අනාවැකි පළ කිරීම
Posted on March 3rd, 2015

නලින් ද සිල්වා

අනාවැකි පළකරන්නේ යම් දැනුමක් මත පදනම් වී ය. ඒ දැනුම වැරදි ද නිවැරදි ද යන්න පිළිබඳ ව විවිධ මතවාද, එනම් දැනුම් තිබිය හැකි ය. ඇතැමුනට අනුව දැනුම වන්නේ බටහිර විද්‍යාව පමණ ය. අනෙක් දැනුම් යැයි කියනු ලැබෙන දේ දැනුම් නො වේ යැයි ඔවුහු කියති. ඔවුන්ට අනුව ඒ ඊනියා දැනුම් මිථ්‍යා වෙයි. අනාවැකිය නමින් පළවන මේ තීරු ලිපිය කෙතෙක් කල් පළවන්නේ දැයි අනාවැකියක් පළකිරීමට හැකි ද? මා මිය යන තෙක් , මට ලිපි ලිවීමට හැකි තාක්, දින සියය පනින තෙක්, මීළඟ මැතිවරණයෙන් ආණ්ඩුවක් පත්වන තෙක් ආදී වශයෙන් ඒ අනාවැකි විවිධ විය හැකි ය. එහෙත් ඒ සෑම අනාවැකියක් ම වැරදීමට හෝ නිවැරදිවීමට හෝ සමිභාවිතාවක් ඇත. සියයට සියයක සම්භාවිතා සහිත නිවැරදි අනාවැකි තිබිය නොහැකි ය. සිදුහත් කුමරු නිසැකයෙන් ම බුදුවන බව අසිත තවුසා ප්‍රකාශ කළේ සමහර විට අංග ලක්‍ෂණ විද්‍යාව අනුව විය හැකි ය. එසේත් නැතහොත් වෙනත් දැනුම් පද්ධතියක් අනුව විය හැකි ය. එවිට එය ඉතා ඉහළ සම්භාවිතාවකින් කී දෙයක් බවට පත්වෙයි. එසේත් නැතහොත් එතුමා ඒ බව ආධ්‍යාත්මික ව දකින්නට ඇත.
මා අනාවැකි කියන්නේ මට හිමි මගේ ම වූ දැනුම් පද්ධතියක් මත පදනම් වෙමිණි.  දැනුම් පද්ධතියක් බුදුදහමට පටහැණි ය. බුදුදහම දැනුම් පද්ධතියක් නො වේ යැයි මම දැන් විශ්වාස කරමි. මා එසේ කියන්නේ ඇයි දැයි පසුව විස්තර කළ යුතු ය. බුදුදහම හැරෙන්නට අනෙක් සියල්ල දැනුම් ය. ඒ දැනුම් සමහරක් සෘජු ප්‍රත්‍යක්‍ෂ වෙයි. ඒ පංචෙන්ද්‍රියවලට ගෝචර වෙයි. මා දැන් දන්නා බුදුදහමට අනුව ඒ සියල්ල මුසා ය, බොරු ය. ඒ බොරු හැරෙන්නට වක්‍ර දැනුම් ද වෙයි. ඒ දැනුම් සෘජු පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් ගැනීම සඳහා ගොතන කතන්දර හෙවත් ප්‍රවාද වෙයි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ එලෙස කතන්දර ගෙතීම ය. ප්‍රත්‍යක්‍ෂ බොරු වන අතර ප්‍රත්‍යක්‍ෂ නොවන දැනුම් පට්ටපල් බොරු වෙයි. ඒ අරුතින් ඕනෑම අනාවැකියක් බොරුවකි. එහෙත් අප අනාවැකි බොරු වී යැයි කියන්නේ ඒ අර්ථයෙන් නො වේ. අනාවැකියකින් කී දෙයක් නොසිදුවුවහොත් ඒ බොරුවක් වෙයි. ඒ වැරදුනහොත් අනාවැකිය බොරුවක් වෙයි. සුමනදාස අබේවර්ධන මහතාගේ අනාවැකි බොරු වී ද? ඒ මහතාට වැරදිණි ද? 
මිනිසුන් අතින් විවිධාකාරයේ වැරදි සිදුවෙයි. බටහිර වෛද්‍යවරුන් අතින් සිදුවන වැරදි ගැන ජනමාධ්‍යවලින් දැනගන්නට ලැබෙයි. එහෙත් ඒ ගැන කතාකරන්නෝ විරළ වෙති. එසේ වුවත් සිංහල වෙදමහතකු අතින් වරදක් සිදුවුවහොත් ඒ ගැන කතාකිරීමට ඉදිරිපත්වන්නන් එමට ය. ඔවුහු ඊනියා විද්‍යාත්මක ක්‍රම අනුගමනය නොකිරීම ගැන බයිලා කියති. සතුන්ට වැරදි සිදුවන්නේ දැයි නො දනිමි. ඒ දැනගත හැක්කේ සතුන්ට වැරැද්ද යන සංකල්පය ඇත් දැයි දැනගැනීමෙනි. වැරැද්ද යන සංකල්පය නැති සංස්කෘතියක වැරදි සිදුවිය නො හැකි ය. එහෙත් තමා ගැන දැනුමක් ඇති සියළු සතුන් අතින් සසර දික්කරන ක්‍රියා සිදුවන්නේ යැයි සිතමි. අවිජ්ජා පච්චයා සංඛාරා යන්නෙහි අවිජ්ජා යනු මූලික වශයෙන් තමන් ඇතැයි ගැනීම යැයි සිතිය හැකි ය. ඒ පිළිබඳ දිර්ඝ විස්තරයක් කිරීමට මේ අවස්ථාව නො වේ. 
වැරදි අතර අනාවැකි වැරදීම යන්න එක් සුවිශේෂ ගණයක් පමණකි. එය බටහිර වෛද්‍යවරයකු අතින් සිදුවන වැරදි වැන්නක් නො වේ. බටහිර වෛද්‍යවරයකු අතින් සිදුවන වැරද්දක ද අඩු වැඩි වශයෙන් අනාවැකි පිළිබඳ වැරදි අඩංගු විය හැකි ය. එහෙත් ඒ ජ්‍යොතිෂයෙහි කෙරෙන අනාවැකි ගණයට අයත් නො වේ. 
සුමනදාස අබේවර්ධන මහතාගේ අනාවැකියක් පසුගිය දා වැරදිණි. විවිධ පුද්ගලයෝ අද තරුණයන්ගේ බසින් කිවහොත් ඒ මහතා බයිට් එකට ගත්හ. ජ්‍යොතිෂයට ඔච්චම් කළහ. කාලෝ ෆොන්සේකා මහතා වැන්නෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි විශ්වාස කළ නොහැකි බව නැවතත් ප්‍රකාශ කළහ. එහෙත් මේ ඊනියා විද්‍යාඥයෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය ඇතැයි විශ්වාස කරති. ගුරුත්වාකර්ෂණය යනු පට්ටපල් බොරුවක් බව මේ විද්වත්හු නො දනිති. මොවුන් විද්‍යාඥයන් වන්නේ නමින් පමණකි. ඔවුන් බටහිර විද්‍යාවට එකතුකර ඇති සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ නැත. 
සුමනදාස අබේවර්ධන මහතා අනාවැකියක් පළකළේ දේශපාලනයෙහි ය. බොහෝ දෙනා තේරුම් නොගන්නා කරුණක් නම් දේශපාලනයෙහි අනාවැකි මෙන් ම අනාවැකි සම්බන්ධයෙන් ද දේශපාලනයක් ඇති බව ය. පසුගිය ජනාධිපතිවරණය පිළිබඳ ඊනියා විද්‍යාත්මක සමීක්‍ෂණ පැවැත්වීමෙන් පසු අනාවැකි පළ කෙරිණි. ඒ අනාවැකි පළකෙරුණේ විද්වතුන් අතිනි. මෙරට ඊනියා විද්වත් සමාජයෙහි සුමනදාස අබේවර්ධන මහතා විද්වතකු ලෙස පිළිගැනෙන්නේ දැයි නො දනිමි. එහෙත් අර සමීක්‍ෂණ කළ අය විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වූහ. ඊනියා පර්යේෂණ ආයතනවල සාමාජිකයෝ වූහ. 
මේ බොහෝමයක් ඊනියා විද්‍යාත්මක අනාවැකි ද වැරදිණි. හරිගිය අනාවැකිවලට ඊනියා විද්‍යාත්මක පදනමක් වී ද?  එහෙත් මෙරට සමාජයෙහි ඒ අනාවැකිකරවෝ බයිට් එකට නොගැනෙති. ඔවුන් තම ඊනියා සමීක්‍ෂණය වෙනුවෙන් දීමනාවක් ලබාගන්නට ද ඇත. කෙසේ වුවත් සමාජයට ඔවුන් අමතක ය. මේ අනාවැකි පිළිබඳ දේශපාලනය ය. දැනුම පිළිබඳ දේශපාලනය ය. සමාජයට පෙනෙන්නේ බටහිර වෛද්‍යවරයාගේ වරද නොව සිංහල වෙදමහතාගේ වරද ය. ඊනියා සම්’ක්‍ෂකයන්ගේ වරද අමතක කරන සමාජයට සුමනදාස අබේවර්ධන මහතා අමතක නො වේ. බටහිර අධ්‍යාපනය විසින් අප සකස්කෙරී ඇත්තේ ඒ අයුරෙනි.
සියයට සියයක නිවැරදිතාවකින් අනාවැකි පළකළ නො හැකි ය. බටහිරයන්ගේ ක්වොන්ටම් භෞතිකයෙහි ද නිරී’ක්‍ෂණ ගැන කිවහැක්කේ සම්භාවිතාවන් පමණ ය. එහි දී වස්තුවක (අංශුවක) අහවල් ගුණය මැන්නොත් අහවල් සම්භාවිතාව ඇතිව අහවල් අගය ලැබේවි යැයි කිව හැකි ය. සාමාන්‍ය ජීවිතයේ ද එසේම ය. අප මෙතෙක් දැක ඇති කපුටන් සියල්ල කළුපාට වුවත් හෙට සුදු කපුටකු දැකීමේ සම්භාවිතාවක් ඇත. ජ්‍යොතිෂයෙහි අනාවැකි ද සියයට සියයක් නිවැරදි නො වේ. නුගේගොඩ පැවැත්වෙන රැස්වීමට සහභාගි වන සංඛ්‍යාව ගැන අසාද් සාලි මහතා කී අනාවැකිය වැරදිණි. ඔහු කියන්නේ ඒ රැස්වීම ජාතිවාදී රැස්වීමක් වූ නිසා ඔහුගේ අනාවැකිය එයට අදාළ නොවන බව ය. ඔහුගේ අනාවැකිය කිනම් දැනුම් පද්ධතියක් මත පදනම් වී දැයි අපි නො දනිමු. 
අයිසැක් නිවුටන් ද හොඳ අනාවැකි කරුවකි. සියළු විද්‍යාඥයෝ අනාවැකිකරුවෝ වෙති. එහෙත් ලංකාවේ විද්‍යාඥයන් නොමැති බැවින් ඔවුන්ගේ අනාවැකි සාර්ථක වීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට අනුව සියළු ග්‍රහවස්තු සූර්යයා වටා සූර්යයා එක් නාභියක සිටින පරිදි අචල ඉලිප්සවල ගමන් කළ යුතු ය. එය අනාවැකියකට වඩා විස්තර කිරීමකි. ඒ කුමක් වුවත් එය වැරදි ය. කිසිම ග්‍රහ වස්තුවක් එලෙස සූර්යයා වටා අචල ඉලිප්සයක ගමන් නො කරයි. එහෙත් මා දන්නා තරමින් නිවුටන්ට වැරදිණි යැයි කියන්නකු නැත. එහෙත් සුමනදාස අබේවර්ධන මහතා බයිට් එකට ගැනීමට කී දෙනෙක් ඉදිරිපත් වෙත් ද? නිවුටන්ට වැරදුනත් මෙරට පාසල්වල නිවුටන්ගේ පට්ටපල් බොරුවක් වූ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඉගැන්වෙයි. එහෙත් ජ්‍යොතිෂය ලංකාවේ පාසල්වල නූගැන්වෙයි. එකල විදද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙතිෂය ඉගැන්වුණු නමුත් විශ්වවිද්‍යාලය ප්‍රබුද්ධ වීමෙන් පසු ජ්‍යෙතිෂය අත්හැර දැමිණි. එහෙත් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණය තවමත් ඉගැන්වෙයි. අද විශ්වවිද්‍යාලයක ජ්‍යෙතිෂය යම්කිසි පාඨමාලාවක ඉගැන්වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පමණක් යැයි සිතමි. මට අනාවැකියක් පළකර හැකි ය. ඒ යටත්විජිතවාදය පිළිබඳ මා දරණ අදහස් මත පදනම් වෙමිනි. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණය උගන්වන තුට්ටු දෙකේ මහාචාර්යවරුන් විශ්වවිිද්‍යාලවල සිටින නමුත් සුමනදාස අබේවර්ධන මහතාටවත් වෙනත් අයකුටවත්  ජ්‍යොතිෂය පිළිබඳ මහාචාර්ය පදවියක් නුදුරු අනාගතයේ දී නො පිරිනැමෙනු ඇත. 
නලින් ද සිල්වා 
2015 මාර්තු 01

2 Responses to “අනාවැකි පළ කිරීම”

  1. Christie Says:

    Namaste: Sinhalese always made fun of Astrology another instrument of brainwashing by India. For the people who do not know what the Sinhalese thought of Astrology please comment on this Sinhala poem:

    Athul paththa pita paththa nodanna
    Kithul piththa uda piyawara manna

    Jai Hind

  2. Christie Says:

    One who does not know the inside or the out side (Athul paththa pita paththa nodanna) is about Buddhism. You study and understand from inside as well as from outside, that is Buddhism in a nutshell.

    He measured the length of his own shadow along a Caryota Urens branch leaf of a Caryota urens tree.

    The story is a Kithul toddy tapper was up on the tree and was about to tap the flower when a messenger came to inform him that his wife is about to have a baby. The tapper remembering that the time of birth is required to cast a horoscope for the baby according to Astrology climbed up to a branch leaf and walked along the leaf measuring the length of his own shadow with his feet. These trees are pretty tall and the could be up to ten meters tall and the branches are at the top in a cluster. the branches are about 3-4 meters long. The flower is among the branches and is cut and tapped usually in the morning or in the evening when the shadow is longer than 4 meters. So you can imagine the plight of the father.

    Kithul flower is tapped to obtain its sweet liquid to make toddy an alcoholic drink or make sweet treacle. So the Sinhalese always had a good drink and made fun of Astrology and had a good understanding of Buddhism.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress