වැලිකඩ සැබවින්ම සිදුවුයේ කුමක්ද?
Posted on February 2nd, 2015

 සමන් ගමගේ -ඉරිදා දිවයින 01-02-2015

“වත්මන් ආණ්‌ඩුවට කියන්නට වැදගත් දෙයක්‌ අපට ඇත. ආණ්‌ඩුව යහපාලනය සමඟ ලබු ගෙඩියට අත තැබුවාට කමක්‌ නැත. එහෙත් ලබ්බට තැබූ අත පුහුලට තබන්නට පෙර දෙවරක්‌ සිතිය යුතුමය. මන්ද රටේ ජාතික ආරක්‍ෂාව සියල්ලට වඩා වැදගත් වන නිසාය”.

මෙතෙක්‌ කලක්‌ ජාත්‍යන්තර අහිගුණ්‌ඨිකයන්ගේ රෙදි අස්‌සේ සිටිමින් උන්ට ඕනෑ විට උන්ගේ පදේට හොරෙන් හොරෙන් නැටූ මේ රටට එරෙහි වූ එන්ජීඕ නයි දැන් එළිපිටම නටන්නට පටන්ගෙන තිබේ. වෙනස සමඟ වෙනස සිදුවෙමින් ඇත.

එහෙත් ගැටලුව වන්නේ මේ නටමින් සිටින්නේ දේශෙද්‍රdaහී විෂඝෝර රුපුන් බව වෙනසට කැප වී සිටින අදාළ පාර්ශ්ව වටහා ගන්නා බවක්‌ පෙනෙන්නට නොවීමය. ඉතින් නයි නටති. කිසිත් වටහා නොගන්නා වෙනස කරන්නෝද ඒ නටන නයි දැක නළා පිඹිති.

එකී නළා පිඹීම තුළ ඇත්තේa නයා නයාම යෑයි නොවැටහීම ද නැතහොත් වටහා ගැනීමට වුවමනාවක්‌ නොවීම ද යන්න වෙනම කතාවකි. එහෙත්a සිදු වෙමින් තිබෙන්නේ නටන නයා දැක නළා පිඹීම බව පෙනෙන්නට තිබේ.

මෙසේ සිදුවන එන්ජීඕ නාග රංගනයේ අලුත්ම කතාව ඉකුත් සතියේ කොළඹ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රය තුළින් කරළියට පැමිණියේ විශ්මිත ලෙසිනි. දිනය ඉකුත් 27 වැනි අඟහරුවාදා විය. එදින මෙරට ක්‍රියාත්මක “හෝ රයිට්‌” නමැති එන්ජීඕ සංවිධානයක්‌ මගින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අපූරු පුවත්පත් සාකච්ඡාවක්‌ සංවිධානය කර තිබිණ.

මෙකී පුවත්පත් සාකච්ඡාව පැවත්වීමේ අරමුණ වූයේ කුමක්‌ද? ඉකුත් 2011 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිරකරු කැරැල්ල මැඬපැවත්වීමට පැමිණි ආරක්‍ෂක හමුදා හිතාමතා සැලසුම්සහගතව සිරකරුවන් ඝාතනය කළ බවට සමාජ මතවාදයක්‌ ඇති කර ලෝකය ඉදිරියේ මෙරට හමුදා සෙබළුන් ම්ලේච්ඡ මිනීමරුවන් ලෙස හුවා දැක්‌වීම එහි අරමුණ විය.

මෙහිදී “හෝ රයිට්‌” එන්ජීඕ නඩයේ පිරිස්‌ සිය මතවාදය තහවුරු කිරීම සඳහා අපූරු සාක්‍ෂිකරුවෙක්‌ද මාධ්‍ය ඉදිරියට රැගෙන විත් තිබිණ. ඒ 2011 වසරේ සිදුවූ බන්ධනාගාර කැරැල්ල අවස්‌ථාවේ වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි සුදේශ් නන්දිමාල්ද සිල්වා නමැති රැඳවියෙකි.

“හෝ රයිට්‌” මාධ්‍ය හමුවට පැමිණි එකී නන්දිමාල් නමැත්තා සියල්ලන් බලා සිටියදී සිය සාක්‍ෂිය මාධ්‍යවේදීන් ඉදිරියේ දිග හරින්නට විය. ඔහුගේ කතාවට අනුව නම් වැලිකඩ බන්ධනාගාරයේ එදින රඳවා සිටි සියලු සිරකරුවන් සිට ඇත්තේ බන්ධනාගාරයට ඒමට පෙර සමාජගතව සිටියදී හැසිරුණාක්‌ මෙන්ම අෂ්ටාංග ශීලය සමාදන් ව බුදුන් වඳිමිනි.

සිරකරුවන් එසේ සිටියදී මුලින්ම බන්ධනාගාරය වෙත එන පොලිස්‌ විශේෂ කාර්ය බලකාය බන්ධානාගාර නිලධාරින් එපා කියද්දී බුදුන් වඳිමින් සිටි සිරකරුවන්ට කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කර වෙඩි තබන්නේය.

එහිදී සමාදන් වූ ශීලය අමතක වන සිරකරුවන් ගල් මුල් ගෙන එස්‌ටීඑµa නිලධාරින්ට පහර දීම හේතුවෙන් ගැටුමක්‌ නිර්මාණය වී ඇත. එකී ගැටුමේදී මුලින්ම එස්‌ටීඑµa එක විසින් සිරකරුවන් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කරනු ලබන අතර එදින රැයේ යුද හමුදාව සමඟ සිවිල් ඇඳුමින් සැරසී බන්ධනාගාරය වෙත පැමිණෙන පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකු සහ හමුදා නිලධාරින් කණ්‌ඩායමක්‌ එළි වන තුරු ලැයිස්‌තුවකට අනුව සිරකරුවන් තෝර තෝරා මරා දමන්නේය.

එසේ ඝාතන සිදු කරන අවස්‌ථාවේ රටේ නමගිය කුලී ඝාතකයකු මෙන්ම කුඩු ජාවාරම්කරුවකු වූ මහරගම කලු තුෂාර නමැත්තා සිට ඇත්තේ නන්දිමාල් සමඟය. එහිදී ඔවුන් සිටි තැනට පැමිණි සිවිල් කණ්‌ඩායම කලු තුෂාරව ඇදගෙන ගොස්‌ නන්දිමාල්ගේ ඇස්‌ ඉදිරිපිටම වෙඩි තබා මරා දමා ඇත. නන්දිමාල්ට අනුව ඒ රැයේ බන්ධනාගාරයට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු ඝාතකයන් එවකට බන්ධනාගාර කොමසාරිස්‌ ජෙනරාල් වූ කොඩිප්පිලි මහතාද බලා සිටියදී ඝාතන දෙකක්‌ම සිදු කළ බවද ඔහු කියන්නේය.

සුදේශ් නන්දිමාල් නමැත්තා මේ කතාව මාධ්‍යවේදීන් ඉදිරියේ කියද්දී “හෝ රයිට්‌” එන්ජීඕ නඩය කෙළ පෙරාගෙන බලා සිටියේ මහා විද්‍යාඥ ආකිමිඩිස්‌ පරිමාව සොයා ගත් කල ඇති වූවා යෑයි කියන සතුටටත් වඩා වැඩි චූන් එකක්‌ද සමගිනි. වෙනසකට වූයේ ඔවුන් ආකිමිඩිස්‌ මෙන් නිරුවතින් නොසිටීම පමණක්‌ විය.

එහෙත් “හෝ රයිට්‌” නඩය නිරුවතින් නොසිටියද ඔවුන්ගේ සැබෑ හෙලුව පෙනෙන්නට වූයේ මාධ්‍ය හමුවට රැගෙන ආ සාක්‍ෂිකරුවා වූ සුදේශ් නන්දිමාල් නමැත්තා කවෙරෙක්‌ද යන්න අනාවරණය වීමේදීය. සැබැවින්ම මිය ගිය සිරකරුවන් කෙරෙහි උපන් අනුකම්පාව සමග උණ්‌ඩුකපුච්චයෙන්ම නැගුණු ශෝකී හඬකින් යුතුව එකී මාධ්‍ය හමුවේදී සාක්‍ෂිකරුවකු ලෙස පෙනී සිටි මානවවාදී සුදේශ් නන්දිමාල් නමැත්තා කවරෙක්‌ද?

ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදයට එරෙහිව අපේ රණවිරුවන් දිවිහිමියෙන් සටන් වදිමින් සිටි ඉකුත් 2007 වසරේ දී කොළඹ ඇතුළු දකුණේ ප්‍රදේශවල බස්‌ රථ, දුම්රිය ආදියට බෝම්බ තබමින් සිවිල් ජනතාව ඉලක්‌ක කර එල්ටිටීඊය තිරිසන් ප්‍රහාර ගණනාවක්‌ එල්ල කළේය. එකී ප්‍රහාර හමුවේ අපේ දරු පැටවුන්, මව්වරුන්, පියවරුන් ආදී ලෙසින් විශාල පිරිසක්‌ මියගියේය.

වරක්‌ කොටුව දුම්රිය ස්‌ථානයේදී කොළඹ ඩී.එස්‌. සේනානායක විදුහලේ රගර් ක්‍රීඩකයන් වූ තරුණ සිසු දරුවන් පිරිසක්‌ දුම්රියක අටවා තිබූ කොටි බෝම්බයකට ගොදුරු වී මරණයට පත් වූයේ එල්ටීටීඊයේ එවන් ම්ලේච්ඡ ප්‍රහාරකට අනුවය. මෙසේ දකුණේ කොටි බෝම්බ පිපිරෙද්දී ඊට සම්බන්ධ වන ත්‍රස්‌තයන් සොයා ඒ දිනවල පොලිසිය හා ආරක්‍ෂක අංශ එක්‌ව පුළුල් මෙහෙයුම් අරඹා තිබිණි.

එකී මෙහෙයුම් අතරතුරදී දිනක්‌ ගම්පහ ප්‍රදේශයේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සිදුකළ සූක්‍ෂම විමර්ශනයකට අනුව රටම විශ්මයට පත් කරමින් දකුණේ කොටි බෝම්බ පුපුරවමින් රහසේ ක්‍රියාත්මක වූ සිංහල ජාතිකයකු හෙවත් සිංහල කොටියකු අවි ආයුධ රැසක්‌ද සමග අත්අඩංගුවට ගනු ලැබීය.

හේ අන්කිසිවකුත් නොව, මෙදා “හෝ රයිට්‌” මාධ්‍ය හමුවේදී හමුදාවට එරෙහිව සාක්‍ෂිකරුවකු ලෙස පෙනී සිටි සුදේශ් නන්දිමාල්ද සිල්වා නමැති ගොබිලා ය. මොහු අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ බස්‌ රථ හා දුම්රිය පිපිරවීමට සඟවාගෙන සිටි අත් බෝම්බ දහයක්‌, සී 4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය යෙදූ එකක්‌ කිලෝග්‍රෑම් දෙකක පමණ බරින් යුතු බෝම්බ හතක්‌ ඇතුළු අවි ආයුධ රැසක්‌ද පොලිසිය මගින් එදා සොයාගනු ලැබීය.

පසුව සිදු කළ විමර්ශනවලදී මෙම සුදේශ් නන්දිමාල් නමැත්තා කිලිනොච්චියට ගොස්‌ කොටින්ගෙන් අවි පුහුණුව පවා ලබාගෙන සිටියකු බවට පොලිසිය අනාවරණය කරගනු ලැබූ අතර ඔහු සමග සම්බන්ධ වී සිටි තවත් සිංහල කොටි රැලක්‌ම කොටු කර ගැනීමටද පොලිසියට හැකි විය. එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙකී නන්න්දිමාල් නමත්තා බන්ධනාගාරගත කෙරිණි. සුදේශ් නන්දිමාල් 2011 වසරේ වැලිකඩ කැරැල්ල අවස්‌ථාවේ බන්ධනාගාරයේ සිටිනුයේ ඒ අනුවය.

පසුව 2013 වසරේදී තමන් ත්‍රස්‌තවාදී ක්‍රියාවල යෙදුණු බවට වරද පිළිගැනීම හේතුවෙන් මෙකී සුදේශ් නන්දිමාල් නමැත්තාට වසරක තුනක සිරදඬුවමක්‌ නියම කළ අධිකරණය එය විසි වසරකට අත්හිටුවා මුදා හැර තිබිණි. මෙදා “හෝ රයිට්‌” මාධ්‍ය හමුවේ සාක්‍ෂිකරුවකු ලෙස සුදේශ් නන්දිමාල් මාධ්‍ය ඉදිරියට එන්නේ එසේය.

ඔහු සිය සාක්‍ෂියේදී කීවේ කැරැල්ල අවස්‌ථාවේ බන්ධනාගාරයට සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකු ඇතුළු හමුදා පිරිසක්‌ තමන් බලා සිටියදීම තෝර තෝරා සිරකරුවන් මරා දැමූ බවකි. එහෙත් මෙහිදී ගැටලුවක්‌ මතුවන්නේ එසේ හමුදා නිලධාරින් පිරිසක්‌ සිරකරුවන් මැරුවේ නම් එම නිලධාරින් සිංහල කොටියකු වූ මෙකී සුදේශ් නන්දිමාල්ගේ හිස කුඩු වෙන්නට උණ්‌ඩයකින් සංග්‍රහ නොකළේ මන්ද යන්න සිතීමේදීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ හා පොලිසියේ නිලධාරින් බන්ධනාගාර කැරැල්ල අවස්‌ථාවේ එහි පැමිණ සිරකරුවන් මැරුවේ නම් සියල්ලන්ට පෙර මුලින්ම වෙඩි තබන්නේ රට ජාතිය පාවා දුන් සුදේශ් නන්දිමාල් නමැති ඉහත කී “හෝ රයිට්‌” එන්ජීඕ නඩයේ සාක්‍ෂිකරු වූ සිංහල කොටියාට බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් එවැන්නක්‌ සිදුව නැත. එහෙයින් සුදේශ් නන්දිමාල් තවමත් ජීවතුන් අතරය. එනිසාම වැලිකඩ කැරැල්ල අවස්‌ථාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකු ඇතුළුව සිවිල් ඇඳුමින් සැරසී පැමිණි හමුදා කණ්‌ඩායමක්‌ සිරකරුවන් මරා දැමුවේ යෑයි “හෝ රයිට්‌” නඩයට එක්‌වී දොඩවන හේ දැන් ඒ පිළිබඳ රහස්‌ පොලිසියට පැමිණිල්ලක්‌ද කර ඇත.

එහෙත් මේ කුමක්‌ කියෑවුණද එදා වැලිකඩ බන්ධනාගාරයේදී සිදු වූ දේ මෙන්ම එහිදී මියගියේ කවුරුන්ද යන්න අපට රහසක්‌ නොවේ. මන්ද අසූචි ගොඩක තිබෙන රුපියලක්‌ වුව දිව දමා ගන්නට තරම් වන ඇතැම් මළ පෙරේත නිලධාරින් ඉහළ සිට පහළටම රාජකාරි කරන මෙරට බන්ධනාගාර පද්ධතිය යනු අමුම අමු නාරා වළක්‌ බව කාලයක සිටම අප දැන සිටින බැවිනි.

මෙකී බන්ධනාගාර නාරා වළ තුළ සිර කෙරුණු සිරකරුවෝ කලක පටන් මත්කුඩු ජාවාරම, කප්පම් ගැනීම ඇතුළු නොයෙක්‌ නීති විරෝධී දේ කළහ. ඒ පෙර කී මළ පෙරේත නිලධාරින්ගේ සහායෙනි. නිලධාරින්ගෙන් ලැබෙන එකී සහායට කුඩු ජාවාරම්කරුවන් ඔවුන්ට බොහෝ වරදාන දුන්නේය. ඇතැම් නිලධාරින් සවාරි ගියේ කුඩ්ඩන්ගෙන් ලද වාහනවලිනි. එසේම තනා දුන් මාලිගා වැනි ගෙවල් දොරවල්ද බොහෝ ඇත.

මෙසේ බන්ධනාගාර පද්ධතිය පිරිහෙද්දී ඒ අතරිනුත් වැලිකඩ බන්ධනාගාරය තිබුණේ අංක එකට වැටීය. මෙම තත්ත්වය මැඬපැවැත්විය යුතු නිසාම එවකට රජය වරක්‌ පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ වැලිකඩ සුද්ධ කිරීමේ මෙහෙයුමකට එහි යවනු ලැබිණි. නමුත් එහිදී අවසානයට සිදු වූයේ සිරගතව සිටි කුඩු රජුන්ගේ මුදල් බලය සමඟ ඇතැම් බන්ධනාගාර නිලධාරින්ගේද සහාය ගෙන වැලිකඩට පැමිණි පොලිස්‌ නිලධාරින්ට අමානුෂික ප්‍රහාරයක්‌ එල්ල කළ සිරකරුවන් පොලිසිය පන්නා දැමීමය.

මෙම ප්‍රහාරයේදී ඇතැම් පොලිස්‌ නිලධාරින්ට ලිංගික හිරිහැර පවා සිදු කෙරුණු බව මේ ලියුම්කරු හා සම්බන්ධ වැලිකඩ බන්ධනාගාරයේ එක්‌තරා සිකරුවෙක්‌ ඒ දිනවල සඳහන් කළේය. මෙම සිදුවීම් සමඟ දිගින් දිගටම මෙරට බන්ධනාගාර පරිපාලනයේ බිඳවැටීමක්‌ද සිදු වෙමින් තිබිණි. ඒ හේතුවෙන් කොමසාරිස්‌ ජෙනරාල් කොඩිප්පිලි යුගයේ අවස්‌ථා කිහිපයකදීම බන්ධනාගාර තුළ කැරැලි ඇති විය. කෙමෙන් සිරකරුවන් බන්ධනාගාර තමන්ගේ රාජධානි බවට පත් කර ගැනීමේ තත්ත්වයක්‌ නිර්මාණය වෙමින් තිබිණ.

ඉකුත් 2011 වර්ෂයේ නොවැම්බර් මස 09 වැනිදා පොලිස්‌ විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාරයේ මෙහෙයුමකට එක්‌ වන්නේ මෙසේ ඇති වෙමින් තිබූ තත්ත්වය හමුවේ විය. එහෙත් එහිදීත් සිදු වූයේ බන්ධනාගාරය තුළ රඳවා සිටි කුඩු රජවරුන් සිය මුදල් බලයෙන් සුපුරුදු ලෙසම අනෙකුත් සිරකරුවන් කලහකාරී කර පොලිස්‌ විශේෂ කාර්ය බලකායට අභියෝග කරන තැන දක්‌වා තල්ලු කිරීම විය.

එදා වැලිකඩ ගැටුම නිර්මාණය වූයේ එලෙසිනි. එතැන් පටන් සිදුවූ දේද බොහෝ විය. විශේෂ කාර්ය බලකාය සමග ගැටුණු සිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාව කඩා ගිනි අවි අතට ගෙන පොලිසියට වෙඩි තබන තැන දක්‌වාම තත්ත්වය බරපතළ අතට හැරිණි. වරක්‌ සිරකරුවන් තැබූ වෙඩි ප්‍රහාරයකින් පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිව සිටි නියෝජ්‍ය පොලිස්‌පති රණවන මහාතා මාරාන්තික තුවාල ලැබීය.

යුද හමුදාව එදා වැලිකඩට පැමිණෙන්නේ මෙසේ තත්ත්වය පාලනය කර ගැනීමට විශේෂ කාර්ය බලකායට පවා නොහැකි මට්‌ටමක තිබියදී විය. විශේෂයෙන්ම යුද හමුදාව එහි කැඳවීමට රජයට සිදු වූයේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දරුණු අපරාධකරුවන් එදින රාත්‍රියේ අවි අතට ගෙන වෙඩි තබමින් පලා යැමේ සුදානමක්‌ තිබෙන බවට තොරතුරු ලැබී තිබූ හෙයිනි.

යුද හමුදාව එහි ළඟා වුවද එදින රාත්‍රි එකොළහ පමණ වන තුරුත් බන්ධනාගාර තුළ සිට සිරකරුවන් කළ වෙඩි තැබීම් නතර නොවිණි. හමුදා බළ ඇණි දෙකක බට පිරිසක්‌ එදින රාත්‍රි 12.00 ට පමණ අවි බලය යොදමින් වැලිකඩ බන්ධනාගාරය මුදා ගැනීමේ මෙහෙයුමක්‌ අරඹන්නේ මෙකී තත්ත්වය හමුවේය.

එහිදී දෙපාර්ශ්වයේ වෙඩි හුවමාරුවක්‌ තදින්ම සිදු විය. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් මිය යන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. එදා වැලිකඩට ගියේ බළ ඇණි දෙකක රණවිරුවන්ය. එසේ නොවී එහි රඳවා සිටි දරුණු අපරාධකරුවන් බන්ධනාගාරයෙන් පැන යන තැන දක්‌වා කටයුතු සිදු වූයේ නම් ඉන් සමාජයට සිදු විය හැකිව තිබූ බලපෑම බරපතළ එකකි. හමුදාව ක්‍රියාත්මක වූයේ එනිසාය.

මෙකී ගැටුමේදී මිය ගිය සිරකරුවන් වුයේ කවුරුන්ද? මහරගම කලු තුෂාර, මාලන්, ගුණ්‌ඩුවා, කොණ්‌ඩ අමිල, නිර්මල අතපත්තු, ආදී ලෙසින් මෙරට ජන සමාජය කම්පනයට පත් කරමින් මත්කුඩු ජාවාරම, කුලී ඝාතන, කප්පම් ගැනීම්, වැනි අති දරුණු අපරාධ සිදු කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි බිහිසුණු අපරාධකරුවන් දොළොස්‌ දෙනකු ඇතුළු පිරිසක්‌ වූහ.

මින් බොහෝ අපරාධකරුවන් බන්ධනාගාරගතව සිටින අතරේ ජංගම දුරකථන හරහා ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් රට කුඩුවලින් පෝෂිත කළා වූ නරුමයන් බවද පොලිස්‌ වාර්තා අනුව සනාථ වන්නකි.

මෙකී නරුමයන් එදා බන්ධනාගාරයෙන් පැන ගියා නම් අද වැලිකඩ කැරැල්ල පිළිබඳ කතා කරන එන්ජීඕ නඩ කියනුයේ කුමක්‌ද? එකී පැනයැමේදී මෙරට සාමාන්‍ය ජනසමාජයට ඇති වන ව්‍යසනය පිළිබඳ කතා කරන්නට කිසිවකුත් ඉදිරිපත් නොවනු ඇත.

හිටපු සිංහල කොටි ත්‍රස්‌තයන් සාක්‍ෂියට ගෙන අපරාධකරුවන් වෙනුවෙන් කිqල් කඳුළු හෙලමින් යුද හමුදාවට දෙස්‌ තියන “හෝ රයිට්‌” වැනි එන්ජීඕ නඩ මුනිවත රකිනු ඇත. එහෙත් රටේ වාසනාවට එවැන්නක්‌ සිදු නොවූයේය. අද “හෝ රයිට්‌” නඩය වැලපෙමින් සිටිනුයේද එසේ සිදු නොවූ නිසාමය. සත්‍ය ඇත්තේ එතැනය.

එහෙත් මේ මොහොතේ “හෝ රයිට්‌” නඩයේ කතා ඇසූ වත්මන් රජයේ අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා වැලිකඩ සිද්ධිය පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක්‌ පත් කළ බවද පසුගිය දිනවල වාර්තා විය. එසේම සිංහල කොටියාගේ පැමිණිල්ලට අනුව රහස්‌ පොලිසිය විමර්ශනයක්‌ ද ආරම්භ කිරීමට ඉඩ ඇත.

මේ සියල්ල සිදු වන්නේ වැලිකඩ කැරෑල්ලේදී සිරකරුවන් මියගියේ යුද හමුදාව සමඟ ගැටීමෙන් බවට මීට පෙර සිදු කෙරුණු විමර්ශන දෙකක්‌ මගින්ම තහවුරු වී තිබියදීය. මෙකී තත්ත්වය හමුවේ වත්මන් ආණ්‌ඩුවට කියන්නට වැදගත් දෙයක්‌ අපට ඇත. ආණ්‌ඩුව යහපාලනය සමඟ ලබු ගෙඩියට අත තැබුවාට කමක්‌ නැත. එහෙත් ලබ්බට තැබූ අත පුහුලට තබන්නට පෙර දෙවරක්‌ සිතිය යුතුමය. මන්ද රටේ ජාතික ආරක්‍ෂාව සියල්ලට වඩා වැදගත් වන නිසාය.

*

2 Responses to “වැලිකඩ සැබවින්ම සිදුවුයේ කුමක්ද?”

  1. helaya Says:

    This is only the beginning. Get ready folks. Must organize to combat this NGO menace.

  2. Charles Says:

    Sri Lanka today is lawless with the government being the police, the invcestigators, prosecutors, judges and executers all in one.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress