සිංහල බෞද්ධයාට අබ සරණද?
Posted on January 8th, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

2015 හදිසි ජනාධිපති මැතිවරණයට පසුව සිංහල බෞද්ධයාට අත්‌වන කලදසාව කුමක්ද? ඔවුන් නැවතත් අතරමං වෙන්නට පුළුවන්ද? කවුරු දිනුවත් නැතත් (දුප්පත් කතෝලිකයින් නොව), කොළඹ කාඩිනල් නම් දැනටමත් දිනා ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ සිංහල බෞද්ධයින්ට කල වෙනස්කම් හිතට කාවදින ලෙස සිංහල ජනයාට පෙන්වා දුන්නේ බොදු බල සේනාවය. මහින්ද හා දි මු ජයරත්නලා යුරෝපීකරණයට ලක්‌වූ කළු සුද්දන් අනුව යමින් බහු ජාතික, සර්‍වාගමික බට්ටන් වූයේ, අතීතයේ බණ්ඩාරනායක හා ජේ ආර් ජයවර්‍ධනලාගේ තරුණ පරම්පරාව නැවත බෞද්ධාගම වැළඳගත් (ඩොනමෝර් බෞද්ධයින්-සර්‍ව ජන චන්දය) ආකාරයටම, හුදෙක් මුස්ලිම් හා දෙමල චන්ද ගරා ගැනීම උදෙසාද යන සැකය දැන් සනාථ වන්නේ මේ මැතිවරණය සිංහල ජාතිවාදය අවුස්සා දිනාගන්නට මහින්ද දිනවීමේ බර කරට ගෙන සිටින විමල් වීරවංශ මහතා බෙරිහන් දෙන ආකාරය නිසාය.

2010 දීත් 2015 දීත් පොදු අපේක්‍ෂකයෙකු අවශ්‍යවූයේ රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධය කාලයේ කල කී දේ නිසා ඔහුට මහින්දව පැරදවීමට නොහැකිබව ඔහු දන්නා නිසා මිස ඔහු නූතන වෙස්සන්තර කෙනෙක් වීම නිසා නොවේ. 2005 දී ඔහු නොදිනුවේ ඔහු දෙමල ජාතිවාදයට, රට බෙදීමට, ක්‍රියාකරන කෙනෙක් ලෙස සිංහල බෞද්ධ ජනතාව තුල හංවඩු ගැසී තිබුණ නිසාය. ප්‍රභාකරන්ගේ චන්ද වර්‍ජනය, සිංහල චන්දවලින් නිෂ්ප්‍රභා කරගන්නට ඔහුට නොහැකිවිය. අනිත් අතට මහින්ද ශූක්‍ෂම ලෙස ඔහුව ඇමිණී තිබුන පීටොම් ලනුව ලිහා ගත්තේය (රතන හාමුදුරුවන් කියන අන්දමට මහින්ද, චන්ද්‍රිකාගේ පීටොම් පාර හොර රහසේ තදින්ම අනුමත කල කෙනෙකි). සෝම හාමුදුරුවන්ගේ දායාදය හොරකම්කර ගන්නට ඔහු සමත්‌විය. 2010 දී යුද ජයත්,  දැන් 2015 දී යුද්ධය තාම ඉවරවෙලා නෑ යන හිඟන්නාගේ තුවාලයකුත් ඔහු පාවිච්චි කිරීමට සිතයි.

මහින්ද පැරදවීමට නම් කොලපාට පක්‍ෂයේත්, සිංහල බෞද්ධයින්ගේත් එකතුවීමක් අවශ්‍යවිය. මේ බව හොඳින් තේරුම්ගත්තේ කුමාර් ඩේවිඩ් නම් ද්‍රවිඩ, මාක්ස්වාදී, ක්‍රිස්තියානී, කොළඹ වසන, ඉංග්‍රීසි කතාකරන ඉංජිනේරු කළු සුද්දාය. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් මගින් ජනාධිපතිධූරය නැති කිරීම ඔහුගේ යෝජනා කලේ මේ නිසාය. මෙහිදී හාස්‍යජනක කාරණය නම් හාමුදුරුවරු දේශපාලනයට ඒම මේ කොටස් දැඩි ලෙස විවේචනය කල නිසාය. නමුත් බොදු බල සේනාව විසින් සිංහල බෞද්ධයාට සිදුවන හිරිහැර, වෙනස්කම්, අසාධාරණකම් හා කෙනෙහිලි පෙන්නා දෙමින්, ගංගොඩවිල සෝම හාමුදුරුවන් මෙන් බණ මඩු වල සිට නොව ප්‍රසිද්ධ වේදිකාවලට නැග කල ඝර්‍ජනාවල ප්‍රතිපලයක් වශයෙන් ලැව් ගින්නක් සේ සිංහල බෞද්ධ බලවේගයක් රට පුරාම ඇතිවිය. මේ නිසා කුමාර් ඩේවිඩ්ලාට කපන්න බැරි අත සිඹීමට සිදුවිය. තමා සිතූ ආකාරයට අකුරටම ප්ලෑන සිදුනොවන විට ඒ ගැන කනස්සල්ල පලකල ප්‍රථමයාද ඩේවිඩ් ය. චම්පික භූමිකාව ඔහුට ප්‍රශ්නයක් විය.

උපතින් ක්‍රිස්තියානී, උග්‍ර බොදු බල සේනා විරෝධී, එහෙත් අවංක පුද්ගලයෙකුවන රජීව විජේසිංහ මහතා කියන්නේ බොදු බල සේනාව රජයට සම්බන්‌ධය කියාය. එසේ නම් නොසිතූ ආකාරයට එය රජය ආමාරුවේ වැටීමට හේතුවක්ද විය.  හාමුදුරුවරු දේශපාලනයට ඒම නෝත් හා බ්‍රවුන්‍රිග් ආණ්ඩුකාරයින්ගේ කාලයේ සිටම සුද්දන්ට හා කළු සුද්දන්ට තිබුණ හිසරදයකි. මේ රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අවුරුදු 2600ක්ම රැකගත්තේ හාමුදුරුවරුය.  දුටුගැමුණු රජු හා ඔහුගේ සහෝදරයා අතර ගැටුම විසඳුවේ පන්සලක ඇඳක් යටය. බොදු බල සේනාව, බුද්ධාගමේ අවිහිංසාව, මධ්‍යම ප්‍රතිපදාව, ජීවිතයේ අනිත්‍යබව, කොටින්ම කියනවා නම් චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්‍ගය අනුගමනය කරන ව්‍යාපාරයකි. මේ නිසා එය තහනම් කිරීමට කිසිම රජයකට නීත්‍යානුකූලව නොහැකිය. සිවුරේ බලය නිසා එය පොලිස්බලය යොදා මැඩලීමටද නොහැකිය. යම් යම් හාමුදුරුවරුන් ඉත්තන් ලෙස බිලිබා ගැනීම හැම කළු සුදු අගමැති කෙනෙක්ම, ජනාධිපති කෙනෙක්ම කලත් සංඟ සමාජය හා සිංහල බෞද්ධයා යනු ගහට පොත්ත වැනි බද්ධවීමකි.

මෙවැනි පසුබිමක් යටතේ කොලපාට හා සිංහල බෞද්ධයින් එකතු කිරීම, ජනාධිපතිධූරය අහෝසිකිරීමෙන් ඔබ්බට යන ව්‍යාපාරයක් කර ගැනීමට නොයෙක් අය සිතුවා විය හැකිය. විශේෂයෙන් ජාතික හෙළ උරුමය ඊට එක්‌වීම අනපේක්‍ෂිත සිද්ධියක් විය. යම් ක්‍රියාවලියක් ආරම්භ කලවිට එය ඉදිරියට රෝල්වී යෑම මුලින් නොසිතූ ආකාරයකට සිදුවිය හැකිය (අවුට් ඔෆ් ක්න්ට්‍රෝල්). මේ අනුව කොලපාට හා නිල්පාට එකතු කල හැකිද යන අදහසක් මතුවිය. මෙය චන්ද්‍රිකාගේ සැලැස්මක් විය යුතුය. එය ක්‍රියාත්මක කලහැකිවූයේ මහින්ද විසින් පාර්ලිමේන්තුවේ නිල්පාට මන්ත්‍රීන්ට සලකා ඇති  අශොභන ආකාරයත්, බණ්ඩාරනායක නම පක්‍ෂයෙන් ඉවත්කිරීමට ගත් තැතත් නිසා මේ මන්ත්‍රීන් බලවත් මානසික ආතතියකින් පසුවුන නිසාය. මේ අනුව නිල් පක්‍ෂයේ අවුරුදු 47 ක් සිටි එහි ලේකම් කඩාගෙන ඒම 2015 හදිසි මැතිවරණය උඩු-යටිකුරු කලේය.

නිල් හා කොල පක්‍ෂ දෙකේ මේ බලාපොරොත්තු නොවූ එකමුතුවීම ලංකාවට මේ චන්දයෙන් ලැබුණු වෙස්වලාගත් භාග්‍යයකි. මෙතෙක් කල් තිබුනේ නිල් රතු මඟුල් ගෙවල් පමනය. නිල් කොල එකතුවූ විට බහු ජාතික පිස්සුව හෝ සර්‍වාගමික පූට්ටුව නැතිව අවංකව ක්‍රියාකිරීමට හොරගල් අහුලමින් ඉන්නා දේශපාලකයින්ට ඉඩක් ලැබේ (නිල් කොල එකතුවකට 1975 දී පමන ජේ ආර් ද කැමැත්තෙන් සිටියේය). උදාහරණයක් වශයෙන් රනිල් හා චන්ද්‍රිකා නොයෙක් දෙමලට පක්‍ෂග්‍රාහි වැඩ කලේ දෙමල චන්ද ලබාගැනීමට මිස ඔවුන් ලංකාවේ මහත්මා ඝාන්ධිලාවූ නිසා නොවේ. සිංහල චන්දවලින් පමනක් බලයට ඒමට ලංකාවේ තවමත් ඉඩ ඇතිබව නිල් කොල එකතුවෙන් පෙනී යයි

මේ නිල්-කොල-බෞද්ධ (චම්පික රණවක) එකතුව නිසා කාරණා දෙකක් ඔප්පු විය. එකක් නම් දෙමල හා මුස්ලිම් ජාතිවාදී ප්‍රධාන පක්‍ෂ දෙක බිමට වැටීමයි.  පොදු අපේක්‍ෂකයාගේ කූඩාරමට කෙසේ හෝ ඔළුව දමා ගැනීමට ඔවුන්ට සිදුවිය. ඔවුන්ගේ පස්සේ යාමට මෛත්‍රීපාලට අවශ්‍ය නොවීය. එපමනක් නොව අතරමංවී සිටිනා මනෝගනේෂන්, වික්‍රමබාහු යනාදී නොයෙක් කොටස්ද ස්වෙච්චාවෙන්ම මෛත්‍රීපාල කූඩාරමට රිංගාගෙන ඇත. රාජිත, රජිව වැනි බොදු බල සේනා විරෝධීන්ද එහි සිටින්නේ ඔවුන්ටද යා හැකි වෙන පාරක් නැති නිසාය. මේ කොටස් තම කැමැත්තෙන් ඒම නිසා මෛත්‍රීපාල ඔවුන්ගේ අදහස්වලට එකඟවනවායයි කීමට පුළුවන්ද?

මහින්දගේ එකම ගැලවුම්කරුවී සිටින විමල් වීරවංශ කියන්නේ ඒ කතාවය. මේ නිසා ඔප්පුවන දෙවන කාරණාව නම් උතුරු පලාත් සභා චන්දය තිබීමේ සිටම මහින්ද කර ඇත්තේ ප්‍රෝඩාවක් බවය. ඔහු විසින් මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කිසිම ක්‍රියාමාර්‍ගයක් ගත්තේ නැත. ඔහු බෝන්-අගේන් නායකයෙක්සේ හැසිරුනේය. මේ සියල්ල කරaැත්තේ මුස්ලිම් චන්ද බලාගෙනය. ඒ බව එලිවන්නේ දැන් සිංහල චන්ද නැතිව පරදී යන බය නිසා සිංහල ජාතිවාදය මීට පෙර කවදාවත් නොවූ ආකාරයට ඔවුන් කියන වචනයක් වචනයක් පාසාම යොදාගන්නා නිසාය. ඊට පෙර අඩු තරමින් හලාල් ප්‍රශ්නයවත් විසඳන්නට ඔහුට ශක්තියක් නොවීය.

මේ සඳහා විමල් වීරවංශ ගේනා තර්‍ක ඉතාමත් බොලඳ පමනක් නොව ඔහුගේ  ලංකා සයිබර් නම් වෙබ් අඩවියේ පලවන තොරතුරු හා ඒවායේ සිරස්තල පවා පරාජයේ මානසික මට්ටමක් පෙන්වයි.  මෛත්‍රීපාල මහින්ද ඉදිරියේ දෙකට නැමෙනවා, ඔහුට පර්‌සනැලිටි එකක් නෑ, ඔහු රනිල්ට සර් කියනවා, ඔහුගේ මොළේ නරක්‌වෙලා මේවා මීට පෙර චන්ද වේදිකාවල අප නෑසූ කතා නොවේද?  උදාහරණයක් වශයෙන් මිස්ටර් ප්‍රභාකරන් සිද්ධිය බලන්න. ඇන්ටන් බාලසිංහම්ට හිස් එක්සලන්සි කියා ඇමතූ ජී එල් පීරිස් ඉන්නේ ආණ්ඩුවේය. මහින්දම කීපාරක් මිස්ටර් ප්‍රභාකරන් කියා ඇද්ද? එසේ නම් සිංහල ජනයා රැවටීමට මේ කරනදේ හරිද?

දෙමල හා මුස්ලිම් ජාතිවාදීන් මෛත්‍රීපාල බලවේගය ඉදිරියේ දැන් දණ ගසා ඇත. පිට ඉන්නවාට වඩා කූඩාරම ඇතුලේ සිටීම නිසා ඉදිරියේ රට කඩා ගන්නට පුළුවන්වේයයි සිතන අයද ඒ අතර ඉන්නවා නිසැකය. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිය කර හැරීමට  1964 දී සම සමාජ පක්‍ෂය, සිරිමා හා එකතුවුනා වගේ ක්‍රියාවකි. එසේ නමුත් අප මේ දෙස බැලිය  යුත්තේ සිංහලයින් හා එකතුවන හැමදෙනාවම දෙමල ජාති ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූ දෙමල අන්තවාදී මනසක් තිබුනු බව අමතක නොකරය. ජාතික හෙළ උරුමය ආනන්ද සංගාරීට 2001 දී මන්ත්‍රීකමක් පූජා කලේය. ඔහු එය භාරගත්තානම් අද ඔහුගේ ඉතිහාසය කුමක් වන්නට තිබුනාද? 2015 මේ චන්දය සියළුම දේශපාලන කොටස්වල දෙදරීම් පිපිරීම් ඇති කලේය. මෙය රටේ වාසනාවට සිදුවූ දෙයකි. මෙය මහින්දගෙනයන මාර්‍ගයේ වංකභාවය එලිකරන්නාවූද අවස්ථාවකි. සිමෙන්ති හා කොන්ක්‍රීට් වෙනුවට ජන සභා මගින් ජනතාවට බලය පවරාදීම ඔහු පැහැර හැරියේය. ඒ තියා ගැමි දිරිය නම් සාර්‍ථක වැඩසටහනද බකල් කර දැම්මේය.

බොදු බල සේනාව මතුවූයේ මහින්දගේ බෞද්ධ විරෝධී ක්‍රියා පිලිවෙල නිසාය. කතෝලික පල්ලියේ අවුරුදු 2000 ක ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ රාජ්‍ය නායකයෙක් පෝප් ලඟට ගොස් ඔහුට තම රටට එන ලෙස ආයාචනා කල එකම තැනැත්තා මහින්දය. කුරගලට පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීම නතරකලේ ඔහුය. මේවා කර ඇත්තේ සහජීවනයටද? යහපාලන කතාවට මේ ලිපියේදී යාමට අවශ්‍ය නැත. එය තමන්ව යුද අපරාධ සඳහා ගෙන යනවා යන සුරංගනා කාතාවේ කොටසක් නිසාය. තම පුත්තුන්ද මුල්වී රටේ දැන් සිදුවන වල්බූරු යුරෝපීකරණය, බටහිරීකරණය ඉදිරියේ, නීතියේ ආධිපත්‍යය, බල තුලනය, අධිකරණයේ ස්වාධීනත්‌වය යනාදී බටහිර මූලධර්‍මවලට පයින් ගැසීම බටහිර කුමන්ත්‍රණද?

සිංහල බෞද්ධයා කුලප්පු කරවන මේ ව්‍යාපාරය, දෙමල ත්‍රස්තවාදීන් මෛත්‍රීපාල පිටුපස ඉන්නවා කියන කතාව, මහින්දගේම අධූරදර්ශී, හිතුවක්කාර ක්‍රියාවලම අතුරුපලයක් බව බොදු බල සේනාවටවත් වැටහී නැත.  යුද්ධය දිනා ගැනීමේදී ඔහු කන්ඩුල ඇතා පිට නැගි දුටුගැමුණු රජු නොවීය. ඒ සඳහා ඔහුට ලැබෙන කීර්තිය අයුතුලෙස පාවිච්චිකිරීම නුසුදුසුය. එ සඳහා යුදබිමේ සිටි එල්ලේ ගුණවංශ, රතන හාමුදුරුවරු වැනි අය අමතක නොකල යුතුය. සරත් ෆොන්සේකා 2010 දී පුද්ගලික හේතුමත නොමග ගියත් ඔහු යුදවීරයෙක් බව රටම දනී.

2009 මැයි 19 දාට පසුදා මහින්ද කලයුතුව තිබූ දෙයක් නම් සාම ප්‍රකාශනයක් යටතේ 13 සංශොධනය අහෝසි කිරීමයි. ඒ ගැන සුදානම් වියයුතුව තිබුනේ මාස ගනනකට පෙර සිටය. ඒ වෙනුවට ඔහු කලේ බැන්කි මූන්ට හා මන්මෝහන් සිංට, ලංකාවට 13 ඒ ප්ලස්ම දෙනවා කීමය. අවංක හා ඥානවන්ත රජෙක් නම් (මුදවාගත් දෙමල ජනයා ඔහුට ආමන්ත්‍රණය කලේ රජතුමා කියාය) ඔහුට කරන්නට තිබුනේ ජනාධිපතිධූරයේ අපිරිසිදුකම් ඉවත්කිරීම, බලු චන්දක්‍රමය වෙනස් කිරීම, 13 ඒ වෙනුවට ජන සභා ක්‍රමයක් සංස්ථාපිත කිරීම, සිංහල හා දෙමල භාෂා පාසැල්වල අනිවාර්ය කිරීම, මුස්ලිම් අන්තවාදය මර්‍ධනය කිරීම, රටේ අගනුවර රජරටට ගෙනයාමට සැලසුම් කිරීම වැනි දේශපාලන ක්‍රියාය. තිරසර සංවර්‍ධනය, සමාජ අසාධාරණය, සදාචාරය බල්ලාට යාම වැනි කාරනා මේවා හා සම්බන්‌ධ බව සැබෑය. ඔහු මේ කිසිවක් කලේ නැත. ඔහු කලේ එකම දෙයකි. එනම් තමාගේ මල්ල පුරවා ගැනීමය. කොටින් කියනවා නම් බාගෙන කනවා වෙනුවට ඉහගෙන කෑමය. මෙය බුද්ධාගමේ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රතික්‍ෂේප කිරීමකි.

13 අහෝසි කලයුත්තේ, එල්ලේ ගුණවංශ හාමුදුරුවන් 1983 ජූලි මාසයේදී ප්‍රථමවරට ජේ ආර් ට හඳුන්වාදුන් ඒකීය රාජ්‍යය යන සංකල්පය නිසාය. 13 ඒ තිබෙනතාක් ලංකාව ඒකීය රාජ්‍යයක් නොවීමේ තර්‍ජනය පවතී. ඊට හේතුව 13 ඒ පදනම්වූ රජිව-ජේ ආර්1987 ගිවිසුමේ ලංකාවේ උතුර හා නැගෙනහිර ඓතිහාසික දෙමල වාසභූමි ලෙස දක්වා ඇති නිසාය. 13 ඒ අහෝසි කලයුත්තේ එය සිංහලයාට ඇටවූ මර උගුලක් බව (සුදු අලියෙක් යන්න අප නොමග යවයි) ඔප්පුවී ඇති නිසාය. 13 ඒ, කුලය, කුපාඩිකම යනාදිය උඩ දුවන නූගත් දේශපාලන රැලක් බිහිකල නිසාය. 13 ඒ, මහජනයාට නොව දේශපාලන හොරුන්ට, කදිම රන් ආකරයක් බව උතුරු පලාත් සභාවෙන් පවා පෙනී ගිය නිසාය.  13 ඒ, 1832 සිට ඇතිකල කෘතිම මායිම් බෙදීමක් නිසාය. 13 ඒ, රටකැඩීමේ ඉණිමගක් බව විග්නේෂ්වරන් වැනි කොළඹ හැදී, කොළඹින් වරප්‍රසාද ලබා, කොළඹින් තම පුත්තු දෙන්නාට සිංහල ගෑණු හොයාගෙන තාමත් කොළඹ වසන, කෙනාගේ විෂ්මයජනක හැසිරීමෙන් එලි නොවේද? නිතරම සංස්කෘත ශ්ලෝක කියන ඔහු ප්‍රභාකරන් දෙමල කැප්පෙට්ටිපොල බවත් ලංකාවේ දෙමල ජෙනොස්සයිඩ් ඇතිබවත් කියන්නේ මහින්ද ඔහුට පූජාකල පලාත් සභා මහaැමති ධූරය හරහාය. ආර් ප්‍රේමදාස මහතාට සර් කියමින් ඔහුව ගොනාට ඇන්ඳූ  පාස්කරලිංගම්වත් මෙසේ කලේ නැත.

මෙවැනි ඒකීය රට සුරක්‍ෂිත කරන දේවල් කරනවා වෙනුවට දෙමල බෙදුම්වාදයට ලොකුම තෑග්ග දුන්නේ මහින්දය. තුනෙන් දෙකේ චන්දයකින් විග්නේෂ්වරන් දිනන බව දැනදැනත් තමන් උතුරේ චන්දය තිබ්බේ බලය දුන්විට අසාර්‍ථකවන බව තමන් දැන සිටිනිසා යයි දැන් මහින්ද කටමැත දොඩවයි!  ඔහුට පෙර දෙන්නෙක්ම වෙස්සන්තරලා ලෙස ක්‍රියාකර මරණයෙන් හා ඇහැක් ප්‍රදානය කර සිරිසංඝබෝලා විය. විග්නේෂ්වරන් කියන්නේ ඉන්දියාවේ බලකිරීමට මහින්දට චන්දය තැබීමට සිදුවූ බවයි. රාජ්‍යපාලකයින් වශයෙන්, නිදා ඉන්නා රජුගේ ඇඟට වැසූ මැස්සා මැරූ වඳුරා වැනි අය අපට ඕනෑද යන්න වෙනම කතාවකි. නමුත් දෙමල ජනයාට, පෙඩරල් කාරයින්ට, පිටරට ඉන්නා දෙමල බෙදුම්වාදීන්ට ඔලිව් බ්‍රාන්ච් දෙන මහින්ද හදිසියේම විමල් ගෝලයා ලවා අන්ත ජාතිවාදී ලෙස, සිංහලයා රැවටීමේ ව්‍යාපාරයක් ගෙනයන්නේ කොහොමද?කේපී ගෙන් හා කරුණා ගෙන් ගෝඨාභය ගන්නා සේවය ඉතාමත් හොඳය. නමුත් චම්පික වැනි අය පවා ඒ ගැන නෙගටිව් කතා කියන්නේ විමල් විසින් කරනා කැත කතා ඒ තරම්ම යමෙකුගේ මනවිකල් කරවන සුලු නිසාය.

සිංහල බෞද්ධයාට අබ සරණද කියා අසන්නට සිදුවී ඇත්තේ බොදු බල සේනාව විසින් බෞද්ධ බලවේගය දෙකට කැඩූ නිසාය. මේ චන්දයට පසුව, මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී සිංහල බෞද්ධයා නිල්-කොල යටතේ එකතුවේද, නැත්නම් තුන්වන බලවේගයක් වශයෙන් චන්ද්‍රිකා-රනිල්-රාජිතලා දමනය කරයිද යන්න දැන් පැහැදිලි නැත. එසේ නැත්නම් එක්කෝ හෙළ උරුමය (චම්පික) නැත්නම් බොදු බල සේනාව (ඥානසාර හිමි) දියවී යයිද? බොදු බල සේනාවට පක්‍ෂව නිතරම ලියූ කෙනෙක් වශයෙන් බොදු බල සේනාවේ තර්‍කය පිලිගැනීමට මට නොහැකිය.

සියළුම ඒකීය රාජ්‍ය විරෝධී කොටස් (ඒකීය රාජ්‍ය විරෝධී යනු බෞද්ධ විරෝධීද වන්නේ ඒකීය රටක් නැත්නම් බුද්ධාගමක්, සිංහල ජාතියක් ඉතිරි නොවන නිසාය) මෛත්‍රීපාල සමග සිටින නිසා, තමන් රට බේරාගන්නට මහින්දට සහාය දෙනවා කීම විචක්‍ෂණ බුද්ධියට පටහැනිය. මෙසේ කීමට හේතු රාශියකි. බොදු බල සේනාවේ හතුරන් වන රාජිත, රජීව වැනි අය අවුරුදු දහයක්ම සිටියේ මහින්ද සමගය. මුස්ලිම් කට්ටියද සිටියේ ඔහු සමගය. මේ නිසා ඔවුන් මහින්දට ටටා කී වහාම ඔවුන් ඔවුන් මහින්දගේත් රටේත් හතුරන් වන්නේ කෙසේද? බුද්ධාගම හා රට බේරා ගන්නට බොදු බල සේනාව විභව සටනක් කලේ මහින්දගේ ක්‍රියාකලාපයට විරුද්ධව නොවේද? රජීව විජේසිංහට අනුව මහින්ද සිතුවේ බොදු බල සේනාව ඇමෙරිකන්-නොර්වීජියන් හස්තයක් කියාය. එසේ නම් බොදු බල සේනාව මහින්ද බේරාගන්නට ඉදිරිපත්‌වන්නේ කෙසේද? බොදු බල සේනාව කර ඇත්තේ ටී එන් ඒ, මුස්ලිම් කොටස් දෙක මෙන්ම ආරාධනාවක් නැතිව කූඩාරමකට ඇතුල්වීමක් නොවේද?
අතීතයේදී චන්ද්‍රිකා හා රනිල් ක්‍රියාකල ආකාරය ඉදිරියේදී වෙනස්වීමට ඉඩක් නැද්ද? ඔවුන් පරණ සෙල්ලම මෛත්‍රීපාල හරහා කරන්න යනවා කියා සිතෙනවා නම් කලයුතු හොඳම දෙය සිංහල බෞද්ධ බලය ශක්තිමත් කිරීම නොවේද? චන්දයට පෙර චම්පික ගැන ඉතාමත් පැහැදී සිටි ඥානසාර හාමුදුරුවන් හිටිහැටියේම ඔහුව විවේචනය කරන්නේ ඇයි?

බොදු බල සේනාව පැත්තක් නොගෙන නිහඬව සිටියා නම් හෝ ජාතික හෙළ උරුමය හා එක්‌වූවානම් මෛත්‍රීපාලට ඒ මගින් බලවත් ශක්තියක් ලැබීමට ඉඩ තිබුණි. ඉදිරියේදී වුවත් මෛත්‍රීපාලව චන්ද්‍රිකා-රනිල් ගෙන් බේරාගැනීමට අවශ්‍යවෙනවා නම් එය කල හැකි හොඳම විධිය මෛත්‍රීපාලට ලැබෙන සිංහල බෞද්ධ සහාය තවතවත් ශක්තිමත් කිරීමෙනි. ටී එන් ඒ පක්‍ෂයතුල නොයෙක් බෙදීම් තිබේ. ටී එන් ඒ දෙමල හතුරෙක් කියා විමල් වීරවංශ කරන කතා බුද්ධාගමට පටහැනිය. අංගුලිමාල දමනයක් ගැන අප සිතිය යුතු නැත. එසේ වෙතත් අරුන් තම්බිමුත්තු, ජෙයරාජ් ෆනැන්ඩුපුල්ලේ, ලක්‍ෂ්මන් කදිරගමාර් වැනි දෙමල නායකයින්ද රටේ සිටින බවත්, ටී එන් ඒ එක වෙනස් කල හැක්කේ ඔවුන් හා සංවාදයක් හා ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට ක්‍රියා කිරීමෙන් නොවේද? දෙමල-සිංහල ගැටුම කොළඹ කළු සුද්දන් හා ලෝකයේ හා ලංකාවේ ක්‍රිස්තියානි පල්ලිය විසින් ඇතිකල එකක් නොවේද?

මෙම චන්දයේදී 13 ඒ ගැන දෙපක්‍ෂයම නිහඬය. මහින්ද 13 ඒ නැති කරන්නේ නැතිබව දැන් පැහැදිලිය. මෛත්‍රීපාල ඒ ගැන නිහඬව සිටීම තේරුම්ගත හැකිය. කොලපාට පක්‍ෂය ඒ ගැන තීරනයක් ගෙනෙ නැති නිසාය. 13 ඒ අහෝසිකරනවා නම් ඒ වෙනුවට ජන සභා පිහිටුවා ජනතාවට ගම් මට්ටමින් බලය පවරා දියයුතුය. මේ සඳහා දැනට පවතින, ප්‍රේමදාස විසින් 4,000 සිට 14,000 දක්වා කිසිදු පදනමක් නැතිව වැඩිකල ග්‍රාම සේවා වසම් සංඛාව, පරිසර නිරණායක අනුව මායිම්කර නැවත හඳුනාගත යුතුය.  එය 4,000 කට අඩු හෝ වැඩි විය හැකි නමුත් 14,000ක් නම් නොවේ. එවිට අපට ඉකොලොජි අනුව සදාගත් සිවිල් පාලන වසම් ලැබේ. අතීතයේ සිට තිබූ ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වය මෙවැනි ඉකොලොජි ඒකකයකි (නිව්සීලන්තයේ නම් සිවිල් ඒකක ගංඟා නිම්න වියයුතුයයි නීතියක් ඇත).

මෙම සිවිල් පාලන වසම් ජන සභා වශයෙන් පක්‍ෂ දේශපාලනයෙන් තොර මහජන චන්දයෙන් තෝරාගත් ඒකක වියයුතුය. පරිසර නිර්‍ණායක අනිවාර්යයෙන්ම ජලය හා සම්බන්‌ධ නිසා මේ අනුව පාර්ලිමේන්තු චන්ද කොට්ඨාශත්, දිස්ත්‍රික් හෝ පලාත් අවශ්‍ය නම් ඒවාත් මෙම ජන සභා එකතුකර සදාගත හැකිය. මෙසේ කල විට දිස්ත්‍රික් හෝ පලාත් භාෂාව හෝ ආගම අනුව නොව දැන් ලෝකයේ හා ලංකාවේ ඉතාමත් වැදගත් කාරණයක් වන පරිසරය රැක ගැනීම හා බැඳුණු පරිසර ඒකක වේ. ජන සභා ක්‍රමයකට දැන් ඉන්නා පලාත් සභා නිසා වැජඹෙන දේශාපාලක හොරුන් විරුද්ධ වුවත් දෙමල ජනයා එය ඉහලින්ම බාරගන්නා බව නිසැකය. අද විනාශවී ගොස් ඇති ලංකා සමාජය ඉන් ගොඩ ගැනීමට මෙම ජන සභා ක්‍රමය ඉමහත් පිටුවහලක් වනු ඇත. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම යෝජනා කලේද එයමය.

මෙම ජන සභා සංකල්පය ක්‍රියාවට නැගීමේ සැලැස්මක් 2005 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිටත්, ඉන් පසුව කරු ජයසූරිය ස්වදේශ ඇමතිවූ විටත් ඔවුන්ට ඉදිරිපත් කලත් නිලධාරීන් එය කඩාකප්පල් කලේය. සංහිඳියා කොම්සමට මෙය නැවත 2010 දී ඉදිරිපත් කල පසු ජනාධිපතිවරයාද ඊට ප්‍රසාදය පලකලත් ලලිත් වීරතුංග හා බැසිල් එය යටපත් කලේය. මෙම ලිපිය ලියුවේ ජනවාරි 7 වනදා රාත්‍රියේය. දැන් ලංකාවේ 8 දා උදේය. කවුරු චන්දයෙන් දිනුවත් 2005 දී මුලින් ඉදිරිපත් කල යෝජනාව නැවත, අළුත් ජනාධිපතිට හෝ ස්වයංපුනරුථාපනයවූ පරණ ජනාධිපතිට ඉදිරිපත් කිරීමට මම සිතා සිටිමි. සිංහල බෞද්ධයා බේරාගත හැක්කේ ජන සභා සංකල්පය මඟිනි. එය අතීත බෞද්ධ සංකල්පයක් නිසාය.

9 Responses to “සිංහල බෞද්ධයාට අබ සරණද?”

  1. Independent Says:

    බොහෝ කලක් ඉතා කුරිරු ලෙස ඔබතුමා ගේ ලිපි පල නොකල ලංකා වෙබ් අද මේ ලිපිය පලකලාට පින්සිදුවෙයි ( බොහෝ කාලයක් අපාගතවන පව් කලාට පසු).
    අනවශ්‍ය මැතිවරයකට ගොස් මේ බලලෝභයෙන් හා භයෙන් ගැහෙන නිවට පාලකයා සිංහලයාගේ බෙෳධ්ධයාගේ තත්වය කුරිරු ලෙස විනාශ කර ඇත​. මොහු දින්නත් නැතත් ඒ පසුබැස්ම ආපසුගැනී මට බොහෝ කලක් ගතවනු ඇත​.

  2. Independent Says:

    Cwije,
    I have told you my reservation about this aGnanasara Thero. He is doing a great damage to Buddhism. Have you realised this even now ?

  3. Independent Says:

    බොදු බල සේනාව මතුවූයේ මහින්දගේ බෞද්ධ විරෝධී ක්‍රියා පිලිවෙල නිසාය.

    No . This was created by Gota to keep the beggar’s wouldn’t going.

  4. Independent Says:

    මෝඩ , කට්ට , කෘරාටික , සර්වාගමික නායකයින් හඳුනාගෙන සිංහල බෞද්ධයා යලි නැගී සිටියයුතුය​.

  5. Christie Says:

    Jai Hinduthwa!?? We only see Christians and Muslims who are living with us not the Hindus who are living away from us or in ghettos near us. Stand up to India, Indian colonial parasites and vermin. Those Sinhalese who voted for a change in 1956 and yesterday are responsible for the demise of the Sinhalese of forty thousand or more
    years.

  6. cwije Says:

    1. I did not write the essay as an attack on Bodu Bala Sena. So that interpretation is wrong. What we want is a powerful Buddhist lobby.

    2. What Lankaweb did helped me to start my own blog. It is named as Hari Maga. Already it has had so many readers.

    wije

  7. Independent Says:

    Thanks Cwije. I will join. I like people thinking out of the box, not following the herd with Jayaweva.

  8. Independent Says:

    Cwije,
    If you think rowdy charaters like agnanasara thero can protect Buddhism , අබ සරණය to Buddhism.
    I know and fully acknowledge Buddhists have been supressed by successive government and leaders.
    But if you think rowdy charaters like agnanasara thero can protect Buddhism , අබ සරණය to Buddhism. Therefore this man shall be disrobed with metta to him by sangha getting together.

  9. Samanthi Says:

    Aiyo, Lanka Matha! What an ungrateful bunch of sinners are we?

    In its history, Mother Lanka experienced numerous betrayals, back stabbing etc but every time it was defeated it came back more and more powerful. As long as the Holy Triple Gem is in Sri Lanka no one can completely destroy our beloved motherland. Sooner or later, we come back again with more vigour…. until then…….!!

    ITHIN AYUBOWAN LAK MAWNI GARU!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress