මහින්දභීතිකාව
Posted on February 16th, 2015

නලින් ද සිල්වා

රනිල් වික්‍රමසිංහ තවමත් මහින්ද රාජපක්‍ෂට බය ය. ඔහු දුමින්ද සිල්වාට නම් බය නැත. දුමින්ද සිල්වා ගැන ප්‍රශ්නය ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ය. ඇය දුමින්ට බය දැයි අපි නො දනිමු. ඒ කෙසේ වෙතත් දුමින්ද ගැන චෝදනා එල්ල වූයේ වක්‍ර ව මහින්දට චෝදනා කිරීමට දැයි අපි නො දනිමු. මහින්ද විසින් දුමින්ද ආරක්‍ෂා කරනු ලැබුවේ ය යන්න වක්‍ර චෝදනාව විය. එහෙත් දැනට ද එක්කෝ දුමින්ද ආණ්ඩුවේ ඉහළ ම ප්‍රබලයකු විසින් ආරක්‍ෂා කරනු ලැබෙයි. එසේත් නැත්නම් දුමින්දට එරෙහිව උසාවියක දී ඔප්පු කළ හැකි චෝදනා නැත. 
අද මෙරට ඇත්තේ බය මත පදනම් වූ දේශපාලනයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් අති විශාල පිරිසකට ඇත්තේ නාමයෝජනා බය ය. තමන්ට නාමයෝජනා ලැබේ ද නැද්ද යන්න ඔවුන්ට ඇති බලවත් ම ප්‍රශ්නය ය. සංධාන, විසංධාන ආදී සියල්ල නාමයෝජනා මත පදනම් වෙයි. ශ්‍රී ල නි පක්‍ෂයේ පළාත්සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් බොහෝ පිරිසකට නම් ඒ බය නැත. ඔවුන්ට ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ වීමේ බය ඇත් දැයි නො දනිමු. 
රනිල් වික්‍රමසිංහට ආරුගම්බේ දී තවත් මාළිගාවක් හමු වී ඇත. ඔහු කී ලැම්බෝගිනි ඔහුවත් දැක ඇත් දැයි නො දනිමු. මේ මාළිගා ගැන රනිල් කියන්නේ මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වේ ය යන බය නිසා ය. මුහුණක් නැති මුහුණු පොතට මේ රසවත් කතාවකි. රනිල් වික්‍රමසිංහට සුදුසු තනතුරක් ඇත. ඒ අද්‍යතන පුරාවිද්‍යා ගවේෂක යන්න ය. පුරාවිද්‍යාඥයෝ පැරණි මාළිගා සොයා ගනිති. අද්‍යතන පුරාවිද්‍යාඥයෝ මේ සියවසේ තැනූ මාළිගා සොයා ගනිති. සංස්කෘතික ඇමතිට හා අධ්‍යාපන ඇමතිට අද්‍යතන පුරාවිද්‍යාව යන විෂය රටට හඳුන්වා දිය හැකි ය. 
එහෙත් මෙි මහින්දභීතිකාව විහිළුවක් නො වේ. කොහොමටත් බය යන්න විහිළුවක් නො වේ.  අද ආණ්ඩුවට ඇත්තේ මහින්දභීතිකාව ය. එය රනිල්ට මෙන් ම මෛත්‍රිපාලටත් ඇත. එය බටහිරයන්ටත් ඉන්දියානුවන්ටත් ඇත. බටහිරයන්ගේ මහින්දභීතිකාව ඇමරිකානු රාජ්‍ය ඇමති කෙරීගේ ප්‍රකාශවලින් ද සොල්හයිම්ගේ කයිවාරුවලින් ද පැහැදිලි වෙයි. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය වීම ගැන මේ සියල්ලෝ සතුටු වෙති. එහෙත් ඔවුන්ට ද ඇති බය මහින්ද අගමැති වේ ද යන්න ය.
රනිල් සිරිසේන ආණ්ඩුව සූදානම් වන්නේ කෙසේ නමුත් මහින්ද අගමැති වීම වැළැක්වීමට ය. ආණ්ඩුවේ නිල වෙබ් අඩවියට ලියන ලූෂන් රාජකරුණානායක නමැත්තකු පසුගිය දා ලියා තිබුණේ ඉදිරියේ දී කිරීමට බලාපොරොත්තුවන ව්‍යවස්ථා සංශෝධනයේ දී  දෙවරක් ජනාධිපති ධුරය දැරූ අයකුට (වසර හය බැගින් හෝ අඩුවෙන් හෝ) ජනාධිපති ධුරයට පමණක් නොව අගමැති ධුරයට ද පත්වීමට නොහැකි බව සඳහන් වන වගන්තියක් ඇතුළත් කිරීම ගැන දැන් සාකච්ඡා වන බව ය. බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් පුද්ගලයකුට මෙතරම් බිය ඇයි ද යන්න මේ වෙබ් අඩවියෙහි සැරිසරන්නන්ට නම් ප්‍රශ්නයක් විය නො හැකි ය.
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 16

 

3 Responses to “මහින්දභීතිකාව”

  1. helaya Says:

    So true

  2. Indrajith Says:

    එළැඹෙන මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරවීම සඳහා අනිද්දා නුගේගොඩදී පැවැත්වෙන රැළියට සහභාගී වීම සඳහා තමන් කැමති නමුත් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් එය වලකා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියයි.

    කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ එම රැළියට 5000ක් ගෙනාවොත් ඉල්ලා අස්වන බවට ප‍්‍රකාශ කර ඇති අසාද් සාලි තම සමුගැනීම එදිනට තහවුරු කරන ලෙසයි.

    එළැමෙණ මැතිවරණයෙන් එජාපයට ජය ගැනීමට ඉඩ නොදෙන බවද කී ඔහු ඉතිහාසයේ ජාතික වීරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දේශීය හා ජාත්‍යන්තරව විවිධ බලවේග විසින් විශාල ප්‍රහාරයක් එල්ල කරන බවත්, ඔහු යළි බලයට ගෙන ඒම සඳහා කැපවන බවද කීය.

  3. Podda Says:

    රනිල් ගේ මාලිගා ගැන කයිවාරුව පිලිබඳ පැහැදිලි කිරීමක් පහත දැක්වෙන වෙබ් ලින්ක් එකෙන් අද ලංකා වෙබ් හි තිබේ.

    http://www.lankaweb.com/news/items/2015/02/16/prime-minister-questions-who-used-arugam-bay-super-luxury-hotel-complex-but-it-is-advertised-on-the-internet-for-anyone-to-use/

    කරුණාකර කියවන්න. මොහුට (රනිල්ට) කිසිම ලැජ්ජාවක් නැහැ. බොරෝ පච ඇදබනවා. මේ ලංකාවේ අගමැති කෙනෙක් කියන කතාවක්. අපටත් ලැජ්ජයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress