DCDකිරි පිටි, අයිස්ක්‍රීම් දන්සල් බවට පත්වීම කණගාටුවට කරුණක්
Posted on July 19th, 2014

පෝෂණ පාගමන අවසානයේ ඇමති චම්පික කියයි. මාධ්‍ය අංශය, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය,

ජූලි මාසය, පෝෂණ මාසය ලෙස නම් කිරිමත් සමග ජාතික පෝෂණ ලේකම් කාර්යාලය සහ කාර්මික තාක්ෂණ ආයතනය(ITI) ඒකාබද්ධව රට පුරා විවධ වැඩසටහන් සංවිධාන කලේය. පෝෂණය හා නිරෝගීකම පිළිබඳව මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් නිරෝගී පරපුර රටේ ශක්තියයි” තේමා කරගත් පාගමනක් අද (19) උදෑසන 7.20ට කාර්මික තාක්ෂණ ආයතනයෙන් ගමන් ඇරඹීය. මේ අවස්ථාවට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය චම්පික රණවක මහතා ඇතුළු වෘත්තීයවේදින් සහ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වල නිලධාරින් ද ඇතුළු 800ක පිරිසක් සහභාගි විය.

පෝෂණ පාගමන අවසානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේ අපේ අතීත ආහාර සුරක්ෂිතතාව නැවතත් අප අත්පත්කරගත යුතු බවයි. අදවන විට විශාල විදේශ ආහාර වෙළෙඳපොළක් රට තුල නිර්මාණය විමෙන් හඳුනානොගත් බොහෝ ලෙඩ රෝග සේම පිළිකා ආශ්‍රිත රෝගීන් ප්‍රමාණය ද දිනෙන් දින ඉහළ යන බව සඳහන් කළේය. කිරි පිටි, සීනි, තිරුගු පිටි, අරක්කු, සිගරට් සහ පළතුරු අනවශ්‍ය ප්‍රමාණයන්ගෙන් රටට ආනයනය කිරිම හේතුවෙන් අනවශ්‍ය පරිභෝජන රටා සේම අනිසි ආර්ථික ප්‍රතිඵලද රටට අත්විදිමට සිදුවන බව අමාත්‍යවරයා පවසයි.

ITI ආයතන විසින් පසුගිය වසරේ කිරි පිටි ආශ්‍රිතව කල පර්යේෂණ වලදි නවසීලන්තයෙන් ආනයනය කල කිරි පිටි  විශේෂයක DCD අන්තර්ගත බවට තහවුරු කලේය. ඒ සමගම එම අදාල පිටි ‍තොග වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස අදාල සමාගමට දැනුම් දුන්නද, එම කිරිපිටි වක්‍රකාරයෙන් නැවතත් මහජන පරිභෝනයට එක් කිරිමට කටයුතු කර ඇත. පසුගිය පොසොන් පොහොය කාල සීමාවේදි රට පුරා පැවැත්වු අතිවිශාල අයිස්ක්‍රිම් දන්සල් ප්‍රමාණයෙන් බහුතරයක බෙදාදී ඇත්තේ DCD ආශ්‍රිත කිරිපිටි වලින් නිශ්පාදිත අයිස් ක්‍රිම් බව  ITI ආයතනය තහවුරු කර ඇත. ඒ පිලිබඳ පර්යේෂණ වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර ඇති බවද  අමාත්‍ය චම්පික රණවක පවසයි. පොඩ්ඩන්ට සහ ලොක්කන්ට නීතීය දෙවිදිහියකට ක්‍රියාත්මක වීමෙන් අනිසි ප්‍රතිවිපාක අත්විදීමට සිදුවී ඇත්තේ මහජනතාවටයි. ඉදිරියේදි එවන් තත්ව ඇතිවීම වැළැක්වීමට වගකිව යුතු පාර්ශව හා නීතීය ක්‍රියාත්මක වියයුතු බවද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කර සිටියේය.

රට තුල දේශිය ආහාර, ආහාර චාරිත්‍ර සහ පවතින ආහාර රටා දියුණු කරගනිමින් යහපත් පෝෂණ ක්‍රමවේද ඇති කරගන්නේ කෙසේද යන්න හඳුනාගන්නට මෙම ප්‍රදර්ශණය සහ ආහාර පොළ ඉවහල් විය.  පෝෂණ පාගමනට අමතරව පැවති ආහාර පොළ හා ආහාර තාක්ෂණ පිළිබඳ විශේෂ ප්‍රදර්ශණයේදි වස විසෙන් තොර දේශිය එළවළු, පළතුරු හා විවිධ දේශිය නිශ්පාදන මිලදී ගැනිමට අවස්ථාව සලසා තිබිණ. දේශිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා සේම ඉහළ ව්‍යවසායකයාටත් ලබාගත හැකි ආහාර තාක්ෂණික ක්‍රම හා පර්යේෂණ අවස්ථා ලබා දීමට කාර්මික තාක්ෂණ ආයතනය කටයුතු කරයි. ඒ සඳහා ඉහළ වෘත්තිය හා තාක්ෂණ ශඛ්‍යතාවක් ITI සතු බවද ඇමති චම්පික පෙන්වා දෙයි. තවත් කෙටි කාලයක් තුල කලාපයේ තිබෙන ඉහළම විද්‍යාගාර පහසුකම් සහිත අංග සම්පුර්ණ ගොඩනැගිලි සංකීර්ණයක් ITI සතුවන අතර, ඒ තුල දැනට රටේ වැඩි වශයෙන් භාවිත නොවන ජීව තාක්ෂණය උපරිමයෙන් පර්යේෂණයට ලක් කිරිමට සැලසුම් කර ඇත. මාලඹේ ඉදිවන නව රසායනාගාර සහ විද්‍යාගාර සංකීර්ණයයේ   පහසුකම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඕනෑම අයෙකුට එක හා සමානව ලබාගත හැකි බවද අමාත්‍ය චම්පික රණවක මහතා මෙම අවස්ථාවේදි ප්‍රකාශ කර සිටියේය.  මෙම මාධ්‍ය සාකච්ඡාවට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජයතිලක මහත්මිය, ITI ආයතනයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම සහ පෝෂණ ලේකම් කාර්යාලයේ ප්‍රධානී වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස යන අය සහභාගි විය.

One Response to “DCDකිරි පිටි, අයිස්ක්‍රීම් දන්සල් බවට පත්වීම කණගාටුවට කරුණක්”

  1. HelaPutha Says:

    ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම මෙසේ කියන්නේ මහජනයාට කුමක් කරන්නද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress