මෛත්‍රිපාලට බලයක් නැහැ
Posted on April 12th, 2015

නලින් ද සිල්වා

මෛත්‍රිපාල සිරිසේනගේ අත්සනින් නිකුත්කර ඇති ලිපි මගින් ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයන් හතරදෙනකුගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය තහනම් කෙරී ඇතැයි වාර්තා වෙයි. මා ඒ ලිපි එකක්වත් දැක නැත. එමෙන් ම ඒ හතර දෙනාගෙන් එක් අයකුටවත් කතාකිරීමට මට අවස්ථාවක් ලැබී නැත. එබැවින් මේ ලිපිය මුළුමනින් ම ජනමාධ්‍ය වාර්තා මත පදනම් වෙයි. 

මෛත්‍රිපාල ක්‍රියාකර ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයේ ව්‍යවස්ථාවේ පහත සඳහන් 14 (1) vii උපවගන්තිය යටතේ යැයි සිතිය හැකි ය. මේ උපවගන්තිය ඇත්තේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සතු බලතල හා කාර්යභාරයන් යටතේ ය. 14 වගන්තියේ දෙකක් හැරෙන්නට අනෙක් උපවගන්ති සියල්ල මධ්‍යම කාරක සභාව සතු බලතල සම්බන්ව ය. එහෙත් මේ උපවගන්තියෙන් හා තවත් එකකින් සභාපතිගේ බලයක් ගැන කියැවෙයි. එහි තරමක පරස්පරයක් වෙයි. ඒ කෙසේ වෙතත් අදාළ උපවගන්තිය මෙසේ ය. අවශ්‍ය නම් සාමාජිකයකුගේ සාමාජිකත්වය තහනම් කිරීමටත් සංවිධානයක් නම් එහි වැඩ කටයුතු තහනම් කිරීමටත්, පක්‍ෂයේ සභාපතිට බලය තිබේ.” මෙහි සාමාජිකත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි නැත. එය මධ්‍යම කාරක සභාව සතු බලතල ගැන කියන 14 වගන්තිය යටතේ තිබූ පමණින් එයින් කියැවෙන්නේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය තහනම් කිරීමක් යැයි ගම්‍ය නො වේ. මධ්‍යම කාරක සභාවේ බලතල ගැන කතාකරන අතර සභාපතිගේ බලයක් ගැන කියන්නේ ඇයි ද යන ප්‍රශ්නය ද මතුවෙයි. සභාපතිට බලය පැවරෙන අනෙක් උපවගන්තිය මෙසේ ය. මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීම් කැඳවීමට පක්‍ෂයේ සභාපතිට බලය තිබේ.” ඒ උපවගන්තියේ මධ්‍යම කාරක සභාව යන්න පැහැදිලිව සඳහන් වුවත් 14 (1) vii උපවගන්තියෙන් මධ්‍යම කාරක සභාවක් ගැන නො කියැවෙයි. 

කෙසේ වෙතත් පක්‍ෂ සභාපති පත්කර ගැනෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂ ව්‍යවස්ථාවේ 12 (1) (ii) (අ) හා (ඈ) උපවගන්තිවලින්  කියැවෙන ආකාරයට ය. 12 (1) (ii) (අ) උපවගන්තිය මෙසේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් සහ/හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ශ්වයක් වන සන්ධාන ගත වූ දේශපාලන පක්‍ෂයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජික අපේක්‍ෂකයකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට තෝරා පත්කර ගන්නා ලද විධායක ජනාධිපතිවරයා පක්‍ෂයේ සභාපති ධුරයට නිල බලයෙන් පත් වේ.”  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූයේ ශ්‍රි ල නි පක්‍ෂය හෝ එය පාර්ශ්වයක් වූ සන්ධානයක් හෝ නියෝජනය කරමින් නො වේ. හැරත් මා දන්නා පරිදි නම් ඔහු ජනාධිපතිවරණ සමයේ දී ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයකුවත් නො වී ය. එබැවින් පැහැදිලිව ම ඉහත සඳහන් උපවගන්තිය යටතේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ධුරයට පත් වී නැත. 

දැන් අපි 12 (1) (ii)  (ඈ)  උපවගන්තිය  ගනිමු. එය මෙසේ ය. ඉහත කී (අ) වගන්තිය යටතේ නිල බලයෙන් සභාපති ධුරයට පත් නො වූ අවස්ථාවක දී විධායක සභාව විසින් පක්ෂයේ සභාපතිවරයා තෝරා පත්කර ගත යුතු ය.” මා දන්නා පරිදි නම්  මෛත්‍රිපාල සිරිසේන මේ උපවගන්තිය යටතේවත් ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ධුරයට පත්කර ගෙන නැත. වෙනත් වචනවලින් කිවහොත් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ලෙස පක්‍ෂ ව්‍යවස්ථානුකූල ව පත්කර ගෙන නැත. ඔහු පක්‍ෂයේ නිල සභාපති නො වේ.

නිල වශයෙන් පත්නොවූ ඊනියා පක්‍ෂ සභාපතිවරයකු නිශ්චිත ව මධ්‍යම කාරක සභා සාමාජිකත්වයක් ගැන නොකියැවෙන 14 (1) vii උපවගන්තියක් යටතේ ශ්‍රී ල නි ප්ක්‍ෂයේ  මධ්‍යම කාරක සභිකයන් හතර දෙනකු ගේ මධ්‍යම කාරක  සභා  සාමාජිකත්ව තහනම් කර ඇත. මෙය සම්පුර්ණයෙන් ම ශූන්‍ය හා වලංගු නොවන තීරණයකි. යහපාලනය රටට තබා පක්‍ෂයටවත් නැත.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 12

 

2 Responses to “මෛත්‍රිපාලට බලයක් නැහැ”

  1. Dr.K Says:

    මේසා ඉක්මනින් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තිබුණේ එදා සිරිසේන මහතාගේය. ඒ එදා ඔහු පක්ෂයට ද්‍රෝහි වී එවකට පක්ෂ සභාපතිවු මහින්ද රාජපක්සට විරුද්දව නොමිනේෂන් දුන් නිසාය. එදා එහෙම වූවානම් අද මේ සිදුවන විලම්භීත බොහොමයක් සිදුනොවන්නට ඉඩතිබුණි.

  2. Leela Says:

    ජනාධිපති සිරිසේන අද හත් පොලේම ගූ ගාගන තියෙන්නෙ. සිරිසේන අාප්ප කාල පැදුරටත් නොකිය ශ්‍රිලනිප අතහැර ගොස් එජාප යේ සහ ටීඑන්එ් සහායෙන් ජනාධිපති උනා නම් නම්ඹු පිටින් එයාට තිබුනෙ එජාප යට හරි ටිඑන්එ් එකට යන්නයි. ශ්‍රිලනිප යේ ප්‍රශ්ණ අැතිකර එම පක්‍ෂයේ සභාපති තනතුර අල්ලාගන බලහත්කාරය යොදවා ශ්‍රිලනිප මංත්‍රි වරුන් පඹයන් කිරීම ඉතාම නින්දිත සහ සමාව දිය නොහැකි ක්‍රියාවක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress