීමේ හැකියාවක් ඔහුට නැත. යමක හරි – වැරැද්ද, යෝග්‍ය – අයෝග්‍ය බව, හොඳ – නරක මිනිසුන් විසින් තීරණය කරන්නේ මෙවැනි ඇගැයීම් මත පදනම් වීමෙනි. සමාජයක ආර්ථික කාර්යයන් කෙරෙනුයේ ද ඒ සඳහා අදාළව ගනු ලබන තීරණ අනුව ය. ඉහතින් පෙන්වා දුන් ආකාරයට මෙවැනි ආර්ථික තීරණගැනීම සඳහා ද සංස්කෘතික ඇගැයීම් බලපායි.

සංස්කෘතීන් එකිනෙකින් වෙන්කර හඳුනාගැනීමේ දී ඒවා සතු පොදු ඇගැයීම්වල වෙනස්කම් ද සළකා බැලෙයි. මේ උදෙසා මාන ස්වරූපයකින් සංස්කෘතික ඇගැයීම් හඳුනාගැනීමක් ද සිදු කරයි. අදාළ සංස්කෘතික පර්යේෂකයන් විසින් මෙ ලෙසින් හඳුනාගත් ඇගැයීම් මාන ගණනාවක් ම වෙයි.

පුද්ගලාන්තික – සමූහාන්තික ඇගැයීම් මානය යනු එවැන්නකි. එම මානයට අනුව සංස්කෘතීහු වර්ග කෙරෙති. යම් යම් සංස්කෘතීන්වල මිනිසුන් පුද්ගලාන්තික ඇගැයීම්වලට වඩා සමූහාන්තික ඇගැයීම් පිළිගනු ලබන බව ද තවත් සංස්කෘතීන්වල මිනිසුන් එයට පටහැනි ලෙසින් කටයුතු කරන බව ද මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන විශේෂඥයෝ පවසති. දිගුකාලීන නැඹුරුව යනු තවත් එවැනි සංස්කෘතික මානයකි. ඇතැම් මිනිසුන් අනාගතය වෙනුවෙන් තම වර්තමානය කැප කරනුයේ මෙම සංස්කෘතික ඇගැයීමට අනුව ය.

මෙවැනි සංස්කෘතික ඇගැයීම් ආර්ථික කාර්යයන් කෙරෙහි බලපායි. සාමූහික ඇගැයීම්වල ඉහළ තැනැක් ඇති සංස්කෘතියක ආර්ථික කටයුතු එම ඇගැයීම මත පිහිටා සංවිධානය කළ හැකි ය. එ මෙන් ම, අනාගතය වෙනුවෙන් තමන්ගේ වර්තමානය කැපකිරීමේ නැඹුරුව ද ආර්ථික කාර්යයන්ට අදාළ කරගත හැකි ය.

යම් සංස්කෘතියකට අයත් ඇගැයීම් හඳුනාගැනීම සඳහා බාහිර පර්යේෂකයන්ගේ නිරීක්‍ෂණ මත ම රඳා පැවැතිය යුතු නොවේ. ඒ ඒ සංස්කෘතීන්වල වසන අයට ද මේ කාරණයට අදාළ පර්යේෂණ මෙහෙයවිය හැකිය.

ධුරාවලියට වැඩි ඉඩක් දෙන සංස්කෘතියක් සිංහල සමාජය තුළ ඇති බව බාහිර පර්යේෂකයෝ පවසති. එය සැබෑවකි. අපි අපේ සංස්කෘතික ඇගැයීම්වලට අනුව භික්‍ෂුන්වහන්සේට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, උගතුන්ට, වෘත්තිකයන්ට සහ තවත් එබඳු අයට ගරු කරමු. කෙසේ වුව ද, ඉහළ අයගේ නියෝග පිළිපැදීමට අපි මැළිවෙමු. මෙම වෙනස බාහිර පර්යේෂකයෝ නො හඳුනති. එක් පසෙකින් ධුරාවලි පිළිගන්නා අතර ම ඉහළින් ලැබෙන නියෝග පිළිගැනීමට අදිමදි කිරීම අප සතු විශේෂිත සංස්කෘතික ලක්‍ෂණයකි.

මෙවැනි සංස්කෘතික හැසිරීම් ආර්ථික කාර්යයන්ට ගලපාගත හැක්කේ කෙලෙසින් ද යන්න අප විසින් විමසා බැලිය යුතු වෙයි. එ මෙන් ම, වර්තමානයේ අප මුහුණ පා සිටින ආර්ථික ගැටලුවලට මෙවැනි සංස්කෘතික හැසිරීම් බලපා ඇත්තේ කෙලෙසින් ද යන්න ද අප විසින් හඳුනාගත යුතු වෙයි.

ඉහළ ධුරවල සිටින අය ලබාදෙන නියෝග පිළිගැනීමට ඇති නිසග අකැමැත්ත නිසා බොහෝ ආර්ථික වගකීම් අප අතින් මග හැරෙයි. නිසි කලට, නිසි අයුරින් ඒවා ඉටු නොවෙයි. මෙම මිනිස් තීරණ ආර්ථික සාධනයට බලපායි. බොහෝ ආයතන තුළ අකාර්යක්‍ෂමතාව රජ කරන බවට චෝදනා කෙරෙනුයේ මෙම සංස්කෘතික හැසිරීම නිසි පරිදි වටහා නොගැනීමෙනි.

යම් සංස්කෘතික හැසිරීම් ඇති රටවල පවතින ආයතනික ක්‍රමවේද එයට වෙනස් සංස්කෘතික හැසිරීම් රජ කරන සමාජයකට නො ගැලපෙයි. යම් යම් රටවල එම ක්‍රමවේද සාර්ථක වී ඇත්තේ ඒවා ඔවුනගේ සංස්කෘතික හැසිරීම් සමඟ හොඳින් ගැලපෙන බැවිනි. සංස්කෘතික සාධක නො සළකා එම ආයතනික ආකෘති එ ලෙසින් ම වෙනත් සංස්කෘතික හැසිරීම් ඇති රටවල ක්‍රියාත්මක කළ නො හැකි ය.

එහෙයින් අප විසින් සිදු කළ යුත්තේ අපගේ සංස්කෘතික හැසිරීම්වලට ගැලපෙන ආයතනික ආකෘති, කළමනාකරණ ක්‍රම සහ ආර්ථික නිෂ්පාදන මාදිලි හඳුන්වාදීම ය. මේ අරභයා අප විසින් මුලින් ම කළ යුත්තේ අපගේ සංස්කෘතික හැසිරීම් නිසි පරිදි හඳුනාගැනීම ය. සියලු ම ආයතනික ආකෘති, කළමනාකරණ ක්‍රම සහ නිෂ්පාදන මාදිලි අප විසින් ම නිර්මාණය කරගත යුතු බවක් මෙයින් අදහස් නො කෙරෙයි. සමාන සංස්කෘතික ඇගැයීම් ඇති රටවල ක්‍රම කෙරෙහි ද අපගේ අවධානය යොමු කළ හැකි ය. අපට ගැලපෙන ක්‍රමයක් වෙනත් මූලයකින් ලබාගත හැකි විටෙක එවැන්නක් නැවතත් මුල සිට ම නිර්මාණය කිරීම අනුවණකමකි.

කවර ආකාරයකින් වුව ද, අප කළ යුත්තේ අපගේ සංස්කෘතික හැසිරීම්වලට සරිලන ආයතනික ආකෘති, කළමනාකරණ ක්‍රම සහ නිෂ්පාදන මාදිලි භාවිතයට එක් කිරීම ය. කාර්යක්‍ෂමතාව යනු උක්ත කාර්යයන් සංස්කෘතික ඇගැයීම් සමඟ මනා ලෙස සුසරකිරීමෙන් අත්පත් කරගත හැකි ඵලයක් විනා එයින් බාහිර උපක්‍රමවලින් දිනාගත හැකි දෙයක් නොවේ. මේ අරභයා යම් ආකාරයක මගපෙන්වීමක් සිදුකිරීම ද මෙම ප්‍රවාදයෙන් සිදු කෙරෙයි.

අපගේ සංස්කෘතික ඇගැයීම් සමඟ මැනැවින් ගැලපෙන ආර්ථික ක්‍රම සහ නිෂ්ටාවන් විසින් බිහිකරනුයේ බෞද්ධ ජනරජයේ පොදු අරමුණු සාක්‍ෂාත් කරගත හැකි පරිසරයකි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress