බර්ටි දිසානායකයානන්ගේ 08 වැනි ගුණ සමරු පිංකම
Posted on September 22nd, 2021

තිසර සමල් – එප්පාවල

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී  සයවසරක් ගත වීම නිමිත්තෙන් අභාවප්‍රාප්ත බර්ටි  ප්‍රේමලාල් දිසානායක මහතාට පිං අනුමෝදන් කරමින් මේ මස 26   හා  27 දෙදින සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව අවම ජන සහභාගීත්වයකින් බර්ටි දිසානායක 08 වැනි ගුණානුස්මරණ පිංකම් මාලාව සංවිධානය කර ඇත.

 සැප්තැම්බර් 27 වැනි දිනට බර්ටි  දිසානායක මහතා අභාවප්‍රාප්ත වී අට වසරක් ගත වීම නිමිති කර ගනිමින්  බර්ටි දිසානායක මහතාට පිං පෙත් අනුමෝදන් කරමින් 08 වැනි ගුණ අනුස්මරණ පිංකම් මාලාවක් සංවිධානය කර ඇත.ඒ නිමිත්තෙන්  26  වැනි දින රාත්‍රියේ අනුරාධපුර මිරිසවැටිය විහාරස්ථානයේදී මිරිසවැටිය චෛත්‍යරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් විසින්  ධර්ම දේශනයක් පැවැත්වීමට නියමිත අතර,පසු දින (27) බර්ටි දිසානායක මැතිතුමන්ගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේදී මහා සංඝරත්නය උදෙසා දානය පූජා කිරීමට නියමිතය. ඊට අමතරව සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කළ දානය අටමස්ථානය ඇතුළු විහාරස්ථාන කීපයක ස්වාමීන් වහන්සේලා උදෙසා එම විහාරස්ථාන වෙතම ගෙන ගොස් පූජා කිරීමටද නියමිතය.

මීට අමතරව බර්ටි දිසානායක මැතිතුමන්ගේ 08 වැනි ගුණානුස්මරණය වෙනුවෙන්  27 වැනි දින අනුරාධපුර ගුවන්තොටුපල පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ලේ දන්දීමේ පිංකමක්ද, ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට ජංගම දුරකථන නොමැති අඩුආදායම්ලාභී පවුල් 50 ක පාසල් දරුවන් 50 දෙනෙකු වෙත ස්මාර්ට් ජංගම දුරකථන ලබා දීමටද නියමිතය.මෙම සියලු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතය.

උතුරු  මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන්ද, කැබිනට් අමාත්‍යවරයකු , නියෝජ්‍යය අමාත්‍යයවරයකු ලෙසින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දිගුකාලයක් සේවය කළ කෘතහස්තදේශපාලඥයකු වූ  බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා  2013 වර්ෂයේ සැප්තැම්බර් මස 27 වැනි දින අභාවප්‍රාප්ත විය.

 1954 ජූලි මස 15 වැනි දින උපත ලැබූ බර්ටි දිසානායක මහතා අභාවප්‍රාප්ත වන විට   59 වැනි වියෙහි පසු විය.සිරිමාවෝ බංඩාරනායක මැතිනියගේ මග පෙන්වීම යටතේ බර්ටි දිසානායක මහතා1972 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූයේ  හබරණ නගර සභාවෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමිනි.1989 මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය  නියෝජනය කරමින් ඒ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය. සමාජ සේවා අමාත්‍ය ධුරය හා කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ධූරයද දරනු ලැබූ බර්ටි දිසානායක මහතා  1999 වසරේ සිට 2012 වසර දක්වා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යයවරයා ලෙස වසර 13 ක්  තෙවරක්ම කටයුතු කළේය. බර්ටි ප්‍රේමලාල් දිසානායක  මහතා සිව්දරු පියෙකි.

බර්ටි දිසානායක මහතා වර්තමාන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ධූරය හොබවනු ලබන සූර්ය බල සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය රී දුමින්ද දිසානායක මහතාගේ පියාණන් වන්නේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress