සිංහල භාෂාවට (ජාතියට) විනකල ලංකාවේ “යුනිකෝඩ් සිංහල” (දූෂණ විරෝධී පෙරමුණට ඉදිරිපත් කල සංදේශය)
Posted on February 3rd, 2015

C. Wijeyawickrema

ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය

දේශපාලකයා-නිලධාරියා-ජාවාරම්කාරයා යන තුන්කොටසින් සැදුනු දුෂ්ඨ ත්‍රිකෝණයක් 1977 න් පෙර සිටම දළුලමින් පැවතියේය. මේ නිසා 1977 ඡන්දයේදී ජේ ආර් මහතා විසින් ධර්මිෂ්ට සමාජයක් ගැනත්, 1994 දී චන්ද්‍රිකා මැතිණිය විසින් දූෂණ හා භීෂණ රහිත යුගයක් ගැනත් කතා කලත් ඔවුන් බලයට ආපසු සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දේය. දැන් නැවත වරක් 2015 දී යහපාලනයක් ගැන මහජනයාට අසන්නට ලැබුණේය. පවතින රජයට බාහිරව සිවිල් සංවිධානයක් වශයෙන් දූෂණ විරෝධී පෙරමුණක් පිහිටුවා තිබීම නිසා මෙවර නම් යම් වෙනසක් බලාපොරොත්තු විය හැකිය කියා පුරවැසියා සිතාසිටී.

ඉහගෙන කෑම, බාගෙන කෑම හා වවාගෙන කෑම

බාගෙන කනවා වෙනුවට (බුද්ධාගමේ කියන මධ්‍යම ප්‍රතිපදාව?) ඉහගෙන කෑම නිසා එලිදරව්වන මෙග-ඩීල් වලට අමතරව හෙමින් හෙමින් හොර රහසේ “උගත්-නූගත්” රජයේ වෘත්තීය නිලධාරීන් විසින් කරගෙන යන ගසාකෑම් එමටය. මින් බොහෝ ඒවා රටට හා ජාතියට විනාශය ගෙන දෙන්නේය. මෙවැනි එක ව්‍යාපාරයක් ලෙස සිංහල භාෂාවට හානිකරමින්, අතලොස්සක් විසින් කරගෙනයන පරිගණක භාවිතාකිරීමේ හා එයට සිංහල හඳුන්වාදීමේ වැඩසටහන්  හඳුන්වාදිය හැකිය. මෙම වැඩසටහන් වල හදවත යුනිකෝඩ් සිංහල (පරිගණකවල සිංහලෙන් ලියන) ක්‍රමයය.

පරිගණකය ගමට ගෙනයාම

ජාතික පරිගණක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වශයෙන් 1983 දී මුලින් ආරම්භවී, පරිගණක හා තොරතුරු තාක්‍ෂණික කවුන්සිලය යනුවෙන් 1984 දී නීතිගතව, 2002 දී දියත්කල ඊ-ලංකා ව්‍යාපාරයේ ප්‍රතිපලයක් වශයෙන්, 2003 තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ නීතිය යටතේ 2003 ජූලි 1 දා සිට එනමින් යුත් රාජ්‍ය නියෝජනායතනය (ඉංච්ට- ඉක්ටා) බිහිවිය. ඊ-ලංකා ව්‍යාපාරයේ අරමුණ වූයේ පරිගණක භාවිතය සම්බන්‌ධයෙන් ලංකාවේ  තිබෙන “ඇති-නැති” පරතරය (ඩිජිටල් ඩිවයිඩ්) මකාලීම හා කොළඹින් පිට, රටේ අනිත් ප්‍රදේශ වලට හා ගම්වලට ඉක්ටා ක්‍රියාදාමය පතුරුවා හැරීමදය. මෙය කරන්නේ යුනිකෝඩ් සිංහල නමැති වාහනයෙන් ය.

පරිගණකයක් මිලට ගන්නට හැකි අයත් පරිගණකයක් මිලට ගත නොහැකි දුප්පත් අයත් වශයෙන් රටතුල බෙදීමක් තිබේ (පරිගනකයට අමතරව ඊට ඉන්ටර්නෙට් ටෙලිෆෝන් ලයින් එකක් ද මිලට ගතයුතුය). අනිත් අතට පරිගණකයක් නොමිලේම ලැබුණත්, පරිගණ්‍ය ශාස්ත්‍රය ගැන මූලික දැනුමක් නැත්නම් පරිගණකයක් යනු නිකම්ම යකඩ හා ප්ලාස්ටික් පෙට්ටියක් පමණය.

ඉංග්‍රීසි ගමට ගෙනයාම

පරිගණකය ගමට ගෙනයාම හා ඉංග්‍රීසි ගමට ගෙනයාම එකිනෙකට සම්බන්‌ධ ක්‍රියාවලීන් දෙකකි. පරිගණකය භාවිතාකරන්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා අය නම්  ඔවුන් තම පරිගණකය හරහා සෙසු ලෝකය සමග නිරායාසයෙන්ම සම්බන්‌ධවී සිටී. ඩිජිටල් හයිවේ එක ඔවුන්ට විවෘතව ඇත. ඔවුන්ට අවශ්‍යවන්නේ පරිගණ්‍ය ශාස්ත්‍රය පිළිඹඳ දැනුම වැඩිකර ගැනීම පමණය.

නමුත් ඉංග්‍රීසි නොදන්නා අයට පරිගණකය නමැති උපකරණය හඳුන්වාදී, එය සිංහලෙන් භාවිතාකරන්නට සලසාදීම වඩා බැරෑරුම් ක්‍රියාදාමයකි. ඉක්ටා නියෝජනායතනයට භාරවූයේ මෙයය. ඉක්ටා වගකීම් ලෙස ඉක්ටා වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්වා තිබෙන මූලික කාරණා හය මෙසේ සිංහලෙන් පරිගණක භාවිතාකිරීම හා බැඳී ඇත. යුනිකෝඩ් සිංහල යනු ඉක්ටා ආයතනය පරිගණකයට සිංහල දැමීම සඳහා කල ක්‍රියාවලියේ ප්‍රතිඵලයය. කෙටියෙන් කියනවානම් ගමට පරිගණකය ගෙනියන වාහනය යුනිකෝඩ් සිංහලය.සිංහල “ඇ” අකුරක් උස්සාගත් මිනිහෙක් පරිගණක මූණතකට (පුවරුවකට) එය ඔබන්නට තැත්කරනවා පෙන්වන විකට චිත්‍රය (කාටූන් එක) කියන්නේ මේ කථාවය.

යුනිකෝඩ් සිංහල

“යුනිකෝඩ් සිංහලෙන්” ටයිප් කිරීමේ හැකියාව ඇති විශාල පිරිසක් අද ලංකාවේ සිටින්නේ රාජ්‍ය චක්‍ර ලේඛන මගින් යුනිකෝඩ් සිංහල භාවිතාකරන ලෙස දන්වා ඇති නිසාය. එසේ වුවත් මේ නිසා කාර්‍ය්‍යාලවල යුනිකෝඩ් සිංහල ටයිප්කරුවන් පිරිසක් පමනක් බිහිවී ඇත්තේ නිලධාරීන්ට මූලික පරිගණ්‍ය කුසළතාවයක් නැතිනිසාත්, යුනිකෝඩ් සිංහල භාවිතා කිරීම පහසුවෙන් කල නොහැකි නිසාත් ය. ලංකාවේ කවුරුත් දැක ඇති ඉංග්‍රීසි මුද්‍රා පුවරුවට (කී බෝඩ් එකට) හාත්පසින්ම වෙනස් වූ යුනිකෝඩ් මුද්‍රා පුවරුව (කී බෝඩ්) නිසා කාර්‍ය්‍යාලවල ටයිප්කරුවන් විශේෂ පරිගණක කොටසක් බවට පත් වී ඇත. මේ නිසා අද නිලධාරීන් යුනිකෝඩ් සිංහල ටයිප්කරුවන්ගේ ග්‍රහනයට අසුවීලා වැනිය. තමන්ට ඕනෑ දෙයක්, තමන්ට ඕනෑ වේලාවට කරගැනීමේ ස්වයංහැකියාවක් ඔවුන්ට නැත.

මෙම සංදේශය දූෂණ විරෝධී පෙරමුණට ඉදිරිපත් කරන්නේ පසුගිය අවුරුදු දහයක කාලයක් තුල ඉක්ටා නියෝජනායතනය (එය රජයේ දෙපාර්තමේන්තුවක් නොව කොන්ත්‍රාත් ක්‍රමයක් යටතේ තාවකාලිකව පිටස්තර පරිගණක විශේෂඥයින් වැඩකරන වානිජ ආයතනයක් වැනිය), එහි වගකීම් හා යුතුකම් කෙසේ ඉෂ්ටකලාද යන ප්‍රශ්නය ඇසීමට නොවේ. ඒ නිසියාකාරව, විනිවිදභාවයෙන් යුතුව, වාර්ෂික වාර්‌ථාවලින්, කරනවා කිව් වැඩ හා ඇත්තටම කල වැඩ පෙන්වා ඇත්නම් එය දැනගැනීම අපහසු නැති නිසාය.

ඒ වෙනුවට මෙම සංදේශයේ අරමුණු වන්නේ (1) ඉක්ටා විසින් “යුනිකෝඩ් සිංහල” නම් වාහනය සැදීමේදී කරන ලද “ජාතික” “වරද” පෙන්වා දීමත්, (2)  එම වරද නිවැරදි කරගැනීමට ඉක්ටාවට ඉදිරිපත් කල, එහෙත් ඉක්ටා විසින් නොසලකා හරින ලද “දෙරුව සිංහල” නම් නව නිර්‌මානය සලකා බලන ලෙස ඉක්ටාට බලකරන ලෙස ඉල්ලා සිටීමත් ය.

ඉක්ටා නියෝජනායතනයේ පරමාර්‍ථ

ඉක්ටා ආයතනයේ පරමාර්‍ථ වශයෙන් එහි වෙබ් අඩවියේ දක්වා තිබෙන්නේ 2004 අගෝස්තු 24 දිනැති ලෝක බැංකුව විසින් පිළියෙළ කලා වාර්තාවේ යෝජනාකල පරමාර්‍ථම ය. මෙම සංදේශයේ අග එහි සිංහල පරිවර්තනයක් වෙනම පෙන්වා ඇත.

මෙම පරමාර්‍ථ මගින් ඉක්ටා උත්සාහකරන්නේ වෙනස්වෙමින් හා වේගයෙන් ඉදිරියට ඇදෙන ලෝක පරිගණක ශිල්ප ශාස්ත්‍රයේ වර්‌ධනයට සමගාමීව, ඊට නොදෙවෙනි ලෙසින් උසස් මට්ටමකින් ලංකාවේද, පරිගණක භාවිතය හා පරිගණ්‍ය ශිල්ප නිපුනතාවය පවත්‌වා ගෙනයාමය. නිදසුනක් වශයෙන්, පරිගණක කටයුතු සිංහල භාෂාවෙන් කරගෙන යනවා නම්, පරිගණක සිංහල ද (යුනිකෝඩ් සිංහලද), තරගකාරී ලෝක වාතාවරණයක් තුල සාර්‍ථකව සිටිනා බටහිර-යුරෝපීය ජාතීන් විසින් ඔවුන්ගේ වෙළඳ හා රාජ්‍ය කටයුතු සඳහා උපයෝගී කරගන්නා නූතන ප්‍රායෝගික පරිගණ්‍යක්‍රම (අප්ප්ලිචටිොන් ප්‍රොග්‍රම්ස්) භාවිතාකල හැකි අන්ද‌මට ගලපවාගත යුතුය, ඒ සඳහා අවශ්‍ය විභව ශක්තිය ලබාදිය යුතුය.

වෙනත් වචනයෙන් කියනවානම්, අද මුළු ලෝකයම ඩිජිටල් මාවතට (පරිගණ්‍ය මහමග) පිවිසී ඇත. මේනිසා මේ මහපාරේ දුවන යුනිකෝඩ් බස් එකේ පිටිපස ආසනයක  නොව “යුනිකෝඩ් යුරෝපා භාෂා” 14 මෙන්, ඒ භාෂා සමඟ ඉදිරිපස ආසනයක වාඩිවී සිටීමට පරිගණක සිංහලට ද (යුනිකෝඩ් සිංහලටද) හැකිවිය යුතුය.  එහෙත් ඉක්ටා විසින් අපට ලබාදී ඇති යුනිකෝඩ් සිංහල මගින් මෙම කාර්‍ය්‍යය සිදු නොවේ. මෙය සිංහල භාෂාවට සිදුවූ ජාතික හානියකි. මීට හේතුව යුරෝපා භාෂා 14 ට කකුල් දෙකක් බැගින් ඇතත් යුනිකෝඩ් සිංහලට ඇත්තේ එක කකුලක් පමනක් වීමය. යුරෝපා භාෂා සින්ගල්  බයිට් වන නමුත් යුනිකෝඩ් සිංහල, ඩබල් බයිට් වීමය.

යුනිකෝඩ් යටත් විජිතවාදය

ඉක්ටාවල දිගටම තාවකාලිකව වැඩකරන කොන්ත්‍රාත් සේවකයින් විසින් යුනිකෝඩ් සිංහල හරහා සිංහල භාෂාව (හා සිංහල ජාතිය) පාවාදුන්නාසේය. යට තට්ටුවේම ඉන්නවා මිස උඩතට්ටුවට නැගීමට ඉඩක් නැත. එයට හේතුව යුනිකෝඩ් සිංහල විදේශීකයින් දෙදෙනෙකු ව්සින් සැදූ නිසා නොවේ (සිංහල ජාතිකාණුරාගය පණගැන්වූ එස් මහින්ද හාමුදුරුවෝ ටිබැට් ජාතිකයෙකි). එයට හේතුව සුද්දන් දෙන්නෙක් එසේ වානිජ අරමුණක් නිසා සැදූ දෙයකට, විමසා නොබලා, ඉක්ටා සිංහලයින් විසින් කර ගැසීමය; ජාතිකාණුරාගය ඇති කළු සිංහලයෙක් එහි අවාසි පෙන්වා දුන් විට එය නොසලකාහැරීමය; ඒ වෙනුවට යුනිකෝඩ් සිංහල නමැති වල තව තවත් හෑරීමට ඩොලර් 20,000 ක් ගෙවා තවත් ඇමෙරිකන් සුද්දෙක් ගෙන්වා කොළඹ ඉන්ටර් කන්ටිනන්ටල් හෝටලයේ “විශේෂ පන්තියක්” පැවැත්‌වීමය. සාමන්‍යයෙන් මුළු ලෝකයේම පරණ යටත් විජිත රටවල කළු සුද්දන් හැසිරෙන්නේ මේ ආකාරයටය. දැන් ඉක්ටාවට යුනිකෝඩ් සිංහල කොටි වලිගයක් වී ඇත.

ලෝකයේ ඉපැරණි විද්‍යාත්මකව සැකසුනු භාෂාවක් වන සිංහල භාෂාව ලිවීමට ගන්නේ අක්‍ෂර අනුව විග්‍රහකළ ශබ්ද 58ක් බව සෑම පන්සලකමවාගේ ඇති තියඩෝර් පෙරේරා උන්නාන්සේගේ ව්‍යාකරණ පොත වැනි පොත් වල පැහැදිලිව කියා තිබියදී, අමරිකාවේ යුනිකෝඩ් වෙළඳ සංයුක්තායතනයට, සුදු විදේශිකයෙක් විසින් පිළියෙළකර, තවත් සුදු විදේශිකයෙක් විසින් සහතිකකර ඉදිරිපත් කළ, බයිට් දෙක බැගින් සංකේතවත් කළ රූප මාලා ප්‍රමිති ක්‍රමයක් ඉක්ටා නියෝජ්‍යාතනය විසින් කිසිදු ප්‍රාථමික පරීක්‍ෂා කිරීමකින්වත් තොරව පිළිගෙන, රාජ්‍ය චක්‍ර ලේඛන මගින් රටවැසියා පිට පටවා ඇත. මෙහිදී රටවැසියාට කිසිදු වරණයක් නැත. ස්වේව්වාවෙන්, රටවැසියාට එවැනි වරණයක් ලබාදීමට රටින් පිට සිටිනා කළු සිංහලයෙක් ගත් උත්සාහ ඉක්ටා කොන්ත්‍රාත්කරුවන් විසින් වලක්වා ඇත.
 
මීට හේතුව ඉන්දීය භාෂාද බයිට් දෙකේ විධියට කර තිබුන නිසාද? නමුත් සොයා නොබලා එසේ කිරීම තම ජාතික වගකීම අතපසු කිරීමකි.  බටහිර විදේශිකයින් කළ යෝජනාවක් ප්‍රතික්‍ෂෙප කිරීමට හෝ ප්‍රශ්න කිරීමට නොහැකිවූයේ විෂය (සිංහල භාෂාව හා පරිගනක ශාස්ත්‍රය) පිළිඹඳ දැනුමේ තිබූ අඩුවක් නිසාද? මෙම සිංහල යුනිකෝඩ් මාවතට වඩා රටට හා භාෂාවට හිතකර වෙනත් ක්‍රමයක් පෙන්වාදුන් විට එය නොසලකා හැරියේ කුමක්නිසාද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ඉක්ටා බැඳී ඇත්තේ ඩොලර් මිලියන් 83ක් (ඉන් 53ක් ලෝක බැංකු ණයකි) 2004 සිට මේ දක්වා වියදම්කර ඇති නිසාය.

දෙරුව සිංහල

ඇමෙරිකන් යුනිකෝඩ් වෙළඳ සංයුක්තායතනය (බිස්නස් කොන්සෝටියම්) විසින් සැදූ යුනිකෝඩ් ක්‍රමය තුල තනි බයිට් කෝඩ් යුරෝපා භාෂා 14 ට වෙන්කරගෙන (මින් අයිස්ලන්ත භාෂාව කථාකරන්නේ ලක්‍ෂ තුනක් පමණය), අන් භාෂාවලට බයිට් දෙකේ කෝඩ් භාරදෙන ලදී (යුනිකෝඩ් බස් එකේ පසුපස ආසන, තායිලන්තය මෙය ප්‍රතිකේෂප කලේය). එකකින් කල හැකි දෙයකට දෙකක් යනවා නම් එහිදී ඉඩ, කාලය, වේගය, කාර්යක්‍ෂමභාවය පිළිඹඳ විශාල වෙනසක් මතුවෙනවාමය. කඩදාසිය වෙනුවට විදුලි බලය තොරතුරු ප්‍රවාහන මාධ්‍යයවූ විට මෙය වඩාත් වැදගත් ය. මීට අමතරව, පරිගණක තාක්‍ෂණය අතින් පසුගිය දශක තුන තුල යුරෝපයේ භාෂා ලබාගනිමින් සිටින දියුනුවීම් කොපිකර ගැනීමට නම් ඒ භාෂාමෙන් තනි බයිට් කුලයේ (යුනිකෝඩ් බ්‍රාහ්මණ කුලය) සිටිය යුතුය. මෙය කල යුත්තේ තමන්ගේ මව් භාෂාවට හානියක් නොවන ලෙසටදය.

දෙරුව සිංහල යයි කියන්නේ මේ අනුව නිර්‍මාණය කරන ලද තනි බයිට් සිංහලටය. 2007 සිට  මා විසින් මේ දෙරුව සිංහල, සිංහලෙන් මා කරනා හැම දෙයටම ඉතා පහසුවෙන් යොදවා ගනිමින් සිටිමි. මා විසින් හරිමග යනුවෙන් බ්ලොග් එකක්ද කරන්නේ තනිකරම සිංහලෙනි. එය නිර්‍මානය කල ජයන්ත අහංගම ලංකාවේ මුද්‍රන කර්‍මාන්තයේ යෙදී සිට ඇමෙරිකාවට පැමිණ, පරිගණක ශාස්ත්‍රය හදාරා, පරිගණ්‍ය වෘත්තියේ නියැලී සිටින අයෙකි.

හිතාගෙන යනවිට ඔහු කර ඇත්තේ විශ්වකර්‍ම වැඩක් නොවේ. එහෙත් එහි වටිනාකම ගැන සිතන විට ඔහු නූතන මුනිදාස කුමාරතුංග කෙනෙක් වැනිය. ඉක්ටා කොන්ත්‍රාත්කරුවන්ට වගේ ඩොලර් මිලියන් තබා ඩොලර් දහදාහක්වත් ඔහුට තිබුණේ නැත. ඔහු කලේ මයික්‍රොසොෆ්ට්, මොෂිලා හා යුනිකෝඩ් වැනි වෙනත් පරිගණක ආයතන හා සාකච්චාකර, වාදකර හා තර්‍ක කර, යුනිකෝඩ් සමාගමේ සම්මත තුල, යුරෝපා භාෂා 14 ට මෙන් සිංහල භාෂාවටද සමාන ඉඩප්‍රස්ථා ලබාගැනීමය. දෙරුව සිංහල බිහිවූයේ මේ අනුවය. ලංකාවේ තේවතුවලින් ලෝකයේ ඉස්තරම්ම, ඔරේන්ජ් පෙකෝ, බ්‍රෝකන් ඔරේන්ජ් පෙකෝ තේ පිටරට යවා, ලංකාවේ මිනිසුන්ට තේ පැක්ටේරියේ බිම අතුගා එකතුකල දූවිල්ල (තේ කුඩු) පෙවූ මානසික මට්ටමින් එලියට ආ යුතුය.

සිංහල භාෂාවේ අකුරු (හෝඩිය) කියන්නේ ශබ්දවල සංකේතවලට නිසා අප දැක පුරුදු ටයිප් රයිටරයේ ඇති ඉංග්‍රීසි (ලතින්) අකුරු කී බෝඩ් එක සිංහල ශබ්ද වලට ගැලපවීම අහංගමගේ ප්‍රථම පියවර විය (පරිගණකයේ ඉංග්‍රීසි අකුරු තිබෙන්නේද ටයිප් රයිටර් එකේ වගේමය). ඉංග්‍රීසි කී බෝඩ් එකේ අකුරු 52 ක් සඳහා ඉඩ ඇතත් සිංහල භාෂාවට අවශ්‍යවන්නේ ඉන් 51 පමණය. 1860 ගණන් වලදී පාලි භාෂාව ඉංග්‍රීසියට පෙරලීමේදී රීස් ඩේවිඩ්ස් මහතාට තිබුණ ප්‍රශ්නයවූ ත ශබ්දය හා ට ශබ්දය ලියන්නේ කෙසේද යන්න (නමෝ ටස්ස නොව නමෝ තස්ස කියා ලිවීම) අහංගම විසඳාගත්තේ  “ආදි ඉංග්‍රීසි” භාෂාවේ තිබූ ත ශබ්දය පෙන්වන තනි බයිට් ලතින් අකුර සිංහලට කොපිකර ගැනීමෙන් ය. මෙසේ සිංහල භාෂාවේ ශබ්ද වලට අවශ්‍ය තනි බයිට් ලතින් අකුරු හතරක් යුරෝපා භාෂාවලින් ඔහු කොපිකලේය.

ඉන්පසු මෙම ශබ්ද ඉංග්‍රීසි කී බෝඩ් එකට ආදේශකර ඔහු ෆොන්ට් එකක් සැදුවේය. මේ අනුව විජේසේකර හෝ වෙනත් සංකීර්‍ණ සිංහල කී බෝඩ් එකක් නැතිව කෙළින්ම ඉංග්‍රීසි අකුරු භාවිතාකරමින් සිංහල ලිවීමට හැකිවිය. උදාහරණයක් වශයෙන් අම්මා කියා ලියන්නේ, ඒ-එම්-එම්-ඒ-ඒ යන අකුරු පහ ටයිප් කිරීමෙනි. මෙහි පසුබිමින් ඇති සිද්ධාන්තය කුඩා ළමුන්, අයි-ඕ-සී-ඒ යන ඉංග්‍රීසි අකුරු හතර ලියා “අයියෝ සීයේ!” (පාර හරහා පනින්නට ගියා සීයා කෙනෙක් කාර් එකක හැපීමට ගොස් අනූනවයෙන් බේරෙනු දැක්ක විට කුඩා ළමයෙකුගේ කටින් ඉබේම පිටවෙන) යන විෂ්මයාර්‌ථය ලබා ගන්නවා වැනිමය. ඉංග්‍රීසි හෝඩිය දන්නා අවුරුදු  හතේ අටේ ළමයෙක් වුනත් මෙම අහංගම ක්‍රමය සැනෙකින් වටහා ගන්නේ ඒ නිසා වියයුතුය.
 
මෙම ක්‍රමයට දෙරුව සිංහල කියන්නේ, ඉහතින් කී අම්මා යන වචනය සිංහලෙන් පරිගණක පුවරුවේ පෙනෙන අතර ඊට යටින් අපට නොපෙනෙන ලෙස ඒ-එම්-එම්-ඒ-ඒ යන ශබ්දයද එම ඉංග්‍රීසි (ලතින්) අකුරුවලින් පරිගණකයේ පසුතලයේ වාර්තාවන නිසාය. මෙසේ දෙයාකාරයකට සිංහල භාෂාව පෙන්විය හැකිය. මෙසේ කිරිමට අවශ්‍යවන්නේ එක් පරිගණකයකින් තවත් පරිගණකයකට මෙසේ සිංහලෙන් ලියූ දෙයක් යැවීමේදී එය තනි බයිට් වශයෙන් යැවීම සඳහාය. අද ලෝකයේ භාෂා 130ක් පමණම ඉංග්‍රීසි අකුරු (ලතින් අකුරු) වලින් තම භාෂා පරිගණක වල භාවිතාකරන බවද මෙහිදී සඳහන් කලයුතුව ඇත.

මට මේ ලිපිය ලෙහෙසියෙන් යුනිකෝඩ් අකුරු ලෙස ගෙන පණිවිඩය ලියන තැනේ ලියා එවීමට පුළුවන්කම තියෙනවා. නමුත් මා කළේ එය දෙරුව හෙළ ක්‍රමයට ලියා පීඩිිෙෆ් ලිපියක් සේ අමුණා එවීමයි. ඊට හේතුව වින්ඩෝස්, මැකින්ටොශ් හා ලිනක්ස් යන ධාවන තන්ත්‍රවල එකම යුනිකෝඩ් අකුරු පෙන්වන්නේ විවිධාකරව, බොහෝ විට වැරදි අන්දමට නිසාය. උදාහරණයක් වශයෙන්, මැකින්ටොශ් පරිගණකයක ළු යන්න පෙන්වන්නේ ඊට ඇදපිල්ලක් යා කරලායි. ලිනක්ස් පරිගණකයේත් සමහර අකුරු හා පිළි විකාරව පෙන්වනවා. මා කැමති විදිහට බැඳි අකුරු පෙන්වීම වින්ඩෝස් පරිගණකයේ සිංහල පෙන්වන මයික්‍රොසොත්ට් සමාගමේ ‘ඉක්කෝල පොත’ ෆොන්ට් එකටවත් කරන්න නොහැකිය.

අහංගම කියන්නේ යුනිකෝඩ් අකුරු පෙන්වන නියෝග එක් එක් ධාවන තන්ත්‍ර විසින් ඒවාට ගැබ් කරගෙන තිබෙන බවත් ෆොන්ට් ඒ අනුව සදා තිබිය යුතු බවත් ය. කලක් සිටම මේ නියෝග ක්‍රමයෙන් දියුනු වුනද ඒවා හැම පරිගණකයම තිබේය කියා බලාපොරොත්තු විය නොහැක. එලෙසම ඉහත කිව් සේ ෆොන්ට් වැරදි ලෙස සදා තිබීමත් ප්‍රශ්නයකි. එසේම සිංහල යුනිකෝඩ් ෆොන්ට් සදන විධි ප්‍රසිද්ධව ඉන්ටර්නෙට් එකේ තිබියදී ඩොලර් විසිදාහක මුදලක් ගෙවා 2008 ජනවරියේදී පිටරැටියෙක් ලංකාවට ගෙන්වා ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදී ඒවා ඉංග්‍රීසියෙන්ම කියවා පෙන්වා දුන්නද අදත් ඇත්තේ සිංහල යුනිකෝඩ් ෆොන්ට් හයක් පමණක් යයි වාර්තා වේ. අහංගම විසින් පහසු ක්‍රමයක් පෙන්වාදී තිබියදී එය නොසලකා හැර මෙසේ විදේශිකයන්ට මුදල් විසි කිරීම බස්-තියන් පයින් යනවා වගේ නොවේද?

අහංගම දෙරුව සිංහල ක්‍රමයේ ඇති වාසි (යුනිකෝඩ් සිංහල ක්‍රමයේ නැති)

1. මෙම ක්‍රමය යුරෝපීය භාෂා 14 මෙන් (සින්ගල්) තනි බයිට් ක්‍රමය යොදාගනී. මේ නිසා ඩබල් බයිට් යොදාගන්නා යුනිකෝඩ් සිංහල ක්‍රමයට වඩා 100% කින් කාර්යක්‍ෂමය. ඩිජිටල් හයිවේ එකෙන් යුරෝපීය රටවල් ලබාගන්නා සියළුම ප්‍රයෝජන ලංකාවටද ලබාගත හැකිය. ඩිජිටල් මහපාරේ තනි කකුලෙන් නොව කකුල් දෙකෙන්ම යාමට හැකියාව ලැබේ.

2. සුපුරුදු ඉංග්‍රීසි මුද්‍රා පුවරුව (කී බෝඩ්) සරල ලෙස වෙනස් කර සිංහල ටයිප් කළ හැක. ඉංග්‍රීසි මුද්‍රා 52 න් 51 ක් සිංහලට යොදාගනී. ස්පර්‍ශයෙන් ඉංග්‍රීසි අකුරු ටයිප් කරන්නෙකුට සිංහලද එම අධි වේගයෙන් ටයිප් කළ හැක.

3. මෙම ක්‍රමය අනුව ඉංග්‍රීසි නොදන්නා අයටද පරිගණකය පාවිච්චි කල හැකිය. ඊට හේතුව මේ ක්‍රමය අනුව පරිගණකයේ යතුරු පුවරුවේ ඇති ඉංග්‍රීසි (ලතින්) අකුරු සිංහල භාෂාවේ ශබ්දයට අනුව පාවිච්චි කරන නිසාය. උදාහරණයක් වශයෙන් අම්මා යන්න ලියන්නේ ඒ-එම්-එම්-ඒ-ඒ යන මුද්‍රා අනු පිළිවෙලින් තදකිරීමෙන් ය.

4. මෙම ක්‍රමය අනුව ඥානවතී, මඤ්ඤොක්කා, කාර්‍ය්‍යාලය වැනි වචන ලිවීමද කරන්නේ අම්මා යන වචනය ලියූ සරල,  ශබ්දානුකරණයෙන් මිස සංකීර්‍ණ ක්‍රියාවලියකින් අකුරු හා පිළි වෙන වෙනම එක් කරමින් නොවේ.

5. මෙම ක්‍රමය අනුව සිංහල ලිවීමට නොදන්නා එහෙත් සිංහල කතාව තේරෙන කෙනෙකුට සිංහල වටහා ගතහැකිවන්නේ එය ෆොන්ට් එක වෙනස් කර ඉංග්‍රීසි (ලතින්) අකුරෙන්ද කියවිය හැකි වීමය (පරිගණකයකදී සිදුවන ක්‍රියාවලිය වන්නේ පසුතලයේ ඇති එකම සාංඛ්‍ය සංකේත මතුපිටින් ඉංග්‍රීසි (ලතින්) හෝ සිංහල අකුරු සේ ෆොන්ට් මගින් පෙන්වීම ය).

6. මෙම ක්‍රමයටම අනුව දෙමල භාෂාවද පිලියෙල කල හැකිය. මේ කාරණා අහංගම විසින් 2012 දී හෙක්ටර් කොබ්බෑකඩුව දේශන ශාලාවේදීද, 2014 රේදී (චම්පික රණවක ඇමතිතුමාගේ අනුග්‍රහයෙන්) ජාතික විද්‍යා පදනමේදීද පෙන්වූ අතර, ඉන්පසුව ජනාධිපති චන්දයට පෙර 2014 දෙසැම්බර් මස ඇමෙරිකාවට පැමිණ සිටි වාසුදේව නානායක්කාර ඇමතිවරයාටද පෙන්වාදුන් බව ඔහු මට පැවසුවේය. වාසුදේව මහතා ඒ ගැන කෙතරම් පැහැදුනේද යත් ආපසු ලංකාවට ගිය වහාම අහංගමට ලංකාවට ඇවිත් මෙම ක්‍රමය රජයට හඳුන්වාදීමට ගුවන් බලපතක් එවන බවටද පොරොන්‌දු වූවායයි අහංගම මට පැවසුවේ ය. ජනාධිපති මැතිවරණයෙන් එය වෙනස් විය. (ලෝකයේ විසිරී හා ටැමිල්නාඩුවේ සිටින දෙමල ජනතාව අති විශාල නිසා දෙමල පරිගණක භාවිත ප්‍රශ්න ටැමිල්නාඩු පරිගණක විශේෂඥයින් විසඳාගෙන ඇතිබව නිසැකය).

7. 2014 තමන් ලංකාවේ සිටි කාලය තුලදී ලංකාවේ පුවත්පත් කතෘවරුන් කීපදෙනක් හමුව මෙම ක්‍රමය පෙන්වා දුන්විට ඔවුන් ඒ ගැන බලවත්සේ සතුටට පත්‌වූ බව අහංගම පැවසුවේය. මේ ක්‍රමය අනුව අපිට මේ කන්තෝරුවල දැන් ඉන්නා අ‌යි ටී එක්ස්පර්ට්ලාගේ (ලිපිකරුවන්ගේ) ග්‍රහනයෙන් මිදෙන්නට පුළුවන් නොවේදැයි ඔවුන් කියා ඇත. ඇත්තවශයෙන්ම බලනවිට මේ මගින් නිලධාරින්ව ස්වයංබලවත් කරන අතර දැනට, කාර්යායාල වල  ලිපි කටයුතුවල ප්‍රමුඛථා ඒකාකාධිකාරයක් පවත්‌වා ගෙන යන අයි ටී එක්ස්පර්ට්ලා අවශ්‍ය නොවනු ඇත. මේ මගින් නිලධාරීන්ගේ කාර්යක්‍ෂමභාවයද ඉහල යනු නිසැකය.
 
8. “ඊ-ලංකාවක්” වැඩ සටහන යටතේ පරිගණක ලංකාවට ආනයනය කිරීම ලොකු බිස්නස් එකක් වී තිබුනේය (මේ හේතුවෙන් ලංකාවේ ගලා ගිය පරිගණක ගංඟාව කෙතරම්ද යත් බොහෝ ආණ්ඩුවේ තැන්වල, පාසැල්වල, ස්ටෝරු කාමරවල, දූවිල්ල වැදි වැදී ගොඩගසා ඇත). අහංගම ක්‍රමය යටතේ මෙවැනි පරිගණක නැවත ප්‍රයෝජනයට ගැනීම ඉතාමත් පහසුය.

9. සියළුම කටයුතු (වානිජ, රාජ්‍ය) පරිගණක මගින් කිරීමේ යුගයකට යෑම ඉක්ටා පරමාර්‍ථවල අභිලාශයය. එසේ කරන්නට නම් සිංහල භාෂාව තනි බයිට් මගින් පරිගණකයේ යොදවාගත යුතුය. මෙය දැන් කිරීම පසුවට ලතවනවාට වඩා සුදුසු නොවේද? ඒ මගින් පරිහරණය නිසා නොයෙක් වැඩිදියුණු කිරීම් කරගත හැකිය.

10. මීට කලින්ද පෙන්වා දුන් අයුරු යුනිකෝඩ් අකුරු Wඉන්ඩොwස්, Mඅචින්ටොස්හ්, ළිනුෂ් ආදී ධාවන තන්ත්‍ර විසින්  පරිගණකවලට සපයනු ලැබේ. ඒ ඒ පරිගණකයේ නොයෙක් විදිහට අකුරු විකෘතව පෙනේ. යුනිකෝඩ් සිංහල ලංකා ප්‍රමිතියක් කරන Sළ්S1134 ශ්‍රී ලංකා ප්‍රමිතිය විසින්  බ්‍රැණ්ඩි යන්නේ බ්‍රැ ශබ්දය බ්-රු (= බ්‍ර‌ැ) ලෙස ලිවිය යුතුය කියා නිදේශ කර ඇත. ඒ අනුව මෙතෙක් කල් පාලි හා සංස්කෘත භාෂාවෙන් ලියූ ව්‍යාකරණ ක්‍රමය වෙනස්ව කර ඇත.  මේ අනුව දැනටමත් පිරිත් පොතේ එක පිටුවක් කියවන්නට නොහැකි සමාජයක් තව පරම්පරාවක් ගිය කල හරියට සිංහල අකුරක නියම ශබ්දය හා හැඩය හෝ වචනයක තේරුම පවා හරියාකාරව නොදන්නා පිරිසක් වීමට ඉඩ ඇත. අහංගම ක්‍රමය මින් ගැලවීමට ප්‍රමිත මාර්‍ගයක් පෙන්වා දේ.

11. අවශ්‍යනම් දෙරුව සිංහලෙන් ලියූ දෙයක් යුනිකෝඩ් සිංහලවලටද, යුනිකෝඩ් සිංහලෙන් ලියූ දෙයක් දෙරුව සිංහලට (දෙරුව හෙළට) ද පෙරළිය හැකිය.

දෙරුව සිංහල ක්‍රමයේ ඇති වාසි ගැන ඉක්ටා හා සම්බන්‌ධ ගිහාන් ඩයස් මහතා මා සමඟ කලකට පෙර කල ඊමේල් පණිවුඩ හුවමාරුවකදී ඒ දිනවලදී එකඟවිය. දැන් වැරදිපාරේ යන යුනිකෝඩ් සිංහල ක්‍රමය ඉවත් කල යුතුයයි කිසිවෙක් කියන්නේ නැත. නමුත් මෙම දෙරුව සිංහල ක්‍රමය ඉක්ටා නියෝජ්‍යාතනය මගින් අත්‌හදාබලා අතිරේක ක්‍රමයක් වශයෙන් එය භාවිතා කිරීමට ලංකාවේ ජනතාවට ඉඩකඩ ලබා දිය යුතුය යන්න අසාධාරණ ඉල්ලීමක් නොවේ. ලංකාවේ ජනතාව දෙරුව සිංහල ක්‍රමයට වඩා කැමති නම් ඒ අනුව ක්‍රමයෙන් යුනිකෝඩ් සිංහලෙන් ඉවත්‌වීම, රටට ධන හානියක් නොවන ආකාරයට කල හැකිය.

මෙහිදී මා යෝජනා කරන්නේ මෙම සංදේශය ඉක්ටා නියෝජ්‍යාතනයට යවා වාර්‌තාවක් ලබාගෙන එය අපටද ලැබීමට සලස්වන ලෙසය. මේ පිළිඹඳව ඉක්ටා නිලධාරීන්ට දැනගතයුතුවන ඕනෑම දෙයක් සම්බන්‌ධයෙන් වැඩිදුරටත් කරුණු කෙළින්ම ඊමේල් මගින් සාකච්චා කිරීමට තමන්ට හැකිබව අහංගම මහතා මට දැන්වුවේය. මෙම සංදේශය ලිවීමේදී මට න-ණ, ල-ළ භේදය හරියාකාරව දැක්‌වීමට නොහැකිවීම ගැන කණගාටුවෙමි.

ස්තුතියි!

මෙයට,
ලංකාවෙන් පිට වසන සිංහල බෞද්ධයෙකුවන,

චන්ද්‍රසිරි විජයවික්‍රම

ඊමේල් පිටපත්:
   ජයන්ත අහංගම
   ඉක්ටා සභාපති ඇතුළු නිලධාරීන්
   කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක දෙපාර්තමේන්තුව
   මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක දෙපාර්තමේන්තුව
   ලංකාවෙබ් වෙබ් අඩවිය
   ලංකාවේ සිංහල පුවත්පත් කතෘවරු

==============================
ඉක්ටා නියෝජ්‍යාතනයේ පරමාර්‌ථ හය

“1. තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ (ඉක්ටා) පිලිබඳ ප්‍රතිපත්ති, නායකත්වය හා ආයතන ගොඩනැගීමේ ව්‍යාපාරය මගින් පහත සඳහන් කාර්‍ය්‍යයන් ඉටුකරයි:
(ඒ) තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ පදනම්ව පරිශුද්ධිය (රිෆෝර්ම්) හා සංවර්‍ධනය නගා සිටුවන ආකාරයේ අයතනයක් හා ඒ සඳහා නෛත්‍යක පසුබිමක් ඇතිකිරීම (බී) පරිශුධ කාර්‍ය්‍යයන් කිරීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්‍ෂ්ණයෙහි නායකත්වය හා ප්‍රබුද්ධතාවය රජයේ නිලධාරින් හා අනෙකුත් ඊට අදාල අයට ලබා දීම (සී) මේ වැඩපිළිවෙලවල් පිළිබඳව ඉන් බලපෑම ලබන අනිකුත් අදාල සියල්ලන්හටම, ඊ-ශ්‍රීලංකා ව්‍යපෘතිය හා සම්බන්ධවීමට හැකිවන සේ ඔවුන්ව දැනුවත් කිරීම.

2. තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ හා කර්‍මාන්ත සංජනන ව්‍යාපාරයේ මූලික අභිප්‍රායයන් වන්නේ:
(ඒ) තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණයේ නියුතු කළමනාකරුවන්, එහි සේවකයන් හා තොසතා තාක්‍ෂණ ක්‍රම වැඩි දියුනු කිරීම මගින්, ශ්‍රී ලංකාවේ තරඟකාරී බව, ප්‍රබුද්ධතාවය හා ඉපයීම වැඩිකිරීම. (බී) තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණයෙහි විවිධ මට්ටමේ හා පුළුල් හැකියාවල් ඇති සේවක සේනාවක් බිහිකර, පාසැල් අධ්‍යාපනය අතරමගදී අතහැර යන්නන්ට රැකියා සොයා ගැනීමට ඇති හැකියාව වැඩි කිරීම. (සී) තොරතුරු හුවමාරු තාක්‍ෂණය ප්‍රයෝජනයට ගනිමින් දේශීය කර්‍මාන්ත සහ විශේෂයෙන් කුඩා හා මධ්‍යම තරමේ ව්‍යවසායයන් ගේ  කාර්යක්‍ෂමභාවය වර්‍ධන කිරීම.

3. ප්‍රාදේශීය සංනිවේදන සම්බන්ධීකරණ ව්‍යාපාරය විසින් තරඟකාරී මිළට හා ලාභයට සංනිවේදන සේවයන් ලබාදීම සලසා විශේෂයෙන් සමාජයේ දුප්පත් කොටස්වලට ඒවා ලැබීමෙන් සමාජය එකමුතු කිරීම.

4. සංනිවේදන මධ්‍යස්ථාන ව්‍යාපාරයේ ප්‍රයත්නය වන්නේ ඒ මගින් දකුණේ, උතුරේ හා නැගෙනහිර ගැමි ජනයාට ලාභයට තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ සේවා ලබාදී ඔවුන් බලපත් කිරීම ය.

5. ලංකා රජයේ සේවා වඩාත් දක්‍ෂ ලෙස, විවෘතව (ට්‍රාන්ස්පෙරන්සි), කාර්‍ය්‍යක්‍ෂමව (එෆෙක්ටිව්) හා ගුණාත්මක අගයෙන් යුතු ලෙස (ක්වොලිටි ඔෆ් සර්විස්) ලබාදීම විශාල වශයෙන් හා තිරසාර ලෙස (සස්ටේනබල්) වර්‍ධනය කිරීම, රජය නව ක්‍රමවත් කිරීමේ ව්‍යාපෘතියේ (රී-එන්ජිනියරිං) අරමුණය. මේ සඳහා ලංකාණ්ඩුව හා ජාත්‍යන්තර සංවර්ධිත සමාජය විසින් දැනටමත් සොයාගෙන ඇති මූලික රාජ්‍ය පාලන හා පොදු කළමනාකරණ ප්‍රතිසංස්කරණයන් තහවුරු කිරීම හා ව්‍යාප්ත කිරීම කරනු ඇත.

6. නව අදහස් අනුව තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණයන් යොදා ගෙන පහත සඳහන් කාර්‍ය්‍යයන් සපුරාලන්නට ඊ-සොසයටි ව්‍යාපාරය  දිරි දෙයි.
(ඒ) සමාජයේ අසරණ (වල්නරබල්) කොටස්වල ආර්ථික හා සමාජයීය අවශ්‍යතාවයන් සපුරාලීම (බී) සාර්‍ථක ක්‍රියාදාමයන් මහා පරිමාණයෙන් ව්‍යාප්ත කිරීම. (සී) ලාභයට, පහසුවට, තොරතුරු, සංනිවේදන හා අදාල දේශීය (ලෝකල්) කරුණු ලබාගැනීමට සිවිල් ජනතාව බලපත් කිරීම.

මෙම වැඩ සටහන යටතේ (විදේශ) මූල්‍යාධාර වැඩිවශයෙන්ම දෙන්නේ රජයේ සේවාවන් නවීකරණය කිරීමට හා සංනිවේදන සේවා යටිතල පහසුකම් හා සේවා ලබා ගැනීමට ඇති අවකාශ වර්‍ධනය කිරීම පිණිසය. අනිකුත් වැඩ සටහන් මගින්, තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ නායකත්වය හා ප්‍රබුද්ධිය නගා සිටුවීම, තොරතුරු සංනිවේදන තාක්‍ෂණ දැනුම ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්ති වැඩි දියුනු කිරීම, තොරතුරු සංනිවේදන තාක්‍ෂණ දැනුම ලබා දීම, තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ ඉගැන්වීමට හා අපනයනයට දිරි දීම හා නව නිපැයුම් කිරීමට තාක්‍ෂණික උපදෙස් ලබා දීම යනාදියට ආධාර කරනු ලබන අතර, ප්‍රමුඛ අවශ්‍යතා වලට මුහුණදීම සඳහා පුද්ගලික හා රාජ්‍ය නොවන (එන්ජිිෝ) ආයතනවල තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ, නව නිපැයුම් හා සම්පත් යොදාගනු ඇත.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress