අනුරාධපුර දිස්ත්‍රික්කයෙ පෙරිමියන්කුළම, ගල්කඩව ප්‍රදේශයේ මිරිස් , වම්බටු හා බඩඉරඟු ඇතුළු ගොඩ භෝග වගාවන් කාබනික පොහොර යෙදූ පසු, එම කාබනික පොහොර හරහා දිලීර රෝගයක් බෝ වී වගාවන් විනාශවේ
Posted on December 3rd, 2021

තිසර සමල් – අනුරාධපුර

අනුරාධපුර දිස්ත්‍රික්කයෙ පෙරිමියන්කුළම, ගල්කඩව ප්‍රදේශයේ මිරිස් , වම්බටු හා බඩඉරඟු ඇතුළු ගොඩ භෝග වගාවන් රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් කාබනික පොහොර යෙදූ පසු, එම කාබනික පොහොර හරහා දිලීර රෝගයක් බෝ වී වගාවන් විනාශ වන බවට ලැබුණු තොරතුරකට අනුව ඒ පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අදාළ ගොවි බිම් නිරීක්ෂණය කරනු ලැබීය.

අනුරාධපුර, පෙරිමියන්කුළම, ගල්කඩවල ප්‍රදේශයේ වම්බටු හා මිරිස් වගා බිම් කීපයක් මෙන්ම ගොවීන් විසින් සැකසූ කොම්පෝස්ට්ද අමාත්‍යයවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක් විය.

එහිදී ගොවීන් අමාත්‍යයවරයාට පෙන්වා  දෙනු ලැබුවේ වසර ගණනක් විශාල ලෙස ආදායම් ලබා ගත් තම ගොවිබිම් වලින් මෙවර ආදායම් ලබා ගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි. රසායනික පොහොර නොමැතිකම නිසාවෙන් කාබනික පොහොර යෙදූ පසු තම වගාවන්ට දිලීර රෝගයක් වැලඳුන බවත්, වගාවන් වල පත්‍ර කහගැසී පත්‍ර හැකිලී යන බවයි. රසායනික දිලීර නාශක වෙළඳපොල තුළ නොමැති වීම හේතුවෙන් මේ වන විට තම වගාවන්ට යථා තත්වයට පත් කර ගත නොහැකිව වගාවන් අත්හැර දැමීමට සිදුව ඇති බවත් ගොවීන් එහිදී පෙන්වා දුන්හ.

පසුගිය මාස් කන්නයේත් අදාළ භූමියේ රසායනික පොහොර යොදා වගාවන් සාර්ථකව සිදු කළ බවත්,මෙවර කොම්පෝස්ට් යොදා ගනිමින් වගා කිරීම හේතුවෙන් පැළ මලානික වූ බව ගොවීන් පෙන්වා දුන්හ.නැවත එම වගාවන් සාර්ථක කර ගැනීමට රසායනික පොහොර 50% ක් හෝ යෙදිය යුතු යැයිද ගොවීන් පවසති.

ලක්ෂ 30 ක් විතර අක්කර 4 කින් බටු වගාවකින් අපි ගත්තා, අපි රසායනික යූරියා පොහොර දවස් 20 න් 20ට මිටි 07 ක් විතර අක්කර 04 ට දැම්මා.ඒ විතරක් නෙමෙයි බටු වලට එන කෘමිහානි වලක්වන්න ගහන කෘමිනාශක දැන් නෑ, ඒ නිසා බටු වල පණුවෝ හැදිලා දැන්,ඒ නිසා මේ වගාවෙන් දැන් ආදායමක් ගන්න බෑ දැන්.වැස්සත් එක්ක කාබනික පොහොර වල සංඝටක වැඩි වෙලා මෙහෙම වෙන්න ඇත්තේ කියලා අපි හිතනවා.දැන් මේ වගාවට මාස 02 ක් වෙනවා, සාමාන්‍යයෙන් මේ ගහක් රසායනික පොහොර යෙදුවා නම් අඩි 03 ක් විතර ඉස්සිලා තියෙන්න ඕන, නමුත් කාබනික පොහොර දැම්ම මේ වගාවේ ගස් හැදුනේ නෑ.රත්තරන් බඩු උකස් කරලා පවා වගාව කලේ, දැන් ඉතින් වගාව අතාරින්න වෙලා තියෙන්නේ.මේ අවට බඩඉරඟු අක්කර 150 ක් විතර තියෙනවා ඒවා ගොවියෝ අතෑරලා තියෙන්නේ,අක්කර 47 යි වගා කරලා තියෙන්නේ යැයි ගොවීන් පැවසූහ.

තවද කෘඹිනාශක වල් නාශක ඉතා ඉහළ මිලකට අලෙවි වන බවද , වගාවන් රැක ගැනීමට එක එක වර්ගයේ කෘමිනාශක යොදන බව ගොවීන් පැවසීය.

 දියර පොහොර වලින් මේ වගාවල් කරන්න බෑ, මේ දවස් වල දවස පුරාම වහිනවා, දියර පොහොර හේදිලා යනවා.හැබැයි පසට දැම්මාම වැස්සත් එක්ක ඒක ගහට උරා ගන්නවා.තවත් සතියකින් හරි රසායනික පොහොර ටිකක් ලැබුනොත් අපිට මේ වගාවන් ගොඩදාගන්න පුලුවන්, දැන් අපි කරකියා ගන්න දෙයක් නැතිව ඉන්නේ  යැයිද ගොවීන් එහිදී අමාත්‍යයවරයාට පැවසීය.

අදාළ වගාවන් යථා තත්වයට පත් කර ගැනීම සඳහා ඉහළ නිළධාරීන් දැනුම්වත් කර  කඩිනමින් අවශ්‍යය කරන පොහොර හා කෘමි නාශක,වල් නාශක ගෙන්වා ගැනීමට අවශ්‍යය කටයුතු කර දෙන ලෙස කෘෂි පර්යේෂණ නිළධාරීන්ට එහිදී අමාත්‍යයතුමන් උපදෙස් ලබා දුන්හ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress